අබු සෙයිද් අල් හසන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නවවැනි සියවසේ ෂිරාෆ්හි විසූ අරාබි ජාතික දේශසංචාරකයෙකි. ලංකාව ඇතුළු රටවල් බොහෝ ගණනක සංචාරය කළ මොහු ඒ ඒ රටවල් ගැන විවිධ තොරතුරු රාශියක් ලියා ඇත.

විශාල දිවයිනක් වූ ලංකාවෙහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔවුන් එහි ආගම හා පාලනය පදනම් කරගෙන සම්මත කරගත් නීති ක්‍රියාවෙහි යෙද වූ බවත් අබු සෙයිද් සඳහන් කරයි. ලංකාවේ භූගෝලීය පිහිටීම, ස්වභාවික සෞන්දර්ය, රත්න ජාතීන්ගෙන් ලැබෙන ධනය පිළිබඳව රජුන් දැක් වූ සැලකිල්ල හා මැණික් ගරන ක්‍රම ගැන ද වෛද්‍යවරුන් පණ්ඩිත සභා ගැන ද ඔහුගේ දේශාටන වාර්තාවෙහි සඳහන් වෙයි.

එකල හොරණෑ වෙනුවට හක්ගෙඩි පිඹීම ලාංකිකයන්ගේ සිරිතක්ව පැවති බව හෙතෙම සඳහන් කරයි. සටනක දී සතුරෙකු මරා හිස ඉදිරිපත් කරන තුරු කිසිවෙකුට විවාහ වීමට ඉඩ නොලැබුණු බව ද ඔහු මැරූ සතුරන් ගණනට භාර්යාවන් ලබා ගත හැකිව තිබුණු බවද අබු සෙයිද් පවසයි. රජ කෙනෙකුන් අභාවප්‍රාප්ත වූ විට එතුමාගේ මාතෘ ශරීරය විවෘත රථයෙක තබා හිසකෙස් පොළොවේ ගෑවෙන තරමට හිස එල්බෙන්නට සලස්වා අවමඟුල් පෙරහරෙහි ගෙන යන බවත් රථය පසු පස පිස්නක් ගත් ස්ත්‍රියක් මාතෘ ශරීරයේ දූවිලි පිසිමින්, මහත් සේ වැලපෙමින් යන බවත් අබු සෙයිද්ගේ ග්‍රන්ථයෙහි සඳහන්ව ඇත.

සිංහලයන්ගේ ආරාමවල පොහොසත්කමත් ප්‍රතිමාවල විශාලත්වයත් ගැන සඳහන් කරන අබු සෙයිද් ඔවුන් අන්‍ය ආගම්වලට විරුද්ධත්වයක් නොපෑ බව ද පවසයි.

එකල ලක්දිව ප්‍රධාන ම විනෝද ක්‍රීඩාව කුකුලන් කෙටවීම යැයි කියන අබු සෙයිද් ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් කරයි. සාමාන්‍ය කුකුළන්ගේ පොර කටුවලට වැඩ මෙහි කුකුළන්ගේ පොර කටු ශක්තිමත් වූ බව පවසන අබු සෙයිද් ස්වාභාවික පොරකටු පමණක් නොව කෘත්‍රිම පොරකටු බඳනා ලද කුකුළන් සිටි බව ද දක්වයි. ඕලන්ද යුගය දක්වා ම කුකුළන් කෙළියෙහි දී මේ කෘත්‍රිම පොරකටු භාවිත කරන ලද බවත් සමහරු පවසති. දාම් කෙළියෙහි යෙදෙන්නන් රන්, රිදී, ඉඩම් ගොවිපළවල් වැනි බොහෝ දේ ඔට්ටු ඇල්ලූ බව ද ඔට්ටු ඇල්ලීමට වස්තුවක් නැති වූ විට තමන්ගේ ශරීරයට දරුණු වධ හිංසා පමුණුවා ගැනීමේ ඔට්ටු පවා තැබූ බව ද අබු සෙයිද් පවසයි.

අබු සෙයිද් දක්වන සෑම තොරතුරක් ම ඒ සා ඇදහිය නොහැකි බව ඉහත විස්තරයන්ගෙන් පෙනේ.

(සංස්කරණය:1963)