ආභරණ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෞන්දර්ය අගය පිළිබඳ හැඟීමකින් පෞද්ගලික රුචියට හෝ සමකාලීන සිරිත් විරිත්වලට හෝ අනුව ශරීරයේ අංගප්‍රත්‍යංගයන් අලංකාර කිරීම සඳහා රන්රිදී මුතුමැණික් පබළු ඇත්දත් ආදි දෙයින් තනා පලඳිනු ලබන වස්තු ආභරණ නමින් හඳුන්වනු ලැබේ. භක්තිප්‍රකීර්තනයත් ආරක්ෂාව සහ රෝගනිවාරණය සලසා ගැනීමත් පිණිස ආගමික හෝ ආභිචාරික වශයෙන් ද සෞන්දර්යාස්වාදයත් ප්‍රමුඛත්වය සහ සමාජතත්වය හැඟවීමත් පිණිස ලෞකික හෝ සාමාජික වශයෙන් ද ආභරණ පැලඳීම කෙරෙයි. බෙන්තිඤ්ඤ, කොන්ත, ජපමාල ආදිය භක්තිප්‍රකීර්තනය පිණිසත් පඤ්චායුධ, නවරත්න මුදු, දිවිනියපොතු, මතුරා ජපකළ සුර ආදිය ආරක්ෂාව සහ රෝගනිවාරණය සලසා ගැනීම පිණිසත් ආගමික හෙවත් ආභිචාරික වශයෙන් ද නොයෙක් විසිතුරු මෝස්තරවලට අනුව හැඩවැඩ දමා තැනූ කනකර ආභරණ ආදිය සෞන්දර්යාස්වාදය පිණිසත් ඔටුනු, කඩුකස්තාන, දියමන්ති ආදි ඉතා වටිනා ගල් වර්ග ඔබ්බා කළ මුදු ආදිය ප්‍රමුඛත්වය සහ සමාජතත්වය හැඟවීම පිණිසත් ලෞකික හෙවත් සාමාජික වශයෙන් ද පලඳින සමහර ආභරණ වේ. විශේෂ ප්‍රයෝජනයක් සඳහා පලඳිනු ලබන අත් ඔරලෝසුව, කණ්ණාඩි කුට්ටම, සාරිකටුව, බඳපටිය හෝ හවඩිය ආදි වස්තු ද ආභරණ වශයෙන් ම සලකනු ලබන හෙයින් ඒවා නොයෙක් කලාත්මක මෝස්තර වලට අනුව තනනු ලැබෙයි. හිස් පලඳනා, පේරැස් මුදු, කඩුකස්තාන ආදි ආභරණ මුල දී විශේෂ ප්‍රයෝජනයක් සඳහා පාවිච්චි කරනු ලැබූ වස්තු වුව ද පසු කාලයේ දී ඒවා හුදෙක් අලංකාරය පිණිස පලඳින්නට වූ බව ද සිතිය හැකිය. ඇතැම් ආභරණ උත්සව ආදි විශේෂ අවස්ථාවල දී පමණක් පලඳිනු ලැබේ. නොයෙක් සමාජවල නර්තන අවස්ථාවන්හි පළඳනා ආභරණ සාමාන්‍ය අවස්ථාවල දී පලඳනා ඒවායින් වෙනස් වන්නේ නර්තනයට ආගමික හෙවත් ආභිචාරික ප්‍රභවයක් ඇති හෙයිනි. බොහෝ විට විවාහක හෝ අවිවාහක බවද ආභරණ වලින් හැඟවෙයි. ඉතිහාසය: ආභරණ වල ඉතිහාසය මිනිස් ඉතිහාසය තරම් පැරණි යයි සිතන්නට පිළිවන. මිනිසා ඇඳුම් අඳින්නට පුරුදු වීමට පවා පෙර ආභරණ පැලැන්දේ යයි ද සමහර ඇඳුම් ආභරණ වලින් ම විකාසනය වූයේ යයි ද සලකනු ලැබේ. මුල දී මිනිසා ගල් වර්ග, බෙලිකටු, සතුන්ගේ දත් සහ ඇට ආදියෙන් ආභරණ තනා ගත් බවත් ලෝහ වර්ග සොයා ගැනීමෙන් පසු ආභරණ නිෂ්පාදනයෙහි දියුණුවක් ඇති වු බවත් පෙනේ. රන්රිදී දෙක්හි ඇති දීප්තියත් මෘදු බවත් නිසා ආභරණ තැනීම පිණිස ගනු ලබන ලෝහ අතුරෙහි ඒවාට ප්‍රධාන තැන් ලැබීමෙන් පසු ආභරණ නිෂ්පාදනයෙහි ස්වර්ණ යුගය උදා වූයේය. එහෙත් ක්‍රි. පූ. 4,000 සිට ක්‍රිස්තු වර්ෂාරම්භය දක්වා කාලයට අයත් රන්රිදී ආභරණ පිළිබඳ ඉතිහාසය අඩාළ එකකි. රන්රිදී ආභරණ සුඛෝපභෝගී වස්තූන් වූ හෙයින් ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ කාලවල දී පැවති දේශපාලන හා සාමාජික තත්වයන්ට අනුව ඒවා තැනීම හා පැලඳීම අඩු වැඩි වූ බවක් දක්නට ලැබේ.

නොයෙක් පැරණි ශිෂ්ටාචාරවලට අයත් ආභරණ බොහොමයක් පුරාවිද්‍යා කැණීම්වල දී සොයා ගෙන ඇති හෙයින් ඒ පිළිබඳව අපට දැනුමක් ලබා ගත හැකි වී තිබේ. පුරාණ මිසරයේ භාවිත වුණු ඔටුනු, මාල, වළලු, මුදු ආදි ආභරණ රාශියක් එසේ සොයා ගෙන ඇත්තේය. රනින් නිම කොට මැණික් ඔබ්බා ඇති මේ ආභරණවල නොයෙක් ආගමික සංලක්ෂණ දක්නට ලැබෙයි. කැටයම් කිරීම, වාත්තු කිරීම, ලෝහ තීරු ඇලවීම, ගල් එබ්බීම, රනින් වැඩ දැමීම ආදි විවිධ ශිල්පක්‍රම උපයෝගී කොට ගෙන මේවා තනා ඇත. ගිජුලිහිණි හිස් පලඳනාව මේ ආභරණ අතුරෙහි විශේෂ තැනක් ගනී. ක්‍රි.පූ. 3,000 ට අයත් රන් රිදී ආභරණ රාශියක් මේ මෙසොපොටේමියාවෙන් සොයා ගෙන තිබේ. දකුණු බැබිලෝනියාවේ අර් නගරයේ සොහොන්වලින් සොයා ගෙන ඇති ෂුබ්-අද් බිසවගේ ආභරණ අතුරෙහි මැණික් ඔබ්බා රනින් තනන ලද ඔටුනු, මාල, වළලු සහ කර්ණාභරණ වෙයි. මේ ආභරණ ශෛලිය, චිත්‍ර සංලක්ෂණ ආදිය අතින් සමකාලීන (පස්වන රාජ පරම්පරාවට අයත්) මිසර ආභරණවලට නෑකමක් නොදැක්වීම නිසා ඒවා හුදෙක් මෙසොපොටේමියානු රන්කරුවන්ගේ කෘතීන් බව පෙනී යයි.

වයඹ දිග තුර්කියේ හිසාර්ලික් නම් ස්ථානය කැණීමෙන් මතුකර ගන්නා ලද ට්‍රෝයි රාජ්‍යයෙහි දෙවැනි නගරය වශයෙන් සලකනු ලබන ස්තරයෙන් සොයා ගෙන ඇති “ප්‍රියම් රජුගේ නිධානය” නමින් හැඳින්වෙන ආභරණ අතුරෙහි රනින් කළ ශීර්ෂාභරණ, වළලු සහ කර්ණාභරණ දක්නා ලැබේ. ඊජියන් මුහුදෙහි පිහිටි දිවයින් කැණීමෙහි දී ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 1,900 කට පමණ පෙර කාලයකට අයත් ආභරණ රාශියක් සොයා ගන්නා ලකදි. රූ සටහන් මතුව සිටින පරිද්දෙන් ද කණිකා මතුව සිටින පරිද්දෙන් ද අන් නොයෙක් විධියෙන් ද කළ ඔටුනු, කර්ණාභරණ, මාල, වළලු, ලොවාදු, හාරිච්චි, මුදු ආදි ආභරණ ඒ අතර වෙයි. මේ ආභරණ වල ස්ෆින්ක්ස්, ග්‍රිෆින්, ගවහිස ආදි චිත්‍ර සංලක්ෂණ දක්නා ලැබෙන හෙයින් ඒවා ආගමික වශයෙන් පලඳිනු ලැබූ බව සිතිය හැකිය. මහාද්වීපික ග්‍රීසියෙහි ක්‍රිස්තු පූර්ව අටවන සියවසින් පෙර කාලවලට අයත් රන් ආභරණ දක්නට ලැබෙන්නේ විරල වශයෙනි. එහෙත් ඉන් මෑත කාලවලට අයත් ආභරණ ග්‍රීසියේ ඇතන්ස්, ඉලියුසිස්, එරිත්‍රියා ආදි නගරවල සොහොන්ගැබ්වලින් සොයා ගෙන ඇත්තේය. මතුපිටට නෙරා සිටින සේ ජ්‍යාමිතීය සංලක්ෂණත් සත්වරූප සහ මනුෂ්‍ය රූපත් යොදා මේවා අලංකාර කොට තිබේ. ග්‍රීක දේවගණයට අයත් දෙවිවරුන්ගේ රූප ද ඒ අතර කලාතුරකින් හමුවෙයි. මේ ආභරණවල සැරසිලි සංලක්ෂණ කෙරෙහි ආසියාතික බලපෑමක් සිදු වී ඇති බව පැහැදිලි ලෙස පෙනේ. ප්ලේටෝගේ අන්තිම කැමති පත්‍රයෙහි රන් කර්ණාභරණ ගැන සඳහන් කොට ඇති හෙයින් ග්‍රීසියෙහි පිරිමින් විසින් ද සමහර කර්ණාභරණ පලඳින ලද බව සිතිය හැකිය. එහෙත් වළලු පැලඳීම හුදෙක් ගැහැනුන්ට සීමා වුණු සේ පෙනේ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර දී ආභරණ තැනීමෙහි ලා පබළු සහ මැණික් පාවිච්චි කොට ඇත්තේ කලාතුරකිනි. ඉන් මෑත කාලයට අයත් මුදුවල රතු තෝරමල්ලි, සූර්යකාන්ත පාෂාණ සහ කාච වර්ග යොදා ඇත්තේය.

වෙනත් බොහෝ කලාශිල්ප සම්බන්ධයෙන් මෙන් ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් ද රෝමවරු තමන්ට රුචි පරිද්දෙන් ග්‍රීක මෝස්තර යොදා ගත්හ. ග්‍රීකයන් කාර්මික නිපුණත්වය අගය කළ හෙයින් ඔවුන්ගේ මෝස්තර සිත්ගන්නාසුලු සියුම් ඒවා විය. එහෙත් රෝමවරුන් නිර්මාණය සඳහා යෙදූ ද්‍රව්‍යය ම අගය කළ හෙයින් ඔවුන්ගේ ආභරණ බරින් වැඩි වූත් අලංකාර වූත් ඒවා වූ බව පෙනේ. රෝම සමාජය යමකුගේ අගය මිනීමේ දී වෙනත් වටිනාකම් සමඟ ඔහුගේ ආභරණවල වටිනාකම ද සලකා බැලුවේය. සමහර කර්ණාභරණවල මිල විශාල රාජ්‍යයකින් ලැබෙන ආදායම තරම් අධික වී යයි සෙනෙකා කියයි. රතුකැට, නිල්කැට, පච්චකැට ආදි වටිනා මැණික් වර්ග සහ මුතු බෙහෙවින් පාවිච්චි කිරීම එසේ මිල අධික වීමට ප්‍රධාන හේතුවක් විය. රෝමවරුන්ගේ මාල ප්‍රමාණයෙන් විශාල වීම හේතුකොට ගෙන මිලෙන් ද අධික විය. දියමන්ති, අඹතේස්ත, නිල්කැට, උපල ආදි මැණික් වර්ගවලින් සෑදූ මාල සහ මුතුවැල් බොහෝ සෙයින් පලඳින ලද්දේය. මාපට ඇඟිල්ල ඇතුළු ඇඟිලි හැමෙකක ම පාහේ මුදු පැලඳීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර ම ජනප්‍රියව පැවැත්තේය.

රෝම අධිරාජ්‍යයේ වැටීමෙන් ඇරඹුණු මධ්‍යතන යුගයට අයත් "පෙට්‍රොස්සාගේ නිධානය නමැති ගොත්වරුන්ගේ ආභරණ රාශියක් බූකරෙස්ට් කෞතුකාගාරයෙහි දක්නා ලැබේ. මේ ආභරණවල දක්නා විශේෂ කාරණයක් නම් සම්භාවිත ලක්ෂණ හා ම්ලේච්ඡ ලක්ෂණ මිශ්‍ර වී තිබීමයි. ඩබ්ලින් නුවර රාජකීය අයිරිෂ් ඇකඩමියෙහි ඇති තාරා හාරිච්චිය කෙල්ට්වරුන්ගේ ආභරණ අතුරෙහි අතිවිශිෂ්ට නිර්මාණයකි. නවවන සහ දසවන සියවස් තුළ දී රන්රිදී පාවිච්චිය ජනප්‍රියව පැවතුණු නමුත් ඉන් පසු කාලයේ පැතිරී ගිය අත්දිග ඇඳුම් පාවිච්චිය නිසා වළලු භාවිතයත් හිස වැසීමට වේල් පාවිච්චිය නිසා කර්ණාභරණ භාවිතයත් අභාවයට ගියේය. මේ කාලය තුළ භාවිත වුණු ප්‍රධාන ආභරණය වූයේ මුදුවයි. විද්‍යානවෝදය සමයෙහි ආභරණ නිෂ්පාදනය විශාල දියුණුවකට පත්විය. මෙකල සිටි සමහර චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් දක්ෂ ආභරණ නිෂ්පාදකයන් වූ බව පෙනේ. ඔවුන් අතර බෙන්වෙනුටෝ චෙල්ලීනි, ලෙයොනාර්ඩෝ ඩා වින්චි සහ අල්බ්‍රෙක්ට් ඩ්‍යුරර් විශේෂයෙන් සඳහන් මනායි. ඉන්දියාව : ආභරණ තැනීම භාරතයේ ඉතා පැරණි කර්මාන්තවලින් එකක් වූ බව පෙනේ. මොහෙන්ජොදාරෝ හා හරප්පාවෙන් සොයා ගෙන ඇති ක්‍රි. පූ. 2,500–1,500 අතර කාලයට අයත් රන් ආභරණත් මධ්‍ය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් රිදී ආභරණත් ඊට සාධක වශයෙන් දැක් විය හැකිය. වේද ග්‍රන්ථවල සහ මහා කාව්‍යවල රන් ආභරණ භාවිතය ගැන සඳහන් වෙයි. වෛදික ඉන්දු ආර්යයන් බෙහෙවින් දියුණු තත්වයේ රන් රිදී ආභරණ නිපද වූ බව සිතීමට කරුණු තිබේ. සමහර පැරණි මූර්ති සහ චිත්‍ර මඟින් ආභරණ භාවිතය පිළිබඳ තොරතුරු දැන ගැනීමට පිළිවන. භර්හුත්, සාංචි, බුද්ධගයා, අජන්තා (9 වන සහ 10 වන ලෙන්වල චිත්‍ර), වයඹ දිග ඉන්දියාවේ මථුරා (වර්තමාන මුත්ත්‍ර), අමරාවතී ආදී ස්ථානවල ඇති ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂයෙන් සිව්වන සියවස තෙක් කාලයට අයත් මූර්ති සහ චිත්‍ර එකල ඉන්දියානු ස්ත්‍රීපුරුෂයන් පැලඳි ආභරණවල වූ විවිධත්වය සහ විචිත්‍රභාවය පිළිබිඹු කරයි. මේ ස්ථානවල දක්නා ලැබෙන ආභරණ අතර ශීර්ෂාභරණ, කුණ්ඩලාභරණ, මාල, වළලු, බඳපටි, මුදු ආදිය වෙයි. මේ කාලය තුළ දී ආභරණ පිළිබඳ දේශීය ආකෘති විකාසනය වෙමින් පැවැත්තේය. පකිස්තානයේ තක්ෂ ශිලාවෙන් සොයා ගෙන ඇති ආභරණවල විදේශික ප්‍රභවයක් හෝ ආභාසයක් බොහෝ විට දක්නට ලැබේ. පොණ්ඩිචෙරි ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති රන්පබළු, මාලගාංචු, වළලු ආදි ආභරණ ආකෘතිය සහ ශිල්පක්‍රමය අතින් දේශීය ලක්ෂණ දක්වයි. කැටයම් කිරීම, උඩට නෙරා සිටින සේ හෝ කණිකා මතුව සිටින සේ යෙදීම, රනින් වැඩ දැමීම ආදි විවිධ ශිල්පක්‍රම ආභරණ තැනීමෙහි ලා භාරතීයයන් විසින් උපයෝගී කර ගන්නා ලදි. කැටයම් කළ මෝස්තර (intaglios) සවිකිරීම හා මැණික් එබ්බීම ද වර්ණවත් බදාම වර්ග යෙදීම හා ලෝහ තීරු ඇලවීම ද ඔවුන් දැන සිටි බව පෙනේ. භාරතීය සංස්කෘතියෙහි දියුණු අවස්ථාවන් වූ ගුප්ත යුගය හා ඊට අනතුරු යුගය (ක්‍රි.ව. 4 වන 10 වන සියවස් අතර කාලය) තුළ රන්රිදී ආභරණ නිෂ්පාදනය දියුණු තත්වයකින් පවතින්නට ඇතැයි සිතීමට තුඩු දෙන විස්තර වර්ණනා සාහිත්‍ය කෘතීන්හි සුලභය. එහෙත් පුරාවිද්‍යා කැණීම් මඟින් සොයා ගන්නා ලද එකලට අයත් ආභරණ සංඛ්‍යාව ඉතා අල්ප බව කිව යුතුය. මූර්ති සහ චිත්‍ර මඟින් එකල පැවති ආභරණවල ආකෘතීන් හා ජනකාන්තභාවය ගැනත් ඔටුනු, මුකුට, මාල ආදි ආභරණවල බහුලව තුබුණු රන්කම් ගැනත් තොරතුරු දත හැකිය. මුස්ලිම්වරුන් උතුරු ඉන්දියාව ආක්‍රමණය කිරීම හේතුකොට ගෙන ආභරණ කර්මාන්තයේ පුනරුත්ථානයක් ඇති විය. ඔව්හු පැරණි ශිල්පක්‍රම නොනසා ම අලූත් ක්‍රම පතුරා ලන්නට වූහ. එක් වර්ගයක ලෝහයක් තවත් වර්ගයක ලෝහයකට එබ්බීම ඉරානය සහ කාබුල් ප්‍රදේශය ඔස්සේ මේ අවධියේ දී ඉන්දියාවට පැමිණි ශිල්පක්‍රමයකි. භාරතයේ තන්හි තන්හි සිටි මෝගල්වරුන්ගෙන් රන්කරුවන්ට අනුග්‍රහය ලැබුණේය. එහෙත් ඉතා දක්ෂ රන්කරුවෝ අග්‍රා සහ දිල්ලි යන නගරවලට ඇදෙන්නට වූහ. ආභරණ කර්මාන්තය පිළිබඳ ප්‍රාදේශික මධ්‍යස්ථාන බිහිවීම නිසා ඒ ඒ ශිල්පක්‍රම ආරක්ෂා කර ගැනීමට පිළිවන් විය. ඇනමල් ආලේප ක්‍රමය මෙකල විශේෂයෙන් ම උතුරු ඉන්දියාවේ ප්‍රචලිත විය. රත්රනෙහි පැහැදිලි විසිතුරු පාට යොදා ඇනමල් ආලේප කොට 16 වන සියවසේ පටන් ජායිපූර් ප්‍රදේශයේ නිපදවනු ලබන ආභරණ වර්ග නිර්මාණය අතින් උසස්ය. ලක්නව්, ජායිපූර්, ත්‍රිවිනොපොලි, තිරුපති සහ බැංගලෝර් යන ස්ථාන මෙකල පවා රන්රිදී කර්මාන්තය ගැන ප්‍රසිද්ධියක් උසුලයි.

පැරණි භාරතීයයෝ ආභරණයන් ආවේධ්‍ය ය, බන්ධනීය ය, ප්‍රක්ෂේප්‍ය ය, ආරෝප්‍ය යයි කොටස් සතරකට බෙදූහ. එහි ලා ශරීර අංගයන් සිදුරු කර පලඳින කුණ්ඩලාභරණ ආදිය ආවේධ්‍ය යනුවෙන් ද ශරීර අංගයන්හි බඳනා ශ්‍රෝණිසූත්‍ර ආදිය බන්ධනීය යනුවෙන් ද ශරීර අවයවයන්හි බහාලන නූපුර ආදිය ප්‍රක්ෂේප්‍ය යනුවෙන් ද ගෙල වටා ආරෝපණය කරන රන්දම්, මුත්හර ආදිය ආරෝප්‍ය යනුවෙන් ද හඳුන්වන ලදි. භරත මුනිවරයාගේ නාට්‍යශාස්ත්‍රයෙහි ආභරණ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් වෙයි. එහි චූඩාමණි හා මුකුට හිසෙහි ද කුණ්ඩල, මෝචක (කන්හි මැද කොටස සිදුරු කොට පලඳින ආභරණයකි) හා කීල (කන් මුදුනේ පලඳින ආභරණයකි) කන්වල ද මුක්තාවලී, හර්ෂක (නාග ආදි රූ සටහන් සහිත ආභරණයකි) හා සූත්‍ර ගෙලෙහි ද කටක (කවාකාර සියුම් ආභරණයකි) හා අංගුලීය මුද්‍රා (ඇඟිලි මුදු) ඇඟිලිවල ද හස්ත වී හා වලය අග්‍රබාහුවෙහි ද රුචික හා උච්චිතික වැළමිටෙහි ද කේයූර හා අංගද (කේයූරයට ඉහළින් පලඳින ආභරණයකි) ඌර්ධ්වබාහුවෙහි ද ත්‍රිසර (තුන් පොටකින් යුත් මුත්හර) පපුවෙහි ද තරලක ( නාභියට ඉහළින් පලඳින ආභරණයකි) හා සූත්‍ර ( තරලකයට පහළින් පලඳින ආභරණ විශේෂයකි ) ඉඟෙහි ද පලඳිනු ලබන පුරුෂ ආභරණ වශයෙන් දක්වා ඇත්තේය. අනතුරුව එහි ස්ත්‍රීන් කේශාන්තය පටන් පාදාන්තය දක්වා පලඳින ආභරණ දක්වමින් ශිඛාපාශ (ගොතන ලද කෙස්හි පලඳින ආභරණයකි), ශිඛාජාල (මධ්‍යයෙහි කර්ණිකාවක් සහිත සර්පාකාර ආභරණයකි), පිණ්ඩපාත්‍ර (සිහින් ලෝහ පිණ්ඩයන්ගෙන් අලංකාර කළ චක්‍රාකාර ආභරණයකි), චූඩාමණි, මකරිකා, මුක්තා ජාල, ගවාක්ෂ හා ශීර්ෂජාල හිසෙහි ද කුණ්ඩල, ශිඛිපත්‍ර (මොනර පිල් සෙයින් නොයෙක් විසිතුරු මැණික් ඔබ්බා කළ ආභරණයකි), කඤ්ජ (නෙළුම් මලක් වැනි ආභරණයකි), මෝචක, කර්ණිකා, කර්ණවලය, පත්‍රකර්ණිකා, කර්ණමුද්‍රා, කර්ණොත් කීලක (කන් මුදුනේ පලඳින ආභරණයකි), දන්ත පත්‍ර (මැණික් ඔබ්බා ඇත් දළින් කළ ආභරණයකි) හා කර්ණපූර කන්වල ද ව්‍යාලපඞ්ක්ති (නාගාකෘති රූ සටහන් පෙළකින් යුත් ආභරණයකි), මඤ්ජරි (මල් පොකුරු ආකාරයට තැනූ ආභරණයකි), රත්නමාලිකා (මිණිවැළකි), රත්නාවලී, සූත්‍ර (රන්දමකි), මුක්තාවලී, ද්විසර ( මුතු දෙපොටකි), ත්‍රිසර ( මුතු තුන්පොටකි), චතුඃසර (මුතු සතරපොටකි) හා ශෘඞ්ඛලිකා (කුඩා රන් දම්වැලකි) ගෙලෙහි ද භාර උරහිසෙහි ද මාණික්‍යමය ජාලාවරණ ස්තනයන්හි ද අංගද හා වලය ඌර්ධ්වබාහුවෙහි ද ඛර්ජූර හා ස්වේච්ඡිතිකා අග්‍රබාහුවෙහි ද කටක, කලශාඛා, හස්තපත්‍ර, සුපූරක හා මුද්‍රාංගුලීයක ඇඟිලිවල ද කුලක (සූත්‍ර තුන, හතර, පහ බැගින් යුත් පලඳනාවකි), මේඛලා (සූත්‍ර අටකින් යුත් පලඳනාවකි), රශනා (සූත්‍ර සොළසකින් යුත් පලඳනාවකි), කලාප (සූත්‍ර පස්විස්සකින් යුත් පලඳනාවකි) හා මුතුදැලින් හෙබි කාඤ්චී (එක් හුයකින් යුත් පලඳනාවකි ) ඉඟෙහි ද කිංකිණික, රත්නජාල හා සංඝෝකටක කෙණ්ඩෙහි ද පාදපත්‍ර ඇස්වටයෙහි ද අංගුලීයක පයේ ඇඟිලිවල අලංකාරය ද සදහා භාවිත කරන බව සදහන් කොට තිබේ. මානසාරයෙහි සියලු ආභරණ වර්ග පත්‍රකල්ප, චිත්‍රකල්ප, රත්නකල්ප, මිශ්‍රකල්ප යයි කොටස් හතරකට බෙදා ඇත්තේය. එහි පත්‍ර හා ලතා ආකාරයෙන් අලංකාර කරන ලද්දේ පත්‍රකල්ප යයි ද සියලු රත්නයන්ගෙන් හා පුෂ්පලතා ආදි චිත්‍රයන්ගෙන් අලංකාර කරන ලද්දේ චිත්‍රකල්ප යයි ද පුෂ්ප ආකාරයට රත්නයන්ගෙන් නිම කරන ලද්දේ රත්නකල්ප යයි ද පත්‍රාකාරයට රත්නයන් ඔබ්බන ලද්දේ මිශ්‍ර කල්ප යයි ද ගන්නා ලදි. වරාහමිහිර ආචාර්යවරයා රත්නජාති හා මුක්තාහාර ගැනත් ඒවා පැලඳීමෙන් ඇති වන ඉෂ්ටානිෂ්ට ඵල ගැනත් සඳහන් කොට තිබේ. අමරකෝෂයෙහි ද ආභරණ රාශියක නම් සඳහන් වෙයි. මේ හැර ඉතා පුරාතනයෙහි භාවිත වු නිෂ්ක, රුක්ම, ස්‍රජ් ආදි ආභරණ විශේෂ ශ්‍රෞතසූත්‍රවල සඳහන් වී ඇත. ආභරණ කර්මාන්තය සම්බන්ධයෙන් කරුණු දක්වන මනු බාල ලෝහ මිශ්‍රණය හා පහත් නිර්මාණයන් කළවුන්ට දඩ නියම කර තිබේ. කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි රන්රිදී ආභරණ සෑදීම සඳහා රජය මඟින් පිහිටුවිය යුතු කර්මාන්තශාලා දෙකක් ගැනත් ඒවා පාලනය කළ යුතු ආකාරය ගැනත් සඳහන් වෙයි. මෘච්ඡකටිකාවෙහි එක් ජවනිකාවක ආභරණ කර්මාන්තශාලාවක මුතුමැණික් පරීක්ෂා කරන රන්කරුවන් හා වෙනත් කාර්යයන්හි යෙදුණු ශිල්පීන් ගැන කියැවේ.

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ආභරණ අතර මෝළි, චූඩාමණි, වළය, කඤ්චනවේඨ (රසෝළු), ධුර (වළලු), පදුමපත්තවේඨන, හත්ථාභරණ, භුජාභරණ, කායුර, කඤ්චනපට්ට, කුණ්ඩල, සොණ්ණමාල (රන්මාල), මුත්තාහාර, කඤ්චනසුචි (රන්ඉදි), උරච්ඡද, කණ්ණපූර, අංගද, ගීවෙය්‍ය, මුඛඵුල්ල (සුබුකු), පාලිපාදක, මේඛලා ආදිය වෙයි. ඇතුන් පස්දෙනකුගේ කායශක්තියට සමාන කායශක්තියක් ඇතිව ම ඉසිලිය යුතු වූ මහලිය (මහාලතා පසාධන) නම් අසිරිමත් පලඳනාවක් බුදුන් කල වුසූ විශාඛා, බන්ධුලමල්ලිකා, සුජාතා යන මහලියන් තිදෙනාට පමණක් වූයේ යයි කියනු ලැබේ. පරියකම්, නූපුරම්, පාඩකම්, සතඞ්ගෙයි, අරියකම් (පාදජාල), කණ්ඩිකෙයි (කණ්ඨසර නම් ගෙල පළඳනාවකි ), තුමණිත්තෝල්වළෙයි (බාහුවේ පලඳින මුතු බැඳි වළලු විශේෂයකි), චිත්තිර චූඩකම් (මැණික් හා දියමන්ති ඔබ්බා කළ ආභරණ විශේෂයකි), සෙම්පොට්ටකෛවළෙයි (පිරිසිදු රනින් කළ අත් වළලු) වාල්වළෙයි (සක්වළලු), පවළප්පල්වළෙයි (විවිධ පබළුවලින් කළ වළලු). මෝදිරම් (මුදු), සංගිලි (දම්වැල්) ආදි දකුණු ඉන්දියාවේ භාවිත වුණු ආභරණ රාශියක් ද්‍රවිඩ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

ලංකාව : විජය සහ පිරිස ලක්දිවට ගොඩබසින සමයෙහි විසූහයි කියනු ලබන යකුන් පැලඳි ආභරණ කවරේ දැයි නිගමනයකට බැස ගත නොහැක. එහෙත් යක් රජුගේ ආභරණ විජය කුමරු ද සෙසු යකුන්ගේ ආභරණ විජයගේ පිරිස ද පැලඳ ගත් බව මහාවංසයෙන් ප්‍රකාශ වන බැවින් ඒවා සිත් ඇදගන්නා ස්වභාවයකින් යුක්ත වන්නට ඇතැයි සිතිය හැක. විජය කුමරු කරා පැමිණි කුවේණිය සර්වාභරණයෙන් සැරසී සිටි බවක් පැවසෙතත් ඈ පැලඳ සිටි ආභරණ කවරේ දැයි සඳහන් කර නැත. විජය කුමරුට අගමෙහෙසුන් වනු පිණිස පිණිස දක්ෂිණ මධුරා පුරයෙන් පැමිණි පඬි රජුගේ දියණි වූ රජ කුමරිය සමඟ අටළොස් ශිල්පීන්ගෙන් කුල දහසක් ද එ බව සඳහන් වන බැවිනුත් ස්වර්ණකාරයන් ශිල්පී ගණයෙහි වැටෙන බැවිනුත් ඔවුනතර රන්කරුවන් ද සිටි බව පිළිගත හැක. ඔවුන් තනන්නට ඇත්තේ ද එකල දකුණු ඉන්දියාවේ බහුතර වශයෙන් ව්‍යාප්තව පැවති ආභරණ විශේෂ විය යුතුයි. භද්දකච්චානා කුමරියගේ ලංකාගමනයෙන් පසු උතුරු ඉන්දියාවේ ආභරණ ද මෙහි ව්‍යාප්ත වූ බවට සැකයක් නැත. විජය රජු සමයෙහි පටන් මුටසීව රජුගේ රාජ්‍යාවසානය දක්වා කාලය තුළ ව්‍යවහාරයෙහි පැවති ආභරණ කිසිවක් ගැන මහාවංසයෙන් නොපැවසේ. දේවානම්පියතිස්ස රජතුමාට ධර්මාශෝක රජතුමා විසින් එවන ලද පඬුරු අතර මෝලි; වටංස, පාමඞ්ග යයි ආභරණ තුනක් වූ බව සඳහන් වේ. මේ කාලයෙහි ලංකාවේ ව්‍යවහාරයෙහි පැවති සියලු ම ආභරණ නැතහොත් එයින් සමහරක් වනු සාඤ්චි, භර්හුත් ආදි ස්ථානවල ඇති කැටයම් වලින් නිරූපණය කරනු ලබන ආභරණයන්ගේ ස්වරූපයෙන් යුක්ත වී යයි අනුමාන වශයෙන් සිතීමට ඉඩ තිබේ. දුටුගැමුණු, වළගම්බා, අග්‍ර බෝධි III සහ IV, මිහිඳු V, මහලාන කීර්ති, ගජබාහු II, පරාක්‍රමබාහු I, පරාක්‍රමබාහු II ආදි රජුන් පිළිබඳ ඉතිහාසය ලිවීමේ දී ඒ ඒ කාලවල ව්‍යවහාරයෙහි පැවති ආභරණ රැසක නම් මහාවංස කර්තෘවරුන් විසින් සඳහන් කරන ලදි ඒ නම් අතර මිණිකොඩොල්, සිළුමිණි, ඒකාවලී, ඔටුනු, කිරීට, කදාවළලු, කුණ්ඩලාභරණ, අඟුපලඳනා, මුක්තාහාර, රුවන්මුවා වළලු ආදිය වෙයි. මිහිඳු IV, විජයබාහු I, නිශ්ශංක මල්ල යන රජවරුන්ගේ ශිලාලිපිවල ද ආභරණ ගැන සඳහන් කර තිබේ.

ලංකාවේ කලින් කල පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත්වූ පුරාවිද්‍යාඥයන්ට ස්වර්ණමාලි චෛත්‍ය භූමිය, මහියංගණ දාගැබ, මහාපාලි බත්ගෙය, අනුරාධපුර පැරණි දළදා මාළිගය පිහිටි භූමිය අවට ප්‍රදේශය, ජේතවන දාගැබ, ලංකාරාමදාගැබ, සිගිරියේ දාගැබ, දක්ඛිණ ථූපය, පොළොන්කනරුවේ රිවෙහෙර ශිව දේවාලය ආදී ස්ථාන, දැදිගම සූතිඝර චේතිය, උතුරු පළාතේ තිරුකේ ටීශ්වරම් ප්‍රදේශය ආදී නොයෙක් ස්ථානවලින් හමු වී ඇති පුරාවස්තු අතර ආභරණ රාශියක් ද වෙයි. කර්ණාභරණ, පබළු මාල, ලෝහවලින් හෝ වීදුරුවලින් කළ මාලපෙති (පදක්කම්), සුර, ගල් බැඳ හෝ නොබැඳ රනින් කළ මුදු හා ඇටවලින් කළ මුදු, වීදුරු වළලු, සක් වළලු හා යකඩ වළලු, පාමුදු, රන් බොත්තම් ආදිය ඉන් සමහරකි.

පස්වන සියවසේ දී සිංහල වනිතාවන් පරිහරණය කළ ආභරණ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සීගිරි බිතුසිතුවම්වලින් හෙළි වෙතැයි සිතිය හැකිය. සීගිරි ලලනාවන් විසින් පලඳින ලද ශීර්ෂ ආභරණය විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එය රතුකැට හා නිල් කැට ඔබ්බා විසිතුරු මල්කම් ලියකම් ආදියෙන් අලංකාර කොට තනන ලද්දේය. ඔවුන්ගේ කර්ණාභරණ හා ග්‍රීවාභරණ විවිධාකාර සමහර කර්ණාභරණ චන්ද්‍රවංකාකාරයෙන් තනා තිබේ. කවාකාර ලෙස එතූ තාලපත්‍රයක හැඩයට රනින් නිමවන ලද ස්වර්ණපත්‍ර කර්ණාභරණය විශේෂන් සඳහන් කළ යුත්තකි. තාලිපොට, අෂ්ටිකා මාලය හා වෛකක්ෂක මාලය ග්‍රීවාභරණ අතුරෙහි වැදගත් තැනක් ගනී. තාලිපොටෙන් හඟවන්නේ ඔවුන් විවාහක ස්ත්‍රීන් බවය. වර්ණවත් පබළු තුනක් අමුණා ඇති සිහින් රන් හුයක් තාලිපොට වශයෙන් දක්වා ඇත්තේය. ඉතා චමත්කාර ග්‍රීවාභරණයක් වන අෂ්ටිකා මාලයෙහි දක්නා ලැබෙන විශේෂ ලක්ෂණය නම් ඊට අමුණා ඇති විශාල පදක්කමයි. විසිතුරු කැටයමින් සරසා දීප්තිමත් රතුකැට හා නිල්කැට ඔබ්බා එය නිමවන ලද්දේය. වවෙකක්ෂක මාලය ගෙල වට කර ගෙන ළමැදට වැටෙයි. ළමැදෙහි දීප්තිමත් මැණිකක් ඔබ්බන ලද අලංකාර පදක්කමකි. එහි කෙළවරින් පහළට වැටෙන මාල පොටවල් දෙකක් ඉඟටිය දෙපසට කරකැවී යයි. පලකවලය නමින් හඳුන්වනු ලබන ඉතා පළල් වූ වළලු වර්ගයක් ඔවුන් විසින් මැණික්කටුව අසල පලඳින ලද්දේය. සිහින් වළලු රාශියක් සම්බන්ධ කිරීමෙන් තනා ඇති පලකවලයෙහි දෙකෙළවර මැණික් ඔබ්බන ලද අලංකාර වළලු දෙකක් සවි කර තිබේ. ඌර්ධ්ව බාහුවෙහි පලඳින ලද බාහු වළලු නිසා ඔවුන් වඩාත් අලංකාර ලෙස දෘශ්‍යමාන වන බව කිව යුතුය. ශ්‍රද්ධාභක්තියෙන් යුත් ජනයා විසින් කලින් කල දන්තධාතූන්වහන්සේට පුදන ලද පූජා භාණ්ඩ අතර ආභරණ ද රාශියක් වෙයි. ඒවායේ නම් ද බර හා වටිනාකම ද ඇතුළත් ලිපියක් “මාළිගාවේ බඩු තක්සේරු පොත” යන නමින් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ (1933.8.20) පළ විය. කුණ්ඩලාභරණ, කොළඹ මාල, පුසවන්දන් මාල, ලොකු අරිම්බු මාල, පොල්මල් මාල, මෝහන මාල, මහ දෙරියන මාල, කුඩා දෙරිසන මාල, හස්තකඩ වළලු, රන්මුදු, කොණ්ඩායම් මුදු, රන්සවඩි ආදි ආභරණ නම් රැසක් එකී ලිපියෙහි සඳහන් වෙයි.

සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල සිළුමිණි, මිණි කො‍‍ඩොල්, අඟුපලදනා, මිණිමෙවුල්, ගැටහුපලඳනා, තනපට, රන්මොරසු, රන්මාල, මුතුහර, රන්හිඳි, රන්වළලු, නළල්පට, නුරුවළා, රුවන් තෝඩු, පමුදම්, සිරිකන්, රන්පට, රුවන්සෝළු, එකාවැළ, තාඩගම්, කාදු, කාප්ප, මුතුපට, කට්ටෝඩම්, මිණිවළලු, කයිවළලු, මිණිකයිවඩම්, පස්රූ, රුවන්වැළ, රන්සවඩි, පාසලඹ, වොටුනු, රසනා, එක්වැටි, පාමුදු, පාදගම්, ඔරවසම්, කයිපෝට්ටු, පමුතුලිංගම්, පට්ටකාර, කනක, කටක, නූපුර, තාඩංක, කකුදපාද, පාදාංගුලි, පාදනඛ, පාදපත්‍ර, කිංකිණිජාල, හස්තමුද්‍රිකා, බාහුදණ්ඩි, පාදසංඛලා, කායුර, වේඨ, පදුමපත්‍ර, කර්ණපූර, වලය, ශිරෝජාල ආදි ආභරණ නම් රාශියක් දක්නට ලැබේ. මේ ආභරණවලින් වැඩි කොටසක් ඉන්දියාවේ භාවිත වුණු ඒවා බවත් ඉන් සමහරක් මෙරට ද ව්‍යවහාරයෙහි පවතින්නට ඇති බවත් සිතීම සුදුසුය. ගද්‍ය සාහිත්‍යයෙහි දක්නා ලැබෙන්නේ සකු කවීන් මහත් අභිරුචයෙකින් වර්ණනා කළ ආභරණ විනා දේශීය හෝ සමකාලීන ආභරණ යයි සිතීම අපහසුය. රජුන් බිසොවුන් වැනීමේ දී ඔවුන් සූසැට බරණින් සැරසී සිටියහයි කීම ගත්කරුවන්ට අභිමත වූ සිරිතකි. සිව්සැට ආභරණවල නම් මඳ මඳ වෙනස්කම් ඇතිව දඹදෙණි අස්නෙහිත් ගණනාම සංග්‍රහයන්හිත් දක්නා ලැබේ. දඹදෙණි අස්නෙහි මාල වර්ග ම දොළසක් කියැවී තිබීමෙන් නිමාව අනුව මිස වර්ග වශයෙන් ආභරණ සූසැටක් නොවී යයි නිගමනය කළ හැකිය. වොටුනු, මකුට (මුහුළු), සිළුමිණිමල්, කාල්වැටි (කූරු) ආදිය හිසෙහිත් රුවන්සෝළු, මුතුපට, තිලක, රන්පට ආදිය නළලෙහිත් ක‍ඩොල්, තෝඩු, පෙඳ, කොළ, පස්කැන්, රන්පත් (රන්පන්), වටසක් ආදිය කනෙහිත් හර, දම්, මාල, දහන්කසුන්, හූ, එකාවැළ, තිසරබරණ, තරළමිණ, තනපට ආදිය ගෙලෙහි හා ළයෙහිත් මෙවුල් (රසන්), කිකිණි, සිරි, කඩු, ඉණසැද, දම් ආදිය ඉණෙහිත් අඟු, රන්බන්දි, බදරමිණ, වළලු ආදිය අතෙහිත් සලඹ, නූපුර, ගිගිරි, කිකිණි ආදිය පයෙහිත් පලඳින ලද ආභරණ බව සාහිත්‍යයෙන් පෙනී යයි.

යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු ඔවුන්ගේ ඇතැම් ආභරණ මෙරට ව්‍යවහාරයට පැමිණියේය. පෘතුගීසි ලන්දේසි සමයන්හි එසේ භාවිතයට පැමිණි සමහර ආභරණ අද ව්‍යවහාරයෙන් ගිළිහී ගොස් තිබේ. විවාහ මංගල අවස්ථාවල දී මණාළිය විසින් පැලඳ සිටිය මනා වූ කූරු හතරත් පණාවත් කරාබු ජෝඩුවත් කස්තිඤ්ඤ වැළත් යන ආභරණ මණළයා විසින් ඇයට ගෙන ගොස් දීම ඉංග්‍රීසි පාලන සමයෙහි මුල හරිය තෙක් පහත රට පැවති පෘතුගීසි සිරිතකි. මේ කූරු හතරින් දෙකක් පොලු කූරුය ; දෙකක් පෙති කූරුය. පසුකඩ සපැතිව එක් එක් පැත්තෙහි මල්කම් ලියකම් දක්වා මුදුන කපා හළ සේ කරන ලද්දේ පොලු කූරුයි; පිහිලි හැඩයේ පසුකඩ මතු පිට මල්කම් ලියකම් දක්වා මුදුන පත්‍රයක හැඩයට කරන ලද්දේ පෙති කූරුයි. පෙති කූරු දෙක කොණ්ඩයෙහි දෙඅංශයෙන් ද පොලු කූරු දෙක උඩුයටිකුරුව ද ගසන ලදී. රිදීයෙන් හෝ පිත්තලෙන් හෝ අඩසඳ හැඩයට කළ පණාව කොණ්ඩය මුල කෙළින් සිටුවා පලඳින ලද්දකි. කරාබු මලක සැටියෙන් කළ කර්ණාභරණය කරාබු නම් විය. වෙනත් මලක් සැටියෙන් කළ කල්හි ද කරාබු නමින් ම හැඳින්වෙන මේ ආභරණය ඉතා ප්‍රසිද්ධය. දෙපස තැරි දෙකක් වන කෙවුණු දෙකකින් බැඳී සිටුනා ගෙඩි මාලය කස්තිඤ්ඤ වැළයි. මේ ගෙඩි අගත්ති, කදාමිණි, රිදී දැල්පියලි ආදියෙන් කරන ලදි. අද ද මෙය ගෙඩි මාලය නමින් භාවිතයෙහි පවතී. වංශවතකු වංශවත් මණාළියක කැඳවා ගෙන ආ විට කොරංචිය හිස පැලඳවීමෙන් ඇය මහත් හරසරින් පිළි ගැනීමේ සිරිතක් ද පෘතුගීසි සමයෙහි වූ බව කියනු ලැබේ. කොරොචිය මැණික් හෝ දියමන්ති හෝ සතක් බැඳි රන්මුවා ආභරණයකි.

අවශ්‍ය වූ විට පාවිච්චි කිරීමට බලය ඇති කඩුවක් සිංහල රජයෙහි කෝරාළ තරමේ මුලාදෑනීන්හට තුබුණු වග රොබට් නොක්ස් පවසයි. පෘතුගීසීන් කස්තාන නමින් හැඳින් වූ ඒ කඩුව ඔවුන්ගෙන් ගරු නම් ලැබූවන්ට නිලඇඳුම සමඟ ආභරණයක් ලෙසින් පලඳින්නට සලස්වන ලදි. කස්තානය අංශයෙහි එල්ලී සිටින සේ ඒකාංශ කොට ලන පටිය, කඩුමිට, කොපුව, කබායේ බොලාත් බොත්තම් ආදියෙහි වූ රන්කම් රිදීකම් වලින් එක් එක් ගරුනමේ තරාතිරම දැක්වුණේය. රාජප්‍රසාද ලෙසින් පිරිනැමුණු දෙරිසන මාල ද බොරලික්කම් ද වී නම් ඒ ද කස්තානය සමඟ පලඳින ලද්දේය. රන්මුවාව හෝ දොයිරාදු ලෙසින් හෝ නිමවන ලද දෙසන අළුවා හැඩයේ ලෝහ තහඩු අමුණා කරන ලද්දේය; ගෙල ලූ විට ඉණ දක්වා පොට වැටී සිටියේය. බොරලික්කම් නම් පදක්කම්ය.

බේගලදාසිය, හාරිච්චිය යන ස්ත්‍රී ආභරණ දෙක හැර අන්‍ය විශේෂ ආභරණයක් ඕලන්ද සමයෙහි භාවිතයට පැමිණි වගක් නොකිය හැක්කේය. බැඳි කලට උකුළට මඳක් පහළින් එල්ලී සිටින කැටයමින් යුත් කුඩා රිදී හෙප්පුවක් බේගලදාසිය නම් විය. ඕලන්දයන් එනමින් හැඳින්වූයේ තමන් සතු වටිනා ආභරණ බහාලන පෙට්ටියයි. ඉසුරුමත් කතුන් විසින් ම බේගලදාසිය පලඳින ලදි. ළය මැද තටු විදා වසා සිටින සමනළයකුගේ සුබාවට හැට්ටයේ ගැසෙන හාරිච්චිය ගල් බැඳ හෝ නොබැඳ හෝ කරන ලද්දේය. මාලය ගෙල බැඳි විට ඉණ තෙක් වැටෙන පොට දෙපියවුරන් මත දෙමාලයක්ව සිටින ලෙස රඳවා ලීමට උපයෝගී කර ගන්නා හාරිච්චිය මාලයට විශේෂ අලංකාරයක් ගෙන දෙන්නකි. සාරියත් සමඟ භාවිතයට එක්වී ඇති සාරි කටුව හාරිච්චිය සිහියට නංවන සුලු ආභරණයකි.

පහතරට භාවිත වූ යුරෝපීය ආභරණ උඩරට ජනයා අතර එතරම් දුරට ව්‍යවහාර වූ බවක් නොපෙනේ. මහනුවර රාජධානි සමයෙහි උඩරට ස්ත්‍රීපුරුෂයන් භාවිත කළ ආභරණ රාශියක් කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ද මහනුවර ජාතික කෞතුකාගාරයෙහි ද පුරාවස්තු අතර වෙයි. එකල සිටි ස්ත්‍රීන් විසින් කොඩංයෙහි කොංඩකූරු, කොංඩමල් ආදියත් නළලෙහි නළල් හැඩයත් කනෙහි කොළ, දිඹිති සහිත වූ හෝ රහිත වූ තෝඩු, පුල්ලිමල්, කූරු, කරාබු ආදියත් නැහැයෙහි මූක්කුත්තිත් ගෙලෙහි පෙතිමාල, ගෙඩිමාල, පදක්කම්, සත්ජෝටමාල, සිරිබෝමාල, පොල්මල්මාල, අගස්තිමාල, පවළම්පොට, ගෙලපටි, බොටුපෙති, තැලි ආදියත් අත්වල සැරිවළලු, කංකණාද වළලු, ගෙඩි වළලු, කොරල් වළලු, වීදුරු වළලු, කම්බි වළලු, අවුල්හැර වළලු ආදියත් ඉණෙහි ගෙඩි හවඩි තෙල් හවඩි ආදියත් ඇඟිලිවල අවුලු මුදු, නවරත්න මුදු, අගස්ති මුදු ආදියත් පලඳින් ලද බව ද පුරුෂයන් විසින් මුළුඇඳුම අඳිනා කල ගෙලෙහි දෙරිසනමාල, ගෙඩිමාල ආදියත් ඇඟිලිවල නවරත්න මුදු, අගස්ති මුදු ආදියත් පලඳින ලද බව ද පුරුෂයන් විසින් මුළුඇඳුම අඳිනා කල ගෙලෙහි දෙරිසනමාල ගෙඩිමාල ආදියත් ඇඟිලි වල නවරත්න මුදු, වට්ටප්ප මුදු ආදියත් ඉණෙහි කටකලියා හවඩි, තෙල් හවඩි, තාරකා හවඩි, මුදු හවඩි, දම්වැල් හවඩි ආදියත් පලඳින ලද බව ද කියනු ලැබේ. යන්ත්‍ර ඖෂධ ආදිය බහා ලූ සුර හෙවත් බෙර හා කච්ච ගම් (සුරවැල්) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින් ම පාවිච්චි කරන ලදි. පේරැස් මුද්ද පාවිච්චි කරන ලද්දේ රාජකීයයන් විසින් පමණකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වෙංකට රංගම්මාල් බිසව විසින් පලඳිනු ලැබූ කණයාළි මුද්දක චිත්‍රයක් මහනුවර කෞතුකාගාරයෙහි වෙයි. ස්ත්‍රීහු කන් පෙත්ත විද කොළ හෝ තෝඩු ද කන් මැද විද පුල්ලිමල් ද කන්හිස විද කූරු ද පැලැන්දහ. තරුණ ස්ත්‍රීන් විසින් තෝඩුවල දිඹිති (දෙමිසි) එල්ලන ලදි. ඉදිරිපස මූණත පමණක් ඇති හැඩහුරුකමින් බෙරයක් වැනි ආභරණයක් කොළ නමිනුත් ඉදිරිපසු දෙපස මූණත් ඇති බෙරයක් වැනි ආභරණයක් තෝඩු නමිනුත් හඳුන්වනු ලැබීය. දිඹිති (දෙමිසි) යනු තෝඩුවක ඇස මැදින් පසාරුව යන කෙන්දක එල්ලී සිටින ඔලඹු ආභරණයකි. ගම්මිරිස් කරලක හැටියට කෙළේ සිරිබෝමාලයයි. පට්ටම්ගෙඩි ආදිය යොදන ලදි. ගෙලට හිරවන්නට බඳින පැතලි මාලය ගෙලපටියයි. එහි වූ පදක්කම බොටුපෙත්තයි. ගෙල බැඳි කල තැලිවළ දක්වා සිටින අඩසඳ හැඩයට කළ මල්කමින් හෙබි මාලය තැල්ලයි. පටිවළලු කිහිපයක් (බොහෝ විට තුනක්) එකට පාස්සා ලූ සෙයින් කෙළේ සැරි වළලුයි. පිටිපැත්ත උඩට නෙරා සිටින සේත් බඩපැත්ත පැතිලව සිටින සේත් කරන ලද්දේ කංකණාද වළලුයි. අවුල් මුදුව අවුල්හැර සහිතව කරන ලද්දේය. වට්ටප්ප මුදුව ඇඟිලි තුනක් පමණ වැසෙන ලෙස සාදන ලද විශාල හිසක් සහිත වූයේය. මේ ආභරණ කෙරෙහි කෙතෙක් දුරට ද්‍රවිඩ බලපෑමක් සිදුවී ඇද්ද යන්න බොහෝ විට ඒ ඒ ආභරණවල නම්වලින් ම අවබෝධ කර ගත හැකිය.

කන්ගොටුව විද එහි මුදුනෙහි බීරලු වැනි ආභරණ ද අංශයෙහි මුදු වැනි ආභරණ ද නාස්පුඩුව විද එහි මූක්කුත්ති නමින් යුත කරාබු වැනි ආභරණ ද කොණ්ඩයෙහි කොණ්ඩමාල ද ඉණෙහි රිදීමුවා කුඩා යතුරු කැරැල්ලක් ද පැලදීම මුස්ලිම් ස්ත්‍රීන්ගේ සිරිතකි. ඇතැම් පහතරට ස්ත්‍රීන් ද රිදී යතුරු කැරැල්ල භාවිත කරනු පෙනේ. සාක්කු ඔර්ලෝසුවත් සමඟ කාසිකැරැල්ල බැඳි ඔර්ලෝසු මාලය ඉංග්‍රීසීන්ගේ මුල් කාලයෙහි මෙරට ජනයා අතරට අමුතුවෙන් පැමිණි ආභරණයකි. බොල්මුතු, රඟපෙවූ කදාමිණි, රෝල්ඩ් ගෝල්ඩ් ආදියෙන් කළ නොයෙක් ආභරණත් ප්ලැටිනම්, දියමන්ති, රත්රන්, මුතු මැණික් ආදිය යොදා කළ වටිනා ආභරණත් මේ කාලයෙහි බහුල බවට පැමිණියේය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආභරණ&oldid=6142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි