ආටස'ක්සීස්
(Artaxerxes) යන්න පර්සියාවේ පැරණි ඇකමේනියානු රජවරුන් තිදෙනකු විසින් ම දරන ලද රාජකීය නාමයකි. මෙය ආතක්ෂත්ර නොහොත් ආදාෂීර් යන පර්සියානු නාමයන් අනුව ග්‍රීකයන් තනාගත් වචනයකි. සර්වසම්පූර්ණ අධිරාජ්‍යයක් හිමි තැනැත්තා යන අදහස මෙයින් ලැබේ.
ආටස'ක්සීස් නම දැරූ පර්සියාවේ ඇකමේනියානු රජවරුන් තිදෙන හැර පර්සියාවේ තුන්වන ඩේරියස් රජු ජීවිතක්ෂයට පත් කිරීමෙන් පසුව රජකමට පත් බේසුස් නමැත්තා ද රාජකීය නාමය වශයෙන් දැරූයේ ආටස'ක්සීස් යන්නයි. මේ හැර පර්සියාවේ තවත් රාජ පරම්පරා කිහිපයක රජවරුන් ද මේ නාමය දැරූ බව පෙනේ. පාතියන් යුගයේ දී පර්සියාවේ රජ කළ රජවරුන් කිහිපදෙනකුන් ම හැඳින්වුණේ මේ නමිනි. පර්සියාවේ සසාන් වංශයේ රජවරු තිදෙනෙක් ද ආටස'ක්සීස් (ආදාෂීර්) යන නමින් දන්නා ලදහ. ආර්මීනියාවේ රජවරුන් කිහිප දෙනෙක් ද මේ නාමය කෙටි කොට තනා ගත් ආතෂීස් යන නමින් ප්‍රසිද්ධ වූහ.
ආටස'ක්සීස් I
(රා.ස. ක්‍රි.පූ. 465–425): පර්සියාවේ ඇකිමේනියානු රාජවංශයට අයත් රජෙකි. මෙතෙම පර්සියාවේ ස'ක්සීස් රජුගේ බාල පුත්‍රයාය.
මොහුගේ සුරත වමතට වඩා දික් වූ හෙයින් "දිගු අතක් ඇත්තා" යන අරුත් ඇති ලොංගිමානුස් යන අපර නාමය මොහුට ව්‍යවහාරය. ආරක්ෂක භට හමුදාවේ කපිතන් කෙනෙකු වූ අර්තබනුස් නමැත්තකු විසින් ක්‍රි.පූ. 465 දී පමණ මොහුගේ පියා ජීවිතක්ෂයට පත් කරන ලදි. ඉන්පසු මේ නිලධාරියා විසින් ම ආටස'ක්සීස්ට රජකම පවරනු ලැබීය. තමාගේ පියාගේ මැරුම්කෑම පිළිබඳ තොරතුරු පසුව ආටස'ක්සීස් රජුට දැන ගැනීමට ලැබුණෙන්, ඔහු අර්තබනුස් හා ඔහුගේ පුතුන් සියලු දෙනා මරා දමා තම පියාට කරන ලද අපරාධයට අර්තබනුස්ගෙන් පළි ගත්තේය. මෙතෙම තරමක් දුර්වල පාලකයකු වූ බව ද තම මෑණියන් වූ අමෙස්ත්රිස්ගේත් බිසව වූ අමිතිස්ගේත් බලපෑම් වලට යටත්ව විසූ බව ද පෙනේ.
