අශ්වමේධය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අතීත ඉන්දියාවේ ඇතැම් හින්දු භක්තික රජවරුන් විසින් පවත්වන ලද යාගයකි. අශ්වයකු බිලි කිරීම ප්‍රධාන උපහාරය කොට ඇති මේ සුප්‍රසිද්ධ යාගය වෛදික යාග කර්ම අතුරෙන් වැදගත් ම යාග පූජාව ලෙස සැලකිය හැකිය. හින්දු ලබ්ධික රජකු පිළිබඳ වර්ණනයක් කිරීමේ දී "මොහු වනාහි අශ්වමේධය පැවැත්වු නරේන්ද්‍ර යෙකැ"යි කිය හැකි නම්, එය ඔහු පිළිබඳව කළ හැකි උසස් ම වර්ණනයයි. රජ පෙළපත අඛණ්ඩව පවත්වා ගැනුම සඳහා පුතුන් ලබා ගැනීම, රජු සියලු යසඉසුරු ලබාගැනීම, ඔහුගේ සියලු අභිලාෂ මුදුන්පත් කරගැනීම, බල ප්‍රතාප වර්ධනය සහ අධිරාජ්‍ය වර්ධනය යාගයෙහි අරමුණ වූයේය. අශ්වමේධ සියයක් පැවැත්වූ රජකුට ඉන්ද්‍ර දෙවියා පවා පරදවා මුළු සක්වළ තුළ ම සිය අණසක පැවැත්විය හැකි යයි එකල විශ්වාස කරන ලදි.

ප්‍රධාන යාගය සඳහා පුරා දවස් තුනක් කැප කරනු ලැබේ. එයට සූදානම් වීම සඳහා අවශ්‍ය ප්‍රාරම්භක පුදපූජා මුළු අවුරුද්දක්, නැතහොත් ඇතැම් විට දෑවුරුද්දක් මුළුල්ලේ පැවැත්වේ. වෙනත් සුළු සුළු යාගකර්ම කිහිපයක් අලළා කරන සෝම මහායාගයක් වූ එය සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ නවම් මාසයේය. එයට සහභාගි වන පූජකවරු සිව්දෙනෙක් වෙති. නොයෙක් පෙළපත්වලින් හා තරාතිරම්වලින් තෝරා ගනු ලබන යුවතියන් භාරසිය දෙනකුගෙන් සමන්විත පිරිවරක් සමඟ මෙහෙසියෝ සිව්දෙන ද බලා සිටින්නන් විශාල සංඛ්‍යාවක් ද ඊට සහභාගි වෙති.

ප්‍රාරම්භක කටයුතු නිම වූවායින් පසු, ශරීරයේ පූර්වභාගය කළු පැහැති වූත් උත්තරභාගය සුදු පැහැති වූත් අශ්වයෙක් යාගභූමිය මැදට ගෙනඑනු ලැබේ. ඉන් පසු පහත් කුලයක මිනිසකු ලවා "සීධුක" ලීයෙන් සාදන ලද පොල්ලකින් ගසා මරන ලද බල්ලකුගේ මළකඳ අශ්වයාගේ පා මැදට වීසි කර දමති. අනතුරුව තවත් පූජා කිහිපයක් පවත්වා අවසාන වූවායින් පසු අශ්වයා මහලු අශ්වයන් සියදෙනකු සමඟ නිදැල්ලේ සැරිසැරීම පිණිස මුදවා හරිනු ලැබේ. මෙහෙසියන්ගේ පරිවාර ස්ත්‍රීන්ට සම්බන්ධ පෙළපත්වලින් ම තෝරා ගනු ලබන තරුණයන් හාරසිය දෙනෙක් අශ්වයාගේ ආරක්ෂාව සඳහා ඌ කැටිව යති. මොව්හු තම තමන්ගේ තරාතිරම් අනුව සන්නාහ සන්නද්ධ වී කඩු හෝ ඊතල හෝ පොලු හෝ රැගෙන ගමන් කරති. අශ්වයාට අනතුරක් සිදු වීමට ඉඩ නොදී ඌ රැක බලා ගැනීම මොවුන්ගේ යුතුකමයි. විරුද්ධත්වයක් නොමැතිව අසු ඇතුළු වන සෑම ප්‍රදේශයක් ම අශ්වමේධය කරන රජුට යටත් හැටියට පිළිගනු ලැබේ. යම් කිසිවෙක් අසුට විරුද්ධකම් පෑවේ නම් එය රජු හා යුද්ධයට කරන අභියෝගයක් සේ සලකනු ලැබේ. සැරිසරන කාලය තුළ නැහැමට හෝ වෙළඹක් හා සංවාසයේ යෙදීමට හෝ අශ්වයාට අවකාශ නොදෙනුයේ යාග බිල්ල වශයෙන් ඌ කෙරෙහි ඇති කරන ලද පවිත්‍රතාව ඉන් නැති වී යා හැකි හෙයිනි. අශ්වයා යම් හෙයකින් මළහොත් වෙනත් අශ්වයකු සොයා ගෙන ඌ වෙනුවෙන් සුළු පූජා කිහිපයක් නැවතත් පැවැත්විය යුතුයි. අශ්වයා මෙලෙස සැරිසරමින් පුරා වසරක් ගත කරන අතර, යාගභූමියේ නැවතී සිටින අය ආඛ්‍යානකථන, තූර්යවාදන, පුද පූජා පැවැත්වීම යනාදියෙන් උත්සව ලීලායෙන් කල් ගෙවති. අවුරුද්දකට පසු අශ්වයා ආපසු මුල් තැනටම ගෙන එනු ලැබේ. දොළොස් දවසක් තිස්සේ "දීක්ෂාව" හෙවත් යාගයට සූදානම් වීම පිණිස කළයුතු ආගමික කටයුතු සියල්ල පැවැත්වේ. ඉන් පසු තවත් දොළොස් දවසක් තිස්සේ "උපසද්" නම් යාගය පවත්වති. මෙය වනාහි "සුත්‍යාවට" හෙවත් සෝම පැළෑටිය අඹරා යුෂය වත් කර ගැනීමේ චාරිත්‍රයට කලින් කළයුතු යාග විශේෂයකි. ඉන් පසු තෙදින සෝමයාගය පිණිස කැප වේ. එයින් දෙවන දිනයෙහි අශ්වමේධයේ කුළුගැන්වීම සිදුවෙයි. අශ්වයා අශ්වධේනුන් කිහිපදෙනකුන් මැදට පමුණුවනු ලැබේ. අනතුරුව අශ්වයා සුවර්ණ රථයකට යොදා පොකුණක් ළඟට ගෙන ගොස් උගේ බෙල්ලේ කේශරවලත් වලිගයේත් මුතු ඇට 101ක් සවි කරති. ඉන්පසු බොහෝ ලේ වැගිරීම කෙරෙන සත්ත්ව ඝාතනයට කාලය එළඹෙයි. අනේකවිධ තිරිසනුන් විශාල සංඛ්‍යාවක් (එක් ග්‍රන්ථයකට අනුව හීලෑ සතුන් 327 දෙනකුගෙන් හා කැළෑ සතුන් 282 දෙනකුගෙන් යුත් සතුන් 609 දෙනෙක්) අශ්වයා සිසාරා ස්තම්භවල බඳිනු ලැබේ. හීලෑ සතුන් ජීවිතක්ෂයට පත් කරන අතර කැළෑ සතුන් මුදවා හරිනු ලබතැයි කියති. අශ්වයා රෙද්දකින් වසා හුස්ම හිර කිරීමෙන් මරුමුවට පත් කරනු ලැබේ. මෙහෙසියෝ උගේ මළ කඳ ප්‍රදක්ෂිණා කරති. ඉක්බිති අගමෙහෙසිය උගේ මළකඳ පාර්ශ්වයෙහි හොවින්නීය. එවිට ඇයත් අශ්වයාගේ මළකඳත් රෙද්දකින් වසා දමති. මෙයින් අදහස් කරනුයේ ඒ දෙදෙන සංවාසයේ යෙදී සිටින බවයි. යාග නිලධාරීන් හා යජමානයා අතර ගුප්තාර්ථ සංවාදයක් කෙරෙන අතර පූජකවරුන් හා එහි බලා සිටින ස්ත්‍රීහු අසභ්‍ය වචන හුවමාරු කර ගනිති. වපාව හෙවත් ආන්ත්‍රච්ඡදය පුද කිරීම, අශ්වයාගේත් බිලි කරන ලද වෙනත් සතුන්ගේත් මළකඳන් කපා කොටස්වලට වෙන් කිරීම, රුධිරය පූජා කිරීම යනාදී කටයුතුවලින් දෙවන දිනය අවසාන වේ. තෙවන දිනයේ "අතිරාත්‍ර" නම් පූජාව පැවැත්වීමෙන් යාගය සමාප්ත කරනු ලැබේ. ඉන් පසු යාගය පැවැත්වීමේ දී යම් වැරදි සිදුවිණි නම්, ඒ සියල්ලට ප්‍රායශ්චිත්ත කර්මයක් වශයෙන් අපරාධකරුවන් හා පව්කරුවන් ලවා "අවභාථ" නමැති යාග චාරිත්‍රය පවත්වනු ලැබේ. අවසාන වශයෙන්, වඳ එළදෙනුන් 21 දෙනෙකු බිලි කිරීමේ යාගයක් පැවැත්වේ. ඉන් පසු පූජකවරුන්ට දක්ෂිණාව හෙවත් තෑගිබෝග බෙදා දෙනු ලැබේ. මෙහි දී ඇතැම් විට යජමානයාගේ භාර්යාවන් ද ප්‍රදානය කිරීමට සිදු වේ. අධිවර්තී නමැති පූජකයාට යජමානයාගේ දුවක සරණ පාවා දිය යුතුයි. සිව් වන මෙහෙසිය ද ඔහුට අයිති වෙයි.

අශ්වමේධ යාගය පැවැත්වීමේ මුල් පරමාර්ථය කුමක් වී දැයි නිශ්චය වශයෙන් නොකිවහැකිය. මේ පිළිබඳ පඬිවරුන් ඉදිරිපත් කොට ඇති මත බොහෝයි. ඕල්ඩන්බ'ග් පඬිතුමාගේ මතයට අනුව යුදකාමී රණශූරයන් තම ඉටු දෙවියා වන ඉන්ද්‍රදේවයාට කරන අශ්ව පූජාවකි මේ. යාගය පවත්වන තැනැත්තාට එයින් යම්කිසි ගුප්ත බලයක් ලැබෙන බව එකල මිනිසුන් විශ්වාස කරන්නට ඇතැයි ඔහු කියයි. ඔහුගේ මතය පරිදි සුනඛයකුගේ ඝාතනය යක්ෂ දිෂ්ටි හා සතුරු බල දුරු කිරීම පිණිසයි; නැතහොත්, දේශාටනය කරන අශ්වයාට ආරක්ෂකයකු සපයා දීම පිණිසයි. අගමෙහෙසිය අශ්වයාගේ මළකඳ ළඟ හොවීමෙන් අදහස් කර ඇත්තේ එයින් ඇගේ සශ්‍රීකත්වය නොහොත් ප්‍රජනන ශක්තිය වැඩි දියුණු කිරීමයි. අසභ්‍ය වචන හුවමාරුවත් මේ අදහසින් ම, නැතහොත් දෙවිවරුන්ට විනෝදය සැපයීම පිණිස කෙරිණැයි යනු ඕල්ඩන්බ'ග් මහතාගේ මතය වේ.ෆොන් නේග්ලයින් පඬිතුමාගේ මතය මෙයට ඉඳුරා ම වෙනස් ය. අශ්වයකු ලෙස සලකනු ලබන සූර්‍යයාට අහසෙහි දිනපතා ගමන්කිරීම සඳහා ශක්තිය ඇතිකිරීමේ අදහසින් මෙම යාගය පැවැත්වීම එකල සිරිත වී යයි ඔහු කියයි.

අශ්වමේධයේ මුල් පරමාර්ථය කුමක් වුවත් එය රාජකීය මහ උළෙලක් ලෙස පැරණි ආර්යාවර්තයේ මිනිසුන් සැලකූ බව පැහැදිලිය. රාජ්‍යයටත් රටවැසියනටත් සෞභාග්‍යය උදා කරදීමේ නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු මෙය ජයපාන මන්ත්‍ර විධියක් වන අතර සශ්‍රීකත්වය දියුණු කිරීමේ උපායක් ද විය.

(කර්තෘ: ඇම්.එච්.ඇෆ්. ජයසූරිය)

බෞද්ධ මතය

අශ්වමේධ යාගය පිළිබඳව පාලි ග්‍රන්ථයන්හි ද පළින් පළ සඳහන් වේ. සස්ස මේධ, පුරිසමේධ, සම්මාපාස හා වාචපෙය්‍ය (වාජ පෙය්‍ය) යනුවෙන් පුරාතන රජුන් විසින් ජන සංග්‍රහය සඳහා උපයෝගී කොට ගත් සංග්‍රහ විධි සතරක් මනෝපූරණියෙහි කියැවේ. එහි සස්සමේධ නම් සස්‍ය සම්පාදනයෙහි හෙවත් ගොවිතැන් කිරීමෙහි මේධාවිතාව හෙවත් ප්‍රඥාගෝචර භාවයයි. මහායෝධයන්ට හමසක බත් වැටුප් දීමනාව පුරිසමේධයි; පුරුෂ බල ඇත්තන්ට සංග්‍රහ කිරීමෙහි මේධාවිතාවයි. දිළිඳු මිනිසුන්ගේ අතින් ලියවිල්ලක් ගෙන තුන්වසක් පොළි නැතුව දහසක් දෙදහසක් පමණ ධනය දීම සම්මාපාස නමි. එයින් කරනුයේ මිනිසුන්ගේ සිත මැනවින් පාසයකින් බැඳ ගත්තාක් මෙන් තමන්ට හිත පක්ෂ කරගැන්මයි. "පුතේ", "මාමේ" යනාදි වශයෙන් මුදු මොළොක් බස් බිණීම වාවපෙය්‍ය (වාජපෙය්‍ය) නමි. ප්‍රියමනාප ලෙස කතාබහ කිරීමයි. මෙසේ මේ සස්සමේධාදි සතර සංග්‍රහයෙන් රජවරුන් මහාජනයාට සංග්‍රහ කරන කල රට සුභික්ෂ ද සමෘද්ධ ද නිරාකුල ද විය; රට වැසියෝ ප්‍රීතියෙන් රිසි සේ හැසුරුණාහ; ගෙවල් දොරවල් අගුළු නොදමා සතුරු බියෙන් තොරව සිටියහ. මෙය පුරාතන රජවරුන් රට පාලනය කළ පිළිවෙළයි. ඉහතකී මනෝරථපූරණී අටුවාවෙහි ඔක්කාකවංස රජුන් දවස විසූ බමුණන් මේ සතර සංග්‍රහ විධි පෙරළා රටේ සම්පත පිරි හෙළා අස්සමේධ පුරිසමේධාදි යාග පහක් ඇති කළහයි කියැවේ. එහි අශ්වයන් නසනු ලබන යාගය අශ්වමේධ නමින් හඳුන්වති. පුරුෂයන් නසා කරන යාගය පුරුෂමේධ නමි. කෙසි සිදුරෙන් විදපු ඊය වැටුණු තැන වේදිකා තනා කරනු ලබන යාගය සම්මාපාස නමි. වාජපානය (සෝමපානය) කරන යාගය වාචපෙය්‍ය (වාජ පෙය්‍ය) නම්.

ඉතිහාසය

ඍග්වේදයේ ප්‍රථම මණ්ඩලයේ ම අශ්වමේධය ගැන සඳහන්ව ඇති බැවින් ඒ යුගයේ දී පවා අශ්වමේධ යාගය පවත්වා ඇති බව ඔප්පු වේ. එහෙත් එකල මේ යාගය චාම් ස්වරූපයක් ඉසුලූ බව පෙනේ. කුරු-පාණ්ඩව මහා යුද්ධයේ අවසානයේ දී සිය මුතුන්මිත්තන්ගේ සිංහාසනයට පත් වූ යුධිෂ්ඨිර රජු තමාගේ දිග්විජය සිහිකිරීමට අශ්වමේධයක් පැවැත්වූ බව මහාභාරතයේ අශ්ව මේධ පර්වයෙහි විස්තර වෙයි. දරු සම්පත් ලැබීමේ බලාපොරොත්තුවෙන් දශරථ රජ අශ්ව මේධයක් පැවැත්වී යයි රාමායණයෙහි සඳහන් වෙයි.

පූර්වඓතිහාසික යුගයට අයත් වන යට දැක්වූ රජවරුන්ගෙන් පසු අශ්වමේධ යාගය පැවැත්වූ ප්‍රථම ඓතිහාසික රජු හැටියට සැලකෙනුයේ පුෂ්‍යමිත්‍ර ශුංග (ක්‍රි.පූ. 185-150) රජුය. මේ රජු අශ්වමේධ යාග දෙකක් ම පැවැත්වූ බව අයෝධ්‍යා වේ තිබී සම්බ වූ සෙල්ලිපියක සඳහන් වෙයි. ඔහුගේ සමකාලිකයෙකැයි සැලකෙන ශ්‍රී ශාත කර්ණී නම් ශාතවාහන රජු ද අශ්වමේධ දෙකක් පැවැත්වූ බව ශාතවාහන සෙල්ලිපියකින් ඔප්පු වේ. සිව්වන සියවසේ මුල හරියේ දී පමණ දකුණු ඉන්දියාව පාලනය කළ ශිවස්කන්ධවර්මන් නමැති පල්ලව රජු විසින් පවත්වන ලද අශ්වමේධයක් ගැන හීරහඩගල්ලී සන්නසෙහි සඳහන් වෙයි. අශ්වමේධ යාගය ගුප්ත යුගයේ දී බහුල වශයෙන් පවත්වා ඇති බව පෙනේ. ගුප්ත රාජ වංශයේ සමුද්‍රගුප්ත (325?–380), පළමුවන කුමාරගුප්ත (415–455) හා ආදිත්‍යසේන (672-673) යන රජවරුන් අශ්වමේධ යාග පවත්වා ඇති බව ඔවුන්ගේ සෙල්ලිපිවලින් ඔප්පු වේ. ගුප්ත යුගයේ දී ම ඉන්දියාවේ වෙනත් ප්‍රදේශ පාලනය කළ අන්‍ය වංශික රජවරුන් කිහිප දෙනකුන් ද මේ යාගය පවත්වා ඇති බවට සාක්ෂ්‍ය ඇත.

ගුප්ත යුගයෙන් පසුවත් ඉන්දියාවේ රජවරුන් විසින් අශ්වමේධ යාග පවත්වන ලද බව පෙනේ. හත්වන සියවසේ අග හරියේ දී පමණ ඔරිස්සාවේ ශෛලෝද්භව වංශයේ යශෝභිත රජු විසින් අශ්ව මේධයක් පවත්වන ලද බව සෙල්ලිපියකින් හෙළි වන අතර දෙවන නන්දිවර්මන් පල්ලව මල්ල (730–800?) නම් පල්ලව රජුට සතුරු වූ පෘථිවි ව්‍යාඝ්‍ර නම් නිෂාද රජකු අශ්වමේධයක් පැවැත්වීමට සූදානම් වූ බව උදයේන්දරම් සන්නසෙහි සඳහන් වෙයි. දකුණු ඉන්දියාවේ පාලකයකු වූ රාජාධිරාජ (1044–1054) නම් චෝළ රජු විසින් පවත්වන ලද අශ්වමේධයක් ගැන චෝළ සන්නස් කිහිපයක ම විස්තර වෙයි. එකොළොස්වන සියවසෙන් පසු අශ්වමේධ යාගය පැවැත්වීම කලක් අභාවයට ගොස් තුබුණු බව සිතිය හැකිය. ඊට හේතුව මේ කාලයේ දී ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණයන්ට ගොදුරුවීම නිසා එකල බලවත් හින්දු රජකු ඉන්දියාවේ පහළ නොවීම විය හැකියි. ඉන්දියාවේ බෞද්ධ රජුන් දවස ද අශ්වමේධ යාගය නොකෙරෙන්නට ඇත. එහෙත් අටළොස්වන සියවසේ මුල හරියේ දී පමණ ඉන්දියාවේ පවත්වන ලද අශ්වමේධයක් ගැන කෘෂ්ණ කවිහුගේ ඊශ්වරවිලාසකාව්‍ය නමැති ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. ඇම්බර්හි සවායි ජයසිං නමැති රජකු විසින් මේ යාගය පවත්වන ලද බව කියති. මෙය ඉන්දියාවේ පවත්වන ලද අවසාන අශ්වමේධ යාගය ලෙස සැලකිය හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වමේධය&oldid=5727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි