අසාත්මිකතාව
(Allergy). අසාත්මිකතාව යනු ආගන්තුක ද්‍රව්‍යයන් කෙරෙහි සමහර මිනිසුන් හා සතුන් තුළ ඇතිවන අධිසංවේදිතාවයි. මේ පිළිබඳ ව විස්තර කැරෙන තන්හි අසාත්ම්‍යකාරක (allergens), ප්‍රතිදේහජන්‍ය (antigens) සහ ප්‍රතිදේහ (antibodies) යන පද ද සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු දක්නට ලැබේ. අසාත්මිකතාවට හේතුවන ආගන්තුක ද්‍රව්‍ය අසාත්ම්‍යකාරක යයි හැඳින්වේ. ප්‍රතිදේහජන්‍ය ද්‍රව්‍ය අසාත්ම්‍යකාරක ද්‍රව්‍යයන්ට බෙහෙවින් සමානය. දෙවැන්න පළමුවැන්නේ ම විශේෂයක් පමණි, නැතහොත් එක් වර්ගයක ප්‍රතිදේහජන්‍යමය. ප්‍රතිදේහ වනාහී ප්‍රතිදේහජන්‍යයන්ට විරුද්ධව ශරීරය නිපදවන ද්‍රව්‍යයකි.
අසාත්ම්‍යකාරකයෝ වූකලි සාමාන්‍යයෙන් ප්‍රෝටීන් හෝ ප්‍රෝටීන් සංයෝගයෝයි. ආහාරයක් වශයෙන් ප්‍රෝටීනයක් ගත් විට එය සංයුක්ත ඇමයිනො අම්ලවලට බිඳී කුඩා අන්ත්‍රයෙහි (කුඩා බඩවැලෙහි) දී අවශෝෂණය වී ප්‍රතිහාර ශිරාව (portal vein) මඟින් අක්මාවට ගමන් කරයි. මෙහි දී ඇමයිනො අම්ල සමහරක් සම්පූර්ණයෙන් ම ඔක්සීකරණය වේ; සමහරක් ධාරක සත්වයාගේ මාංසයට හැරෙයි. මෙසේ, මනුෂ්‍යයකු එළුමස් ආහාරයක් අනුභව කළ විට එයින් කොටසක් සම්පූර්ණයෙන් ම ඔක්සීකරණය වෙයි; කොටසක් ශරීර මාංසයට හැරෙයි.
යම් හෙයකින් දිරවීමට භාජන නොවූ ආගන්තුක ප්‍රෝටීනයක් ශරීරයට ඇතුළු වුවහොත් එය බිඳ දැමීමට ශරීරය වෙන උපක්‍රමයක් යොදයි. ප්‍රෝටීනය ප්‍රතිදේහජන්‍යයක් වශයෙන් සලකා එය නැති කිරීමට ප්‍රතිදේහ නිපදවීම එම උපක්‍රමය වේ. අසාත්ම්‍යකාරකයන් පිළිබඳව ද ශරීරය මෙසේ ම ක්‍රියා කරයි. එක එක ප්‍රතිදේහජන්‍යයට විශිෂ්ට වූ ප්‍රතිදේහයක් වෙයි. මේ ප්‍රතිදේහ ශරීරයෙහි මුක්ත ව ද නිෂන්නව ද ඇතිවේ. මුක්ත ප්‍රතිදේහ, රුධිර සංසරණය මගින් ශරීරයේ සෑමතැන ම විහිද පවතී. මේවා ඇසුරු කොට යම් රෝගයක් වැලඳුණහොත් එය සර්වාංග රෝගයකි. නිෂන්න ප්‍රතිදේහ සෛලවලට බැඳී පවතී. ඉන් රෝගයක් ඇතිවුණොත් එය ස්ථානීයයි. ශරීරයෙහි ප්‍රතිදේහ ඇති අය අධිසංවේදී වෙත්. සමහරු උත්පත්තියෙන් ම එසේයි.
අධිසංවේදී තැනැත්තකුගේ ශරීරයට ප්‍රතිදේහජන්‍යයක් ප්‍රවේශ වුවහොත් ඔහු තුළ ප්‍රතිදේහජන්‍යප්‍රතිදේහ ප්‍රතික්‍රියා හටගනී. මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් හිස්ටමින් හෝ හිස්ටමින් වැනි ද්‍රව්‍යයක් සෛලවලින් මුක්ත වේ. රෝග කරවන්නේ මේ ද්‍රව්‍යයයි. අසාත්මික රෝගයේ ආකාරය නිර්ණය කරන්නේ හිස්ටමින් ක්‍රියා කරන පටකය අනුවයි. මේ ප්‍රතික්‍රියාව නාසයේ ශ්ලේෂමල පටලයෙහි සිදුවුණොත් දිය පීනස ද ශ්වාසනාලිකාවල සිදුවුණොත් ඇදුම ද යනාදි වශයෙන් රෝග සෑදේ.
රෝග නිදාන
අසාත්මික රෝගවලට හේතුවන සාධක විශිෂ්ට සාධක, අවිශිෂ්ට සාධක යයි දෙවර්ගයකි. ප්‍රථම වර්ගයෙහි රෝග හටගන්නේ අසාත්ම්‍යකාරකයන් ශරීරගතවීම කරණකොටගෙන ඇතිවන විශිෂ්ට සංවේදීභාවයෙනි.
අසාත්ම්‍යකාරකයෝ විවිධයහ. ඒවා පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකිය:
(1) ආශ්වාස ද්‍රව්‍ය: දූලි, දිලීර, ගඳ සුවඳ, මල්රේණු යනාදිය;
(2) අධිග්‍රහණ ද්‍රව්‍ය: ආහාර, ඖෂධ යනාදිය;
(3) ස්පර්ශ ද්‍රව්‍ය: පැළෑටි, සත්තු, මල් යනාදිය;
(4) ප්‍රවේශන ද්‍රව්‍ය: ඖෂධ, මස්තු (serum) යනාදිය;
(5) භෞතික කාරණ: උෂ්ණය, සීතල යනාදිය;
(6) පරපෝෂක ද්‍රව්‍ය: ජීවාණු, පණු ආදීහු.
එක එක වර්ගයේ අසාත්ම්‍යකාරකයක් එක එක පටක සමඟ ප්‍රතික්‍රියා කරයි. රෝගයේ ආකාරය නිශ්චය වන්නේ අසාත්ම්‍යකාරකයට හා පටකයට අනුව වේ.
ආශ්වාස ද්‍රව්‍ය නාසයේ ශ්ලේෂමලපටලයේ දී ක්‍රියාකාරී වුවහොත් දිය පීනස ද ශ්වාසනාලිකාවල දී ක්‍රියාකාරී වුවහොත් ඇදුම ද සෑදේ. අධිග්‍රහණ ද්‍රව්‍ය මුඛයේ තැවරීමෙන් ස්ථානීය වශයෙන් කට කැසීම ද ඉදිමීම ද ඇති වේ. අසාත්ම්‍යකාරකය ගිලුණොත් වමනය ද පාචනය ද ඇති වේ. ස්පර්ශ ද්‍රව්‍ය සමේ තැවරුණොත් කැසීමත් සමෙහි පළු මතුවීමත් සිදුවේ. සංවේදීභූත අයකුට විශිෂ්ට මස්තු ප්‍රවේශනය කළොත් සුමානයකට පමණ පසුව මස්තු රෝගය සෑදේ.
අසාත්මික රෝග සහජය
සාමාන්‍යයෙන් එක අසාත්මික රෝගියකු ඇති පවුලක තවත් අසාත්මික රෝගියකු ඇතිවීම සිරිතකි. පියාට ඇදුම නම් එක දරුවකුට දිය පීනස ද තවත් දරුවකුට කඩුවේගන් ද තවත් දරුවකුට දෙක තුන ම ද තිබෙන්ට පුළුවන. උරුම වන්නේ අසාත්මික රෝගය නොව අධිසංවේදිතාව හෝ අසාත්ම්‍ය තත්වයයි.
අධිසංවේදී තැනැත්තෙක් දුර්වල අවස්ථාවල දී අසාත්මික රෝගවලට ලෙහෙසියෙන් භාජන වේ. ඇදුම රෝගීන්ට එය බොහෝ විට සෑදෙන්නේ සෙම්ප්‍රතිශ්‍යායෙන් දුර්වල වූ පසුවය.
සිතෙහි හටගන්නා භය, බලාපොරොත්තු කඩවීම සහ වෙනත් චිත්තවේදනාදිය සිතෙහි සමතුලිතතාවට බාධා පැමිණවීමෙන් හෝ ස්වාභාවික ඇඩ්රිනලින් (බ.) ස්‍රාවය අඩු කරවීමෙන් හෝ අසාත්ම්‍ය විපාක ත්වරණය කරවයි.
අසාත්මික රෝගීන්ගේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලොරික් අම්ලය ස්වාභාවික ප්‍රමාණයට වඩා අඩුය. එහෙයින් මේ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී හයිඩොක්ලෝරික් අම්ලය දීමට ද සිදු වේ.
සාමාන්‍යයෙන් අසාත්මික රෝගවලට සඵල ප්‍රතිකර්මය නම් රෝගියා විසංවේදී කිරීමයි. මේ රෝගය සෑදෙන කල බොහෝ සෙයින් ඇඩ්රිනලින් ශරීරයේ අඩු වන හෙයින් අඩ්රිනලින් හෝ එෆර්ඩින් දීමෙන් අසනීප ගතිය මඟහරවා ගත හැකිය.
(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)
(සංස්කරණය: 1965)