අම්බුලුගල කුමාරයා
(පසුව වීර පරාක්‍රමබාහු VIII). (ක්‍රි.ව.) 1484 නොහොත් 1487 සිට 1508 දක්වා කෝට්ටේ මහරජුව සිටි වීර පරාක්‍රමබාහු VIII (බ.) කිරුළු පැලඳීමට කලින් ප්‍රසිද්ධ ව සිටියේ අම්බුලුගල කුමරා නමිනි. මොහු අම්බුලුගල (බ.) ප්‍රදේශයේ පාලක පදවිය දරූයෙන් අම්බුලුගල කුමාරයා හෙවත් අම්බුලුගල රජ යයි ප්‍රසිද්ධ වූ බව සිතීමට ඉඩ තිබේ. මෙකුමරු කාගේ කවුද යන්න පිළිබඳ ව සමකාලීන සාහිත්‍ය ග්‍රන්ථයන්හි හා ඉතිහාසය කෘතීන්හි එන තොරතුරු නොසැසඳීම කරණකොටගෙන එම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම දුෂ්කර ව පවතී.
මෙවක තොරතුරු ඇතුළත් කෘති සියල්ලකින් ම පෙනී යන කරුණක් නම් අම්බුලුගල කුමාරයා සපුමල් කුමරුන් ද සමඟ සවැනි පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරෙහි වැඩුණු බවය. එහෙත් මේ කුමාරවරුන්ගේ දෙමව්පියන් ගැන සඳහන් වන ප්‍රවෘත්ති එකකට එකක් වෙනස්ය. සපුමල් (සෙම්බගප්පෙරුමාල්), අම්බුලුගල යන කුමාරවරුන් දෙදෙනා සහ ලෝකනාථ දේවිය (උලකුඩය දේවි) සවැනි පරාක්‍රමබාහු රජු කීරවැල්ලෙන් ගෙනා බිසවගෙන් ලත් දරුවෝ යයි ඇතැම් ග්‍රන්ථයක සඳහන් වේ. ඉහත සඳහන් කුමාරවරුන් දෙදෙනා මලබාරයෙන් මෙහි පැමිණි පනික්කර් නම් කුමරකුට දාව සිංහල කුල ස්ත්‍රියක කුසින් උපන්හයි ද සවැනි පැරකුම්බා රජතුමා විසින් පුත් තනතුරෙහි තබා ඇතිදැඩි කරගනු ලැබූහයි ද කූටෝ අනුව යමින් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා සඳහන් කරයි. මේ අතර සපුමල් කුමරු සහ අම්බුලුගල කුමරු ගැන "රයිගම් කෝරලේ පූර්ව ප්‍රවෘත්තිය" නම් වු පොතක මෙසේ සඳහන් වේ. "දෙමටාන ගම ස්කන්ධවාර වංශ වික්‍රමබාහු රජු පරලෝසැපත් කල්හි රජහුගේ දේවිය මෙම සවැනි පරාක්‍රමබාහු රජ රයිගමට ගෙන්වා ගෙන ස්වකීය බිසව කොට ගත්තේය. තමහට ඇගෙන් දරුවන් නොලැබුණු බැවින් හේ වික්‍රමබාහු කුමරා නිසා ඈ ලත් කුමරුන් (රහල් කුමරු ?) පුත්‍ර පෙමින් වැඩී. එකුමරුන් පමණක් නොව සතර කෝරළේ ත්‍රිලෝකමල්ල රජහුගේ පුත්‍ර සපුමල් කුමරුන් ද ගම්පළ බුවනෙකබාහු නම් රජුගේ පුත්‍ර අංගම්වල (අම්බුලුගල) කුමරුන් ද දරු කොට ගත්තේය. මෙම කුමාරවරු තිදෙන ම වීදාගම විහාරස්ථානයෙහි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ." මෙනයින් බලන කල අම්බුලුගල කුමරුගේ දෙමාපියන් පිළිබඳ ප්‍රශ්නය ව්‍යාකූල ව පවතින්නක් වුව ද එකුමරු රහල් කුමරුද සපුමල් කුමරු ද සමඟ සවැනි පැරකුම්බා රජුගේ පුත් තනතුරෙහි වැඩුණු බව නිසැක ව සිතිය හැකිය.
සවැනි පැරකුම්බා රජුගේ කාලයේ දී එරජු යටත් කන්ද උඩරට පාලන බලය දැරූ ජෝතිය සිටාණ (සෝජාත) හෙවත් ජයසිංහ නම් ප්‍රදේශ රජු කප්පම් ගෙවීමාදිය නවත්වා කැරලි ගසන්නට වූයෙන් එය මර්දනය කිරීම අම්බුලුගල කුමාරයට පැවරිණ. අම්බුලුගල කුමරු කැරැල්ල මැඩ පවත්වා කැරලි නායකයන් ද අල්ලා රජුට භාර දුන්නේය.
මෙයින් පසු අම්බුලුගල කුමාරයා ගැන සඳහන් වන්නේ සවැනි බුවනෙකබාහු සමයේ දී ය. සවැනි බුවනෙකබාහු නමින් රජ පැමිණියේ සපුමල් කුමරාය. සවැනි පරාක්‍රමබාහු රජු තමා මිය යන්නට පෙර රජුගේ දියණි වූ උලකුඩය දේවියගේ පුත්‍රයාට රාජ්‍යය පවරා තිබුණේය. ඔහු දෙවන ජයබාහු (ජයවීර පරාක්‍රමබාහු) නමින් රජ විය. යාපනේ ප්‍රදේශය පාලනය කරමින් සිටි සපුමල් කුමරා මේ බව අසා කෝට්ටේ රාජධානියට පැමිණ ජයබාහු මරා සවැනි බුවෙනකබාහ නමින් රජ විය. මහාවංශ, රාජාවලී, රාජරත්නාකාර ආදී ග්‍රන්ථයන්හි සඳහන් වන මේ සිද්ධිය කූටෝ දක්වන්නේ වෙනස් ලෙසකටය.
පරාක්‍රමබාහු රජුගෙන් පසු "මහාප්‍රකූර මබයොපණ්ඩාර්" (මහා පරාක්‍රමබාහු බණ්ඩාර හෙවත් ජයවීර දෙවෙනි ජයබාහු) නැමැත්තා රජ වී යයි ද ඔහු අවුරුදු 1,1/2ක් පමණ රජකළ පසු සවැනි පරාක්‍රමබාහු රජුගේ බාල සොහොයුරු (සතර) කෝරළේ රජ පදවිය දැරූ මාදුගේ මබාගේ ප්‍රකූර කුමරා මිය ගියේ යයි ද, හිස් වූ එම පදවිය සපුමල් කුමරුන්ගේ බාල සොහොයුරාට පවරනු ලැබුයේ යයි ද කූටෝ පවසයි. එම පදවිය සමඟ ඔහුට සපුමල් කුමරාට ද වඩා උසස් තත්වයක් එනම් යුවරාජ තනතුර ලැබිණැයි ද ඉහත කී ජයවීර රජු අවුරුදු කීපයකින් පසු මිය ගියෙන්, මානසික දුබලතාවයකින් පෙළෙමින් සිටි බිළිඳු පුත්‍රයාට රජකම පැවරිණැයි ද එකුමරු නමින් රට පාලනය කළ කුමරාගේ නැන්දණියන් මඳ කලකින් පසු සපුමල් කුමරුන්ට සිහසුන පවරන ලදැයි ද සත්කෝරළේ ප්‍රදේශ රජු (අම්බුලුගල) ඊට විරුද්ධ ව පැමිණීමෙන් අර්බුද ඇති වූ නමුත් සපුමල් සවැනි බුවනෙකබා යන නමින් කිරුළු පැලැන්දේ යයි ද කූටෝ වැඩිදුරටත් සඳහන් කරයි.
සපුමල් කුමරු කෝට්ටේ ජයබාහු රජු මරා සිංහාසනයට අත්කර ගැනීමට විරුද්ධව "සිංහල පෙරළිය" නමින් කැරැල්ලක් රුහුණු රටෙහි ඇති විය. පස්යොදුන් කෝරළේ කැකුණදොළ ශ්‍රී වර්ධන පතිරාජ නමැත්තෙකු හා කූරගම හිමියනුත් මුල්වය, මේ කැරලි කෝලාහලය ඇති වූයේ. කැරැල්ල මැඩ පැවත්වීමට බුවනෙකබා නිරිඳුන් විසින් යවනු ලැබුයේ අම්බුලුගල කුමරාය. ඔහු "සිංහල පෙරළිය" මැඩලා කැරලි නායකයන් දෙදෙන අල්ලා රජුට බාර දුන්නේය. පතිරාජ සිරකරනු ලැබීය.
සවැනි බුවනෙකබා රජු ඇවෑමෙන් කෝට්ටේ රජ වූයේ, සිරකර සිට නිදහස් කරනු ලැබූ පතිරාජයන් හා කූරගම හිමියන් වෙත බාර කරනු ලැබ සිටි, රජුගේ පුත් තනතුරෙහි වැඩුණු කුමරාය. ඔහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින් රජව දස වර්ෂයකට අධික කාලයක් රජ කළ බව සිංහල ඉතිහාස ග්‍රන්ථවලින් පෙනෙතත්, ඔහු රජ කෙළේ තුන් වසක් පමණකැයි කූටෝ පවසයි.
මේ අතර බුවනෙකබාහුගේ රාජ්‍යය අපේක්ෂා කරමින් සිටි ඔහුගේ බෑයා වූ අම්බුලුගල කුමරා පණ්ඩිත පරාක්‍රමබාහු කුමරුන් පෙරළා දමා රාජ්‍යය අල්ලා ගැනීමට මාන බලමින් සිටියේය. ඔහු සතර කෝරළේ බදු ප්‍රදේශවලින් සේනා රැස් කොට ගෙනැවිත් කැළණියේ කඳවුරු බැඳගෙන සිටි බවත් රජු විසින් පතිරාජ සහ කූරගම හිමියන් යටතේ යවන ලද සේනා හීන්කෙන්ද නම් ගමේ දී පරදවා ඔහු කෝට්ටේට ඇතුළුව පණ්ඩිත පරාක්‍රමබාහු රජු නසා කිරුළ හිමි කරගත් බවත් සඳහන් වේ. මේ සිද්ධිය වූයේ 1484 දී ද නැතහොත් 1487 දී ද යන්න සැකයට භාජන වූවකි.
අටවැනි වීර පරාක්‍රමබාහු නමින් රජ වූ අම්බුලුගල කුමරා විසි වර්ෂයක් රජ කළේ ය. 1505 දී පළමුවරට මෙරටට පැමිණි ප්‍රතිකාල්වරුන්ගේ ගොඩ බැසීම වූයේ දුර්වල රජකු වූ මොහුගේ කාලයේ දීය. වීරපරාක්‍රමබාහු VIII බලන්න.
(සංස්කරණය:1963)