අභිෂේක මංගලය
රජකුමරකු රාජපදප්‍රාප්ත කරවීමේ දී විධිමත් පරිදි පැවැත්වෙන උත්සවය අභිෂේක මංගලය නම් වේ. මීට "පැන් ඉසීම" යන අරුත් ඇති "අභිෂේක" යන නම යෙදුණේ රජකමට පවත්වන ක්ෂත්‍රියයාගේ හිස මත පැන් වත්කිරීම එම උත්සවයේ ප්‍රධාන අංගය වූ බැවින් විය යුතුය.
සිංහල රජවරුන්ගේ අභිෂේක මංගලය පැවැත්වීමේ දී අනුගමනය කරන ලද චාරිත්‍ර කවරේද යනු මහාවංස ටීකාවෙහි සඳහන් අයුරින් පහත දැක්වේ.
අභිෂේක මංගලය සඳහා සක් තුනකුත් ගංගා නම් ගඟේ දියත් ක්ෂත්‍රිය කුමාරිකාවකත් අවශ්‍යය. කුමරා අභිෂේකයට සුදුසු ක්ෂත්‍රියයකු විය යුතුය. මංගලය පැවැත්වෙන්නේ විසිතුරු කොට සරසන ලද අභිෂේක මණ්ඩපයකය. දිඹුල් ලීයෙන් කරන ලද මණ්ඩපයක් මැද එම ලීයෙන් ම කළ ආසනයක කුමරු හිඳුවා පළමු කොට ක්ෂත්‍රිය කුමාරිකාවක් ගංගා නදී ජලයෙන් පිරි දක්ෂිණාවෘත්ත සංඛය දෑතින් ගෙන කුමරුගේ හිසට ඉහළින් එය ඔසවා ඔහුගේ හිස මත අභිෂේක ජලය වත්කොට "දේවයන්වහන්ස, සියලු ම ක්ෂත්‍රිය ගණයා ඔවුන්ගේ රක්ෂාවරණය පිණිස ඔබවහන්සේ මේ අභිෂේකෝ දකයෙන් අභිෂේක කොට මහරජු බවට පත්කරති; රාජධර්මයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජකරන සේක්වා; මේ ක්ෂත්‍රිය ගණයා කෙරෙහි පුත්‍ර ස්නේහයෙන් හා අනුකම්පාවෙන් හැසිරෙන සේක්වා; ඔවුන්ගේ රක්ෂාවරණය ලැබ සුරක්ෂිතව වෙසෙත්වා"යි කියන්නීය. ඊළඟට පුරෝහිත බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ ගණයා වෙනුවෙන් ද සිටුවරයෙක් දැහැවි ගණයා වෙනුවෙන් ද එසේ ම කුමරු අභිෂේක කොට ඔහුගේ රක්ෂාවරණය ද පතා, දැහැමින් සෙමෙන් රජකරන ලෙස අයදිති.
සිංහල රජවරුන්ගේ අභිෂේක විධි භාරතීය රාජාභිෂේක විධි හා බෙහෙවින් සමාන වූ බව යට දැක්වුණු විස්තරයෙන් පෙනේ. මහාවංසටීකාවේ කියන අන්දමට මේ අභිෂේක චාරිත්‍ර ආරම්භ වුණේ දේවානම්පියතිස්ස රජුගේ කාලයෙහිය. ඉන් පෙර මෙබඳු අභිෂේක මංගලයක් නොතිබුණු බවත් කුමරකු රජපැමිණියේ නව යෂ්ටියක් ගැනීමෙන් පමණක් බවත් ටීකාවෙහි සඳහන් වේ. එහෙත් ලංකා ඉතිහාසයේ ආදි ම කාලයේ පවා අභිෂේක මංගලයක් පැවැත්වීම සිරිතක් වූ බව "සියලු ඇමතියෝ රැස්ව විධිවූ පරිද්දෙන් විජය කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළෝය.", "මයිලන්ගේ සේසත් ගෙන්වා මෙහි සයංජාත විල්හි සෝදවා ඒ විල්දියෙන් ම ඒ පණ්ඩුකාභය කුමරා තමන් අභිෂේක කරවී; ඒ ස්වර්ණපාලි නම් දේවිය ද මහේසිකා බැව්හි අභිෂේක කෙළේය." යනාදි මහාවංස පාඨවලින් ඔප්පු වේ. එහෙත් එකල අභිෂේක මංගලය පැවැත්වුණේ මහාවංසටීකාවෙහි විස්තර කෙරෙන පරිදි ම දැයි කීම