අමාවතුර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල භාෂාවෙන් බුද්ධචරිතය වර්ණනා කළ ග්‍රන්ථයන් අතුරෙහි ශ්‍රෙෂ්ඨ වූ ග්‍රන්ථයයි. හෙ ද නවබුදුගුණ අතුරෙන් "පුරිසදම්ම සාරථි" යන පදය විස්තර කෙරෙමින් ලියන ලද්දේය. "ආමාවතුරු" යනු මේ ග්‍රන්ථයට අන්වර්ථ සංඥායි. "අමා" යනුවෙන් පීයූෂ සංඛ්‍යාත අමෘතය ද නිවන ද කියනු ලැබෙයි. "වතුරු" නම් ඕඝයැ, හෙවත් ප්‍රවාහයි. තමහට හසු වූ යම් මැ ද්‍රව්‍යයක් මහසයුර කරා ගෙනයනු ප්‍රවාහයාගේ ධර්මතායි. මේ ග්‍රන්ථය ද සත්වයන් නිර්වාණමෘතය කරා ගෙනයන ප්‍රවාහයක් වැනි නුයි හෝ, සූක්තිරස වහනය කරන ප්‍රවාහයක් වැනි නුයි "අමාවතුරු" නම් වී. සාමාන්‍ය සංඥා විසින් "බුද්ධ චරිත" නම් වී. බුදුන්ගේ අසදෘශ වූ චරිතාපදානයෙන් ඒකදේශයක් විස්තර කරන හෙයිනි. සත්වන පරිච්ඡේදයෙහි දී ගුරුළුගෝමීන් විසින් ම "මේ බුද්ධචරිතයැ"යි දක්වන ලදී. ග්‍රන්ථාවසානයෙහි "ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුරු නම් පුරුෂදම්‍යසාරථි පදවර්ණනා"යි දක්නා ලැබෙන හෙයින් වර්ණික විෂය අනුව පුරුෂදම්‍යසාරථි පදවර්ණනා යනු ද මේ ග්‍රන්ථයෙහි සංඥායි.

"අප බුදුන් ......... තුන්ලොවෙහි සැරිසැරැ විෂම පුරුෂයන් දමා අමාමහනිවනින් පැමිණවූ සේ නොවියන් හුදී ජනන් ස‍ඳහා සියබසින් මා විසින් සැබෙවින් දක්වනු ලැබෙ"යි උද්දේස කළ හෙයින් පෙළබස නොදත් වන බැවින් නොවියන් වූ සාධු ජනයන්ගේ දැනීම සඳහා සියබසින් ග්‍රන්ථයක් කළ මැනැවැයි ගුරුළුගෝමීන්ගේ චිත්ත සන්තානයෙහි උපන් කරුණාගුණය මේ ග්‍රන්ථය ලිවීමෙහි නිමිත්ත විය.

අමාවතුරෙහි නිර්මාතෘ වූවෝ ආචර්‍ය්‍ය ශ්‍රීමත් ගුරුළුගෝමී (බ.) මහාපඬිවරයෝය. කිසි තැනෙක ගුරුළුදමි යි ද හඳුන්වනු ලැබූහ.

