ආර්යයෝ
'ආර්ය' යනු ඉන්දු-යුරෝපීය හෙවත් ඉන්දු-ජර්මන් භාෂා කථා කරන යුරෝපීය හා ආසියාතික වැසියන් මනුෂ්‍ය වර්ගයක් වශයෙන් තමන් ම හැඳින්වීමට පොදුවේ භාවිත කරන වචනයක් වුව ද එය ඉන්දු-අයිරේනියානු වර්ගයට අයත් කොටසට පමණක් සීමා විය යුතුය යනු ග්‍රිස්වෝල්ඩ් පඬිතුමාගේ මතයයි. තමන් ආර්යයන් බව විශේෂයෙන් ම ප්‍රකාශ කොට ඇත්තේ අයිරානයට හා ඉන්දියාවට පැමිණි ඉන්දු-යුරෝපීය ජනයා විසින් බැවිනි.
මැක්ස් මුලර් පඬිතුමාගේ මතය අනුව ආර්ය යන නාමය මනුෂ්‍ය වර්ගයකට නොව භාෂාවකට ව්‍යවහාර වූවකි. එහෙත් පෙන්කා පඬිතුමා "භාෂාව හා ඒ භාෂාව කථාකරන මනුෂ්‍ය වර්ගයා අතර ඉතා කිට්ටු සම්බන්ධයක්" ඇති බව තර්කානුකූලව දක්වමින් ආර්ය භාෂාවන් කථා කරන මිනිසුන් ආර්ය වර්ගයට අයත් මිනිසුන් හෙවත් ආර්යයන් බව කියයි. ගෝඩ්න් චයිල්ඩ් පඬිතුමා ආර්යයන් ගැන පළ කරන්නේ පහත දැක්වෙන මතයයි. "යුරෝපයේ, ඇමෙරිකාවේ හා ඉන්දියාවේ දැනට භාවිත වන භාෂාවන්ගෙන් වැඩිහරියක් සාමාන්‍යයෙන් ඉන්දු-යුරෝපීය යන නමින් හැඳින්වෙන එක් භාෂා ගණයකට අයත් වෙයි. මේ භාෂාවන්ගේ ප්‍රභවයන් කොට ගිණිය හැකි මූලභාෂා ක්‍රිස්තු වර්ෂයෙන් ශතවර්ෂ ගණනකට පෙර සිට ම අත්ලන්තික් සාගරයේ සිට ගංගා සහ තාරීම් නදීන් දක්වා විහිදී ගොස් පැවැත්තේය. ඒ මූලභාෂා සියල්ල ම පොදු මාතෘ භාෂාවකින් (හෝ උපභාෂා ගණනකින්) පැවත ආයේය". එම මාතෘ භාෂාව ව්‍යවහාර කළ මුල් ජනතාව ආර්යයන් යයි ගෝඩ්න් චයිල්ඩ් මහතා හඳුන්වයි.
ආදිම ආර්යයන් එක ම ගෝත්‍රයකට අයත් ජාතියක් වී යැයි කිව නොහැක. ඔවුන් තමන්ගේ මුල් බිමෙන් වෙන්ව විසිර යෑමට පෙර ද ඔවුන්ගේ භාෂාවෙහි යම් යම් දේශීය වෙනස්කම් තුබුණු බවක් පෙනේ. මෙසේ මුල් ආර්ය ජනයා ගෝත්‍ර කිහිපයකට අයත්ව සිටින්නට ඇති නමුත් එක ම පොදු භාෂාවක් කතා කිරීම නිසාත් සමහරවිට එක ම විධියේ සභ්‍යත්වයක් ඇතිව සිටි නිසාත් ඔවුන් මුල දී එක්සත්ව එක ම ජාතියක් වශයෙන් විසූ බවක් සිතාගත හැකියි. ආර්යයන් ගැන අපට ඉතිහාසයේ පළමුවෙන් ම අසන්නට ලැබෙන්නේ ක්‍රි.පූ. 1760 දී කැසයිට්වරුන් විසින් මීඩියාව හා බැබිලෝනියාව ආක්‍රමණය කළ අවස්ථාව ගැන සඳහන් වන විටය.
ඉන්දු-යුරෝපීය භාෂාවන් කථා කරන ජාතීන් 'ආර්ය' යන නාමයෙන් හැඳින්වුවහොත් අද ලෝකයේ විශාල පෙදෙසක ආර්ය වර්ගයා පැතිර සිටින බව කිව හැකිය. මුළු යුරෝපයේ ම පාහේ ද ඇමෙරිකා හා ඕස්ට්රේලියා මහාද්වීපවල ද ආසියාවේ හා අප්‍රිකාවේ විශාල කොටසක ද ආර්යයෝ දැනට ජීවත්ව සිටිති. ලෝකයේ ජනගහනයෙන් භාගයක් පමණ වූ සංඛ්‍යාවක් මේ ගණයට අයිතිය. බටහිර සභ්‍යත්වයට අයිති ප්‍රධාන භාෂා සියල්ලක් ම පාහේ ඉන්දු-යුරෝපීය පවුලට හෙවත් ආර්ය භාෂාවලට නෑකම් ඇති ඒවා වෙයි. වර්තමාන යුරෝපයේ භාෂා අතුරින් හංගේරියානු, ෆිනීසි, තුර්කි වැනි භාෂා කිහිපයක් හැරුණු විට ජර්මන්, ඉංග්‍රීසි, ප්‍රංස ආදි අනික් භාෂා සියල්ල ම අයිති වන්නේ ඉන්දු-යුරෝපීය ගණයටය. සංස්කෘත භාෂාවෙන් බිඳී විත් ඇති හින්දි, වංග, පංජාබි වැනි ඉන්දියානු භාෂා ද පර්සියාවේ අයිරේනියානු භාෂාව ද ලංකාවේ සිංහල භාෂාව ද ආසියාවේ භාවිත වන ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් කිහිපයකි. ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගය ආරම්භයේ දී පවා ඉන්දු-යුරෝපීය භාෂාවන් කථා කළ ජනයා ඉන්දියාවේ සිට යුරෝපය දක්වා විහිද ගොස් සිටි බව කියත්. මොවුනට 'ඉන්දු-යුරෝපීය' යන නාමය දීමට ප්‍රධාන හේතුව වූයේ ද මේ කරුණයි. යුරෝපයේ පැරණි ඉන්දු-යුරෝපීය භාෂා අතුරෙන් ග්‍රීක, ලතින්, ලිතුවේනියන්, හිටයිට් ආදි භාෂා ද ආසියාවේ පැරණි ඉන්දු-යුරෝපීය භාෂා අතුරෙන් සංස්කෘත, අවේස්තානු ආදි භාෂා ද සඳහන් කළ හැක. මේ නයින් බලන විට අද ලෝකයේ වෙසෙන ආර්ය වර්ගයට අයත් මනුෂ්‍ය සංඛ්‍යාව කෝටි එකසිය විසිපහක් පමණ වෙයි.
ආර්යයන්ගේ මුල්බිම කුමක් දැයි යන්න ගැන ඉතිහාසඥයන් අතර මතභේද පවතී. ඩී.ඇස්. ත්‍රිවේද වැනි ඉන්දියානු පඬුවන් ආර්යයන්ගේ මුල්බිම ඉන්දියාව යයි තර්ක කරන අතර තවත් ඉන්දියානු හා යුරෝපීය ඉතිහාසඥයන් කොටසක් එය මධ්‍යම ආසියාව යයි විශ්වාස කරති. එහෙත් යුරෝපීය පඬිවරුන් වැඩිදෙනකුන්ගේ මතය නම් යුරෝපයේ කිසියම් පෙදෙසක් ආර්‍ය්‍යයන්ගේ මුල්බිම වූ බවයි. එහෙත් ඒ කවර පෙදෙස ද යන්න ගැන මොවුන් අතර ද මතභේද පවතී. ෂ්‍රාඩර් පඬිතුමාගේ මතය අනුව එය දකුණු රුසියාවේ කළුමුහුදේ උතුරු වෙරළබඩ ප්‍රදේශයකි. ජයිල්ස් පඬිතුමා සිතන්නේ එය හංගේරියාවේ වූ බවය. කොස්සින වැනි ජර්මන් පඬිවරුන්ගේ මතය එය ජර්මනියේ පෙදෙසක් වීය යන්නයි. නාට්සි බලය ජර්මනියේ පැතිර තිබූ කාලයේ දී මේ අදහස ජර්මනියේ තදින් පැතිරගොස් තිබුණේය. මෙවැනි පරස්පර විරෝධී මත රාශියක් දැනට ඇති නමුත් ඌරල් කඳුවැටියට දකුණින් පිහිටා ඇති කිර්ඝිස් තණබිම් ප්‍රදේශය ආර්යයන්ගේ මුල්බිම වීය යන්න දැනට වැඩි දෙනකුන් පිළිගෙන ඇති මතයයි. ඉන්දියානු පඬිවරයකු වූ ආර්.ඇන්. දණ්ඩෙකාර් මහතා 1947 බොම්බායේ පවත්වන ලද ඉන්දියානු ඓතිහාසික සංගමයේ රැස්වීමක දී මේ මතය සනාථ කරමින් කරුණු දක්වා ඇත. ඒ මහතාගේ අදහස අනුව ආර්යයන්ගේ මුල්බිම පිහිටා තුබුණේ ඌරල් කඳු වැටියටත් කැස්පියන් මුහුදට වයඹ දිගින් පිහිටි අල්තායි ප්‍රදේශයටත් අතර ඇති භූමි ප්‍රදේශයේය. කොටින් කියතොත් කිර්ඝිස් තණබිමේ උතුරු කොටසේය. මේ ප්‍රදේශයේ සිට ආර්යයන් ලෝකයේ නොයෙක් රටවලට, විශේෂයෙන් ඉන්දියාවට, පැමිණි අයුරු ග්‍රීස්වෝල්ඩ් පඬිතුමා පංජාබ් ඓතිහාසික සමිතියේ සඟරාවේ (Journal of the Punjab Historical Society) ix වන කාණ්ඩයට සැපයූ ලිපියක විස්තර වේ. එහි සාරාංශය පහත දැක්වේ:
ආර්යයන්ගේ මුල්බිම සේ ගනු ලබන කිර්ඝිස් තණබිම් ප්‍රදේශයෙහි ආදි ම ආර්ය ජනයා පදිංචිව සිටියේ ක්‍රි.පූ. 3500 පමණ යයි සලකනු ලැබේ. ඒ මුල් මනුෂ්‍ය වර්ගයාගෙන් කණ්ඩායම් වරින්වර බිඳී වෙන් වී ගෝත්‍ර නායකයකු හෝ ඔවුන් කිහිපදෙනකුන් යටතේ එක් එක් පැතිවලට සංක්‍රමණය වන්නට ඇත. මොවුන්ගේ සංක්‍රමණයට හේතු වූ ප්‍රධාන කරුණ වශයෙන් සිතාගත හැක්කේ, කල්යාමේ දී ජනගහනය වැඩි වීම නිසා ඔවුන් අතර අසමගිකම් ඇති වීමත් අලුත් වාසස්ථාන හා තණබිම් සොයායන්නට සිදුවීමත්ය. ආහාර හිඟ වීම, දරුණු නියඟ ඇති වීම, ගොවිතැන් පාළු වීම, යුද්ධයෙන් පරාජය වීම ආදිය සමහර ආර්ය ගෝත්‍රයන්ට තම මුල්බිම අත්හැර යාමට හේතු වූ අනිකුත් කරුණු විය හැකිය. මුල් ආර්‍ය්‍ය ජනයා කෙරෙන් වෙන් වී ගිය කණ්ඩායම් අතර ක්‍රි.පූ. 2800-2600 පමණේ දී වෙන් වී ගිය හිටයිට්වරු ද ඊට ආසන්න අනතුරු සමයක දී වෙන්ව ගොස් ලුවියන් යන නාමයෙන් හැඳින්වුණු අය ද ප්‍රධානයහ. මේ කණ්ඩායම් දෙක ම ඔවුන්ගේ මව්බිමෙන් නිරිත දෙසට සංක්‍රමණය වී සුළු ආසියාවේ පදිංචියට පැමිණි බව පෙනේ. මොවුන් මෙහි එන්නට ඇත්තේ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ හා කොකේසස් කඳුවැටිය හරහාය. වැඩි කලක් යන්නට මත්තෙන් මේ කණ්ඩායම් දෙක ම ස්වදේශිකයන් හා මිශ්‍රව ගිය බව සිතීමට පුළුවන.
ක්‍රි.පූ. 2600 දී පමණ ප්‍රථමයෙන් ප්‍රධාන පවුලෙන් කැඩී වෙන් වී ගියා වූ ද පසුව අයිරානයට හා ඉන්දියාවට පැමිණියාවූ ද ප්‍රධාන කණ්ඩායම සංක්‍රමණය වී ඇත්තේ ගිනිකොන දෙසටය. මොවුන් මෙසේ සංක්‍රමණය වී ගොස් බාල්ක් (බැක්ට්‍රියා) ප්‍රදේශයේ (එනම් හින්දුකුෂ් කඳු පාමුල සිට කැස්පියන් මුහුද දක්වා ඇති භුමි ප්‍රදේශයෙහි) සැලකිය යුතු කලක් පදිංචිව සිටි බව පෙනේ. මේ කණ්ඩායමෙන් ද වරින් වර සුළු සුළු කොටස් නැතහොත් කණ්ඩායම් වෙන් වී නිරිත දිගට සංක්‍රමණය වී ඇති බවට ද ලකුණු ඇත. නිරිත දිග ආසියාවේ පදිංචිව සිටි කැසයිට්වරුන් නමින් හැඳින්වුණු ජනයා ක්‍රි.පූ. 18 වන සියවසටත් පෙර වෙන් වී ගිය කණ්ඩායමක් බව ද ඉහළ යුෆ්රටීස් නිම්නයේ (උතුරුමැද මෙසපොටේමියාවේ) පදිංචිව සිටි මිතන්නිවරුන් බෝල්ටික් ප්‍රදේශයට ඊසාන දෙසින් අවුත් මේ ප්‍රදේශයන්හි පදිංචිව සිටි බව ද කියති. කලක දී ඔවුන් ද ඒ ඒ දේශීයයන් හා මිශ්‍ර වී ගිය බව පෙනේ. ක්‍රි.පූ. 2300ටත් 2000ටත් අතර කාලය තුළ මෙසේ වරින්වර කුඩා කණ්ඩායම් වශයෙන් බාල්ක් ප්‍රදේශයෙන් කැඩී ගිය ආර්ය ජනයා සුළු ආසියාව, සිරියාව, පලස්තීනය, උතුරු මෙසපොටේමියාව හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන්නට වූහ. එහෙත් මේ හැම කණ්ඩායමක් ම පාහේ කල්යාමේ දී දේශීය ජනතාවන් හා මිශ්‍ර වී ගිය බවට සාක්ෂි ඇත. බාල්ක් ප්‍රදේශයේ ඉතිරි වූවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වූ ආර්ය ජනයා දීර්ඝ කාලයක් එහි විසූ බැවින් ඔවුන් විසින් තමන්ගේ මුල් භූමියෙන් ගෙන එන ලද සමාජ සිරිත්විරිත් ආගම යනාදිය මෙහි දී තවදුරටත් වර්ධනය වන්නට වූ බව කිවයුතුය. ප්‍රාග්-ආර්ය භාෂාව හා ආගම බොහෝදුරට හැඩ ගැසුණේ මේ ප්‍රදේශයේ දීය. කල් යාමේ දී බාල්ක් ප්‍රදේශයෙහි විසූ ආර්යයන් අතර ආගම නිසා මතභේද හා ආරාවුල් ඇති වූ බව පෙනේ. එක් පක්ෂයක් වරුණ දෙවියා අදහන්නන් වූ අතර අනික් පක්ෂය ඉන්ද්‍ර දෙවියා අදහන්නෝ වූහ. මේ ආගම් භේදය නිසා එම දෙපක්ෂය අතර අසමගිකම් ඇතිවිය. මේ නිසා වරුණ ඇදහූ කණ්ඩායමට අයිති ගෝත්‍රිකයන් අනික් කණ්ඩායමෙන් වෙන් වී බාල්ක් ප්‍රදේශයෙන් දකුණු දෙසට සංක්‍රමණය වූ බව සිතීමට පුළුවන. බාල්ක් ප්‍රදේශයේ ජනගහනය වැඩි වීම ද ආහාර හිඟ වීම ද මේ කණ්ඩායමට බාල්ක් ප්‍රදේශය අත්හැර යෑමට හේතු වූවා විය හැකිය. බාල්ක් ප්‍රදේශයෙන් වෙන් වුණු මේ කණ්ඩායම මෙසේ සංක්‍රමණය වී ගොස් අන්තිමේ දී අයිරානයට උතුරෙන් වූ ප්‍රදේශයේ ජීවත් වන්නට පටන් ගත් බවට සාධක ඇත. ඉන් ටික කලකට පසු ඔව්හු අයිරානයට සංක්‍රමණය වී එහි ස්ථිර පදිංචිය ඇති කර ගත්හ. අයිරේනියානු ජාතිකයන් වශයෙන් පසුව හැඳින්වුණේ මොවුන් ය. ටික කලකට පසු මොවුන් මෙසපොටේමියාව දක්වා ම විහිද ගිය බව පෙනේ.
මේ අතර ඉන්ද්‍ර දෙවියා ඇදහූවන්ගෙන් විශාල කොටසක් ද වරුණ දෙවියා ඇදහූවන්ගෙන් වෙන් වී බාල්ක් ප්‍රදේශයෙන් නැගෙනහිර පැත්තට විහිදී යන්නට වූහ. ඔවුන් මෙසේ විහිද ගිය අලුත් භූමි ප්‍රදේශය භූමි ලක්ෂණ අතින් බාල්ක් ප්‍රදේශයේ භූමි ලක්ෂණයන්ට බෙහෙවින් සමාන විය. මේ කණ්ඩායමේ පැතිරී යෑම ද සිදු වූයේ ඉතා සෙමිනි. බාල්ක් ප්‍රදේශයේ ඔවුන්ට ස්වදේශික ගෝත්‍ර හා සටන් කරන්නට සිදු වූවාක් මෙන් ම ඔවුන්ට මේ අලුත් භූමි ප්‍රදේශවල දී ද දාස නොහොත් දස්‍යු නමින් හැඳින්වුණු ස්වදේශිකයන් හා සටන් කරන්නට සිදු විය. මේ හේතූන් නිසා ඉන්ද්‍ර දෙවියා ඇදහූවෝ තමන් පැමිණියේ අලුත් රටකට (ඉන්දියාවට) බව නොදත්හ. මේ අලුත් රටට පැමිණීමෙන් පසු ඔවුන් හැඳින්වුණේ ඉන්දියානු ආර්යයන් හැටියටය. ඔවුන් නොදැනුවත්ව ම මෙසේ අලුත් රටකට පැමිණි බැවින් ඔවුන්ගේ පැරණි ම සාහිත්‍ය කෘතිය වන ඍග් වේදයෙහි ඔවුන් ඉන්දියාවට පැමිණීම ගැන හෝ ඉන්දියාවට ඒමට කලින් ඔවුන් ජීවත්ව සිටි රට ගැන හෝ කිසිම සඳහනක් නැත. මොවුන් ඉන්දියාවට මුලින් ම පැමිණ ඇත්තේ ක්‍රි.පූ. 1900 පමණේ දීය. එහෙත් මෙයින් අදහස් කරනුයේ ඉන්දියාවට පැමිණියේ එක ම කණ්ඩායමක් පමණක්ය යන්න නොවේ. වරින්වර කණ්ඩායම් කිහිපයක් ම ඉන්දියාවට පැමිණි බවට සාක්ෂි ඇත.
ඉන්දියාවේ ඓතිහාසික යුගයේ මුල් කොටසේ ඉතිහාසයෙහි සම්පූර්ණයෙන් ම වාගේ පළවන්නේ මුළු ඉන්දියාවේ අස්සක් මුල්ලක් පාසා ම ආර්යයන් විහිද ගිය අයුරුය. ශතවර්ෂ කිහිපයක් ඇතුළත ඉන්දියානු ආර්යයන්ගෙන් කොටසක් නැගෙනහිර දෙසින් ඇසෑමය දක්වා ද තවත් කොටසක් නිරිත දෙසින් කතියවාර් ප්‍රදේශය දක්වා ද තවත් කොටසක් දකුණු දෙසින් දකුණු ඉන්දියාව දක්වා ද තව කොටසක් උතුරු දෙසින් කාශ්මීරය හා හිමාලය දක්වා ද සංක්‍රමණය වී යෑමෙන් ක්‍රි.පූ. සවැනි ශතවර්ෂය පමණ වන විට මුළු ඉන්දියාව ම පාහේ ආර්යාවර්තයක් බවට පත් විය. සප්ත සින්ධු ප්‍රදේශයෙන් පටන් ගත් මොවුන්ගේ සංක්‍රමණය ප්‍රධාන වශයෙන් නැගෙනහිරටත් දකුණටත් පැතිර යෑම නිසා මෞර්ය යුගයේ දී අශෝක අධිරාජයාගේ අධිරාජ්‍යයේ දකුණු සීමාව වූ මදුරාසිය හා මැංගලෝරය දක්වා ම ආර්ය භාෂාවන් කතා කළ ජනයාගේ වාසභූමි විය.
බටහිරට ගිය ආර්යයෝ
යුරෝපා මහාද්වීපයේ ඓතිහාසික යුගයේ ආරම්භයටත් පෙර සිට ම යුරෝපය දෙසට ද ආර්යයන්ගේ සංක්‍රමණ රාශියක් සිදුවී ඇති බව පෙනේ. ක්‍රි.පු. 2200 දී පමණ ඌරල් ප්‍රදේශයේ ප්‍රධාන කණ්ඩායමෙන් බෙදී යුරෝපයේ පැතිරී ගිය මුල් ම වර්ගයා හැටියට සැලකෙන්නේ පසුව 'ග්‍රීක' නමින් හැඳින්වුණු ජනයාය. පසුව 'රෝම' නමින් හැඳින්වුණු ජාතිය ද කණ්ඩායමක් වශයෙන් මීට සුළු කලකට පසු මුල් ආර්ය පවුලෙන් වෙන්ව යුරෝපයට ගිය ජාතියකැයි සිතිය හැකිය. ප්‍රධාන පවුලෙන් වෙන් වී ආසියාව දෙසට ආ ප්‍රධාන කණ්ඩායම වැනි තවත් කණ්ඩායමක් කැස්පියන් මුහුදේ උතුරු වෙරළ ඔස්සේ වොල්ගා නදිය දෙසට ගිය බවට ලකුණු ඇත. එතැන සිට දකුණු රුසියාවේ වොල්ගා-නීපර් නිම්නය ද පසුකොට තවත් බටහිර දෙසට සංක්‍රමණය වූ මොවුන් බෝල්ටික් තැන්නට (ප්‍රධාන වශයෙන් ප්‍රිපට් ප්‍රදේශයට) ආ බව පෙනේ. බාල්ක් ප්‍රදේශය ඉන්දියානු හා අයිරේනියානු ආර්යයන්ගේ පළමුවන නවාතැන වූවාක් මෙන් ම ප්‍රිපට් ප්‍රදේශය යුරෝපීය ආර්යයන්ගේ පළමුවන නවාතැන විය. යුරෝපයේ නොයෙක් රටවලට ආර්යයන්ගේ පැතිර යෑම සිදුවූයේ මේ 'නවාතැන් පොළේ' සිට බව දණ්ඩේකාර් මහතා පවසයි. ඔවුන් ඒ ඒ රටවලට සංක්‍රමණය වූ කාලය හා මාර්ග පිළිබඳ මතභේද රාශියක් ඇත. යුරෝපීය ඉතිහාසයේ ඓතිහාසික යුගයේ ආරම්භයේ දී වාගේ ම යුරෝපයේ දකුණු හා බටහිර දෙසට සංක්‍රමණය වී ඇත්තේ පසුව කෙල්ට් (බ.) නමින් හැඳින්වුණු ආර්ය වර්ගයාය. ඔවුන්ගෙන් පසු සංක්‍රමණය වී ඇත්තේ පසුව ටියුටන්වරුන් යයි ප්‍රසිද්ධ වූ ජනයාය. ඊළඟට ස්ලාව්වරුන් නමින් දන්නා ආර්ය ජනයාගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ මුල් නවාතැනින් වෙන් වී ගොස් ඇත. ක්‍රමයෙන් ඉතා විශාල ලෙස පැතිරී ගිය කෙල්ට්වරුන් පසු කලක දී ඔවුන්ට කලින් සංක්‍රමණය වී ඉතාලියට අවුත් සිටි රෝමවරුන් විසින් අත්පත් කරගෙන තුබුණු භූමි ප්‍රදේශවලට කඩා වැදීම නිසා රෝමවරුන්ට උතුරු ඉතාලිය පමණක් නොව ක්‍රි.පූ. 390 පමණ වන විට රෝමය ද අහිමි විය. ඊළඟට කෙල්ට් ප්‍රදේශවලට ටියුටන්වරුන් කඩා වැදුණු හෙයින් කෙල්ට්වරුන්ට නැවත අලුත් වාසස්ථාන හා භූමිප්‍රදේශ සොයා යන්නට සිදු විය. ටියුටන්වරුන්ගේ ඉදිරි ගමන ස්ලාව්වරුන්ට ද ඉදිරියට යෑමට හේතුවක් විය. එහෙත් අවසානයේ දී උතුරු ඉතාලිය, පෘතුගාලය, ගෝල් ප්‍රදේශය හා බ්‍රිතාන්‍යය ද ඇතුළු කෙල්ට් ප්‍රදේශ සියල්ල ම පාහේ රෝමවරුන් විසින් රෝම අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදි. එහෙත් රෝම අධිරාජ්‍යයේ වැටීම නිසා නැවත වරක් ඒ රාජ්‍යයේ උතුරු සීමාව පෙදෙසේ සිටි ටියුටන්වරුන්ට රෝම අධිරාජ්‍යයට අයත්ව තුබුණු ප්‍රදේශ ආක්‍රමණය කිරීමට අවස්ථාවක් සැලසිණ. ජූට්වරුන්, ඇන්ගල්වරුන් හා සැක්සන්වරුන් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කොට කෙල්ට්වරුන් වේල්සයේ හා ස්කොට්ලන්තයේ කඳුකර පළාත්වලට පලවා හැරීම ද ටියුටන්වරුන් කෙල්ට් හා රෝම ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ ප්‍රතිවිපාකයක් හැටියට සැලකිය හැකිය. අන්තිමේ දී රෝම අධිරාජ්‍යය ටියුටන් ගෝත්‍ර රාශියකට වාසභූමි විය. උතුරු ඉතාලියේ පදිංචි වූයේ ලොම්බාඩ්වරුන්ය. ඒ නිසා එම ප්‍රදේශය 'ලොම්බාඩි' නම් විය. ෆ්‍රෑන්ක්වරුන්ගේ දේශය වූ ගෝල් ප්‍රදේශය ප්‍රංසය නමින් පළ විය. ඇන්ගල්වරුන්ගේ දේශය වූ බ්‍රිතාන්‍යය එංගලන්තය නමින් ප්‍රසිද්ධ විය. මෑත යුගයේ දී රුසියානු අධිරාජ්‍යය ඇලස්කාව, සයිබීරියාව, තුර්කිස්ථානය, තුර්කිය, පර්සියාව සහ මැංචූරියාව තෙක් විහිද යෑමත් සමඟ ම ස්ලාව් වර්ගයාගේත් එම භාෂාවේත් පැතිරීම සිදු විය.
ඉන්දු-යුරෝපීය ජනයා ඓතිහාසික යුගයේ ආරම්භයේ දී ම වාගේ මධ්‍යධරණී ප්‍රදේශයට පැමිණි ආර්‍ය්‍යයන් බවට ද සාක්ෂි ඇත. ක්‍රි.පූ. 2200 දී පමණ ඌරල් ප්‍රදේශයෙන් පිටවුණු ආර්‍ය්‍යයන් සමහර විට ක්‍රි.පූ. 1500 පමණ වන විට ග්‍රීසියට පැමිණෙන්නට ඇත. ඉන් ටික කලකට පසු ඉන්දු-යුරෝපීයයන් ඉතාලියට හා ස්පාඤ්ඤයට ද එන්නට ඇතැයි සිතිය හැක.
