ආකාශය-2
ඉතා පුරාණ කාලයේ පටන් විවිධ ශාස්තෘවරයන් හා විවිධ ලබ්ධිකයන් අතරෙහි ද විවිධ දාර්ශනිකයන් අතරෙහි ද ආකාශය පිළිබඳව එකිනෙකට වෙනස් මත බොහෝ ගණනක් පැවති බව පැරණි ග්‍රන්ථයන්ගෙන් හෙළි වේ.
පටුන
වේද උපනිෂද් ආදි ග්‍රන්ථගත මත
ඍග්වේදයේ (1.164.39) "සෘචො'ක්ෂරෙ පරමෙ ව්‍යොමන් යස්මින් දෙවා අධි විශේව නිෂෙදුං, යස්තන්න වෙද කිමෘචා කරිෂ්‍යති ය ඉත්තද්විදුස්ත ඉමෙ සමාසතෙ" යන්නෙහි අක්ෂර හා පරම ව්‍යොමන් යන ශබ්ද පරමාත්මයා හෙවත් බ්‍රහ්මයා හැඳින්වීමට යොදා ඇති බව උගතුන්ගේ නිගමනයයි. බ්‍රහ්මයා වසන තැන "පරම ව්‍යොම" නමින් තෛත්තිරීය උපනිෂද්හි හඳුන්වයි. එහි ම බ්‍රහ්මවල්ලියෙහි “තස්මාද් වා එතස්මාදාත්මනඃ ආකාශඃ සම්භූතඃ- ආකාශාද්වායු:... " ආදි පාඨයෙන් ආත්ම ස්වරූප කොට ඇති බ්‍රහ්මයාගෙන් ආකාශය ද ආකාශයෙන් වායුව ද ... හටගත් බව සඳහන් වේ. සාමාන්‍ය ආකාශය හැඳින්වීමට ව්‍යොම ශබ්දය යොදන නමුත් පරම ව්‍යොම යනු එයින් අන්‍ය වුවක් බවත් බ්‍රහ්ම, ආත්මන් යන ශබ්ද දෙකින් ම එක ම බ්‍රහ්මයා ප්‍රකට වන බවත් මෙයින් හෙළි වේ.
මිනිසාගේ හෘදයාභ්‍යන්තරයෙහි වූ ආකාශය තුළ ජීවය (මනෝමය පුරුෂයා) ඇති බව ද අමරණීය වූ ඒ ස්වර්ණමය ජීවපුරුෂයා අවබෝධ කරගත් කල චිත්තාදිය දමනය කිරීමෙන් මිනිසා ස්වාරාජ්‍යය කරා පැමිණෙන බව ද එසේ වන්නේ බ්‍රහ්මයාගේ ශරීරය ආකාශය (ආකාශශරීරං බ්‍රහ්මන්) නිසා බව ද යථෝක්ත උපනිෂද් ග්‍රන්ථයේ ශික්ෂා වල්ලියෙහි දැක්වේ. මේ ආදි ප්‍රකාශවලින් පළමු වෙන් පරම ව්‍යොම හා බ්‍රහ්මන් යන ශබ්ද එකම අර්ථයක් සඳහා යොදා තිබුණ බව ද පසුව ආකාශය (ව්‍යොමන්) බ්‍රහ්මයාගේ ශරීරය හැටියට හැඳින්වූ බව ද පෙනේ. ඇතැම් වෛදික ග්‍රන්ථවල ද ආකාශ ශබ්දය බ්‍රහ්මයා හැඟවීමට යොදා ඇති බව බ්‍රහ්ම සූත්‍රයට භාෂ්‍යයක් කළ ශංකරාචාර්යවරයා කියයි. මෙය පැහැදිලි කිරීම සඳහා ඔහු ඡාන්දෝග්‍ය උපනිෂද්හි එන "මරණින් මතු මේ ලෝක වාසීහු කවර ස්ථානයක් කරා යන්නාහු ද?" යන ප්‍රශ්නය හා ඊට දී තිබෙන පිළිතුර වූ "ස්ථාවර ජංගම සංඛ්‍යාත සියලු භූතයන්ගේ උත්පත්තිය ආකාශයෙන් විය. මේ ලෝකයට වඩා උසස් ශ්‍රේෂ්ඨතම ස්ථානය වූ ආකාශයට ම ඔව්හු මරණින් පසු යන්නාහ" යන ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ. ඉන්ද්‍රියගෝචර ආකාශය මේ ලෝකයෙහි ම කොටසක් බැවින් මෙහි ආකාශ ශබ්දයෙන් පරම බ්‍රහ්මයා අදහස් කළ බව ඔහු කියයි. සියලු භූතයන් ආකාශයෙන් හටගෙන නැවතත් එය කරා ම යන බැවින් ලෝකයේ ප්‍රභවය ආකාශයෙන් වූ බවත් අහස අනිකුත් සියල්ලට ම වඩා වයෝධික බවත් සියලු භූතයන්ගේ වාසස්ථානය හෙවත් ආධාරය ආකාශය බවත් ඡාන්දෝග්‍ය උපනිෂද්හි අන් තැනක සඳහන් වේ. එපමණක් නොව, බ්‍රහ්මන් යනු අප හාත්පස පිහිටි ආකාශය වැනි මය; අප ඇතුළත පිහිටි ආකාශය අප හාත්පස ආකාශය වැනි මය; අප ඇතුළත හෙවත් හෘදය වස්තුවෙහි පිහිටි ආකාශය සෑම තැන පැතිර පවතී; එය වෙනස් නොවේ; මෙය අවබෝධ කර ගත් තැනැත්තේ වෙනස් කළ නොහැකි සැපතට ද සර්වව්‍යාප්තභාවයට ද පැමිණේ යයි එම උපනිෂද් ග්‍රන්ථයේ තවත් තැනකින් කියැවේ.
ආකාශයේ ප්‍රභවය හා ඒ පිළිබඳ වෙනත් කරුණු ශතපථ බ්‍රාහ්මණයේ කීපතැනක සඳහන් වේ. වායුව හා සංගමයට පත් ප්‍රජාපතිගෙන් අණ්ඩයක් හටගත් බවත් ඔහු එය ස්පර්ශ කර “යශස් පහළ වේව”යී කී කල එයින් ආදිත්‍ය ද අණ්ඩයේ කටුවට ඇලී තිබුණ රසයෙන් (ද්‍රවයෙන්) රශ්මි ද අණ්ඩයේ කටුවෙන් අහස ද පහළ වූ බවත් ශතපථ බ්‍රාහ්මණයේ 6 කාණ්ඩයෙහි දැක්වේ. එහි සත්වන කාණ්ඩයේ ඇතුළත් ප්‍රකාශයකින් ආකාශය ප්‍රජාපතිගේ හිස හැටියට හඳුන්වා තිබේ. එහි ම අන් තැනක ආකාශය ජලයේ වාසස්ථානය හැටියට හඳුන්වයි.
බ්‍රහ්මසූත්‍ර නමැති ග්‍රන්ථයේ ආකාශාධිකරණ යන නමින් අධිකරණයක් වේ. එහි ඇතුළත් කරුණු අනුව “බ්‍රහ්මන්” ශබ්දයෙන් ද ආකාශය ම ප්‍රකට වන බව ග්‍රන්ථ කර්තෘගේ අදහස ලෙස සැලකිය හැක. එහෙත් ආකාශ ශබ්දයෙන් පළමු වැනි මහාභූතයා ම ගැණෙන බැවින් මෙහි දී විමතියක් ඇති වේ. මේ ග්‍රන්ථයට භාෂ්‍යයක් කළ ශංකරාචාර්යවරයා උපනිෂද් ග්‍රන්ථ කීපයකින් නිදර්ශන දක්වමින් ආකාශ ශබ්දයෙන් බ්‍රහ්මයා ද වාච්‍යවන බවත් ආකාශාධිකරණයේ සඳහන් ආකාශ ශබ්දය සාමාන්‍ය අහස යන අර්ථය පිණිස නොව විශේෂ අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා යොදා ඇති බවත් කියයි. ආකාශ ශබ්දයට නිරුක්ති දක්වන ආචාර්යයෝ “ආ සමන්තාත් කාශන ඉති” (ස්වකීය කාන්තියෙන් හැමදෙසම දීප්තිමත් කරන්නේ නුයි) ආකාශ නම් වේ යයි කියත්. මේ අනුව බ්‍රහ්මයා හැර අන්‍යයකු ස්වයංකාන්තිමත් නොවන නිසා ද අන්තරීක්ෂ ආලෝකයන්ගේ ප්‍රභවයට බ්‍රහ්මයා ම එක ම කර්තෘවරයා නිසා ද ආකාශ ශබ්දය බ්‍රහ්මයා උදෙසා ම යොදන්නට ඇතැයි ඇතැමෙක් යෙති. යථෝක්ත අධිකරණය උපනිෂද් ග්‍රන්ථයන් පදනම් කොට රචිත බැවින් එය උපනිෂද් කළ යුගයෙහි ඇති වූ විශ්වාසයක් හැටියට සැලකිය හැක. එහෙත් තෛත්තිරීය උපනිෂද්හි භෘගුවල්ලියෙහි ඇතුළත් ඇතැම් කරුණු අනුව සලකන විට වෛදික යුගයට ශතවර්ෂ ගණනකට පෙර පවා ආර්යයන් තුළ මේ මතය පැවති බව සිතිය හැක.
ගෞඩපාද කාරිකාවෙහි පරමාත්මයා ආකාශයට ද ජීවය ඝටාකාශයට (කළයක ඇතුළත වූ ආකාශයට) ද සමාන කර තිබේ. යම් සේ මහාකාශයෙන් ඝටාකාශ, පටාකාශ (වස්ත්‍රයක් තුළ ඇති වන ආකාශය) කරකාකාශ (පොල්කටුවක් තුළ ඇති ආකාශය) ආදි වශයෙන් විවිධාකාශයන් ඇති වන්නාක් මෙන් ආත්මන් (බ්‍රහ්මන්) කෙරෙන් ද ජීව ශරීරාදීන්ගේ (සංඝාතයන්ගේ) ප්‍රභවය වන්නේය. ඝට, පට, කරකාදිය බිඳී ගිය කල ඒවා ඇතුළත වූ ආකාශය මහාකාශයට එක් වේ. හෘදය වස්තුව තුළ ඇති ආකාශයෙහි (හෘදයා කාශයෙහි) බ්‍රහ්මයා ප්‍රඥාස්වරූපයෙන් සිටින බව ද ගෞඩපාදකාරිකාවෙන් පැවසේ. යෝගවාසිෂ්ඨ නමැති ග්‍රන්ථයේ උත්පත්ති ප්‍රකරණයෙහි වසිෂ්ඨ ඍෂිවරයා රාමහට කරන ප්‍රකාශයක චිත්තාකාශ, විදාකාශ, භූතාකාශ යයි ආකාශ තුනක් ගැන සඳහන් කරමින් ඒවා සියලු මානව වර්ගයාට සාධාරණ (සාමාන්‍ය) බවත් සෑම තන්හි පැතිර පවත්නා බවත් ඒ හැම එකක් ම ශුද්ධචිත්තත්ව ශක්තියෙන් හටගත් බවත් දැක්වේ. සර්වභූතයන්ට හිත වූ ද ශ්‍රෙෂ්ඨ වූ ද සැම තැන පැතිර ගියාවූ ද යම් ආකාශයක් කාලකලනාත්මකව (ගණන් කිරීම් වශයෙන් ලෝකයාගේ දැනගැනීමට යෝග්‍යව) පවතී ද එය චිත්තාකාශයයි. සියලු භූතයන්ගේ ඇතුළත හා පිටත ව්‍යාප්තව සිය පැවැත්ම (විද්‍යමානත්වය) හෝ නොපැවැත්ම (අවිද්‍යමානත්වය) කිසියම් පදාර්ථයකින් යුත්ව හෝ පදාර්ථයකින් තොරව හෝ අවබෝධ කරවන සමස්ත භූතයන් විෂයෙහි පැතිර පවත්නා ආකාශය චිදාකාශයයි. සියලු භූතයන්ගෙන් යුක්ත වූ ද දශදිශාවන්හි පැතුරුණාවූ ද බාධක විරහිත ශරීරයක් ඇත්තාවූ ද වාතය හා වලාකුළු ඇසුරු කළාවූ ද අහස භූතාකාශ නම් වේ.
මෙපරිද්දෙන් ආකාශත්‍රය විග්‍රහ කරන විසිෂ්ඨ ඍෂිවරයා අවසානයේ දී එය ආත්ම විෂය අවබෝධ නොවූවන්ට කරුණු කෙළින් ම නොකියා උපමා අනුසාරයෙන් දැක්වීමට රූපකයක් හැටියට යෙදූ බව ප්‍රකාශ කරයි. එම ග්‍රන්ථයේ ම නිර්වාණ ප්‍රකරණ උත්තරාර්ධයෙහි සමාධි පිළිබඳ සෑම අවස්ථාවක දී ම වසිෂ්ඨ ඍෂිවරයාට අවබෝධ වූ ශූන්‍යස්ථාන (ආකාශ) විස්තර කිරීමේ දී ඒ ඒ අවස්ථා නාමවල අගට ආකාශ ශබ්දය යොදා තිබේ. ඒවා චිත්තාකාශ, චිදාකාශ, භූතාකාශ, මහාකාශ, සංවිදාකාශ, බ්‍රහ්මාකාශ (අව්‍යාකෘතාකාශ) වශයෙන් සවැදෑරුම්ය. පඤ්චදශී නමැති ග්‍රන්ථයේ ජලාකාශ, අභ්‍රාකාශ යයි තවත් ආකාශ දෙකක් ගැන සඳහන් වේ. ඒවා ද චිත්තයාගේ අවස්ථා දෙකක් දැක්වීමට යොදා තිබේ.
ඍග්වේදයේ නොයෙක් තැන්වල ආකාශය හැඳින්වීමට “ද්‍යෞස්” යන්න යොදා තිබේ. එය දේවත්වයෙහි ලා සැලකෙන විට පෘථිවි ශබ්දය අගට යොදා “ද්‍යාවාපෘථිවි” යයි ජගත් මාතෘපිතෘ දෙදෙනා හැටියට හඳුන්වා තිබේ. ඇතැම් විට ද්‍යෞස් ඉන්ද්‍රයාගේ පියා හැටියට ද ඇතැම් විට වෘෂභ, කාලවර්ණ අශ්ව ආදීන් හැටියට ද හඳුන්වා ඇත. ආකාශය පරාළ විරහිත වූවක් නමුදු එය කිසි කලෙකත් පහත නොවැටීම පුදුමයට කරුණක් බවත් එහි ම සඳහන් වේ. ආකාශයෙන් වායුව ද වායුවෙන් රවි (ගින්න) ද ගින්නෙන් ජලය ද ජලයෙන් පොළව ද හටගත්තේ යයි බ්‍රහ්මඥාන තන්ත්‍රාදි ග්‍රන්ථවලින් පැවසේ. ගෙවල් ගොඩනැඟීමේ දී පුද පූජා පැවැත්විය යුතු දෙවියකු ද ආකාශ නමින් මත්ස්‍ය පුරාණයේ හඳුන්වා තිබේ.
බෞද්ධ මතය
ථෙරවාද අභිධර්මයෙහි ආකාශය විස්තර කර තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවී යන චතුර්විධ මහාභූතයන් විසින් නොපහස්නා ලද (අසංස්පෘෂ්ට) ධාතුව යනුවෙනි. ධාතු ශබ්දයේ අර්ථය නම් ස්වභාව සංඛ්‍යාත අර්ථයයි. ස්වභාවාර්ථය නම් ශූන්‍යතා සංඛ්‍යාත අර්ථයයි. ශූන්‍යභාවාර්ථය නම් නිස්සත්ව-නිර්ජීව සංඛ්‍යාත අර්ථයයි. මෙකී නයින් පරමාර්ථ වශයෙන් ස්වභාව මාත්‍ර අර්ථය, ආත්මභාවයෙන් ශූන්‍යත්ව සංඛ්‍යාත අර්ථය, සත්ව-පුද්ගල-ජීවයන්ගෙන් විනිර්මුක්ත අර්ථය යන අර්ථත්‍රය හේතුකොටගෙන නොහොත් ස්වභාව වූ ද, ශුන්‍යත්ව වූ ද, නිස්සත්ව-නිර්ජිව වූ ද යන අර්ථත්‍රයෙන් ආකාශධාතු නම් වේ. මේ ආදි හේතු නිසා ආකාශය ධාතු සංඛ්‍යාවෙහි ඇතුළත් කර තිබේ.
“න කස්සති න නිකස්සති කස්සිතුං ඡින්දිතුං වාන සක්කොති ආකාසො” (කර්ෂණය නොකෙරෙයි, නිෂ්කර්ෂණය නොකෙරෙයි, කර්ෂණය කරන්නට හෝ සිඳින්නට හෝ නොහැකිනුයි ආකාස නම් වේ. - පටිසම්භිදාමග්ග අට්ඨකථා). ‘න කස්සති න නිකස්සති කස්සිතුං ඡින්දිතුං භින්දිතුං වා න සක්කොති ආකාසො (කර්ෂණය නොකෙරෙයි, නිෂ්කර්ෂණය නොකෙරෙයි, කර්ෂණයට හෝ සිඳීමට හෝ බිඳීමට හෝ නොහැකි නුයි ආකාශ නම් වේ.—අත්ථසාලිනී.) “අප්පටිඝට්ට-නට්ඨෙන න කස්සතීති ආකාසො” (ප්‍රතිහනන ස්වභාවයක් නැති හෙයින් හෙවත් පැකිලීමක් නැති හෙයින් විලේඛනය නොකරනු ලැබේ නුයි, නොලිය හැක්කේ නුයි හෝ ආකාස නම් වේ. — සම්මොහවිනොදනී).
මේ ආදී වශයෙන් විස්තර කරන ලද ආකාශ ධාතුව ආධ්‍යාත්මික, බාහ්‍ය යයි දෙවැදෑරුම්ය. යම් මුව සිදුරකින් භෝජ්‍යාදි ප්‍රභේද ඇති ආහාරපාන අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වේ ද, යම් අවකාශයෙක්හි අනුභව කරන ලද ආහාරපානාදිය රැඳී පවතී ද, යම් විවරයකින් පැසැවීමට ගොස් කසළ බවට පැමිණි ආහාරය නික්මේ ද, මේ සියල්ල ද මාංස රුධිරයන්ගෙන් විනිර්මුක්ත වූ කන්සිදුරු නැහැසිදුරු ද ආධ්‍යාත්මික ආකාශය නමින් ගනු ලැබේ. චතුර්විධ මහාභූතයන්ගෙන් විනිර්මුක්ත වූ දොර සිදුරු, බිත්සිදුරු ආදිය බාහිරාකාශ නමින් ගනු ලැබේ. මෙපරිද්දෙන් සත්වයකුගේ ශරීරය තුළ හෝ ඊට සම්බන්ධව හෝ පවත්නා අන්තර, ඡිද්‍ර, විවර ආධ්‍යාත්මික ආකාශයයි. සත්ව ශරීරයෙන් බැහැර බාහ්‍ය ලෝකයෙහි පවත්නා අන්තර, ඡිද්‍ර, විවර බාහිරාකාශයයි.
ඉහත සඳහන් විවරණයෙන් පෙනෙන්නේ අභිධර්මයෙහි කියැවෙන ආකාශධාතුව නම් ඡිද්‍ර, විවර, අන්තර යනාදිය බවයි. අභිධර්මයෙහි ආකාශධාතුව උපාදා රූප සංඛ්‍යාවෙහි ලා ගැනීමේ හේතුව ද මෙයින් පැහැදිලි වේ. රුප්පනය හා ප්‍රතිඝාතය රූපයාගේ හෙවත් භෞතික ද්‍රව්‍යයාගේ ප්‍රධාන ලක්ෂණයෝය. ආකාශධාතුව මේ ලක්ෂණ ද්වයයෙන් ම විනිර්මුක්තය. එහෙත් එය රූපය ඇති තැන ම, රූපය නිසා ම, පහළ වේ. එහි කෘත්‍යය නම් රූපයන්ගේ පර්යන්තය හෙවත් කෙළවර ප්‍රකාශ කිරීමයි. මෙය රූපයන්ගේ යට භාගයය, මෙය රූපයන්ගේ මතු භාගයය, මෙය රූපයන්ගේ ඉදිරිපසු භාගයය, මෙය රූපයන්ගේ සරස යයි මෙසේ රූපයන්ගේ කෙළවර හෙවත් සීමාව ආකාශය විසින් වෙන් කරනු ලැබේ. මෙසේ රූපලක්ෂණයෙන් විනිර්මුක්ත වූ නමුදු රූපය ඇති තැන ම, රූපය නිසා ම පහළ වන හෙයින් ආකාශධාතුව උපාදා රූප සංඛ්‍යාවෙහි ලා ගැනේ. (රූපයන්ගේ ඇතැම් අවස්ථා හා ලක්ෂණ ද අභිධර්මයෙහි රූපධර්ම ගණයෙහි ලා සලකනු ලබන බව මෙහි දී සඳහන් කළ යුතුය.) ආකාශධාතුව පරිච්ඡේද රූප, පරිච්ඡින්න රූප යන නම්වලින් අටුවාටීකාවල හඳුන්වා තිබීම පූර්වෝක්ත විග්‍රහය තහවුරු කරන්නකි. එය රූපයන් පරිච්ඡේදනය කරන හෙයින් පරිච්ඡේද රූප නම් වෙයි ; රූපයන් විසින් පරිච්ඡේදනය කරනු ලබන හෙයින් පරිච්ඡින්න රූප නම් වෙයි.
ආකාශය පිළිබඳව මීට වෙනස් විවරණයක් මිලින්ද ප්‍රශ්නයෙහි දක්නා ලැබේ: ආකාශය ඒක දේශයකිනුදු ග්‍රහණය කළ නොහැකියි (සබ්බසො අගය්හො); ඍෂි-තාපස-භූත-ද්විජ ආදීන් විසින් අනුසඤ්චරිතය (ඉසි-තාපස-භූත-දිජගණානුසඤ්චරිතො); සන්ත්‍රාසජනකය (සන්තාසනියො); අන්තයක්, කෙළවරක් නැත (අනන්තො); ප්‍රමාණ කළ නොහැකිය (අප්පමෙය්‍යො); කිසිවක් හා ඇලී නැත (අලග්ගො); කිසිවකට බැඳී නැත (අසත්තො); කිසිවක් පිහිට කොට නැත්තේය. (අප්පතිට්ඨිතො); කිසිවකින් පරිබාධිත නොවේ (අපළි බුද්ධෝ). නිර්වාණය මෙන් ආකාශය ද කර්මයෙන් හෝ හේතුවෙන් හෝ ඍතුවෙන් හෝ හට නොගත්තේය (අකම්මජ, අහේතුජ, අනුතුජ).
මේ ආකාරයෙන් මිලින්ද ප්‍රශ්නයෙහි විස්තර කරන ලද ආකාශය උපාදා රූපයක් වශයෙන් දක්වන ලද ආකාශධාතුව නොවන බව පෙනේ. ආකාශධාතු (උපාදා රූප) නමින් දක්වනු ලබන්නේ ඡිද්‍ර විවරාදියයි; මිලින්ද ප්‍රශ්නයේ ආකාශ නමින් දක්වනු ලබන්නේ භෞතික වස්තූන්ගේ අස්තිත්වයට උපකාර වන අනන්තාකාශයයි. අටුවාටීකාවල මේ ආකාශය අජටාකාස, අනන්තාකාස, තුච්ඡාකාස යන නම්වලින් හැඳින් වේ. දෙවැදෑරුම් ආකාශයක් ථෙරවාදයෙහි දක්නා ලැබෙන බව මේ අනුව සිතීමට ඉඩ තිබේ. කාශ්මීර වෛභාෂික නිකායේ මත ඇතුළත් අභිධර්මකෝෂභාෂ්‍යයෙහි ද මෙවැනි ම අදහසක් දක්නා ලැබේ. වෛභාෂික මතය අනුව ද ආකාශය දෙවැදෑරුම් වේ. පළමු වැන්න ආකාශ ධාතු නමින් ද දෙවැන්න හුදෙක් ආකාශ නමින් ද හැඳින්වේ.
ආකාශධාතුව ඡිද්‍ර විවරාදියයි. වෛභාෂික මතයට අනුව මෙකී ආකාශධාතුව ආලෝකයෙන් හෝ අන්ධකාරයෙන් (තමස්) යුක්ත ද, එහෙයින් සනිදර්ශන ද වෙයි. යමක් සනිදර්ශන නම් එය චක්ෂුරායතනයට විෂය වේ. එහෙයින් ආකාශධාතුව චක්ෂුරායතනයට අනුරූපව පවත්නා රූපායතනයෙහි කොටසකැයි වෛභාෂිකයෝ සලකති. අනෙක් අතට ථෙරවාදීන් කියන්නේ ආකාශ ධාතුව භෞතික පඤ්චේන්ද්‍රියයනට විෂය නොවන බවය. එය ග්‍රහණය කළ හැක්කේ මනෝවිඤ්ඤාණයෙනි; අනුමාන වශයෙනි. එහෙයින් එය මනායතනයට අනුරූපව පවත්නා ධර්මායතනයේ කොටසකැයි ථෙරවාදීහු කියති.
හුදු ආකාශ නමින් සඳහන් වන දෙවැන්න නිත්‍ය යයි ද, සර්වගත යයි ද, අනන්ත යයි ද වෛභාෂිකයෝ කියති. එහි ප්‍රධාන ලක්ෂණය නම් අනාවරණ ස්වභාවයයි. එනම්, එය කිසිවකට බාධනය නොකරන බව (න ආවෘණොති) සහ කිසිවකින් බාධිත නොවන බවය (න ආව්රියතෙ). එහෙත් මේ කියන ලද ආකාශය හුදු අනාවරණහාවමාත්‍රය ම නොව, පරමාර්ථ වශයෙන් පවත්නා (පරමාර්ථතඃ) වාස්තවික (ද්‍රව්‍යත:) ධර්මයකි. ප්‍රතිසංඛ්‍යා හා අප්‍රතිසංඛ්‍යා යන නිරෝධද්වය මෙන් ආකාශය ද කිසි ම ප්‍රත්‍යයකින් හෝ හේතුවකින් හෝ නොහටගත්, ජාති-ස්ථිති-ජරතා-විනාශ යන චතුර්විධ සංස්කෘත ලක්ෂණයන්ගෙන් විනිර්මුක්ත ධර්මයකැයි විශ්වාස කරන වෛභාෂිකයෝ එය අසංස්කෘත ධර්ම සංඛ්‍යාවෙහි ලා සලකත්. මිලින්ද ප්‍රශ්නයේ විස්තර කරන ලද ආකාශය ද මීට සමාන බව පෙනේ. එහෙත් වෛභාෂිකයන් මෙන් ථෙරවාදීන් ආකාශය අසංස්කෘත ධර්මයකැයි සැලකූ බවට ස්ථීර සාක්ෂි නැත.
සෞත්‍රාන්තික මතය ඉහත සඳහන් වෛභාෂික මතයට ඉඳුරා ම වෙනස්ය. සෞත්‍රාන්තිකයන් කියන හැටියට ආකාශය වාස්තවික දෙයක් නොව ප්‍රඥප්තිමාත්‍රයකි. ඒ වනාහි ප්‍රතිඝාත ලක්ෂණ සහිත ද්‍රව්‍යයන්ගේන් අභාව මාත්‍රයයි (සප්‍රතිඝ ද්‍රව්‍යාභාවමාත්‍ර-අභිධර්මකොෂභාෂ්‍යය). මාධ්‍යමික නිකායේ මතය ද මෙය මය.
ජෛන මතය
ජෛන ධර්මයෙහි ඇතුළත් තත්ත්ව නවයෙන් දෙවැන්න වූ අජීවය අරූපී, රූපී යයි ප්‍රධාන කොටස් දෙකකට බෙදා තිබේ. අරූපීය අජීවය ධර්මාස්තිකාය, අධර්මාස්තිකාය, ආකාශාස්තිකාය හා කාල යයි කොටස් සතරකින් යුක්තය. මොවුනතුරෙන් ආකාශාස්තිකායයේ ස්වභාවය අනිකුත් සෑම වස්තුවකට ම ඉඩ සලසා දීමයි. පහනක් දැල්වූ විට එහි ආලෝකය පැතිර යාමට ද බිත්තියට ඇණයක් ගැසූ විට එය බිත්තිය තුළට ඇතුළු වීමට ද ඉඩ සලසා දෙන්නේ ආකාශයයි. සීනි ගුළියක් වතුර කෝප්පයකට දැමූ විට එය දියවෙයි. එකල ජලය ජලය හැටියටත් සීනි සීනි හැටියටත් පවතී යයි ජෛනයෝ කියති. එහෙත් කිසියම් ගුප්ත බලයකින් සීනි දිය වී යාමට ඉඩ සලසන බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ ගුප්ත බලය ආකාශාස්තිකාය හැටියට ඔව්හු හඳුන්වති. කිසියම් ගෘහයක් එහි වැසියන්ගේ වාසයට යම් සේ ඉඩ සලසා දේ ද එපරිද්දෙන් ආකාශාස්තිකාය ද අජීවයන්ගේ වාසයට ඉඩ සලසා දෙයි. ස්කන්ධ, දේශ, ප්‍රදේශ යයි ආකාශාස්තිකාය කොටස් තුනකට බෙදා තිබේ. ආකාශය අනන්ත ප්‍රදේශයන්හි පැතිර පවතී. එය කිසිවකුගේ මැවීමක් නොවේ. ලෝකාකාශ, අලෝකාකාශ යයි එහි ප්‍රභේද දෙකකි. ලෝකාකාශය ධර්ම,අධර්ම, කාල, පුද්ගල, ජීව යන පසින් යුක්තය. එය සප්‍රාණික අප්‍රාණික සියලු වස්තූන්ගේ නිවාසයයි. අලෝකාකාශය කිසිවක් නොමැති ශූන්‍ය ස්ථානයකි. ලෝකයේ පැවැත්ම සිදු වන්නේ ජීව, ධර්ම, අධර්ම, ආකාශ, කාල, පුද්ගල යන සයෙන් යයි ජෛනයෝ විශ්වාස කරති. මැවුම්කරුවකු පිළිබඳ විශ්වාසයක් ඔවුනට නැත.
ධර්ම, අධර්ම, ආකාශ, කාල, පුද්ගල, ජන්තු යන මොවුන්ගෙන් ලෝකය නිර්මාණය වූ බව ද ජීවීන්ගෙන් හා ප්‍රාණයෙන් තොර වස්තූන්ගෙන් සමන්විත කොටස ලෝක නම් වූ බව ද අජීව වස්තු පමණක් දක්නට ලැබෙන කොටස අලෝක නම් වූ බවද ලෝක අලෝක දෙක ම ආකාශය මගින් පුරවන බව ද ධර්ම අධර්ම ආකාශ යන තුන ම සදාකාලික වශයෙන් අක්මුල් නැති පදාර්ථ බව ද උත්තරාධ්‍යයන සූත්‍රයෙන් පැවසේ.
න්‍යාය මතය
න්‍යාය දර්ශනයෙහි පෘථිවි, ජල, අග්නි, වායු, ආකාශ යන පස භූතයන් හැටියට හඳුන්වා තිබේ. නාසය, දිව, ඇස, සිවිය (සම) හා කන පිළිවෙළින් යථෝක්ත භූතයන්ගෙන් හටගත් හෙවත් යථෝක්ත භූතයන් ස්වභාව කොට ඇති ඉන්ද්‍රියයෝ වෙති. නාසයට විෂය වූ ගන්ධය පෘථිවියෙහි ද දිවට විෂය වූ රසය ජලයෙහි ද ඇසට විෂය වූ රූපය (වර්ණය) අග්නියෙහි ද සිවියට විෂය වූ ස්පර්ශය වායුවෙහි ද කනට විෂය වූ ශබ්දය ආකාශයෙහි ද විශිෂ්ට ලක්ෂණ වේ. සෑම තන්හි ම පැතිර පවත්නා ඒ ආකාශයෙහි විශේෂ ගුණ තුනකි. ඒ තුන නම් නෙරපා දැමිය නොහැකි බව, අවහිර නොකළ හැකි බව, සෑම තැන ම ව්‍යාප්ත බව යන මොව්හුය. එය නෙරපා දැමිය නොහැක්කේ එහි කිසි රූපයක් නැති බැවිනි. ඊට අවහිර කළ නොහැක්කේ එය ස්පර්ශ කළ නොහැකි බැවිනි. එය සැම තැන ම ව්‍යාප්ත වන්නේ සෑම තන්හි ම පැතිර පවත්නා බැවිනි.
වෛශේෂික මතය
වෛශේෂික දර්ශනයෙහි ආකාශය මනසට (මානසික හැඟීමට) හෝ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන විශේෂ ගුණවලින් යුත් ද්‍රව්‍යයක් හැටියට හැඳින්වේ. ද්‍රව්‍යයන්ගේ ප්‍රභේද නවයකි. ඒවා නම් පෘථිවි, ජල, අග්නි, වායු, ආකාශ, කාල, දික්, ආත්ම හා මනසයි. මොවුනතුරෙන් ආකාශ, කාල, දික් හා ආත්ම අනන්තය. ආකාශය සදාකාලිකය. ශබ්ද, සංඛ්‍යා, පරිමාණ, පෘථක්ත්ව, සංයෝග, විභාග යන ගුණ සය එහි ඇතුළත්ය. ශබ්දය එහි විශිෂ්ට ගුණයයි. එහි විද්‍යමානත්වය අනුමාන වශයෙන් හැඟීම වන්නේ පරිශේෂයෙනි. ශබ්දය හැඳින ගැනීමට හෙවත් ශ්‍රවණයට ආකාශය උපකාරී වේ. කන් සිදුරු ද ආකාශයේ කොටසකි.
සාංඛ්‍ය මතය
නිෂ්ක්‍රමණය හා ප්‍රවේශනය ආකාශයාගේ ලිංගය (ලක්ෂණය) හැටියට සාංඛ්‍ය දර්ශනයෙන් පැවැසේ. සීමාසහිත දික්කාලයන්ගේ ප්‍රභවය ආකාශයෙන් හා උපාධීන්ගෙන් සිදුවන බැවින් ඒවා ආකාශයට ම ඇතුළත් කර තිබේ. සදාකාලික වශයෙන් ගැනෙන දික්කාල දෙදෙනා ආකාශයාගේ ප්‍රකෘති හෙවත් මුල් හේතුය. ඒවා විශේෂ ගුණ හෙවත් ප්‍රකෘතියේ රූපාන්තරකරණ හැටියට සැලකිය හැක. දික්කාල දෙදෙනා මෙන් ම ආකාශය ද සෑම තන්හි ම පැතිර පවත්නා බව "ආකාශවත් සර්වගතශ්ච නිත්‍යං" යන ශ්‍රැති පාඨයෙන් ද හෙළිවේ. එහෙත් සීමා නියමයක් ඇති දික් කාල දෙදෙනාගේ ප්‍රභවය සිදුවන්නේ උපාධි ආදි සීමාසහිත වස්තූන් හා ආකාශයේ සංයෝගයෙනි.
සූක්ෂ්ම පදාර්ථයන්ගෙන් භූතයන්ගේ ප්‍රභවය වන බවත් ආකාශාදි මහාභූතයන්ගේ ප්‍රභවය පඤ්ච තන්මාත්‍රයන්ගෙන් හා සූක්ෂ්ම පදාර්ථයන්ගෙන් වන බවත් සාංඛ්‍ය දර්ශනයෙන් පැවසේ. තන්මාත්‍රයන්ගෙන් හටගත් පංචභූතයන්ගෙන් ශාන්ත (සුඛ ලක්ෂණ), ඝෝර (දුඃඛ ලක්ෂණ), මූඪ (මෝහජනක) යන ගුණ මනුෂ්‍යාදීන් කෙරෙහි බලපවත්වන බව සාංඛ්‍යකාරිකාවෙහි සඳහන් වේ. යථෝක්ත ගුණ මනුෂ්‍යයා කෙරෙහි බලපවත්වන අයුරු දැක්වීමේ දී ගෘහාදියකින් හදිසියෙන් පිටතට නික්මුණු කිසිවකුට ආකාශභූතයා හේතුකොටගෙන සුඛාත්මක ශාන්තියක් ඇතිවන බව ද එමෙන්ම ශීත, උෂ්ණ, වායු, වර්ෂාදියෙන් දුක් ඇතිවන බව ද වන මාර්‍ගයකින් යාමේ දී මංමුළාවීම ඇති වන බව ද එපරිද්දෙන් ම අධික ග්‍රීෂ්මයෙන් පීඩිත වූවකුට වාතය සුව එළවන බව ද ශීතලෙන් පීඩිත වූවකුට එය අහිතකර බව ද වැලි දූලි ආදිය උඩට නංවමින් හමන චණ්ඩ මාරුතයකින් මුළාව ඇති කරන බව ද අනිකුත් භූතයන් සම්බන්ධයෙන් ද මේ අනුව සිතිය යුතු බව ද සඳහන් වේ. ආකාශය සාංඛ්‍ය දර්ශනයෙහි ඇතුළත් තත්ත්ව විසි පහෙන් ද එකකි.
ග්‍රීක දාර්ශනික මතය
ග්‍රීක දර්ශනයේ ආකාශය පිළිබඳව පරස්පර විරෝධී මත දෙකක් පැවතිණි. පෛතගරීය ශාඛාවේ ප්‍රචලිත එක මතයකට අනුව සෑම දෙයක් ම ප්‍රතිෂ්ඨිත ව තිබුණේ ආකාශයෙහිය. එහෙත් ඉලියැටික් ශාඛාවේ පැවතුණේ මීට හාත්පසින් විරුද්ධ මතයකි. මේ ශාඛාවේ මුල පිරූ පාමෙනෛඩීස්ගේ දර්ශනයට අනුව ශූන්‍ය ආකාශය අභාව මාත්‍රයකි. ශූන්‍ය ආකාශයක් ගැන කථා කිරීම අස්තික අනස්තිකයක් ගැන කථා කිරීමකි. මෙය පරස්පර විරෝධී සංකල්පයක් බැවින් ශූන්‍ය ආකාශය අභාව මාත්‍රයකි. අනතුරුව මේ ශාඛාවට අයත් දාර්ශනිකයකු වූ සේනෝ ආකාශය අස්තිත්වයක් වශයෙන් සැලකූ පෛතගරීය මතයට විරුද්ධව තර්ක කෙළේය. ඇරිස්ටෝටල් මේ තර්ක කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. එය මෙසේය: ආකාශයක් තිබේ නම් එය යමක තිබිය යුතුයි. අස්තිත්වයක් ඇති සියල්ල ම යමක තිබෙන හෙයිනි. යමක තිබෙන දෙයක් ද ආකාශයෙහි තිබිය යුතුයි. එහෙයින් ආකාශය ආකාශයේ තිබිය යුතුයි. අන්ත රහිතව මෙසේ වන බැවින් ඇත්ත වශයෙන් ම ආකාශයක් නැත. ආකාශය අභාව මාත්‍රයකැයි දැක්වීමට සේනෝ මෙවැනි තර්ක කීපයක් ම ඉදිරිපත් කළේය. එහෙත් පරමාණුවාදීහු ආකාශයක් ඇතැයි පිළිගත්හ. ඔවුන් පිළිගත්තේ සෑම දෙයක් ම පිහිටා තිබෙන ආකාශයක් නොව පරමාණු නැති තැන පමණක් පිහිටි ශූන්‍ය ආකාශ යයි.
ක්‍රිස්තියානි මතය
ශුද්ධවූ බයිබලයේ උත්පත්ති කථාව ආරම්භයේ දී ම "පටන් ගැන්මේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේකැ"යි සඳහන් වේ. පසු දින දෙවියන්වහන්සේ "ජලමධ්‍යයෙහි ආකාශයක් වේවා, එය කරණකොට ගෙන ජලයෙන් ජලය වෙන් වේවා"යි කී බවත් මෙසේ ආකාශය සාදා ඊට උඩින් තිබුණ ජලයෙන් යටින් තිබුණ ජලය වෙන් කළ බවත් ආකාශයට අහස යයි නම් තැබූ බවත් තුන්වන දිනයෙහි අහස යට තිබෙන ජලය එක් තැනකට රැස්වීමෙන් වියළි බිම පෙනේවයි කීමෙන් එසේම වූ බවත් එම ග්‍රන්ථයෙන්ම පැවැසේ. ආකාශයේ කවුළු විවෘතවීමක් ගැන උත්පත්ති පොතේ ද අහස විවරවීමක් හා පළිඟුපාට අහස්තලයක් ගැන අනාගතවක්තෘ වූ එශකියෙල්ගේ පොතේ ද සඳහන් කර ඇත.
ශරතුස්ට්‍ර මතය
අහුරමස්දාගේ මැවීම් අතුරෙන් පළමු වැන්න ආකාශය හැටියට බුන්ඩහිස් නමැති ග්‍රන්ථයෙන් පැවසේ. වරක් අංග්‍රමෛන්‍යු පලවා හැරීමට පැමිණි අහුරමස්දා ඔහුගේ ගමන වැළැක්වීමට ආකාශයෙහි පවුරක් මැවූ බව ද එහිම සඳහන් වේ.
දාදිස්තානී දීනීක් නමැති ග්‍රන්ථයෙන් කෙරෙන ප්‍රකාශයක ආකාශය එක සමාන කොටස් තුනකින් යුක්ත බව කියැවේ. මොවුනතුරෙන් ඉහළින් ම පිහිටි ආකාශය අනන්ත වූ ආලෝකය හා සම්බන්ධ ව පවත්නේය. එය හැම කල්හි ම යහපත සලසන ආකාශයයි. ඉතා පහළින් පිහිටි ආකාශය අන්ධකාරයෙන් ගහන වූ පාතාලය කරා ළඟා වේ. එය පාපයෙන් භරිත වූ රාක්ෂසයන්ගේ වාසස්ථානයයි. තුන්වන කොටස උඩ සහ යට පිහිටි ආකාශ දෙක අතර ඇත. ලෝකයට සම්බන්ධ මැවීම් සියල්ලක් ඇත්තේ මෙහිය.
ඉතා ඉහළින් පිහිටි ආකාශයේ මුදුන් කොටස ගරෝද්මානෝ ද්‍රැපුස්තෝ (ශ්‍රෙෂ්ඨතම ස්වර්ගයේ ප්‍රාකාරය) යන නමින් හැඳින්වේ. සර්වාලංකාරයෙන් හෙබි සෑම ප්‍රීතියක් ම ගෙන දෙන අයුරු අහුරමස්දා විසින් නිර්මල ලෙස මවන ලද මේ ආකාශය කරා යාමට රාක්ෂසයන්ට අවකාශයක් නැත. ආකාශය පුළුල් වූද උස් වූ ද අර්ධ ගෝලාකාර ශිඛරයකි.
ජ්‍යෝතිෂයෙහි
ආකාශය හා වෙනත් මැවීම පිළිබඳ විස්තරයක් සුර්ය සිද්ධාන්තයෙහි දැක්වේ. බ්‍රහ්මයාගේ මනසින් ආකාශය ද ආකාශයෙන් වායුව ද වායුවෙන් අග්නිය ද අග්නියෙන් ජලය ද ජලයෙන් පෘථිවිය ද හටගත් බව ඉන් පැවසේ. ආකාශය මනසින් හටගත් බැවින් එහි එක ම ශබ්ද ගුණය ද වායුව ආකාශයෙන් හටගත් බැවින් එහි ශබ්ද ස්පර්ශ යන ගුණ දෙක ද අග්නිය වායුවෙන් හටගත් බැවින් එහි ශබ්ද, ස්පර්ශ, රූප යන ගුණ තුන ද ජලය අග්නියෙන් උපන් බැවින් එහි ශබ්ද, ස්පර්ශ, රූප, රස යන ගුණ සතර ද, පෘථිවිය ජලයෙන් හටගත් බැවින් එහි ශබ්ද, ස්පර්ශ, රූප, රස, ගන්ධ යන ගුණ පස ද පවතී. රව්‍යාදි පඤ්චග්‍රහයන්ගේ උත්පත්තිය අග්නි, පෘථිවි, ආකාශ, ජල, වායු යන පඤ්චභූතයන්ගෙන් විය. ඉන්පසු බ්‍රහ්ම තෙමේ ඛගෝලය දොළොසකට බෙදීමෙන් රාශි වෘත්තය ද සත් විස්සකට බෙදීමෙන් නක්ෂත්‍ර වෘත්තය ද ඇති කෙළේය. මීට අනතුරුව අනිකුත් මැවීම් ආදිය පිළිබඳ විස්තර සූර්යය සිද්ධාන්තයෙහි ඇතුළත්ය. ශ්‍රැති පුරාණාදියෙහි ද සඳහන් මේ මතය මඳ වෙනසක් සහිතව සිද්ධාන්ත ශිරෝමණියෙන් ද පැවසේ. සියලු ම ග්‍රහ නක්ෂත්‍ර තාරකා පිහිටා තිබෙන ආකාශ කුක්ෂිය ඛගෝලය නමින් හැඳින් වේ. ග්‍රහ කක්ෂ සත පිහිටියේ මෙහිය. සියල්ලට ම ඉහළින් නැකත් ද ඊට පහළින් ක්‍රමයෙන් ශනි, ගුරු, කුජ, රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර කක්ෂ ද ඊට පහතින් සිද්ධ විද්‍යාධර ලෝක හා මේඝ ද වේ.
නව්‍යමතය
මීට වෙනස්ය. ඒ අනුව සියල්ලට ම ඉහළින් නක්ෂත්‍ර චක්‍රය ද ඊළඟට ක්‍රමයෙන් නැප්චූන්, යුරේනස්, ශනි, ගුරු, කුජ, චන්ද්‍ර, පෘථිවි, ශුක්‍ර, බුධ, සූර්‍ය්‍ය යන කක්ෂ ද පිහිටා ඇත. අස්විදාදි නැකත් සත්විස්ස ඇතුළත් තාරකා චක්‍රය දොළසකට බෙදීමෙන් මේෂාදී රාශි වෙන් කර තිබේ. එක් රාශියක ප්‍රමාණය අංශක තිහක් බැවින් මුළු රාශිචක්‍රය අංශක 360කින් යුක්ත වේ. එක් එක් රාශියක් දෙර්කාණනවාංශාදි වශයෙන් කොටස් සමූහයකට බෙදා තිබේ. පෘථිවි පෘෂ්ඨයෙහි පටන් බ්‍රහ්මාණ්ඩය දක්වා ආවහ, ප්‍රවහ, උද්වහ, සංවහ, සුවහ, පරිවහ, පරාවහ යයි වායුස්කන්ධ සතකි. ආකාශයෙහි වීථි නවයක් ඇතැයි ගර්ගාදීන් විසින් ප්‍රකාශිතයි. අස්විද නැකතේ පටන් එකකට නැකත් තුන බැගින් ගැනීමෙන් මේ වීථි නවය වෙන් කර තිබේ.
(සංස්කරණය: 1965)