අමතර ඇමති
(Minister without Portfoli) යනු නියමිත් කාර්යයක් නොතිබුණ ද, රාජ්යකටයුතු වල දි එදිනෙදා පැන නඟින ගැටලු හා ප්‍රශ්න විසඳීමට සෙසු ඇමතිවරුන්ට උපකාර වීම ඔහුගේ යුතුකමකි. යම් අවස්ථාවක දී එක්තරා විශේෂ කටයුත්තක් කළයුතු වේ නම්, ඒ ගැන සොයා බලා ක්‍රියාකළ යුත්තේ ද ඔහුය. සෙසු ඇමතිවරුන්ට සිය දෙපාර්තමේනතුවල වැඩ බහුල වූ විට මෙවැනි ඇමතිවරයන් සිටීමෙන් ඔවුන්ගේ කටයුතු බෙහෙවින් සැහැල්ලු කර ගත හැකිවේ.
බ්‍රිතාන්‍ය ආණ්ඩුක්රමය දෙස බලන විට, නිල නොමැති ඇමතිරවරුන් පත් කිරීම කලක සිට පැවතෙන සිරිතක් බව පෙනේ. අද වුව ද දෙපාර්තමේන්තුවල වැඩ බහුල වූ කල්හි රාජ්‍ය ඇමති (Minister of State) යන නමින් අමතර ඇමතිවරුන් පත් කිරීම සාමාන්‍ය සිරිත වේ. රාජ මුද්‍රා සාමිවරයා (Lord Privy Seal) කවුන්සලේ සභාපති සාමිවරයා (Lord President of the Council), ලැන්කැස්ටර් "ඈපාරට" චාන්සලර් වරයා (Chancellor of the Duchy of Lancaster) යනාදි ඇතැම් කැබිනට් සභිකයන්ට වැඩි වැඩක් පැවරී නැති බැවින්, ඔවුන් ලවා අමතර වැඩ කරවා ගත හැකි යයි ද එම නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අමතර ඇමතිවරු අවශ්‍ය නැතැයි ද සමහරු කල්පනා කරති. ඇත්තෙන් ම වර්ෂ 1929-1931 අතර කාලයේ දී පැවති ලේබර් ආණ්ඩුව යටතෙහි සේවාවියුක්තිය (රැකීරක්ෂා හිඟය) අඩු කිරීමෙහිලා වැඩ පිළිවෙලක් සකස් කෙළේ එකල රාජමුද්රා සාමිවරයාය. අමතර ඇමතිවරුන් පත්කිරීම අනවශ්‍ය යයි ඇතැමුන් සිතන නමුත්, කලින් කල අමතර ඇමතිවරු සෑහෙන ගණනක් ම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙහි සිටියෝය. 1841- 1846 අතර පැවති ආණ්ඩුව යටතේ වෙලිංටන් ආදිපාදතැන අමතර ඇමතිවරයකු වශයෙන් කැබිනට් සභිකයකු පමණක් නොව සාමි මණ්ඩලයේ සභානායකයා ද විය. ජෝන් රසල් සාමිවරයා ද නියමිත ඇමති ධූරයක් නොලත් නමුත් (1852- 1854) මහජන මන්ත්‍රි මණ්ඩලයේ සභානායකත්වය දරමින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වූයේය. 1915 සහ 1921 අතර අමතර ඇමතිවරු දහ දෙනෙක් සිටියහ.
අමතර ඇමතිවරුන් පිළිබඳ 1921 දී බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඇති වූ විවාදයක දී එකල අග්‍රාමාත්‍ය ලොයිඩ් ජෝජ් මහතා ඔවුන් ප්‍රයෝජනවත් බවට කරුණු පෙන්වා දෙමින්, එකල කාර්මික කටයුතු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු අතර පැනනැඟුණු ගැටලු විසඳීමෙහි ලා අමතර ඇමතිවරුන් කළ සේවාවේ වැදගත්කම පෙන්නා දුන්නේය. තවද, අමතර ඇමතිවරුන් කැබිනට් කොමිටි සභාවල සාමාජිකයන් හැටියට හෝ සභාපතිවරුන් හැටියට හෝ කළ වැඩ රාශිය ඉතා ප්‍රයෝජනවත් වූ බව ද ඔහු පැවසීය. 1921- 1935 අතර කාලයේ දී බ්‍රිතාන්‍යයෙහි අමතර ඇමතිවරුන් සිටියේ නැත. 1935 දී පැවති ජාතික ආණ්ඩුව යටතෙහි ප’සි සාමිවරයා සහ ඇන්තනි ඊඩන් මහත් අමතර ඇමතිවරු වූහ.