ඌරල් ප්‍රදේශයෙන්, බාල්ක් ප්‍රදේශයෙන් හෝ ප්‍රිපට් ප්‍රදේශයෙන් වෙන් වී ගිය සෑම ඉන්දු-යුරෝපීය කණ්ඩායමක් ම කල්යාමේ දී ඔවුන් විහිද ගිය රටවල ස්වදේශිකයන් හා මිශ්‍රව ඔවුන්ගේ සභ්‍යත්වයෙන් යම් යම් දේ උපුටා ගත් බව පෙනේ. ස්වදේශිකයන් හා මුසු වීම නිසා ඔවුන්ගේ ජාති හෝ ගෝත්‍රනාමය සම්පූර්ණයෙන් ම අභාවයට ගිය අවස්ථා ද දක්නට ඇත. ඉන්දියාවට පැමිණි ආර්යයන් එකල එහි ස්වදේශිකයන් වූ දාසයන් (දස්‍යූන්) හා මිශ්‍රව ඇති බවට සාක්ෂි ලැබේ. ග්‍රීකයෝ මධ්‍යධරණී ජාතියක් වූ මිනොවන්වරුන් හා මිශ්‍ර වූහ. ඉතාලියට සංක්‍රමණය වූ ලතින්වරු ඉතාලියේ එකල විසූ ස්වදේශිකයන් හා සම්මිශ්‍ර වූහ. එමෙන් ම බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජූට්වරුන් හා ඇන්ගල්වරුන් ද සැක්සන්වරුන් හා ඩේන්වරුන් ද නෝර්මන්වරුන් ද එකල එහි ස්වදේශිකයන් වූ කෙල්ට්වරුන් හා මිශ්‍ර වූ බව පෙනේ. මෑත යුගයේ දී ඉන්දියාව, බුරුමය වැනි ආසියාවේ රටවලට ද ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව වැනි රටවලට ද ගිය ඉන්දු යුරෝපීය ජාතීන් පවා සුළු වශයෙන් වුව ද ස්වදේශිකයන් හා මිශ්‍රව ඇති බවට සාක්ෂි ඇත. එබැවින් දැනට ලෝකයේ කිසි රටක මිශ්‍ර නොවූ එක ම ආර්ය වර්ගයක් හෝ ආර්යයකු සොයාගත නොහැක.
ආර්යයන්ගේ සභ්‍යත්වය
ආදි ම ආර්යයන් ගත කළේ අර්ධ එඬේර ජීවිතයක් හා අර්ධ ගොවි ජීවිතයකි. එක් තැනක ටික කලක් පදිංචිව සිටීමෙන් පසු මුළු ගෝත්‍රය ම බඩු බාහිරාදිය ගැල්වල පටවාගෙන, පදිංචිව සිටි ගෙවල් ගිනිතබා, අලුත් වාසස්ථාන සොයා යෑම ඔවුන්ගේ සිරිත විය. එහෙත් කල්යාමේ දී වරින්වර අලුත් වාසස්ථාන සොයා යන පුරුද්ද අත්හැර නිත්‍ය වාසස්ථානයක ජීවත් වන්නට ඔව්හු පුරුදු වූහ.
ආර්ය සමාජය එකල අධිපති පන්තිය, පොදු ජනයා හා වහලුන් බවට පත් වූ ස්වදේශික ජනයා වශයෙන් කොටස් තුනකට බෙදී තිබුණි. ඔවුන්ට රජකු නොසිටිය නමුත් ඒ වෙනුවට ගෝත්‍ර නායකයෙක් විය. පරම්පරා කිහිපයක දීම නායකයන් කිහිපදෙනකුන් බිහිකළ පවුල් අධිපති පවුල් සංඛ්‍යාවට වැටිණ. පොදු ජනයා හා අධිපතීන් අතර ද සම්බන්ධතා පැවතිණ. එහෙත් දේශීය ජනයාට සමාජයේ ලැබුණේ පහත් තැනකි.
ආර්ය සමාජයෙහි ප්‍රධාන ලක්ෂණයක් වූයේ පිතෘ මූලික පරම්පරා ක්‍රමයයි. මේ නිසා ම දරුවන් පියාට විශේෂ ගෞරවයක් දැක්වූ අතර පියා ද තම දරුවන්ට (විශේෂයෙන් ම පුතුන්ට) දැඩි ආදරයක් දැක්විය. එහෙත් පුතුන් වැඩි වයසට පත් වූ පසු ඔවුන්ට පියාගේ පාලනයෙන් මිදෙන්නට හැකිවිය. කෙසේ හෝ වේවා, සෑම අවස්ථාවක දී ම පවුලේ ප්‍රධානයා වූයේ පියාය.
ආර්ය ගෝත්‍රයක් පවුල් කිහිපයක් එක්වීමෙන් සෑදුණු එකකි. සෑම පවුලක ම වාගේ පවුලේ ප්‍රධානයා වූ ගෘහපතියෙක් ද ඔහුගේ බිරිය හා ළමා ළපැටියෝ ද වූහ. සමහරවිට ගෘහපතියාගේ සොහොයුරු සොහොයුරියන් ද ඔහුගේ නිවසෙහි ම ජීවත්ව සිටි බව පෙනේ. ගෝත්‍රයක නායකයකුට යුද්ධ කටයුතු ආදියෙහි දී උදවු වීම පිණිස පිරිවර ජනයා ද සිටි බවට සාක්ෂි ඇත. මේ පිරිවර ජනයා යැපුණේ ගෝත්‍ර නායකයාගේ උදව්වෙන් බැවින් ඔවුන් සමහරවිට ඔහුගේ ආරක්ෂක භටයන් හැටියට සේවය කළ බව සිතාගත හැකිය. ගෝත්‍ර නායකයාට ඔහුගේ යටත් වැසියන් විසින් අයබදු ගෙවූ බවක් පෙනෙන්නට නැත. තමාගේ පැවැත්ම සඳහා ඔහුට වියදම් කරන්නට සිදු වූයේ තම වැවිලි ආදියෙන් ලැබුණු ආදායමය.
