ආයස්මන්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකා ඉතිහාසයෙහි සඳහන් වන බල සම්පන්න අමාත්‍යවරුන් කීපදෙනා අතුරෙන් කෙනෙකි. "නරපතීන් තිදෙනකු සිහසුන් පත් කළාවූ ද දෙදෙනකු සිහසුනෙන් නෙරපුවා වූ ද මෙරට දේශපාලන භූමියෙහි ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් එවක කටයුතු කළාවූ ද තැනැත්තාගේ දසවස් ආණ්ඩුව මෙසේ අවසන් විය" යනුවෙන් ලංකා විශ්ව විද්‍යාලය මගින් සම්පාදිත ලංකා ඉතිහාසය මොහු ගැන සඳහන් කරයි. ලංකා ශිලාලිපි සංග්‍රහයේ නිගමනයන්ට අනුව තවත් රජුන් දෙදෙනකුගේ මරණය ගැන වගකිව යුත්තේ ද මෙම සෙනෙවිරත් ඇමතියාය.

ආයස්මන්ත සෙනෙවිරත් අමාත්‍යයා 12 වන සියවසේ අපර භාගයේත් 13 වන සියවසේ මුල් භාගයේත් ජීවත් වූවෙකි. කඳවුරු කුලයට අයත් වූ මොහු ගැන මහාවංශය, පූජාවලිය, රාජාවලිය යන ග්‍රන්ථවල ද සෙල්ලිපිවල ද සඳහන් වේ.

මහාවංශයට අනුව ආයස්මන්ත ඇමතියා සාහසමල්ල (බ.) රජු සිහසුනෙන් නෙරපා, නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසුන්ව සිටි කල්‍යාණවතී (බ.) බිසවුන් සිහසුනෙහි හිඳුවා බිසවුන්ගේ අනුමැතියෙන් සමසක් දැහැමින් රාජ්‍යය කෙළේය.

කල්‍යාණවතී බිසවුන්ගේ බෝපිටි සෙල්ලිපියෙහි සඳහන් වන ද්‍රවිඩ ආක්‍රමණයේ දී ඇයට අත්වූ පරාජයෙන් පසු ආයස්මන්ත සෙනෙවියා පොළොන්නරුව සතුරන්ගෙන් මුදාගෙන ධර්මාශෝක (බ.) නම් වූ තෙමස් වියේ සිටි බිළිඳු කුමරකුට රජකම දී තමා වසක් රාජ්‍යය විචාළේය.

ධර්මාශෝක කුමරා අනීකංග (බ.) මහාදිපාදයන්ගේ පුත්‍රයා බව පූජාවලියෙන් පෙනේ. යටකී ලෙස කල්‍යාණවතිය ද්‍රවිඩයන් අතින් පැරද පලායාම නිසා හිස් වූ පොළොන්නරු සිංහාසනය මහාදිපාද වශයෙන් අනීකංගයන්ට උරුමව තිබෙන්නට ඇති බව සිතිය හැකිය. එහෙත් සිහසුන මහාදිපාදයාට නොදී ඔහුගේ පුත්‍රයාට පැවරූයේ සිය සිතැඟි පරිදි රට පාලනය කිරීමට, බලකාමයෙන් පිරි ආයස්මන්තයනට ඕනෑ කළ නිසා යයි සිතීමට ඉඩ තිබේ. කෙසේ වුව ද වැඩි කල් නොගොස් ම සොළී බළ සෙනඟක් සහිතව පැමිණි අනීකංග ධර්මාශෝකයන් ද ආයස් මන්තයන් ද මරා සිහසුන අල්ලා ගත්තේය.

සාහසමල්ල නෙරපා කල්‍යාණවතිය රජකමට පත් කළ ඇමතියා එළලූ ආබෝ සෙනෙවිරද් නමින් පූජාවලියෙහි ද රාජාවලියෙහි ද දැක්වේ. පොළොන්නරුවේ සාහසමල්ල පුවරු සෙල්ලිපිය අනුව සාහසමල්ල කුමරුන් කළිඟු රටින් මෙහි ගෙන්වා සිහසුනට පත්කිරීමෙහි මුල්තැන ගෙන ක්‍රියා කෙළේ ලංකාධිකාර ලොලු පැලෑකුළු දූත්තැටි ආබෝනා නම් ඇමතිවරයාය. මොහු අනිකකු නොව පූජාවලියෙහි එන ආබෝ සෙනෙවියන් හෙවත් මහාවංශයෙහි එන ආයස්මන්ත සෙනෙවියන් බව ලංකා ශිලාලිපි සංග්‍රහ ග්‍රන්ථයෙහි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ආබෝ, ආබෝනා, ආයස්මන්ත යන වචනත්‍රයෙහි ම ඇති 'දීර්ඝායු ඇත්තා' යන සමානාර්ථය සලකා ආබෝනාවන් ද ආයස්මන්තයන් ද එක ම පුද්ගලයකු වියයුතු බව ලංකා ඉතිහාසය (ලංකා විශ්වවිද්‍යාල ප්‍රකාශනය) ද පිළිගනී. ඉතිහාසඥයන්ගේ මේ මතය අනුව, තමන් විසින් සිහසුනෙන් නෙරපන ලද සාහසමල්ලයන් සිහසුන හිඳවූයේ ද ආයස්මන්තයන් ම ය. සාහසමල්ල රජුගෙන් ගම්වර ලද මෙම ඇමතියා සෙනෙවිරද් නම පටබඳවනු ලැබ අග්‍රමන්ත්‍රී පදවියෙන් ද පුද ලැබූ බව යථෝක්ත ශිලා ලේඛනයෙහි සඳහන්ව ඇත.

සාහසමල්ල සෙල්ලිපියෙහි ලංකාධිකාර ලොලු පැලෑකුළු දූත්තැටි ආබෝනාවන්, ලක් විජය සිඟු සෙනෙවි ආබෝනාවන් නමින් ද දක්වා ඇත. ගල්පොත සෙල්ලිපියෙහි සඳහන් වන ල(ක්) විජය සිඟු සෙනෙවි තාවුරුනාවන් යට සඳහන් ආබෝනාවන් ම විය හැකි බව ලංකා ශිලාලිපි සංග්‍රහයේ එන මතයයි. නිශ්ශංකමල්ලයන් කල තාවුරුනාවන් පඬිරට ජයගැනීම සඳහා දඹදිව ගොස් යුද්ධයට නික්මුණු බවත් පඬිරජු හා රාජ මාතාව ඔහුට පඬුරු දී සාමය ලබාගත් බවත් නිශ්ශංකමල්ල රජුගේ එකී ගල්පොත සෙල්ලිපියෙහි හා ඔහුගේ පොළොන්නරු පුවරු සෙල් ලිපියක ද සඳහන්වේ. ආයස්මන්තයන් ආබෝනා හෙවත් තාවුරුනාවන් ම නම් හෙතෙම නිශ්ශංක මල්ලයන්ගේ අග්‍රසේනාධිපති පදවිය දරමින් විදෙස්හි යුද්ධ කොට ජයකිතු ගොස ලැබුවේ යයි ද මෙසේ සැලකිය යුතුය.

නිශ්ශංකමල්ලයන්ගෙන් පසුව රජ වූ වීරබාහු I ජීවිතක්ෂයට පත්කිරීම ගැන මහාවංශය නිහඬ වෙතත් එරජුන් මරණයට පත් කරනු ලැබුවේ තාවුරු සෙනෙවිරත් විසින් බව පූජාවලිය කියයි. මොහු යට සඳහන් තාවුරුනාවන් ම බවට සැකයක් නැත. එසේ නම් වීරබාහු I මරා දැමුණේ ද ආයස්මන්ත සෙනෙවියන් විසින් බව පිළිගත මනාය. චෝඩගංග (බ.) රජුගේ ඇස් උපුටා රාජ්‍යයෙන් පහකොට පරාක්‍රමබාහු I රජුගේ අගබිසව වූ ලීලාවතී රැජින රාජ්‍යයට නැංවූ කිත්ති සෙනෙවියා අභයවැව සෙල්ලිපියේ සඳහන් ලක්විජයසිඟු කිත් සෙනෙවියන් ම බවත් මොහු ලක් විජයසිඟු සෙනෙවි ආබෝනාවන් නොවන බවත් මහාවංශය අනුව සිතිය හැකි වෙතත් මේ දෙදෙනා එක ම පුද්ගලයා බව පෙන්නා දීමට ලංකා ශිලාලිපි සංග්‍රහය ප්‍රයත්නයක් දරයි.

මහාවංශයෙහි එන ආයස්මන්ත, පූජාවලියෙහි එන එළලු ආබෝ, තාවුරු, කිත්සෙනෙවි හා සෙල්ලිපිවල දැක්වෙන ලංකාධිකාර ලොලු පැලෑ කුළු දුන්තැටි ආබෝනා, ලක් විජය සිඟු සෙනෙවි තාවුරුනා හා ලක් විජය සිඟු කිත් සෙනෙවි යන මෙකී නම්වලින් ගැනෙනුයේ එක ම පුද්ගලයා නම් (ආයස්මන්ත නම් වූ) එම පුද්ගලයා ලංකා ඉතිහාසයෙහි පැවසෙන ඉතාමත් සැලකිය යුතු සෙනෙවිරත් අමාත්‍යවරුන් කීපදෙනාගෙන් එකකු බව පිළිගතමනාය. කෙසේ වුව ද මෙම සෙනෙවිරත්වරයා හඳුන්වන ආයස්මන්ත, ආබෝනා, ආබෝ යන නාම ඔහු ගැන යොදා ඇත්තේ සාහසමල්ල හා කල්‍යාණවතී දෙදෙනා පිළිබඳ සිද්ධිවල දී හෙවත් ඔහුගේ ජිවිතයේ අපරභාගයේ දීය. මේ නිසා එම නාම වයසින් මුහුකුරා ගිය විශිෂ්ට සෙනෙවියකුට ගරු නම්බු වශයෙන් යෙදුණු විරුද නාම හැටියට සැලකිය හැකි වන අතර අනිකුත් නම් ඊට වඩා මුල්කාලයේ භාවිත වුණු නියම නාමයන් දෝයි සිතීමට ඉඩ තිබේ.

ආයස්මන්ත සෙනෙවියා කල්‍යාණවතියගේ සමයෙහි දී වැලිගම විහාරයක් කරවා සඟනට පිදුවේය. තම නමින් පිරිවෙණක් කරවා එහි නඩත්තුවට ගම්වර කෙත් පිරිකර හා දැසි දසුන් දුන්නේය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආයස්මන්ත&oldid=5825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි