අලුත්ගම ශ්‍රී සීලක්ඛන්ධ මහනාහිමි
(1848-1924). ශ්‍රී බෞද්ධ සිද්ධාන්ත්රාචාර්ය කළ්යාණවංශාවතංස ධර්මරක්ෂිත චන්ද්‍රකීර්ති ශ්‍රි සීලක්ඛන්ධ මාහිමිපාණන් වහන්සේ දොඩන්දූවේ ශෛලබිම්බාරාම මහා විහාරාධිපති ව වැඩ වෙසෙමින් ශ්‍රී කළ්යාණවංස (අමරපුර) නිකායෙහි මහනායක ධූරය දැරූහ. අලුත්ගම ශ්‍රී ශීලක්ඛන්ධ නමින් ප්‍රකට වූ මුන් වහන්සේ, ගරු දොඩන්දූවේ පියරතන නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා ය. කළුතර තොටමුණබද අලුත්ගම පෙදෙසෙහි දී 1848 දී උපන් මෙතුමාගේ පියා වූයේ 'නානායක්කාරවසන් සෙම්බකුටිටිකන්කානම්ගේ දොන් බස්තියන් ප්‍රනාන්දු' ය.
නව හැවිරිදි වියේ දී දෙමාපියන් විසින් මෙම දරුවා දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි වැඩ විසූ ගරු දොඩන්දූවේ පියරතන මාහිමියන්ට භාර දෙන ලදුව උගත යුතු සාමණේර බණ දහම් හදාරා බෙන්තොට ගඟේ සෑදවූ විසිතුරු තුන්මහල් මණ්ඩපයක දී මහෝත්සවයෙන් පැවිදි බිමට පත් විය. ප්‍රතිභා ශක්තියෙන් හා ධාරණශක්තියෙන් අනූන වූ මෙම හෙරණපාණෝ පළමුව උඩුගල්පිටියේ මහා ස්වාමීන් වහන්සේ වෙතින් ද පසුව පියරතන මාහිමියන් වෙතින් ද අධ්‍යාපනය ලැබූහ. එකල දුර්ලභව පැවැති මොග්ගල්ලාන වෘත්තිය, විරිත සන්නය, පදධානය, පයෝගසිද්ධි ආදි මෞද්ගල්යානව්යාකරණය පිළිබඳ පොත්පත් මහත් පරිශ්‍රමයෙන් ලබා ගෙන එම ව්‍යාකරණයෙහි මහත් ප්රවීණත්වයක් ලබා ගත්හ.
විසිවස් සපිරුණු මුන් වහන්සේ බු.ව.2410 දී දොඩන්දූව ශෛලබිම්බාරාමාසන්න උදකුක්ඛේප සීමා මාලකයේ දී ගරු මිරිස්සේ ධම්මානන්ද නාහිමිපාණන් උපාධ්‍යාය කොට උඩුගල්පිටියේ මහා ස්වාමීන් වහන්සේ, දොඩන්දූවේ පියරතන මාහිමි, වැලිගම සිරිසුමඞ්ගල මාහිමි යන තෙනම කර්මවාගාචාර්ය කොට එක්සතළිස්නමක් වූ කල්‍යාණිවංශික භික්ෂු සංඝයා වෙතින් උපසම්පදා භූමියට පත් වූහ.
මේ අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා මහත් අධ්‍යාශයකින් ක්‍රියා කළ සීලක්ඛන්ධ මාහිමිපාණෝ භාරතවාසී තාරානාථ තර්කවාචස්පති පඬිතුමා දැන හඳුනා ගෙන දොඩන්දූව ශෛලබිම්බාරාමයේ වැඩ විසූ මාවැල්ලේ ගුණනාන්ද මාහිමියන් 1873 දී ඉන්දියාවේ කල්කටාවට යවා උන්වහන්සේ හරහා ලිපිලේඛන පොත්පත් ගෙන්වා ගනිමින් වසර හතරක් පමණ අධ්‍යාපනය ලැබූහ. මේ වන විට ශාස්ත්‍රීය විද්වතකු ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටි සීලක්ඛන්ධ මාහිමියන් වෙත පැමිණි රුසියානු ජාතික මිනැයොෆ්, එංගලන්ත ජාතික රීස් ඩේවිඩ්ස්, ඇමෙරිකන් ජාතික පෝල් කේරස් වැනි පඬිවරුන් විටින් විට මුන් වහන්සේ හමුවී භාෂා, ආගම් පිළිබඳ සාකච්ඡා සංවාද පවත්වා ඇත. ඉන්දියාවේ රාස්විහාරී මුඛ්යොපාධ්යාය, ශ්‍රීමත් වෙඞ්කටරඞ්ගනාථස්වාමී, කොල්හපුර අප්පශාස්ත්රී විද්යාවාචස්පති වැනි පඬිවරුන් මුන් වහන්සේ පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් සටහන් තබා තිබේ. ඉන්දියාවේ කල්කටාවේ සංස්කෘත විද්යාමන්දිරයේ ප්‍රධානාචාර්ය ශතිස්චන්ද්ර විද්‍යාභූෂණ පඬිවරයා සීලක්ඛන්ධ මාහිමියන් හමුවීමට දොඩන්දූව ශෛලබිම්බාරාමයට පැමිණි අවස්ථාවක කථාවක් පවත්වමින් සඳහන් කොට ඇත්තේ මුන් වහන්සේ නිසා දොඩන්දූව නගරය ඉන්දියාවේ ප්‍රකට ව ඇති බවයි. ලෝකාර්ථ චර්යාවෙහි නියුතු අසහාය පඬිවරයකු වූ සීලක්ඛන්ධ මාහිමියෝ බොහෝ කලක් ජීවත් වෙත්වා’යි ආශංසනය ද කොට තිබේ.
සීලක්ඛන්ධ මාහිමි දේශ දේශාන්තර ව්‍යාප්ත කීර්තීමත් මහ පඬිවරයාණන් කෙනෙකි. ග්රන්ථ රචනය, පරිවර්තනය, ව්‍යාඛ්‍යාන සම්පාදනය, ග්රන්ථ සංස්කරණය, පෞරාණ ග්රන්ථවලට ටීකා සම්පාදය, ගිහි පැවිදි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබාදීම ආදී කටයුතු මගින් විශාල ධර්මශාස්ත්‍රීය සේවයක් සිදු කොට ඇත. ඒ අතර බුද්ධවංශය, අත්තනගලුවංශය, සුගතවිදත්ථිවිධානය, විදග්ධමුඛමණ්ඩනය, රාජප්රශස්තිය, දශරූපාවතාරය, හංසදූතකාව්යය, ප්රශ්නසාරය, බාලාවබෝධනය, රඝුවංශය යන ග්රන්ථයන්ට ව්‍යාඛ්‍යාන සම්පාදනය කළහ. තව ද විසුද්ධිමග්ග, ධම්මපදය, දෛවඥකාමධෙනුව, විශ්වප්රකාශය, වෘත්තරත්නාකරපඤ්චිකාව යන ග්රන්ථ සංස්කරණය කොට නාගරී අක්ෂරයෙන් මුද්‍රණය කොට පළ කළහ. භක්තිශතකය, අනුරුද්ධශතකය, වෘත්තමාලාඛ්‍යාව, ත්රිකාණ්ඩශේෂ(කොෂ)ය යන ග්රන්ථවලට සංස්කෘත ටීකා ලියන ලද අතර මූලග්‍රන්ථ සමඟ නාගරී අක්ෂරයෙන් මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කළහ. තව ද සද්ධර්මමකරන්ද (නම් බුද්ධචරිතය අළලා රචිත විශාල ග්‍රන්ථය) රාජරාජේශ්වරප්රශස්ති, ශ්රීමඞ්ගලාෂ්ටක, වරමඞ්ගලාෂ්ට යන ග්රන්ථ සංස්කෘත භාෂාවෙන් ම සම්පාදය කළහ. උන්වහන්සේ මෙලෙස මෙම ග්රන්ථ සම්පදානය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ භාරතවැසියන් තුළ බුදුසමය පිළිබඳ දැනුම හා ගරුත්වය ඇතිකරලීමයි. ඊට අමතරව උපදේශවාක්යමඤ්ජරිය හා කායගතාසති යන ග්රන්ථ සිංහල භාෂාවෙන් රචනා කොට ඇත.
සීලක්ඛන්ධ මාහිමිපාණන්ගේ ප්රවෘජ්යාචාර්ය ගරු දොඩන්දූවේ පියරතනතිස්සාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් හිස් වූ එම පදවියට බු.ව. 2450 (ක්‍රි.ව. 1905) දී අමරපුර කල්‍යාණවංස නිකායේ මහානායක පදවිය 'කල්යාණීවංශාවතංස ධර්මරක්ෂිත චන්ද්‍රකීර්ති' යන ගෞරව උපාධිනාම සහිතව මුන් වහන්සේට හිමි විය.
පොළොන්නරු යුගයේ වැඩ සිටි ඒකශ්රැතිධාරී ශාරිපුත්රසංඝරාජ මාහිමියන්ගෙන් පසු සංස්කෘත භාෂාවෙන් ග්රන්ථ රචනයට පැමිණි එක ම සිංහල පඬිවරයා ලෙස මුන් වහන්සේ සලකනු ලැබෙති. සාරස්වතීමණ්ඩප නම් විද්‍යාලයෙහි ධර්මශාස්ත්රෝද්ග්රහණයට නොයෙක් පළාත්වලින් පැමිණි බොහෝ ගිහිපැවිදි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමෙන් සීලක්ඛන්ධ මාහිමියෝ විශාල අධ්‍යාපනික සේවාවක් ද සිදු කළහ.
සංස්කෘත භාෂා විෂයයෙහි මුන් වහන්සේ දැක්වූ විශාරදත්වය හේතුවෙන් භාරතීය පඬිවරුන්ගේ විශේෂ සැලැකිල්ලක් මුන් වහන්සේට පැවැතිණ. ඒ අතර අප්පාශාස්ත්රීවිද්යාවාචස්පති ආදි භාරතීය පඬිවරුන් විසින් 'ශ්‍රී බෞද්ධසිද්ධාන්තාචාර්ය' යන ගරු නාමය පිරිනමා ඇත. සීලක්ඛන්ධ මාහිමියන්ගේ පාණ්ඩිත්‍යය හා බුදුදහමේ උන්නතිය සඳහා සිදු කළ අනල්ප සේවයට උපහාර වශයෙන් ප්රාපරමින්ද චූලාලඞ්කාර සියම් මහරජු විසින් සිවුරු පිරිකර රැසක් ද වටිනා පිළිම තුනක් ද තම පියා වූ වජිරඤාණ මහරජුගේ හා තමාගේ පින්තූර දෙකක් ද ලංකා රජය බාරයේ මෙතුමා වෙත ප්රදානය කොට ඇත. අයෝධ්‍යාවේ ප්‍රතාපසිංහ මහරජු සීලක්ඛන්ධ මාහිමියන් වෙතින් ප්‍රශ්න කිහිපයක් අසා ඊට ලැබුණු පිළිතුරුවලින් ප්‍රසාදයට පත්ව සංස්කෘත ග්රන්ථ 11ක් ද සිය ඡායාරූපයක් ද මුන් වහන්සේගේ පාණ්ඩිත්‍යය වර්ණිත ශ්ලෝක 24කින් යුත් ප්‍රබන්ධයක් ද තුටු පඬුරු වශයෙන් එවා තිබේ.
එමෙන් ම මුන් වහන්සේ තුළ පැවැති ඉමහත් ධෛර්යය ගැන පැහැදුණ පණ්ඩිත ඩබ්.ඇෆ්. ගුණවර්ධන වාසලමුදලිතුමන් සිය 'ගුත්තිලකාව්යවර්ණනා' සංඥාපනයෙහි විශේෂ ගුණවර්ණනාවක් සිදු කොට තිබේ.
සිය ජීවිත කාලය තුළ උපරිම ශාසනික, අධ්‍යාපනික හා සාමාජීය සේවයක් ඉටු කොට තම කිතුගොස දිගුකලක් පවත්වා ගෙන යා හැකි ශිෂ්‍ය සමූහයක් සසුනට දායාද කොට වසර 77ක් ආයු වළඳා ක්‍රි.ව. 1924 පෙබරවාරි 3 වෙනි ඉරු දින ප.ව. 6.30ට පමණ තම විහාරස්ථානය වූ දොඩන්දූව ශෛලබිම්බාරාමයේ දී මුන් වහන්සේ කීර්ති ශේෂෝපගත ව අපවත් වී වදාළහ.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1968)
(සංස්කරණය නොකළ)