ආර්යයන්ගේ නිවාස ආදිය ඒ ඒ ප්‍රදේශයන්හි මඳ වශයෙන් වෙනස් වුව ද සැමතැන ම වාගේ ඔවුන් ජීවත් වූයේ එක ම ක්‍රමයකටය. පැරණි ආර්යයන්ගේ වාසස්ථානය කෙටියෙන් විස්තරක් කරතොත් මෙසේය: ප්‍රධාන ගොඩනැඟිල්ල වශයෙන් ඔවුන් පාවිච්චි කෙළේ ශාලාවකි. ඒ වටා කුඩා ගෙවල් කිහිපයක් විය. මේ කුඩා ගෙවල් ප්‍රයෝජනයට ගත්තේ ගවගාල්, කම්හල්, ගබඩා කාමර ආදි වශයෙනි. මොවුන්ගේ නිවාස තනන ලද්දේ දැව දඬුවලිනි; සමහර විට අතුකෑලිවලින් හා මැටියෙනි. ගෙහිමියා හා ඔහුගේ ඥාතීන් ජීවත් වූයේ ප්‍රධාන ශාලාවේය. මොවුන් කෑමපීම කෙළේත්, ශයනය කෙළේත් මේ ශාලාවේ මය. වහලුන් බවට පත් ස්වදේශික සේවකයන් ජීවත් වූයේ ප්‍රධාන ගෘහයට යාබදව පිහිටි කාමරවලය.
එකල වුව ද ආර්යයන්ගේ සමාජ ජීවිතය එතරම් අක්‍රියශීලී නොවීය. ගෝත්‍ර අතර ඇතිවුණු ආරාවුල්වලින් හා අසල්වැසි ගෝත්‍රිකයන් විසින් කරනු ලැබූ හරක් හොරකම්වලින් ද බේරී සිටීමට නිතරම පාහේ ඔවුන්ට සිදු විය. සමහර අවස්ථාවල දී මෙය ඔවුන්ට මහත් විනෝද ගෙන දෙන්නක් පමණක් නොව ලාභ කර එකක් ද විය. දූකෙළිය හා සුරාපානය ඔවුන් අතර පැවති බව පෙනේ.
ආර්යයන්ගේ විවාහ චාරිත්‍ර පිළිබඳව හෝ විවාහ ජීවිතය පිළිබඳව හෝ කළ හැක්කේ සුළු විස්තරයක් පමණකි. ස්ත්‍රියක පාවා ගැනීමේ දී එකල එතරම් උත්සව ආදියක් පැවැත්වූ බවට සාක්ෂි නැත. කැමැත්තෙන් ස්ත්‍රියක කැඳවා ගෙන ගොස් විවාහ කර ගැනීම මෙන් ම බලෙන් පැහැර ගෙන ගොස් විවාහ කර ගැනීමද එකල පැවැතුණු බව පෙනේ. විවාහයේ දී තෑගි හුවමාරු කර ගැනීම සාමාන්‍යයෙන් පැවැතුණු චාරිත්‍රයක් වුව ද මනාලිය වෙනුවෙන් දායාදයක් දුන් බවට සාක්ෂි නැත. විවාහයෙන් පසුව වුව ද ස්ත්‍රිය වැඩි සම්බන්ධයක් හා ලැදියාවක් දැක්වූයේ සිය සැමියාගේ පක්ෂයට නොව සිය පියාගේ පක්ෂයටය. පවුල් අතර ඇතිවුණු ආරාවුලක දී පවා ඇය ගත්තේ තම පියාගේ ඥාතීන්ගේ පක්ෂයයි. එක් පුරුෂයකු විසින් එක් භාර්යාවක් විවාහ කර ගැනීම සාමාන්‍ය සිරිත වුව ද ඉහළ පෙළේ අයට හා ධනවත් අයට සමහර විට භාර්‍ය්‍යවන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් සිටි බව ද පෙනේ. මේ හැර සපත්නීන් වශයෙන් දේශීය ස්ත්‍රීන් ද පත් කොට ගෙන ඇත. භාර්යාවන් හා සපත්නීන් ද ඔවුන්ගේ ළමා ළපටින් ද ජීවත් වූයේ එක ම ශාලාවේය.
එකල සමාජයෙහි ස්ත්‍රියගේ තත්වය රඳා පැවැත්තේ ඇය උපන් පවුලේ සමාජ තත්වය මතය. එහෙත් සාමාන්‍යයෙන් සලකන විට සෑම ස්ත්‍රියකට ම සමාජයේ උසස් තැනක් ලැබුණු බව කිවයුතුය. සමහර අවස්ථාවල දී ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට මෙන් ම සමාජයෙහි උසස් තැනක් ලැබුණාක් මෙන් ම පවුලේ සම්පූර්ණ බලය හා පෞද්ගලික නිදහස පිරිමින්ට සමානව ඔවුන්ට ද ලැබිණ. බහුපුරුෂ සේවනය එතරම් බහුල වශයෙන් දක්නට නොලැබුණ ද කලාතුරකින් එය සිදු වී ඇත.
ආර්යයන් ඇඳුම් සඳහා භාවිත කොට ඇත්තේ අතින් වියන ලද ලොම් රෙදිය. එහෙත් ඇඳුම් මසා ඇන්ද බවක් නොපෙනේ. එසේ ද වුවත් ඔවුන් තුළ ඇඳුම් ගැන විශේෂ සැලකිල්ලක් තුබූ බව හොඳින් අඳින අය ගැන වේදයෙහි විශේෂයෙන් සඳහන් කොට ඇති අයුරින් පැහැදිලි වෙයි. ඉහළ පන්තියේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින් ම රනින් කළ පළඳනා පැලඳි බව කිව හැක.
මිනිසකු මළ විට මළමිනිය උත්සවයක් නොමැතිව වළලා දැමීම එකල සාමාන්‍ය සිරිත වූ නමුත් අධිපතියකු හෝ වෙන යම් නායකයකු හෝ මළ විට මළමිනිය ආදාහනය කළ බව පෙනේ. ගෝත්‍ර නායකයන් ආදාහනය කිරීමෙන් පසු ඒ හස්මාවශේෂ කරඬුවක ලා වළලා එය මතුපිට උස්ව සිටින සේ පස් ගොඩ ගැසීම සිරිතක්ව පැවතිණ.
