අබ්බාසිද්
ඉස්ලාම් අධිරාජ්‍යය පාලනය කළ දෙවැනි මහා කාලිප් (බ.) පරපුරය. මෙම අබ්බාසිද් කාලිප්වරු මහමත්තුමාගේ මයිලණුවන් වූ අල් අබ්බාස්ගෙන් (ක්‍රි.ව.566-652) පැවත ආවාහුය. ඔවුහු තමන් උමයියද් (බ.) කාලිප්වරුන් මෙන් නොව ඉස්ලාම් අධිරාජ්‍යයයේ නියම උරුමක්කාරයන් යයි සැලකූහ. ක්‍රි.ව.750 සිට 1258 දක්වා ඉස්ලාම් අධිරාජ්‍යය පාලනය කරනු ලැබූයේ මොවුන් විසිනි.
ක්‍රි.ව.අටවන සියවස තෙක් උමයියද් කාලිප්වරුන් යටතේ අබ්බාසිද් වංශිකයෝ සන්සුන්ව විසූහ. එහෙත් අටවෙනි සියවසේ මුල් භාගයේ දී පමණ කලබල ඇතිවිය. උමයියද් කාලිප්වරුනට විරුද්ධව ඛුරාසාන්හි අරාබි හා පර්සියානු ජනයා අතර ප්‍රචාරක ව්‍යාපාරයක් කරගෙන ගිය මොවුහු ෂියා නිකායික මුස්ලිම්වරුන්ට එක්වූහ. ඉන්පසුව එනම්, 747 දී උමයියද් කාලිප්වරුනට විරුද්ධව ප්‍රසිද්ධියේ කැරලි ගැසූ අබ්බාසිද් වංශිකයෝ 750 දී අන්තිම උමයියද් කාලිප් වූ මර්වාන් II පරාජය කොට බලයට පත්වූහ.
ඉක්බිති එවක අබ්බාසිද් පෙළපතේ මූලිකයාව සිටි අබුල් අබ්බාස් තෙමේ (මොහු අල් අබ්බාස්ගේ මුණුබුරුගේ පුත්ය.) අබු අල් අබ්බාස් අල් සෆා නමින් කාලිප් ධුරයට පත්වූයේය. සින්ධු ප්‍රදේශය, ඇෆ්ඝනිස්ථානය, බලුකිස්තානය, පර්සියාව, තුර්කිස්ථානය, සිරියාව, මෙසපොතේමියාව, පලස්තීනය, ආර්මීනියාව, සයිප්‍රස්, ක්‍රීට්, මිසරය, උතුරු අප්‍රිකානු ප්‍රදේශ හා මුස්ලිම් ස්පාඤ්ඤය මොහුගේ අධිරාජ්‍යයට අයත් විය. උමයියද් කාලිප්වරුන්ගේ පාලන කාලයේ දී මුස්ලිම් අධිරාජ්‍යයයෙහි අගනුවර වූයේ දමස්කස් නගරයයි. එහෙත් අබ්බාසිද් පෙළපතේ දෙවැනි කාලිප් වූ අල් මන්සූර්ගේ රාජ්‍ය සමයේදී දමස්කස් නගරය අතහැර ටයිග්‍රීස් (තීග්‍රිස්) ගඟ අසබඩ ගොඩනඟන ලද බැග්ඩෑඩ් නගරය අගනුවර කොට ගන්නා ලද්දේය. මෙයින් පසු ඉස්ලාම් අධිරාජ්‍යය කෙරෙහි පර්සියානු බලපෑම අධික විය. අබ්බාසිද් පාලනයෙහි මුල්කාලය මුස්ලිම් අධිරාජ්‍යයෙහි ඉතිහාසය සමෘද්ධිමත් සමයක් ලෙස සඳහන් වේ. වෙළහෙළඳාම් සහ කලා සාහිත්‍ය දියුණුවට මේ පෙළපතේ පාලකයෝ නන් අයුරින් අනුග්‍රහ කළහ. මොවුන්ගේ බලය සහ ඓශ්වර්යය මුදුන් පෙත්තටම නැංගේ හරූන් අල්-රෂිද් (රා.ස.786-809) සහ ඔහු පුත් අල් මාමුන් යන කාලිප්වරුන්ගේ පාලන සමයන්හිය. හරූන්ගේ රාජ සභාව ඓශ්වර්යයෙන්, ශ්‍රී විභුතියෙන් හා සංස්කෘතික දීප්තියෙන් එවක ලෝකයේ අන් කවර අධිරාජයකුගේ රාජසභාවකට ද වඩා උත්කර්ෂවත්ව බැබළිණ.
