අසූමහසව්වෝ
ගෞතම බුදුරජාණන්වහන්සේට දෑගසව්වන්වහන්සේලා ඇතුළුව මහාශ්‍රාවකයන් වහන්සේලා අසූ නමක් සිටි බව පාලි අටුවාවන්හි සඳහන් වේ. ධර්මප්රදීපිකාවෙහි (ධර්මාරාම සංස්කරණය 1915, 281 පි.) සඳහන් වන පරිදි (1) කප්ලක්ෂයක් පෙරුම් පුරා ඇති (2) බුදු රජහු විසින් වදාරන ලද තනතුරු ඇති (3) පන්සිය පන්සිය භික්ෂු පරිවාර ඇති ශ්‍රාවකයන් අසූදෙනා මහාශ්‍රාවකයෝය. විසුද්ධජනවිලාසිනී අපදාන අටුවාවේ (හේවාවිතාරණ සංස්කරණය 1, 118 පි.) මහාශ්රාවකයන්ගේ අභිනීහාරය සඳහා (1) අධිකාර (2) ඡන්දතා යන අංග දෙක පමණක් සෑහෙන බවත් බුදු පසේබුදු අගසව්වන්ට මෙන් උපදින කුලය පිළිබඳ නියමයක් උන්වහන්සේලාට නැති බවත් සඳහන් වෙයි.
අඞ්ගුත්තර නිකායයෙහි එකක නිපාතයෙහි එන එතදග්ග පාලියෙහි අග්රස්ථානාන්තරවලට පත් වූ ශ්‍රාවකයන් වශයෙන් නම් කර ඇත්තේ එක්සාළිස් (41) දෙනෙකි. බුදුරජුන් විසින් වදාරන ලද තනතුරු ඇති බව මහසව්වකු වීමේ අවශ්‍ය ම අංගයක් නම්, ඒතදග්රභාවයට පත් නොකරන ලද සෙසු එකුන් සතළිස් (39) දෙනා මහසව්වන් විය නොහැකිය. ධර්මප්රදීපිකාවෙහි දැක්වෙන මහසව්වන් පිළිබඳ නාමාවලියෙහි නම් සඳහන් වන්නේ සත්සැත්තෑ (77) දෙනකුන්ගේ පමණකි. එහි ද ඒතදග්රභාවයට පැමිණි උපාලි (විනයධර) බාහිය දාරුචීරිය (ඛිප්පාභිඤ්ඤ) කාළුදායි (කුලප්පසාදක) සොණකුටිකණ්ණ (කල්‍යාණ වාක්කරණ) යන ශ්‍රාවකයන්ගේ නම් සඳහන් නොවේ. අඞ්ගුත්තර නිකායයෙහි සඳහන් අනුපිළිවෙළ ද ධර්මප්රදීපිකාවේ දක්නට නැත. සිංහල ශ්‍රාවක චරිතයෙහි (රත්මලානේ පියරතන ස්ථවිර, 1931) අඞ්ගුත්තර නිකායයෙහි අනුපිළිවෙළ ද සහිතව ශ්‍රාවකයන් අසූනමකගේ චරිත දක්වා තිබේ.
අඞ්ගුත්තර නිකායයෙහි දැක්වෙන නාමාවලිය හැරුණු විට ථෙරගාථා අපදාන හා බෞද්ධ සංස්කෘත ග්රන්ථයක් වූ විනය වස්තු යන පැරැණි කෘතීන්හි ප්‍රධාන ශ්‍රාවකයන් පිළිබඳව විස්තර සඳහන් වේ. ථෙරගාථාවෙහි ශ්‍රාවකයන්ගේ පශ්චිම භවය පිළිබඳ තොරතුරුත් අපදානයෙහි පූර්වභවයන්හි කළ කුශලාකුශල කර්මයන් පිළිබඳ විස්තරත් සඳහන් වේ. විනය වස්තුවෙහි (Gilgit manuscripts, Vol. III, Part 1, 172 පිටේ සිට) බුදුවරයන් විසින් කළයුතු අවශ්‍ය ම ක්‍රියා දහයක් අතුරෙන් ශ්‍රාවකයන් සමඟ අනවතප්ත විලෙහි දී පූර්වකර්මයන් ප්‍රකාශ කිරීම එකක් වශයෙන් දක්වා, එසේ පූර්ව කර්ම ප්‍රකාශක ප්‍රධාන ශ්‍රාවකයන් සූවිසි දෙනකුන්ගේ නම් හා පූර්ව කර්ම ප්රවෘත්ති ද ගාථාවන්ගෙන් දක්වා ඇත. ස්ථවිර ගාථා නමින් හැඳින්වෙන මේ ගාථා හා අපදානයෙහි එන ගාථා ද බෙහෙවින් සමාන බව නලිනාක්ෂ දත්ත පඬිතුමා විසින් විනයවස්තු හැඳින්වීමෙහි දක්වා ඇත. එහි කාශ්‍යප, ශාරිපුත්‍ර, මෞද්ගල්‍යායන, ශොභිත, සුමනස්, කොටිවිංශ, වාගීශ, පිණ්ඩොල භාරද්වාජ, ස්වාගත, නන්දික, යශස්, ශෛවලී, වකුල, ස්ථවිර, උරුවිල්ව කාශ්‍යප, යශස්, ජ්යොතිෂ්ක, රාෂ්ට්රපාල, ස්වාති, ජංඝාකාශ්යප, චූඩපන්ථක, බහුශ්‍රැත, නදීකාශ්‍යප, ගයාකාශ්‍යප යන සිව්විසි ශ්‍රාවකයන්ගේ පූර්වචරිත දැක්වෙයි. මෙහි දැක්වෙන ජ්යොතිෂ්ක, ජංඝාකාශ්යප, ස්ථවිර, බහුශ්‍රැත යන ශ්‍රාවකයන් ගැන විස්තර පාලි පොතපතෙහි සඳහන් නොවේ. සමහර බෞද්ධ සංස්කෘත ග්රන්ථයන්හි භද්දිය යනු භද්‍රවර්ගීය භික්ෂූන් වශයෙනුත් අජිත යනු මෛත්‍රෙය (බෝධිසත්ව) ස්ථවිරයන් වශයෙනුත් විස්තර වේ (Buddhist Hybrid Sanskrit Dictionary, Vol. II). මේ ග්රන්ථයන්හි වකුල නාමයෙන් හැඳින්වෙන්නේ බක්කුල, වක්කලි දෙනමගෙන් කවරෙක්ද යනු සැක සහිතය.
බුදුරජාණන් වහන්සේ මෛත්රිවිහාරීන් අතුරෙන් අග්‍රස්ථානයට කිසිවකු නම් නොකළ බවත් එයට කරන ලද ප්‍රාර්ථනා ඇති සකුලුදායි පරිබ්‍රාජකයා අකුශල කර්මයක් නිසා පැවිද්ද නොලබා පසුව දහම්සෝ රජු දවස අශ්වගුප්ත නමින් රහත්ව මෛත්රිවිහාරීන් අතුරෙන් අග්රත්වයට පත් වූ බවත් මැඳුම්සඟි අටුවාවේ සඳහන් වේ. ධර්මප්රදීපිකාවේ ද මේ බව සඳහන්ව ඇත.
අසූමහසව්වන් පිළිබඳ ක්‍රමවත් නාමාවලියක් සඳහන් වන්නේ ශ්‍රාවක චරිතයෙහිය. ධර්මප්රදීපිකා, බුත්සරණ (ලංකානන්ද සංස්කරණය 69–76 පි.), මහා වග්ගපාලි (මහාඛන්ධක), සුත්තනිපාත (පාරායනවග්ග) යන ග්රන්ථයන්හි ද ශ්‍රාවකයන්ගේ චරිත හා නාමාවලී ද දැක්වේ. 'සිංහල ශ්‍රාවක චරිතය' අනුව මහ සව්වන්ගේ නම් මෙසේය:
1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ
2. සාරිපුත්ත
3. මොග්ගල්ලාන
4. මහා කස්සප
5. අනුරුද්ධ
6. භද්දිය (1)
7. ලකුණ්ටක භද්දිය (2)
8. පිණ්ඩොල භාරද්වාජ
9. මන්තානි පුත්ත පුණ්ණ
10. මහාකච්චාන
11. චුල්ලපන්ථක
12. මහාපන්ථක
13. සුභූති
14. ඛදිරවනිය රෙවත (1)
15. කඞ්ඛා රෙවත (2)
16. කොලිවීස සොණ (1)
17. කුටිකණ්ණ සොණ (2)
18. සීවලී
19. වක්කලි
20. රාහුල
21. රට්ඨපාල
22. කුණ්ඩධාන
23. වඞ්ගීස
24. උපසෙන
25. දබ්බ
26. පිලින්දවච්ඡ
27. බාහියදාරුචීරිය
28. කුමාරකස්සප
29. මහාකොට්ඨිත
30. ආනන්ද
31. උරුවෙල කස්සප
32. කාළුදායි
33. බක්කුල
34. සොභිත
35. උපාලි
36. නන්දක
37. නන්ද (1)
38. මහාකප්පින
39. සාගත
40. රාධ
41. මොඝරාජ
42. භද්දිය (2)
43. වප්ප
44. මහානාම
45. අස්සජි
46. කිම්බිල
47. භගු
48. චුන්ද
49. නාලක
50. සෙලුදායි
51. භද්දාලි
52. තොදෙය්‍ය
53. කප්ප
54. ජතුකණ්ණ
55. පොසාල
56. පුණ්ණක
57. ධොතක
58. නන්ද (2)
59. අජිත
60. තිස්ස මෙත්තෙය්‍ය
61. මෙත්තෙය්‍ය
62. උපසීවක
63. හෙමක
64. භද්‍රාවුධ
65. උදය
66. පිඞ්ගිය
67. මෙඝිය
68. ඡන්න
69. උපවාන
70. භද්දජී
71. යස
72. ලක්ඛණ
73. ගවම්පති
74. පුණ්ණජී
75. නදීකස්සප
76. අඞ්ගුලිමාල
77. ගයා කස්සප
78. අචෙල කස්සප
79. සභිය
80. සකුලුදායි
(කර්තෘ: හේන්පිටගෙදර ඤාණාවාස ස්ථවිර)
(සංස්කරණය: 1965)