අල්හම්බ්‍රා මාළිගය
අල්හම්බ්‍රා මාළිගය ගොඩනංවන ලද්දේ පැරණි බලකොටුවක් තුබූ ස්ථානයකය. මාළිගය පිහිටි කඳුමුදුන වටා රතු ගඩොලින් බඳනා ලද අට්ටාල සහිත ප්‍රාකාරයක් විය. මීට රතු මාළිගය යන අර්ථය ඇති අල්හම්බ්‍රා නාමය යෙදුනේ රතු ගඩොලින් සැදි බිහි පවුර නිසා යයි සලකනු ලැබේ. මෙම මාළිගය අධිකරණ මණ්ඩප, පූජා ගෘහ, ස්නානාගාර හා වෙනත් නොයෙක් මන්දිරයන්ගෙන් සමන්විත විය. එළිමහන් මැද මිදුලක් වටා පිහිටි ශාලාවන් නිසා සිංහ-අංගණය සුප්‍රසිද්ධය. ශාලා මධ්‍යයෙහි සිංහයන් විසින් උසුලා ගෙන සිටිනා ආකාරයක් දක්වන දැකුම්කලු වතුර මලක් වේ. ගොඩනැඟිලිවල පිටත ඉතා චාම් වුව ද ඇතුළත වූ ආරුක්කු සහිත දොරටු, බිත්ති, වහල ආදි සියල්ලක් ම දර්ශනීය කැටයමින් හා මල්ලියකමින් අලංකෘතය. මෙහි කුලුනු සියල්ල ම කිරිගරුඬින් නිමවන ලදි. ඇතුළත දක්නට ඇති එම දර්ශනීය සැරසිලි 1354 දී පරලෝ සැපත් පළමු වැනි යූසුෆ් රජුගේ පාලන සමයට අයත්ය.
අල්හම්බාව ක්‍රිස්තියානින්ට විරුද්ධව සටන් කළ මුවර්වරුන්ගේ අවසාන යුරෝපීය බලකඳවුර විය. 1492 දී ස්පාඤ්ඤ රාජ්‍ය පාලකයන් විසින් අල්ලා ගනු ලැබීමෙන් පසු අල්හම්බා මාළිගය ක්‍රිස්තියානි දෙව් මැදුරක් බවට පරිවර්තනය විය. වරින් වර සතුරු ආක්‍රමණයන්ට ගොදුරු වූ මෙය 1821 දී ඇති වූ භූමිකම්පාවක් නිසා බොහෝ දුරට විනාශ විය. 1828 දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදි. යුරෝපයේ පැරණි මුස්ලිම් මාළිගා අතුරෙන් අග්‍රගණ්‍ය යයි සැලකෙන්නේ අල්හම්බ්‍රා මාළිගයයි.
(සංස්කරණය: 1965)
