අහිගුණ්ඨිකයෝ
කණ්ඩායම් වශයෙන් ලංකාවේ තැනින් තැන සංචාරය කරන ස්ථිර වාසස්ථානයක් නැති ගෝත්‍රික මනුෂ්‍ය වර්ගයකට අහිගුණ්ඨික යන නම ව්‍යවහාර වේ. කලාතුරකින් විනා එක් තැනක දෙතුන් දිනකට වඩා කල්නොගෙවන අහිගුණ්ඨිකයන් උතුරු මැද, නැගෙනහිර, සබරගමු යන පළාත්වල නිතර සැරිසරනු දක්නට ලැබේ. කැළෑබද පෙදෙස්වල විසීම මොවුන්ගේ සාමාන්‍ය සිරිතයි. ජනගහනය බහුල ගම්නියම්ගම්වල වාසය කිරීමට රුචි නොකරන හෙයිනි. තමන් සතු ඉඩකඩම් නැතිවීමත් ජීවනෝපාය සම්බන්ධව ස්වකීය ගෝත්‍රයට අයත් සම්ප්‍රදායයත් මේ අරුචියට හේතු වශයෙන් සැලකිය හැකියි. ගම්නියම්ගම් රාජධානි ආදියෙහි ඇවිද නයින් කෙළවීමෙන් දිවිපෙවෙත කරගත් අභිගුණ්ඨික යන නමින් හඳුන්වනු ලැබූ සංචාරක ගෝත්‍රයක් අතීතයේ පවා විසු බව පන්සියපනස් ජාතක, සද්ධර්මාලංකාර යනාදි ග්‍රන්ථයන්හි එන චම්පෙය්‍ය ජාතක, අහිගුණ්ඨික වත්ථු ආදියෙන් හෙළිවෙයි. එකල දඹදිව විසූ අහිගුණ්ඨිකයන් හා මෙකල ලක්දිව වෙසෙන අහිගුණ්ඨිකයන් එකම පරපුරක වූවන් බව සිතිය හැකිය. එහෙත් අහිගුණ්ඨිකයන් ස්වකීය වර්ගය අතින් හෝ සංස්කෘතිය අතින් හෝ සිංහල ජාතියට කිසිසේත් අයත් නොවන බව මානව විද්‍යාත්මක සාධකයන්ගෙන් පැහැදිලි වේ. ලංකාවේ අහිගුණ්ඨිකයන් දකුණු ඉන්දියාවේ මදුර පායන ප්‍රදේශවල 'කොරවර්' නොහොත් 'කුරවර්' යන නමින් හඳුන්වනු ලබන, අත් බලා ශාස්ත්‍ර කීමෙන් ද නයි නැටවීමෙන් ද හිඟමනින් සහ සොරකමින් ද ජීවත්වන, සංචාරක ගෝත්‍රයෙන් පැවත එන්නන් බව ගෝත්‍ර ලක්ෂණ අනුව අනාවරණය වෙයි. අහිගුණ්ඨික මිනිසා ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රොලොයිඩ් ලක්ෂණයන්ගෙන් සම්මිශ්‍රණය වූ මධ්‍යධරණී ගණයට අයත් වූවකු බව පෙනේ. ශාරීරික ලක්ෂණ අනුව නම් අහිගුණ්ඨික මිනිසා දෙමළ මිනිසාට වඩා තෙළිඟු මිනිසාට සමානය. ඔවුන්ගේ භාෂාව, ඥාතිනාම, ගෘහභාණ්ඩ නාමාදිය බෙහෙවින් තෙළිඟු බසට අයත්ය. ඔවුන් කථාකරන බස තෙළිඟු නොවේ නම් එය තෙළිඟුවෙන් බෙහෙවින් පෝෂණය වූවෙකි. ලංකාවේ ද්‍රවිඩ ජනයාට ඔවුන්ගේ සම්බන්ධයක් කොහෙත්ම නැත. සිංහල සහ දෙමළ තේරුම් ගැනීමට ද කථා කිරීමට ද ඔවුන්ට පුළුවන.