ගුරුළුගෝමීන්ගේ රචනා දෙකෙකි. ධර්මප්‍රදීපිකා නම් මහාබෝධිවංසපරිකථාව හා අමාවතුරු නම් පුරුෂදම්‍යසාරථිපදවර්ණනාවය. ඉනුදු ධර්මප්‍රදීපිකාව පූර්වරචනාවය. අමාවතුරෙහි දෙතැනෙක්හි මැ එය සඳහන් කොට ඇත: "මේ කර්මයන්ගේ විභාග ධර්මප්‍රදීපිකා නම් මහබෝධිවංසපරිකථායෙන් දන්නේයැ. හේ බුද්ධධර්මයැ. මේ බුද්ධචරිතයැ"යි සත්වන පරිච්ඡේදයෙහි ද, "ඔවුන් .......... රජු විසින් සියක් යොජුන් ලක්දිව රජයෙන් පුදන ලද පරිදි ධර්මප්‍රදීපිකායෙහි කී පරිද්දෙන් දතයුතු"යි නවවන පරිච්ඡේදයෙහි ද ආයේ යැ. පරිකථා ග්‍රන්ථයක් වූ ධර්මප්‍රදීපිකාවෙන් ගුරුළුගෝමීන්ගේ පෘථුල වූ බුද්ධිය මෙන් ම මහාපාණ්ඩිත්‍යය ද මොනවට පැහැදිලි වේ. ගුරුළුගෝමීහු අටුවා සහිත පෙළදහමෙහි මෙන් ම සංස්කෘත කාව්‍ය නාටකාදියෙහි ද විවිධ බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි ද නිපුණ වූ බව ධර්මප්‍රදීපිකාවෙන් හෙළි වේ. බුද්ධචරිතය ගෙනහැර පෑ කෘතියක් වන අමාවතුර රචනා කිරීමෙහි දී දීඝ, මජ්ඣිම, සංයුක්ත ආදි නිකාය ග්‍රන්ථයන් හා එම අටුවාවන් ද එසේ ම සුත්‍ර නිපාත පෙළ හා අටුවාව ආදිය ද මැනවින් ඇසුරු කළ බවට සාධක එමටය. රචනා ශෛලියෙහි දී පවා පාලි රීතියට අතිශයින් ගරු කළ බව දියරට් (=ධතරට්ඨ), මුවරමා (=මිගාරමාතු), නේවාඩු (=අනාථවඩ්ඪක) ආදි ශබ්දයන්ගෙන් ද. කලහ වැඩිකල්හි (=කලහෙ වඩ්ඪීතෙ) ගඟ පරතෙර දමා පියමි (=පාරගඩ්ගංඛිපිස්සාමි), ඉදින් තට නොබැරි වී නම් (=සචෙතෙ අගරු), දුට් ධම් ඇතිව, පත් ධම් ඇතිව, දත් ධම් ඇතිව (= දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො) යනාදි ප්‍රයෝගයන්ගෙන් ද පෙනේ. ව්‍යක්ත වූ සිංහල භාෂා ප්‍රයෝග දතැටියන් විසින් ප්‍රමාණ ග්‍රන්ථයක් වශයෙන් පරිශීලනය කටයුතු ග්‍රන්ථයෙකි අමාවතුර.

වැනිය යුතු දැයෙහි මුඛය ලක්ෂණ සරල වූ කෙටි වාක්‍යයන්ගෙන් ප්‍රාණවත් ලෙස අත්‍යුත් කර්ෂයෙන් කියාපෑම අමාවතුරු කර්තෘහුගේ සමත් කමෙකි.

"කියග තපස්විය, කායදණ්ඩ අනෙකෙක් මය හෝ වාග්දණ්ඩ අනෙකක් මය හෝ මනෝ දණ්ඩ අනෙකක්මය හෝ යි වදාළෝ", බුදුන් හා තමන් හා කළ තාක් කථා", "ගෙරින් නො ද මැරුහ, එළුවන් නො ද මැරුහ", "එකක් දෙබස් ඛණන්නා හා" යනාදි අමාවතුරු ප්‍රයෝග කිසිදු පැකිලීමක් නොමැතිව ඉච්ඡානුරූප පරිද්දෙන් පද ගැළපීමෙහි දී ගුරුළුගෝමීන් දක්වන ස්වාතන්ත්‍රයට කදිම නිදසුනකි.

ඒ ඒ වෘත්තාන්තය ඒ ඒ තැනට උචිත වර්ණනායන්ගෙන් හැඳින්වීමෙන් හෙළිවන්නේ අමාවතුරු කර්තෘහුගේ ශ්‍රෙෂ්ඨ කවිත්වය මැයි. ඖචිත්‍ය සිද්ධාන්තය අනුව සිංහල ගද්‍ය ග්‍රන්ථාවලියෙහි මුල්තැන හිමිවන්නේ අමාවතුරට බව සාහිත්‍ය විචාරකයන්ගේ පිළිගැනීමයි.

බුද්ධකාලීන සමාජය, විවිධ දෘෂ්ටි වාද හා දර්ශන, යාග හෝම විධි, මුල් බැස සිටි බමුණු බලය, පැරණි දඹදිව ආචාර විවාර ආදිය ඇතැම්විට උපහාසයට ලක් කෙරෙමින් රසවත් ලෙස වර්ණනය කරන අමාවතුරු කර්තෘ "තෝ මීයන් ඇතුළු කොට බෙර සදනා මිනිසක්හු වැන්න", "ගෙට සිරි වදුත් මෝලු ගත්තා වෙයි" යනාදි උපමාවන් යෙදීමෙන් රසවත්කම වඩාත් දියුණු කරයි.