උගහටය. අභිෂේකය ලබන කුමරාට අගමෙහෙසිය හැටියට ක්ෂත්‍රිය කුමාරිකාවක් සිටිය යුතු යයි ද රාජාභරණ කිරීටය, මඟුල් සේසත හා සිංහාසනය තිබිය යුතු යයි ද සලකන ලදි. අභිෂේක මංගලය සඳහා විශේෂ ප්‍රාසාදයක් අලුතෙන් කරවීම ද බොහෝ විට සිරිත විය. ඇතැම් සිංහල රජවරුන් දෙවරක් අභිෂේකය ලත් බව පෙනේ. මහාපරාක්‍රමබාහු රජු ගජබාහු රජුගේ ඇවෑමෙන් වරක් ද මානාභරණ රජුගේ ඇවෑමෙන් තව වරක් ද අභිෂේකය ලැබීම මීට නිදසුනි. දෙවන පරාක්‍රමබාහු රජ ද දෙවරක් අභිෂේකය ලත් රජෙකි. අභ්‍යන්තර කෝලාහල පැවති කාලවලදී යම්කිසි කුමරකු අභිෂේක කරන ලද්දේ ඔහු සතුරන් මැඩ ජයගෙන බලයෙහි පිහිටියායින් පසුය. "රදවැ මිණිවුට්නෙන්..ලොඋතුරා බිසෙව්නෙන් බිසෙස්වැ" (රඹෑව සෙල්ලිපිය ) "මහත් වූ රජ පෙරහරින් රාජකුමාරයන් ඇතුළු නුවරට ගෙන වොටුනු පලඳවා රාජ්‍යයෙහි පිහිටුවූහ." යානදි වශයෙන් ඔවුහු පැලඳවීමක් ගැන ඇතැම් පොතපතෙහි සඳහන් වන නමුත් අභිෂේක මංගලයෙහි දී ඔටුනු පැලඳවීම උත්සවයෙහි ප්‍රධාන අංගය නොවීය. එකල වඩා වැදගත් කොට සලකන ලද‍්දේ අභිෂේකයයි.
අභිෂේක ලබා රජ පැමිණීමෙන් පසු එම උත්සවය අවුරුද්දක් පාසා පැවත්වීම සිංහල රජුන් අතර පුරාණයේ පටන් ම පැවැති චාරිත්‍රයක් බව පෙනේ. "කාවන්තිස්ස රජ්ජුරුවෝ සූසැට විහාරයක් කරවා සූසැට වොටුන්නක් පැලඳ මළෝය"යි ථූපවංසයෙහි සඳහන් වේ. දෙවෙනි සේන රජු හේමවාලුක චේතිය (රුවන්මැලි) අසල අභිෂේක ලබා එම උත්සවය අවුරුදු පතා පැවැත්විය යුතු සේ නියෝග කළේ යයි ද දෙවෙනි බුවනෙකබාහු රජ තෙමේ අවුරුද්දක් පාසා රාජාග්‍රසම්පත්තියට යෝග්‍ය වූ තම මෞලි මංගල්‍ය කරවූයේ යැයි ද චූළවංසයෙහි දැක්වේ. අවුරුදු පස් පනසක් රාජ්‍යය විචාළ සවන පරාක්‍රමබාහු රජු ඔටුනු පස් පනසක් පැලඳි බවට සාක්ෂ්‍ය ඇත. "මහාපරාක්‍රමබාහු වැඩහුන් තැන ඔටුනු පස්පනස් දරන තුරු" යනුවෙන් ඔරුවල සන්නසෙහි හවෙනි පරාක්‍රමබාහු රජු ගැන සඳහන් වේ. මේ ගැන අදහස් ප්‍රකාශ කරන කූටෝ ඔටුනු පලන් වාර ගණන රාජ්‍ය කාලය ගිණීමට හේතු වූයේ යයි දක්වයි. මින් පෙනී යනුයේ අවුරුද්දක් පාසා එම ඔටුනු පලඳින උත්සවය පැවැත්වූ බවය.
අලුත් රාජ්‍යෝදයක් ඇරඹියේ අභිෂේක මංගල්‍යයෙන් පසුවය. රජුන් විසින් කරන ලද පරිත්‍යාග ආදිය සටහන් කරන ශිලාලිපිවල එම වකවානුව සටහන් කරන්නේ සේසත් නැංවූ අසවල් අවුරුද්දෙහි කියායි. තෝනිගල ශිලාලිපියෙහි එන "සරිමෙකවණ අබ මහ රජහ චත ලෙගිතක තිණවනක වසහි", පොළොන්නරුවේ රජමාළිගා ටැම් ලිපියෙහි දක්නා "සිරිසඟබො මහරදහු තුමා සත් ලැගු අටවන හවුරුදුයෙහි" ආදි වාක්‍ය ඛණ්ඩවලින් ඒ බව පැහැදිලි වේ.
අභිෂේක මංගලය නියමිත වත්පිළිවෙත් අනුව කළයුතු ආගමික උත්සවයක් වශයෙන් සැලකීම පෙර පටන් පැවැතෙන සිරිතය. රජකු ඔටුනු පැලඳවීමේ දී හා අභිෂේක කිරීමේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර ගැන පරණ තෙස්තමේන්තුවේ නොයෙක් තැන්වල සඳහන් වේ. ක්‍රිස්තියානි ආගම පැතිර ගිය කල යුරෝපීය රටවල අභිෂේක මංගලය ක්‍රිස්තියානි ආගමික උත්සවයක් විය. අද ද එංගලන්තය ආදි යුරෝපීය රටවල අභිෂේක මංගලයක දී ප්‍රධාන තැන ලැබෙන්නේ ආගමික වත්පිළිවෙත්වලටය. අභිෂේක මංගලයට පෙර රජකුමරා පූජකයා විසින් අඳවන ලද තාර්ව්‍ය නම් ශුද්ධ වස්ත්‍රයෙන් සැරසී උපවාසය කරමින් ආගමික වත්පිළිවෙත් පිරීම පුරාණ ඉන්දියාවේ පැවැති සිරිතකි. අභිෂේකයෙන් පසුව රජු විෂ්ණු දෙවියන්ගේ ත්‍රිවික්‍රමය අනුගමනය කරමින් පියවර තුනක් තැබීම ද ආගමික පිළිවෙතක් විය. මෙයින් ඇඟවුණේ ඔහු පෘථිවිය, වායු මණ්ඩලය හා අවකාශය ඉක්මවා ගොස් දෙව්‍ලොව සැපත් වූ බවයි.
මානව විද්‍යාත්මක විවරණය: රජවරුන් දේවත්වයෙහි ලා සැලකූ බවටත් දෙවියන් සතු ඇතැම් ගුණාංගයන් ඔවුන් කෙරේ ඇත යන විශ්වාසයක් පෙර පටන් තිබුණ බවටත් ඉතිහාසයෙන් ද මානව විද්‍යාවෙන් ද සාක්ෂ්‍ය ලැබේ. ක්‍රි.පූ.140 පමණේ දී විසූ එළාර රජු අකල් වැස්සක් නිසා වී තෙමී ගිය බව කියූ ස්ත්‍රියකගේ පැමිණිල්ල අසා සත්‍යක්‍රියා කිරීමෙන් සතියකට වරක් රාත්‍රියේ පමණක් වැසි වැස්වූ බව කියනු ලැබේ (මහාවංශය). ක්‍රි.ව.113 පමණ විසූ ගජබා රජු තම යගදාවෙන් ගසා සොළී රටට යුද පිණිස ගිය බව කියැවේ (රාජාවලිය). සීගිරි පව්වෙහි බලකොටුවක් තනා එහි වාසයට ගිය කාශ්‍යප රජු තමා කුවේරයා මෙන් සලකා ගත් බව පරණවිතාන මහතා පවසයි. මේ ආදි නිදසුන්වලින් දැක්වෙන්නේ රජුන් කෙරෙහි වූ උත්තරීමානුෂ හෝ දිව්‍යමය බලයක් පිළිබඳ විශ්වාසයයි. ස්මෘති ග්‍රන්ථයන්ගෙන් ද මෙය වඩාත් පැහැදිලි වේ. රජුන් දෙවියන් සේ සැලකීම ඇතැම් විට ඉතාමත් පැරණි ආගමික විශ්වාස අතුරින් එකක් විය හැකි යයි ඇතැම් මානව විද්‍යාඥයෝ කල්පනා කරති. රජු නරදේවයකු වශයෙන් සලකන ලද බව රජු ඉදිරියට යෑමේ චාරිත්‍ර සලකා බලන විට පෙනී යයි. රජුගේ නම කීම පවා තහනම් වීමට හේතුව මෙයයි. මෑතයුගයන්හි දී දෙවිස්වාමිදරුවන්වහන්සේ ආදි නම්වලින් රජු හැඳින්වුණේ එහෙයිනි. රාජසිංහ රජු රහසිංදෙවි හෝ රාසිංහදෙවි යි හැඳින්වුණු බව ප්‍රකට කාරණයකි.
අභිෂේක මංගලය වූකලී සාමාන්‍ය පුද්ගලයකු මෙම දේවත්වයට පරිවර්තනය කරවන පිළිවෙත සේ ගිණිය හැකියි.
පොත්පත්:
මහාවංසටීකාව
Hocart A. M. – Kingship
J. R. A. S. (C.B.) Vol, XIV. NO. 47
C. A. L. R VII, part IV.
(සංස්කරණය:1963)