පටුන
ගෝත්‍ර සංවිධානය
ලංකාවේ අහිගුණ්ඨික ගෝත්‍රය හැඩගැසී ඇත්තේ දකුණු ඉන්දියාවේ කුරවර් ගෝත්‍ර සංවිධානය අනුවය. සිය ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනාගත්, පාලනයෙහි දක්ෂ, අපක්ෂපාතව කරුණු විමසා යුක්තිය ඉටු කරන, කාරණා කාරණ දත්, තිස් වයස් ඉක්ම වූ වැඩිහිටියෙක් සියලුදෙනාගේ කැමැත්තෙන් ආරච්චි හෙවත් කණ්ඩායමේ නායකයා හැටියට පත් කරගනු ලැබේ. ඔහුගේ තීරණය සැමදෙනා පිළිගනිති. කණ්ඩායමේ අධිකරණ නායකයා වන්නේ ද ඔහුය. එහෙත් අයුතු ලෙස කටයුතු කළහොත් ඔහු නෙරපා ඒ වෙනුවට අනිකකු තෝරාපත් කරගත හැකිය. සාමූහික වගකීමෙන් යුතු ගෝත්‍ර සංවිධානයක දක්නට ලැබෙන මෙම සංවිධානය සැබැවින් ම ජන සම්මත ක්‍රමයට නෑකම් කියන්නකි. දීපාවලි කාලයේ දී ගෝත්‍රික මධ්‍යස්ථානයනට එකතුවන විවිධ අහිගුණ්ඨික කණ්ඩායම් උනුන් අතර විවාහ ගිවිස ගැනීම්, ණය ගනුදෙනු කිරීම් ආදි පොදු කටයුතු සලකා බලති. මෙහි දී කණ්ඩායම් ප්‍රධානීහු ඊළඟ වර්ෂයේ දී එක් එක් කණ්ඩායමේ වැඩ හා සංචාරක පිළිවෙළ ගැන කතිකාකර ගනිති. පූසාරි විසින් ආගමික පුද පූජා වතාවත් ආදිය ඉටු කරනු ලැබේ.
අධිකරණය
අහිගුණ්ඨිකයන් අතර පවත්නා අධිකරණ ක්‍රමය සිත්ගන්නාසුලුය. ඔවුන් අතර ඇති වන සෑම ආරාවුලක් ම ඔවුනතර දී ම නිරවුල් කරගැනීම චාරිත්‍රයකි. අහිගුණ්ඨික අධිකරණ ක්‍රමය සාමූහික වගකීම මත ගොඩනැඟුණේය. පැමිණිල්ලක් විභාග කළ යුතු අවස්ථාවේ දී ආරච්චිගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වේ. මේ මුළුව අධිකරණ සභාවයි. යම් පැමිණිල්ලක් විභාගයට ගන්නේ පැමිණිලිකාර පක්ෂය විසින් සපයනු ලබන මද්‍යපානයෙන් (රා හෝ අරක්කුවෙන්) විත්ති පක්ෂය ඇතුළු සැමදෙනෙකු ම එම අවස්ථාවේ දී සතුටුකරවාලීමෙන් පසුවය. මෙම චාරිත්‍රය අඛණ්ඩව කෙරෙන්නකි. අධිකරණ ගාස්තුව වශයෙන් විත්ති පැමිණිලි දෙපසින් ම රුපියල බැගින් අයකරනු ලැබේ. අහිගුණ්ඨික විනිශ්චයකරුවෝ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායයන්හි නිපුණයෝයි. එබැවින් බොහෝ විට ඔවුන්ගෙන් ලැබෙන්නේ සියල්ලන්ට ම පිළිගත හැකි තීරණයකි. දෙන ලද තීරණයක් යම් හෙයකින් විත්තියට හෝ පැමිණිල්ලට පිළිගත නොහැකි වුවහොත් 'කෝරාළමාව' නම් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරු වෙත නඩුව ඉදිරිපත් කරනු ලැබේ. කණ්ඩායම් හතකට එක් කෝරාළමාවෙක් සිටී.
තවද කණ්ඩායම් අධිකරණයෙන් නඩුව සමථයකට පත් නොකළ හුණු විට එය දිව්රුම් පරීක්ෂණයකට භාජන කෙරෙයි. එවිට උදුනෙහි කැකෑරෙමින් පැසෙන තෙල් බඳුනක විත්තිකරුගේ දකුණතෙහි දබරැඟිල්ල බහාලීමට නියම වේ. ඉන් ඇඟිල්ලේ හම ගැලවී ගියොත් ඔහු වරදකරු හැටියටද නොඑසේ වී නම් නිවරදකරු හැටියට ද ප්‍රකාශ කරනු ලැබේ. රත් වූ යකඩයක් අතට ගැන්වීම තවත් දිවුරුමකි. ඉන් අත දැවුණොත් හේ වරදකරු වන්නේය. සුළු නඩු පිළිබඳව පවත්නා දිවුරුම් ක්‍රමයක් ද වේ. විත්තිකරු වෙනුවෙන් එක් හැළියක් ද පැමිණිලිකරු වෙනුවෙන් තවත් හැළියක් දැයි එක සමාන හැළි දෙකක එක ප්‍රමාණයට ම දිය හා සහල් බහා ළිප්වල එක පමණ ම දර දමා එකවිට ම ගිනිමොළවා එකවිට ම ළිප තබනු ලැබේ. බත කලින් පැසුණු හැළිය අයත් තැනැත්තා නිවරදකරු වන්නේය. මෙය සාමාන්‍යයෙන් කරනු ලබන්නේ පූජනීය ස්ථානයක දී බව සැලකිය යුතුයි. පරපුරුෂ සේවනයෙන් චෝදිත ගැහැනිය පිළිබඳ දිවුරුම් ක්‍රමයක් ද ඇත. නැවුම් බඳුනක දිය පුරවා ඒ මත බුලත් කොළ තුනක් පා කොට කුප්පායම වටා ගෙන යනු ලැබේ. බුලත් කොළ තුන බඳුනේ පතුලට කිමිඳුණහොත් චෝදිත ස්ත්‍රිය වැරදිකාරිය වන්නීය. මේ පිළිබඳවම තවත් දිවුරුම් ක්‍රමයක් වෙයි. එනම් චෝදිත ස්ත්‍රියට නැවුම් කළයක් දී දිය ගෙන ඊමට නියම කරනු ලැබේ. දිය ගෙන ඊමේ දී කළය පිපුරුණොත් ඇය පරපුරුෂ සේවනය කළ බවට එය සාක්ෂ්‍යයෙකි. ඉතා සුළු අවුලක දී නම්, දෙවොලකට ගොස් කපුරු දල්වා එය අතින් පවන් ගසා නිවා දැමීම පමණක් සෑහේ. ගිනිදැල්ල එක්වර ම නිවි ගියහොත් හේ නිවරදකරුය.
නිවාස හා ගෘහෝපකරණ
අහිගුණ්ඨිකයන් ලැගුම් ගන්නේ තල්පත්වලින් ඉදිකරනු ලබන තාවකාලික පැල්පත්හිය. තමන් යන එන තැනට ගෙන යා හැකි සේ පිළියෙල කරගෙන ඇති කනු වැල් ආදියෙන් සාදනු ලබන ඒ පැල්පතක සාමාන්‍ය දිග පළල උස පිළිවෙළින් අඩි 9, 7, 5 පමණ වේ. කරත්ත අඹරාවක හැඩය අනුව තනනු ලබන එහි ඔවුන් සතු පැදුරු, ඇඳුම්, පේළා, සැළිවළන් ආදි උපකරණ සියල්ල තබා ගනිති. මස්කත් (පිහිය), රෝලු (වංගෙඩිය), තාලෙ (බේසම), ඉරමන් (හිරමනේ), සත් (කුල්ල), පස්රායි (ඇඹරුම් ගල), කදව (වතුර කළය), කුණ්ඩ (උයන හට්ටිය), පිපෙට්ටි (පේළාව, නයිපෙට්ටිය) හා නයි නළාව ඔවුන්ගේ උපකරණයන්ගෙන් සමහරකි.
නයාත්, බූරුවාත්, බල්ලාත් අහිගුණ්ඨිකයාට අතිශයෝපකාරීහු වෙති. නයා ඔවුන්ගේ ගෝත්‍රය හඳුන්වන සංකේතයත් ඔවුන්ට දිවිපෙවෙත ලබා දෙන මිත්‍රයාත් වේ. බූරුවා බඩු ගෙනයන වාහනයයි. බල්ලා තම ආරක්ෂකයා හැටියටත් දඩයම් සඳහාත් උපකාරීය. ඔවුන් මෙකී සතුන් රැකබලා හදා වඩා ගන්නේ දැඩි ආදරයකිනි. නයාට ආහාර වශයෙන් බිත්තර දීමට අමතක නොකරන අතර බල්ලා සහ බූරුවාත් උන් කැමැති අහරින් පෝෂණය කරති. බල්ලාට හෝ බුරුවාට තුවාළයක් සිදු වූ විටක එහි ගැල්වීම සඳහා පිළියෙල කොටගත් 'පුතුකම්' නමැති බෙහෙත් විශේෂයක් ද ඔවුන් ළඟ නිතර ම තිබේ. වේයන් සහිත හුඹස් මැටි වතුරින් අඹරා තලපයක් මෙන් ගුළි කොට අව්වෙන් වේළා තබාගෙන අවශ්‍ය වූ විටක දී කොහොඹ තෙලින් එය දිය කොට තුවාළවල ගල්වති. සර්ප විෂ බැස්වීම සඳහා පිළියෙල කොටගත් විෂ උරන කෘත්‍රිම ගලක් ද ඔවුන් ළඟ වෙයි. මෙය සාදන ක්‍රමය ගෝත්‍රයේ පාරම්පරික රහසකි. ගෝන අං කැබැල්ලක් ගෙන අඟුරු වන තුරු දවා මඩෙහි ඔබා, දොළොස් මසක් ඇවෑමෙන් ගොඩගෙන සෝදා කුඩා කැබලිවලට කඩා ගලකින් පිරිමැද ඔප දැමීමෙන් විෂ උරන ගල් සාදාගනු ලබන බව කලක් අහිගුණ්ඨිකයන් ඇසුරු කළ ජෝන් ස්ටීල් මහතා කියයි. විස උරවන ගල් ද නාගදරණ එළවරා මුල් කෑලි ද අහිගුණ්ඨිකයෝ ගම්මුන්ට ද විකුණති.
ජීවනෝපාය
පුරුෂ පක්ෂය නයි නැටවීමෙන් ද ස්ත්‍රී පක්ෂය අත්බලා ශාස්ත්‍ර කීමෙන් ද මුදල් හෝ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සිරිතයි. මේ හැර සිඟාකෑමෙන් ද යමක් උපයා ගනිති. සිඟා කෑමෙන් හෝ සොරකමින් වුවද යමක් ලබා ගතහැකි නම් එසේ කිරීමට පවා ඔවුහු නොපැකිලෙති. කැළෑබද පෙදෙස්හි නිතර ගැවසෙන ඔවුහු දඩයමෙහි ද අතිදක්ෂයෝයි. ඌරුමීයන්, මීමින්, තලගොයින්, ඉබ්බන්, හාවුන් ආදි කුඩා සතුන් මස් පිණිස මරා ගනිති. ගෝනුන්, වල් ඌරන් වැනි ලොකු සතුන් ද දඩයම් නොකරන්නේ නොවේ. බල්ලන් ද මස්කත් නම් දිග කැත්ත ද ගෙටපර නම්වූ නාරාසන ද බල්ලම් නම් වූ හෙල්ල ද දඩයමට උපයෝගී කර ගැනේ. තුවක්කුවකින් දඩයම් කළ හැකි අහිගුණ්ඨිකයෝ ද කලාතුරකින් දක්නට ලැබෙත්. එළුවන් කුකුළන් ඇති කිරීම ද ඇතැම් කණ්ඩායම් විසින් කරනු ලබන බව පෙනේ. උතුරුමැද පළාතේ අහිගුණ්ඨිකයෝ එළුවන් රංචු වශයෙන් ඇති කොට මස් පිණිස විකුණති.
නයි නැටවීමේ දී අහිගුණ්ඨිකයාට නයා මෙන් නයි නළාව ද අවශ්‍යය. මේ නළාව වියළි තිත්තලබු ගෙඩියක බට බම්බු දෙකක් සවි කිරීමෙන් සාදාගනු ලබන්නකි. නයින් ඇල්ලීමෙහි අතිදක්ෂ වූ මොවුහු තම ආරක්ෂාවට නාගදරණ ලී කැබැලි හා නයින් වශීකරණ නළාව ද උපයෝගී කරගන්නා බව කියති. එහෙත් නයින් ඇල්ලීම අහිගුණ්ඨිකයන්ගෙන් ම උගත් ජෝන් ස්ටීල් මහතා නාගදරණ ලී කැබලිවල නයින් දැපනය වන ශක්තියක් නැති බව ද වෙනත් ලී කැබැල්ලක් හෝ දබර ඇඟිල්ල හෝ යථෝක්ත ද්‍රව්‍යය වෙනුවට පාවිච්චි කළ හැකි බව ද අත් දැකීමෙන් කියයි. තවද රිළවුන් නැටවීමෙනුත් ශරීරයෙහි රූප කෙටීමෙනුත් පච්ච කෙටීමෙනුත් ජීවිකාව කරමින් ගමින් ගමට යන මුද්දලි නම් අහිගුණ්ඨික වර්ගයක් ද වෙයි. ඔවුන් ද දකුණු ඉන්දියාවේ කුරවර් ගෝත්‍රය හා සම්බන්ධ වූවන් බව අහිගුණ්ඨිකයෝ කියති.
සිරිත් විරිත් හා ඇදහිලි ක්‍රම
විවාහය
ඇවැස්ස විවාහය කඩ නොකළ යුත්තකි. නෑනා–මස්සිනා විවාහය සිදු කළ නොහැකි වූ කල්හි සමහරවිට තරුණියට හෝ තරුණයාට සදහට ම තනිකඩ ජීවිතයක් ගත කිරීමට සිදුවේ. එබඳු අවස්ථාවල දී අන් රැහැකින් සුදුස්සකු සොයා ගත නොහැකි වුවහොත් විවාහාපේක්ෂකයා තනිකඩ ජීවිතයක් ගත කළයුතු බව ගෝත්‍ර චාරිත්‍ර නියමය වේ. විවාහය සඳහා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා යන දවස් සුබ දවස් හැටියට සැලැකෙයි. මංගල දිනයේ දී මණාළයා විසින් මණාළියගේ දකුණතෙහි වළල්ලක් පැලඳවිය යුතුය. දෑතෙහි ම වළලු පලඳින්නේ විවාහක ස්ත්‍රීන් පමණි. මණාළයාගේ හා මණාළියගේ කුටි දෙක එකිනෙකට ඉතා ආසන්නව ඉදි කරනු ලැබේ. මණාළිය සුදු සාරියකින් සහ සුදු හැට්ටයකින් ද රිදී ආභරණයෙන් කඩකින් හිස හා මුහුණ වසනු ලැබේ. මණාළයා කහ කමිසයක් හා සරමක් හැඳ ජටාවක් බැඳ කළු පැහැති ඇටමාලයකින් හා අත් වළලුයෙන් සැරසේ. මෙසේ සැරසුම් ලද මණාළ යුවළගේ දකුණත්හි කහ කෑල්ලක් බැඳ ඔවුන්ගේ මුහුණට කහ දියර ඉසිනු ලැබේ. පූසාරියා ආශීර්වාද ශ්ලෝක කියද්දී මණාළයා මණාළියගේ ගෙලෙහි තාලිය (තැල්ල) බඳී. අනතුරුව මණාළ යුවළගේ දකුණත් එක්කොට සුළැඟිලි දෙක එකට බැඳ පිත්තල සෙම්බුවකින් අතපැන් වත්කිරීමෙන් මනාළයාට මණාළිය පාවා දෙනු ලැබේ. සුළැඟිලි බැඳීමත් අතපැන් වත්කිරීමත් කරනු ලබන්නේ මව්පසේ මාමා කෙනකු විසිනි. මින් කෙළවර වන සරණබන්ධනයෙන් පසුව කෙසෙල් කොළවල බහාලන ලද එළවළු ව්‍යංජන සහිත බතින් ද අතිරස කැවිලි පලතුරු ආදි අවුළුපතින් ද අමුත්තන්ට සංග්‍රහ කරති. රා හා අරක්කු බී තප්පු ගසමින් එම තාලයට අනුව පා තබ තබා ගී කියමින් නටන අමුත්තන්ගේ දර්ශනය මේ මංගලයන්හි ඉතා අලංකාර එකකි. විවාහයෙන් පසු බෘහස්පතින්දා අලුත් යුවළට ඥාතීන්ගෙන් තෑගිබෝග ලැබේ. දෑවැද්ද වශයෙන් පේළාවක බහාලන ලද නයකු දෙන්නකු ද බූරුවකු, බල්ලකු හා අඳිනා පලඳිනා දේ ද දීම චාරිත්‍රයි.
කසාද ස්ත්‍රියක් අන් පුරුෂයකුට තාවකාලිකව පවරා දීම ද අහිගුණ්ඨිකයන් අතර පවත්නා (විවාහ) සිරිතකි. පුරුෂයා යම් හෙයකින් හිරේ වැටුණහොත් ඔහු ආපසු එනතුරු ස්ත්‍රියට අන් පුරුෂයකු සමඟ විසීමට වරය ඉන් ලැබේ.
දරු ප්‍රසූතිය
අහිගුණ්ඨික ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම මත්පැනට ඉතා ලොල් වුව ද මවක් වනතුරු අරක්කු බීම ස්ත්‍රියකට තහනම්ය. එහෙත් ගර්භිණී අවස්ථාවේ දී රා ටිකක් බීමට ඈට අවසර ඇත්තේය. වරක් දරුවන් වැදූ ස්ත්‍රියකට නැවත ගැබ්ගත් කල්හි කළුදුරු, අසමෝදගන්, කරාබු නැටි, තිප්පිලි ආදියෙන් කළ චූර්ණයක් අරක්කු හා මිශ්‍ර කොට දිනකට තුන්වේලක් බතට පළමුව බෙහෙතක් වශයෙන් දෙනු ලැබේ. ප්‍රසූති දිනයේ දී ඇය ඥාති ස්ත්‍රියක සමග වෙන ම පැලක වසයි. ප්‍රසූතියෙන් සත්දිනකට පසු නෑවීමෙන් ඈ කිල්ලෙන් මිදේ.
කොටහළුව
කෙල්ලක වැඩිවිය පැමිණි කල සත්දිනක් යනතුරු ඈ ඇයගේ නැඟණි කෙනෙකුන් සමඟ කොළවලින් තැනූ පැලක වෙන් කොට තබනු ලබන්නීය. ඉන් පසු ඇය තල්පත් පැලකට ගෙනයනු ලබන්නී එහි ද දින පහක් ගතකරයි. පස්වන දිනයේ දී නැන්දණියන් (පියාගේ නැගණියන්) විසින් නහවා පිරිසුදු කරනු ලැබීමෙන් පසුව ඈ සමාජයට වැද්ද ගනු ලබයි.
දඩයම
කුඩා සතුන් දඩයම් කිරීමෙහි යෙදීම සාමාන්‍ය සිරිත වෙතත් ඉතා දක්ෂ දඩයක්කාරයන් වන අහිගුණ්ඨිකයන්ට ගෝනුන්, වල් ඌරන් වැනි ලොකු සතුන් දඩයම් කිරීම ද අපහසු නොවේ. ඔව්හු දඩයම සඳහා පිටත්ව යෑමට පෙර වනයට අරග්ගත් දෙවියාට කුකුළකු බිලි කිරීමෙන් පුද පූජා පවත්වති. මරන ලද කුකුළා වනයට විසි කිරීමෙන් දඩයම් ගමන අරඹති.
ආගම
ඔවුන්ගේ ආගම ශිවාගමයි. බෞද්ධ ආගම අදහන්නවුන් ද සිටිනා බව කලාතුරකින් පෙනේ. බුද්ධාගමේ බලපෑම නිසා ඔව්හු පෝය දිනවල සතුන් මැරීමෙන් වළකිත්. විෂ්ණු, කතරගම දෙවියන් හා පත්තිනි පිදීම ද කරනු දක්නා ලැබේ. අහිගුණ්ඨිකයෝ තුමූ නාගයාට ගැති බව පිළිගනිති. තම පැල්පත ද ඔවුන් හඳුන්වන්නේ 'නාඉල්ල' හෙවත් නාග ගෘහය නමිනි. නාගයාට විශේෂ සැලකිල්ලක්,ගෞරවයක් දක්වන මේ ගෝත්‍රිකයෝ භූරිදත්ත ජාතකය ඉතා උසස් කොට සලකති. එහි සඳහන්වන බෝධිසත්වයන්ගේ නාග ආත්මය පිළිබඳ කථාව සියලු ම අහිගුණ්ඨිකයෝ දනිති. එය තම වර්ගයාගේ ආඩම්බරයට හේතුවන කරුණක් හැටියටය ඔවුන් කියන්නේ.
(සංස්කරණය: 1965)