අමාවතුර වනාහි "පුරිසදම්මසාරථි" යන පදය විස්තර කෙරෙමින් ලියන ලද දුර්දාන්තදමනයැ, ස්වසන්තානදමනයැ, පරසන්තානදමනයැ, ගහපතිදමනයැ, බ්‍රාහ්මණදමනයැ, රාජදමනයැ, චෝරදමනයැ, පරිබ්‍රාජකදමනයැ, මාණවකදමනයැ, භික්ෂුදමනයැ, නාගදමනයැ, යක්ෂදමනයැ, අසුරදමනයැ, දේවදමනයැ, බ්‍රහ්මදමනයැ යන අටළොස් පරිච්ඡේදයෙකින් පරිමිත වූයේය.

අමාවතුරෙහි "අප බුදුන් පැරුම් පුරා"යි ද "බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ"යි ද "එහි වෙසෙමින් තුන්ලොව්හි සැරිසැරැ විෂමපුරුෂයන් දමා අමාමහනිවන් පැමිණවූ සේ"යි ද උද්දේස පද තුනෙකි. එහි පළමුවන පදය නිද්දේස කෙරෙමින් පැරුම්බිම්හි සිට දුර්දාන්ත සත්වයන් දැමූ සේ දක්වන්නට ජාතකකථා දෙසියපහක් පමණ ඇරැ පාමින් පළමුවන පරිච්ඡේදය ලියන ලද්දේය. දෙවන පදය නිද්දේස කෙරෙමින් තුසීතපුරෙහි උපන් තැන් සිට බුදුවීම තෙක් ස්වසන්තානදමන නම් දෙවන පරිච්ඡේදය හා එතැන් සිට දෙව්රම් වෙහෙර පිළිගැනීම තෙක් පරසන්තානදමන නම් තුන්වන පරිච්ඡේදය දක්වන ලද්දේය. තුන්වන උද්දේසපදය නිද්දේස කරන්නට ගෘහපතිදමන නම් පරිච්ඡේදය පටන් ඉතිරි පසළොස් පරිච්ඡේදය ලියන ලද්දේය. එහිදු සතරවන පරිච්ඡේදයෙහි උපාලි මහසිටුහු දමනය කළ පරිදි ද, පස්වැන‍්නෙහි කූටදන්ත බමුණු දමනය කළ පරිදි ද, අජාසත් රජු දමනය කළ සැටි ද, සත්වැන්නෙහි අංගුලිමාලදමනය ද, අටවැන්නෙහි සභිය පරිව්‍රාජකදමනය ද, නවවැන්නෙහි සච්චකදමනය ද, දසවැන්නෙහි දික්සඟියැ පාඨිකසූත්‍රයෙහි දැක්වෙන කෝරක්ඛත්තිය, කලාරමට්ඨුක, පාඨිකපුත්‍ර යන ආජිවකයන්ගේ ප්‍රවෘත්ති හා පාඨිකපුත්‍රසමාගමය ද, එකොළොස්වැන්නෙහි සච්චබද්ධදමනය ද, දොළොස්වැන්නෙහි බාවරි හා ඔහු අතැවැසි සොළොස් තවුසන් දමනය ද, පාරායනසමාගමය ද, තෙළෙස් වැන්නෙහි පන්සියක් ශාක්‍යභික්ෂූන් දමනය හා මහාසමය දේශනාව ද, තුදුස්වැන්නෙහි නන්දෝපනන්දදමනය හා නාලාගිරිදමනය ද, පසළොස් වැන්නෙහි ආළවකදමනය ද, සොළොස්වැන්නෙහි රාහුඅසුරදමනය ද, සතළොස්වැන්නෙහි ශක්‍ර දමනය ද, අටළොස්වැන්නෙහි බකබ්‍රහ්ම දමනය ද දක්වන ලද්දේය.

පාලි අර්ථය නොපිරිහෙළා සිංහලයට අනුරූප වන සේ පරිවර්තනය කිරීමේ ශක්තියෙන් ගුරුළුගෝමීන් පසු බාන්නට සමත් වූ අන් ඇදුරකු නොවූ බඳුය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමාවතුර&oldid=2191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි