අසන්ඩේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Azande). සන්ඩේ, නියම් නියම්, බසන්ඩේ, ඩේම් ඩෙම් ආදී නම්වලින් ද හැඳින්වෙන අසන්ඩේ වර්ගයා සුඩානයේ ද ඊසාන දිග කොංගෝ දේශයේ ද ජීවත්වන මනුෂ්‍ය ගෝත්‍රයකි. ඔවුන්ගේ ජනගහනය 20,00,000ක් පමණ වේ. අසන්ඩේවරු ධාන්‍යවර්ග, බතල, කෙසෙල් හා වෙනත් ආහාර වර්ග වවති. වැඩෙහි ප්‍රිය කමක් දක්වන ඔවුහු කම්මල් වැඩ, වළන් සෑදීම, වඩුවැඩ හා වෙනත් ගෘහකර්මාන්ත ආදියෙහි ද දක්ෂයෝය. ඔවුන් ඇති කරන එක ම හීලෑ සතා බල්ලාය. ඔවුන් විසින් අවනත කර ගනු ලැබූ ඇතැම් අසල් රටවල වැසි ජනයා ද සංස්කෘතිය අතින් දැන් ඔවුන්ගේ ම ගෝත්‍රයට අයත්ව සිටිති. ගෝත්‍ර ගණනාවකින් සැදි සංයුක්ත රාජ්‍යයක් බඳු සංවිධානයක් ඔවුන්ට තිබේ. හැම ගෝත්‍රයක් ම පාලන කොට්ඨාසවලට බෙදා තිබේ. ඒ ඒ කොටස ආණ්ඩුකරන ප්‍රධානීන් හා කුමාරවරුන් අවන්ගාරා නම් එක ම පවුලට අයත්ය. එම පවුල අසන්ඩේ රාජ්‍යයට උරුමක්කාර වූ බල සම්පන්න පාලක පවුලයි. අසන්ඩේ සමාජයෙහි පිය පරපුර වැදගත් ලෙස සැලකේ. බූදලය හිමිවන්නේ පිරිමි උරුමක්කාරයන්ට ය. විවාහයේ දී ස්ත්‍රිය පුරුෂයාගේ නිවසට කැඳවාගෙන යනු ලබන හෙයින් පිය පාර්ශ්වයේ අය පදිංචි වන්නේ එක කිටිටුව මය. වංශ සංවිධානයක් ද ඔවුන් අතර තිබේ. සංකීර්ණ අභිචාර ක්‍රමයක් අසන්ඩේවරුන් අතර පවතී. ඒ පිළිබඳ අනර්ඝ ග්‍රන්ථයක් එවන්ස් ප්‍රිචාඩ් නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලදි. සියලු ම විපතට හේතුව මායාකාරීහු යැයි ද පේන ඇසීමෙන් විපත් පිළිබඳ විස්තර දතහැකියයි ද ඔවුහු විශ්වාස කරති. ඔවුහු ම්බෙලි නම් වූ ප්‍රධාන දෙවියකු අදහති. හැම ගෙදරක ම මියගිය වැඩිහිටියන් පිදීම සඳහා ස්ථානයක් වෙයි. මියගිය වැඩිහිටියන් පිදීම හා ඔවුන් ඉදිරියේ පාපෝච්චාරණය කිරීම ද ඔවුන්ගේ චාරිත්‍රයකි.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසන්ඩේ&oldid=6265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි