අඹේපුස්ස
කොළඹ සිට මහනුවර දක්වා වැටී ඇති දුම්රිය මාර්ගයෙහි පිහිටි එනම් දුම්රිය නැවතුම්පොළ අවට ඇති කුඩා නගරය ද, එයින් සැතැපුම් තුනක් පමණ ගිනිකොනින් කොළඹ-නුවර සහ කොළඹ-කුරුණෑගල යන මහා මාර්ග එකතු වන සන්ධිස්ථානය ද අඹේපුස්ස යනුවෙන් හැඳින්වෙයි. අඹේපුස්ස පිහිටා ඇත්තේ සබරගමු පළාතේ සතරකෝරළේ බද නැගෙනහිර බෙලිගල් කෝරළේය. දුම්රියපොළට කොළඹ සිට දුර සැතැපුම් 34¼කි. එය මුහුදු මට්ටමේ සිට අඩි 180ක් උසින් පිහිටියේය. පළමුවන වරට දුම්රිය මේ ස්ථානය කරා පැමිණියේ 1866 දී ය. කීණදෙණිය යන නමින් කලින් හැඳින්වුණු මේ නගරයට දුම්රියපොළේ නම ම ස්ථිර වශයෙන් ව්‍යවහාර වන්නට විය. දුම්රියපොළේ සිට සැතැපුම් ½ක් නැගෙනහිරින් විශාල ගල් වළක් වෙයි. මහඔයෙහි දකුණු ඉවුරෙන් එම ගඟට එකතු වන කුඩාඔය බඩ පිහිටි අඹේපුස්ස මංසන්ධිය කොළඹ සිට සැතැපුම් 36¼ක් දුරින් පිහිටා තිබේ. ඒ අසල තානායමක් ද වෙයි. කොළඹ-නුවර අශ්වකෝච්චි සේවය පවත්නා කාලයේ දී අඹේපුස්සට නුදුරු වූ මහහේන එම මාර්ගයෙහි ප්‍රධාන නැවතුම්පොළ විය.
පත්තිනි දේවියට කැප වූ විශාල දේවාලයක් ද දේවගිරි නම් පැරණි විහාරයක් ද මේ සමීපයෙහි වේ. අඹේපුස්සෙහි සතුන් ඇති කරන ගොවි පළක් වෙයි. එය පශුවිද්යා පර්යේෂණ ස්ථානයක් වශයෙන් ද පශුපාලනය පුහුණු කරවීමේ මධ්‍ය ස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය.
අවට ප්‍රදේශයෙහි උස්බිම්වල රබර් සහ පොල් වැවේ. ඇළබඩ තැනිතලාව වී වවනු ලැබේ. දුම්රියපොළේ සිට සැතැපුම් දෙකක් ඇතුළත නිරිත දිගින් පිහිටි බෝතලේ ගම්මානයෙහි මිනිරන් හාරනු ලැබේ.
(සංස්කරණය:1963)