එහෙත් නොබෝ කලකින් අබ්බාසිද් කාලිප්වරුන්ගේ බලය කෙමෙන් පිරිහෙන්ට වන. රාජ්‍යයෙහි අවුල් වියවුල් ඇති වූවා පමණක් නොව පාලනයද දූෂිත විය. රටේ දියුණුවට බාධා ඇතිවිය. අල් මුටෂිම් විසින් රාජකීය ආරක්ෂක පිරිස වශයෙන් පත්කරනු ලැබූ තුර්කි වහලුන්ගෙන් මෙකී වංශයේ විනාශය බොහෝ දුරට සිදුවිය. බැග්ඩෑඩ් නගරය තමාට ප්‍රවේශම් මඳ බව පෙනී ගියෙන් ඉන් සැතපුම් 30ක් පමණ ඔබ්බෙහි වූ සමරා නගරය අගනුවර හැටියට මොහු විසින් තෝරා ගන්නා ලදි. 836 සිට 892 දක්වා අබ්බාසිද් කාලිප්වරුන් 8 දෙනෙකුගේ අගනුවරව පැවැත්තේ සමරා නුවරය. දහවෙනි සියවසේ මැද භාගයේ දී පමණ අබ්බාසිද් කාලිප්වරු තම වහලුන්ගේ රූකඩ බවට පත්වූහ. සිය රාජ කාර්යයන් හමුදා සෙනෙවියන්ට පවරා දීමට තරම් දුර්වල තත්ත්වයකට පත් වූ මොවුහු තම බලය ආගමික කටයුතුවලට පමණක් සීමා කරගත්හ. මුස්ලිම් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ රාශියක් ඉන් වෙන්වී ස්වාධීනත්වය තහවුරු කර ගත්හ. 756 දී ස්පාඤ්ඤය ද 788 දී මොරොක්කෝව ද 801 දී ට්‍යුනිස් ද 868 දී මිසරය ද අබ්බාසිද් කාලිප්වරුන්ගේ පාලනයෙන් මිදී නිදහස් වූහ. 944 දී ෂියා නිකායික හම්දානිද් නම් වූ මුස්ලිම් කොටසක් මෙසපොතේමියාව හා සිරියාව යටත් කර ගත්හ. 945 දී බැග්ඩෑඩ් නගරය අල්ලාගත් බුවේහිද් වංශිකයෝ ශතවර්ෂයක් පමණ කල් කාලිප්වරුන්ට අධිපතිකම් පෑහ. 1258 දී ජෙංඝිස් ඛාන්ගේ මුණුබුරු හුලාගු යටතේ පැමිණි මොංගල්වරුන් විසින් බැග්ඩෑඩ් නගරය අල්ලා ගැනීමෙන් අබ්බාසිද් පෙළපතේ අවසානය ඉක්මනින් විය. ඉන් පසුව මෙම පරපුරෙන් බිඳීගිය එක කොටසක් මමෙලුක් සුල්තාන්වරුන් යටතේ මිසරයෙහි ආගමික නායකත්වය පමණක් දැරූහ. 1517 දී සෙලීම් I නම් වූ ඔටෝමන් සුල්තාන් විසින් තුන්වන මුතා වක්කිල් නම් වූ කාලිප් සිරකරුවෙකු වශයෙන් කොන්ස්තන්තිනෝපල් නගරයට ගෙන යනු ලැබීමෙන් අබ්බාසිද් වංශය සහමුලින් අභාවප්‍රාප්ත විය.
(සංස්කරණය:1963)