පර්සියානු අධිරාජ්‍යයේ පිරිහීම ඇරඹුණේ ආටස'ක්සීස්ගේ රාජ්‍ය කාලයේ දී බව කියති. සාමාන්‍යයෙන් සලකා බලන විට මොහුගේ දීර්ඝ රාජ්‍ය කාලය (465–425) තරමක් දුරට සාමයෙන් පැවති නමුත්, එකල රටේ ඇති වූ කැරලි කිහිපයක් නිසා සාමයට වරින්වර බාධා ඇති විය. මොහුගේ රාජ්‍ය කාලයේ මුල හරියේ දී ම (ක්‍රි.පූ. 462 දී පමණ) තමාගේ වැඩිමහල් සොහොයුරකු වූ විෂ්තාස්ප මොහුට විරුද්ධව බැක්ටීරියාවේ දී කැරැල්ලක් ගැසීය. එහෙත් මේ කැරැල්ල පහසුවෙන් ම මැඩ පවත්වන ලදි. මිසරයේ ඉනාරුස් නමැත්තකුගේ නායකත්වයෙන් ක්‍රි.පූ. 460 දී ඇරඹුණු දරුණු කැරැල්ල අවසන් වූයේ ක්‍රි.පූ. 454 දී ය. ක්‍රි.පූ. 449 දී පමණ ඇතන්ස් රාජ්‍යය හා පර්සියානු රාජ්‍යය අතර ඇති වූ යුද්ධය ක්‍රි.පූ. 448 දී අවසන් වූයේ පර්සියාවට තරමක් වාසි ඇතිවය. සේමියන් යුද්ධයේ දී හා පෙලොපොනීසියන් යුද්ධයේ දී ආටස'ක්සීස් රජ මධ්‍යස්ථව සිටියේය.
ක්‍රි.පූ. 425 දෙසැම්බර් මාසයේ දී පමණ සිදු වූ ආටස'ක්සීස්ගේ මරණයෙන් පසු ඔහුගේ පුතුන් අතරේ රජකම පිළිබඳව ආරාවුල් ඇති වූයෙන් ස්වල්ප කාලයක් රට කලබල වලින් පිරී පැවතුණි.
ආටස'ක්සීස් II
(නීමොන්) රා.ස. ක්‍රි.පූ. 404-358. පර්සියාවේ ඇකිමේනියානු රාජවංශයට අයත් රජෙකි. දෙවන ඩේරියස් රජුගේ වැඩි මහලු පුත්‍රයාය. ක්‍රි.පූ. 404 දී පමණ සිදු වූ ඩේරියස් රජුගේ මරණයෙන් පසු මෙතෙම පර්සියාවේ රජකමට පත් විය. මොහුගේ රාජ්‍ය කාලයේ මුල් හරියේ දී ම, එනම් ක්‍රි.පූ. 401 දී පමණ, සයිරස් නම් වූ සොහොයුරෙක් ස්පාටාවේ ද ආධාරය ලැබ මොහුට විරුද්ධව සටනක් ඇරඹීය. බැබිලෝනියාවේ කුනාක්සාහි දී සයිරස් පරාජයට පත් කළ නමුත් මේ සටන පර්සියානු අධිරාජ්‍යයේ පිරිහීමට හේතුවක් විය. සතුරු පක්ෂය යටතේ කුලියට සේවය කළ “දස දහසක්” ග්‍රීක හේවායන්ට පර්සියන් අධිරාජ්‍යයේ අභ්‍යන්තරයට ම කාවැදීමට අවස්ථාවක් ලැබුණු හෙයිනි. සයිරස්ගේ පරාජයෙන් පසු මේ ග්‍රීක සේනා පර්සියානු භූමියෙන් පලවා හරිනු ලැබූහ. ("පලායන දස දහස"ගේ නායකයකු වශයෙන් ක්‍රියා කළ සෙෆන් නමැති ග්‍රීක ඉතිහාසඥයා ඇනබැසිස් නම් තම ග්රන්ථයෙහි විස්තර කර ඇත්තේ ඒ පසු බැසීමේ ප්රවෘත්තියයි.) එහෙත් පසු කල පර්සියන් ක්ෂත්රපවරුන් පවා අධිරාජයාට විරුද්ධව කැරලි ගැසූ සමහර අවස්ථාවල දී මේ ග්‍රීක හේවායන්ගේ ආධාරය ලබා ගන්නා ලද බවත් ඒ නිසා දෙවන ආටස'ක්සීස් රජුගේ රාජ්‍ය කාලය කැරලි කෝලාහලවලින් ගහන යුගයක් වූ බවත් පෙනේ. එකල පර්සියාවට යටත්ව තුබූ මිසරය පර්සියන් පාලනයට විරුද්ධව කැරලි ගැසීය. ආටස'ක්සීස්ට එය මැඩපවත්වන්නට නොහැකි විය. ක්‍රි.පූ. 399 දී පර්සියාව හා ස්පාටා රාජ්‍යයේ ආකිලෝස් රජු අතර යුද්ධයක් ඇති වුණි. එහි දී ආටස'ක්සීස් රජ ඇතන්ස් හා තීබ්ස් යන ග්‍රීක රාජ්‍යයන් ස්පාටාවට විරුද්ධව පොලඹවා ගැනීමෙහි සමත් විය. එර්නඛසස් නම් පර්සියානු සෙනෙවියා කොනන් නම් ඇතීනියානු නැවියාගේ ද සලාමිස්හි එවගෝරස් නම් රජුගේ ද ආධාරයෙන් සංවිධානය කරගත් පර්සියානු ඇතීනියානු හා සයිප්‍රස් (සලාමිස්) නාවික හමුදා නයිඩස්හි දී ස්පාටා නාවික හමුදාව විනාශ කර දැමීය. මේ ජයග්රහණයෙන් පසු තීබ්ස්, ඇතන්ස්, ආගොස් හා කොරින්ත් යන නගරවලින් රැස් වූ සේනා ස්පාටාවට විරුද්ධව කොරින්තියානු යුද්ධය ඇරඹූයෙන් ස්පාටන්වරුන්ට සුළු ආසියාවේ යුද්ධය අත්හරින්නට සිදු විය. ඇතන්ස් රාජ්‍යය යළිත් බලවත් බවට පත්වන ලකුණු පහළ විය. එවගෝරස් රජ ද මුළු සයිප්‍රසය ම යටත් කරගැන්ම පිණිස කැරලි ගැසීමට වන. මේ තත්වය නිසා ස්පාටන් රජ ඇන්ටැල්සිඩාස් නම් තානාපතියාගේ මාර්ගයෙන් ආටස'ක්සීස්ට සාම යෝජනා යැවීය. ඇන්ටැල්සිඩාස් සාම ගිවිසුම අනුව ආසියානු ග්‍රීක පෞරරාජ්‍ය සියල්ල ම ඇතන්ස් රාජ්‍යයේ විරෝධය නොතකා ම ආටස'ක්සීස් විසින් පර්සියාවට අයත් කර ගන්නා ලද්දේය. යුරෝපීය ග්‍රීක රාජ්‍ය ස්පාටාවට අයත් විය.
මේ වකවානුවේ දී ම යථෝක්ත එවගෝරස් පාලකයා සයිප්‍රස් රාජ්‍යය පර්සියානු පාලනයෙන් මුදා ගැනීමේ බලාපොරොත්තුවෙන් පර්සියාවට විරුද්ධව කැරලි ගැසීය. මේ කැරැල්ල මැඩ පවත්වනු ලැබූ නමුත් එව ගෝරස් සලාමිස්හි නිදහස් රජු හැටියට පිළිගැනීමට ආටස'ක්සීස්ට සිදු විය. ක්‍රි.පූ. 385–383 හා 374–372 දී ද ආටස'ක්සීස් විසින් මිසරය ආක්‍රමණය කරන ලද නමුත් ඒ දෙවාරයේ දී ම ඔහු එයින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලත් හෙයින් මිසරය පර්සියානු පාලනයෙන් මිදුණි. මේ සමයේ දී ම සුළු ආසියාවේ නොයෙක් ප්‍රදේශයන්හි විසූ පර්සියාවට යටත් පාලකයන් විසින් පර්සියන් පාලනයට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගන්නා ලදි. මේවායේ ප්‍රතිඵලය වූයේ එම පාලකයන්ගෙන් වැඩි දෙනකු නිදහස් රජවරුන් බවට පත්වීමය. ක්‍රි.පූ. 358 දී ආටස'ක්සීස් මිය යන විට පර්සියානු අධිරාජ්‍යයෙන් විශාල කොටසක් පර්සියානු පාලනයෙන් මිදී ගොස් තිබුණි. පර්සියානු (සොරොඇස්ටරියානු) දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිකිරීම පළමුවරට ඇරඹූයේ ආටස'ක්සීස් II රජු විසිනි. මිත්‍ර නම් වූ දෙවියන් පිදීම ජනප්‍රිය ආගමක් බවට පැමිණියේත් මේ රාජ්‍ය සමයෙහි දී ය.
ආටස'ක්සීස් III
(ඔක්රස්) රා.ස. ක්‍රි.පූ. 358-338. ආටස'ක්සීස් II රජුගේ පුත්‍රයෙකි. පියරජුගේ ඇවෑමෙන් (ක්‍රි.පූ. 358) මොහු පර්සියානු අධිරාජ්‍යයේ අධිරාජයා හැටියට පත්විය. කුලියට සේවය කළ යුද්ධ හමුදා සියල්ල ම අස් කර හරින ලෙස ක්‍රි.පූ. 356 දී පමණ මෙතෙම තමාගේ ක්ෂත්රපවරුන්ට නියෝග කළේය. බොහෝ දෙනකුන් මේ නියෝගය පිළිගත් නමුත් ෆ්‍රිජියාවේ ආතබසුස් නම් වූ පාලකයා මේ නියෝගයට විරුද්ධ වී කැරලි ගැසීය. එහෙත් මේ කැරැල්ල සාර්ථක නොවීය. තමාගේ පියා මෙන් ම තුන්වන ආටස'ක්සීස් ද මිසරය සම්පුර්ණයෙන් ම යටත් කිරීමට ඉටා ගත්තේය. ක්‍රි.පූ. 346 දී පමණ මිසරයට විරුද්ධව කරන ලද ආක්‍රමණය සාර්ථක නොවුව ද දෙවන වර කරන ලද ආක්‍රමණයෙන් ක්‍රි.පූ. 342 දී ආටස'ක්සීස්ට ජය ලැබුණි. මේ ජයග්රහණයෙන් පසු මොහු විසින් මිසර වැසියන් දහස් ගණනක් දරුණු වධ දී මරවන ලද බැවින් මොහු ක්‍රෑර පුද්ගලයකු හැටියට ඉතිහාසගත විය. මිසරයේ දී ලත් ජයග්‍රහණය නිසා ආටස'ක්සිස්ට තමාගේ ක්ෂත්රපවරුන් පහසුවෙන් පාලනය කර ගැනීමට ද මධ්‍යම ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීමට ද හැකි විය.
මෙතෙම ක්‍රෑර රජකු වූ නමුත් දක්ෂ පාලකයෙක් විය. බගොඅස් නම් වූ දක්ෂ ඇමතියකුගේ අනුශාසනය පරිදි මෙතෙම පර්සියානු අධිරාජ්‍යය පාලනය කළේය. එහෙත් ක්‍රි.පූ. 338 දී පමණ ආටස'ක්සීස්ට හා ඔහුගේ පුතුන් සියල්ලන්ට ද මේ අගමැතියාගේ අතින් මැරුම් කන්නට සිදු විය. ක්‍රි.පූ. 324 දී මොහුගේ පැරිසටිස් නම් දියණිය පර්සියාව දිනූ මහා ඇලෙක්සන්ඩර් රජුගේ බිසවක් බවට පත් වූවාය.
(සංස්කරණය: 1965)