බ්‍රිතාන්‍යයේ මඅතර ඇමතිවරුන් සිටි අවස්ථා දෙස බලන විට ඔවුන් අවශ්‍ය වූයේ විශේෂ අවස්ථා සඳහා බව පෙනේ. 1852 – 1854, 1915-21, 1931-35, යන මේ කාලවල දී පැවති ආණ්ඩු සභාග ආණ්ඩු (Coalition government) විය. එක ම දේශපාලන පක්ෂයකට වත් මහා මැතිවරණයක දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැන්මට බැරි වූ විට, කිසි ම පක්ෂයකට තනිව ම ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නුපුළුවන් වෙයි. එම නිසා ඒ පිණිස වෙනත් පක්ෂවල හෝ ස්වාධීන මන්ත්‍රින්ගේ සහයෝගය ලබාගැනීමට ආණ්ඩුපක්ෂයට සිදුවෙයි. එබඳු අවස්ථාවන් හි දී සහයෝගය දෙන පක්ෂයේ නායකයන්ට සහ වෙනත් බලගතු පුද්ගයන්ට කැබිනට් මණ්ඩලයේ තනතුරු දීම අග්‍රාමාත්‍යයා අවශයෙන් ම කළයුතු දෙයකි.
1940 සහ 1945 අතර අමතර ඇමතිවරු කිහිප දෙනෙක් ම වින්ස්ටන් ච’චිල් මහතා විසින් පත්කරනු ලැබූහ. එහෙත් ඔහු ඒ තනතුරුවලට "නිල නැති ඇමති" යන නම නොයොදා "රාජ්‍ය ඇමති" යන නාමය යෙදුවේ එවකට අමතර ඇමති යන නම අවඥාවට ලක් වී තිබුණු හෙයිනි.
අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර නැත. සොල්බරි කොමිසම කෙළේ පාලන කටයුතු බෙදා වෙන් කළයුතු අයුරු සම්බන්ධව විශේෂ යෝජනා ඉදිරිපත් කිරීමයි. එහෙත් ප්‍රථම අමාත්‍ය මණ්ඩලය පිහිටුවීමේ දී පාලන පහසුකම් පමණක් සලකා කොමිෂමේ යෝජනා අකුරට ම අනුගමනය කිරීමට එකල අගමැති ඩී.ඇස්. සේනානායක මහතාට නුපුළුවන් විය. ඊට හේතුව වූයේ ඔහුගේ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට බැරිවීමයි. එබැවින් ඇමති මණ්ඩලයට පුද්ගලයන් තේරීමේ දී ස්වාධීන මන්ත්‍රීන් හා සහයෝගය දුන් වෙනත් අය කෙරෙහි සැලකිලිමත්ව ක්‍රියා කිරීමට ඔහුට සිදුවිය. පාලන පහසුකම් අනුව ඇමතිවරු 12 දෙනකු සෑහුණ ද, 13 දෙනකුට ඇමතිධූර දීමට ඔහුට සිදුවිය. ඒ නිසා අමතර ඇමති ධූරයක් ඇතිකොට, ඒ ධූරය පළමුකොට ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතාට ද ඡන්ද පෙත්සමක ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ආසනය අහිමි වී ගිය පසු, ඒ.ඊ.ගුණසිංහ මහතාට ද පවරනු ලැබිණ, ගුණසිංහ මහතා කම්කරු ව්‍යාපාරයේ නායකයකු හැටියට සලකනු ලැබූ පුද්ගලයකු වූ බැවිනුත්, වාමාංශිකයන්ට විරුද්ධව නැඟී සිටීමට තරම් බලගතු පුද්ගලයකු වූ හෙයිනුත් ඔහු තෝරා ගත් බව සිතිය හැක. කම්කරු ප්‍රශ්න පිළිබඳව ඔහු ලත් දැනුම සලකා බලන කල්හි, ඔහුගේ සේවය කොයිවිටක නමුත් ප්‍රයෝජනවත් වන බව ද අග්රාමාත්යයාට සිතෙන්නට ඇත. 1950හේ මැද හරියේ දී අමතර ඇමති යන නම වෙනුවට "රාජ්‍ය අමාත්‍යය" යන්න ව්‍යවහාරයට ආයේය. 1952 දී මහා මැතිවරණයෙන් ජයගත් ඩී.ඇස්. සේනානායක මහතා සිරිත් පරිදි ඇමති මණ්ඩලය පිහිටුවීමේ දී එම මණ්ඩලයේ ඇති කළ එක ම වැදගත් වෙනස ලෙස සර් අයිවර් ජෙනිංස් සලකන්නේ සේවාවන් ලාංකික කිරීම සම්බන්ධ කාර්ය්යයන් අමතර ඇමතිවරයාට පැවරීමයි.
ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48වන ඡේදය අනුව, අමාත්‍ය මණ්ඩලයට යටත් පිරිසෙයින් සෙනට් සභිකයන් දෙදෙනකුවත් තෝරා පත් කළ යුතුයි. මහජන මණ්ඩලයෙන් පත් කළ හැකි ඇමතිවරුන් ගණන නියම කොට නැති හෙයානුත් සෙනට් සභිකයකු, සෙනට් සභාවෙන් පත් කළ යුතු දෙවැනි සභිකයාට අමතර ඇමති ධූරයක් දීමට අවකාශ ඇති බව සර් අයිවර් ජෙනිංස් පවසයි. මෙසේ කිරීමෙන් කැබිනට් සභිකයකු වශයෙන් ප්‍රයෝජනවත් වැඩ කළ හැකි වූ, එහෙත් දේශපාලන පොරපිටියට පිවිසීමට මැළි වූ, පුද්ගලයන්ගේ සේවය ලබාගැනීමට හැකි වේ යයි සිතිය හැකිය.
ඕස්ට්‍රෙලියාව සිරිතක් වශයෙන් අමතර ඇමතිවරුන් පත් කරන රටකි. ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලයේ සභිකයන්ගේ සංඛ්‍යාව නිතරම පාහේ වෙනස් වෙයි. මෙටය එක හේතුවක් නම් "නිල නොමැති" ඇමතිවරුන් පත්කිරීමයි. "නිලනොමැති ඇමති" යන්න වෙනුවට දැන් (ඒ අමතර ඇමතිවරුන්ට) යෙදෙන්නේ "සම්මාන" (Honory) නැතහොත් "උප" (Assistant) ඇමති යන්නයි. ඕස්ට්‍රේලියාවේ අමතර ඇමතිවරුන් සිටීමට ප්‍රධාන ම හේතුව වනුයේ එහි නිතර ම පාහේ සභාග ආණ්ඩු ඇතිවීමයි. එහි ඇත්තාවූ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන වන ලේබර්, කවුන්ටි, ලිබරල් යන පක්ෂ තුනෙන් එකකට වත් බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් නුවූහ. නිතර ම පාහේ මෙකී පක්ෂවල භේද ඇතිවී කැඩී වෙන්වී යන කොටස්වලින් අලුත් පක්ෂ සෑදේ. 1955දී ද, ලේබර් පක්ෂ සභිකයන් අතර පක්ෂ නායකත්වය, සංවිධානය, ප්‍රතිපත්ති යන මේ විෂයයන් පිළිබඳ විශාල අරගළයක් ඇති විය. දේශපාලන පක්ෂවල මෙකී අසතුටුදායක තත්වය කරණකොටගෙන ස්වාධීන ඡන්ද අපේක්ෂකයන්ට පහසුවෙන් ආසන දිනාගැන්මට හැකි වී ඇත. ස්වාධීන මන්ත්‍රීන්ගේ සහයෝගය ලබාගැනීම ආණ්ඩුවක් පිහිටුවන අගමැතිවරයකුගේ යුතුකමකි. එබැවින් ඒ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ තනතුරු දීමට සිදුවේ. ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලයෙහි අමතර ඇමති ධූර ඇති කරලීමට ද එක් හේතුවක් එයයි.
(සංස්කරණය:1963)