ආදිම ආර්යයෝ ගොවිතැනින් හා සතුන් ඇති කිරීමෙන් ජීවත් වූහ. ඔවුන් මුල දී ඇති කළේ ගව, එළු, බැටළු ආදි ගොවිතැනට උපකාර වන සතුන් පමණකි. එහෙත් පසු කලක අශ්වයන් ඇති කිරීම ද ඔවුන්ට පුරුදු විය. ආර්යයන්ගේ ප්‍රධාන ගොවිතැන වූයේ තිරිඟු වැවීමය. සීසෑම කෙළේ ගවයන් මගිනි. ගවාදි සතුන් ද තණබිම් හා වගා කළ ඉඩම් ද සිරිතක් වශයෙන් අයිති වූයේ ගෝත්‍ර නායකයාටය.
ආර්යයන් එකල ලෝකඩ ගැන දැන ගෙන සිටි නමුත් යකඩ ගැන දැනගත්තේ ක්‍රි.පූ. 1500 දී පමණ බව කියති. මේ ලෝහවලින් තනා මොවුන් භාවිත කළ ආයුධ අතර කඩුව, හෙල්ල, පොරොව, දුන්න, හීය හා පලිහ ද ප්‍රධාන තැනක් ගති.
වෙළෙඳාමට වැඩි සැලකිල්ලක් නොදැක්වූ ආර්යයන් එය මං පැහැරීමක් හෝ සොරකම් කිරීමක් වැනි යයි සිතූ බව පෙනේ. මුදල් පරිහරණයක් තුබූ බවට සාක්ෂි සඳහන්ව නැත. පොළියට බඩු බාහිරාදිය දීම පවා ඔවුන් විසින් හෙළා දක්නා ලදි.
එකල ආර්යයන් කර්මාන්ත කිහිපයක් දැන සිටි බවට සාක්ෂි ඇත. ලෝහ කර්මාන්තය මින් ප්‍රධාන තැනක් ගත්තේය. ලෝහ කර්මාන්ත කාරයාට සමාජයේ ලැබුණේ ද උසස් තැනකි. ඒ එසේ වූයේ ගොවිතැන සඳහා ද යුද්ධ කටයුතු සඳහා ද ඔහු විසින් තනන ලද අවි ආයුධ ආදිය එදා ඉතා අවශ්‍ය දේ වූ හෙයිනැයි සිතිය හැක. කුඹල් සක පාවිච්චි කොට වළන් සෑදීමේ ක්‍රමය ද ඇතුළුව කුඹල් කර්මාන්තය ගැනත් ආර්යයන් දැන සිටි බව පෙනේ. රථ තැනීම පිළිබඳව ද ඔවුන් දැන සිටි අතර යුද්ධය සඳහා මෙන් ම ගමන් බිමන් සඳහා ද අසුන් යෙදූ රථ භාවිත කළ බවත් පෙනේ.
ආර්යයන්ගේ ප්‍රධාන ආගම වූයේ ස්වාභාවික වස්තූන් පිදීමය. ඔවුන් එකල ස්වාභාවික වස්තූන්ට එතරම් ගරු කෙළේ ඔවුන්ගේ ජීවිතය බොහෝ දුරට ස්වභාව ධර්මයාගේ පැවැත්ම උඩ රඳා පැවැති නිසා යයි සිතිය හැකිය. ග්‍රීකයන් සෙඋස් පාතේර් යනුවෙන් ද රෝමවරුන් ජුපිටර් යනුවෙන් ද වෛදික ජනයා ද්‍යෞස්පිතා නමින් ද හැඳින් වූ අහස්දෙවියා ආර්යයන්ගේ පැරණි ම දෙවියා ලෙස සැලකිය හැකිය.
තාරකා දෙකකැයි සිතනු ලබන අශ්වීන් නමැති දෙවිවරුන් දෙදෙනා ද්‍යෞස්පිතාගේ නිවුන් දරුවන් දෙදෙනකුන් වශයෙන් එකල ආර්යයයෝ සැලකූහ. ද්‍යෞස්පිතාගේ ළමා ළපටියන් ලෙස සලකන අනිකුත් ස්වාභාවික වස්තූන් ද දේවත්වයෙහි ලා සැලකූහ. මෙසේ ඔවුන් විසින් පුදන ලද අනිකුත් ස්වාභාවික වස්තූන් අතර සූර්යයා (සූර්‍ය්‍ය) ද ගින්න (අග්නි) ද වාතය (වායු) ද වැස්ස (පර්ජන්‍ය) ආදිය ද විය. මෑතක දී සොයා ගනු ලැබූ බෝඝස්කොයි සෙල්ලිපියෙහි සඳහන් වන මිත්‍ර (සූර්‍ය්‍ය) වරුණ (ජලය මුහුද) ඉන්ද්‍ර (අහස) නාසත්‍ය (අශ්වීන්) ආදීහු ස්වාභාවික වස්තූහු වෙත්. මේ සෙල්ලිපියෙන් ඔප්පු වන්නේ ද ක්‍රි.පූ. 1400 පමණේ දී පවා සුළු ආසියා ප්‍රදේශයේ විසූ ආර්යයන් විසින් ස්වාභාවික වස්තූන් දේවත්වයෙහි ලා සලකනු ලැබූ බවය. ස්වාභාවික වස්තූන් පිදීම හැරුණු විට ඔවුන් විසින් ඔවුන්ගේ මළගිය ඥාතීන් වෙනුවෙන් ද පුදපූජා පවත්වනු ලැබූ බවට ද සාක්ෂි ලැබී ඇත. සතුන් දේවත්වයෙහි ලා සැලකීමක් හෝ සතුන්ට පුදපූජා පැවැත්වීමක් හෝ ආර්යයන් අතර නොමැති වීම ආර්යයන්ගේ ආගමේ තවත් විශේෂ ලක්ෂණයක් විය. එකල ආර්ය සමාජයෙහි ආගමික පුදපූජා පැවැත්වීම පිණිස විශේෂ පූජක පක්ෂයක් සිටි බවට එතරම් සාක්ෂියක් නැතත් ආගමික පුදපූජා පැවැත්වීමේ දී පවුලේ ප්‍රධානියා මූලිකව ක්‍රියා කළ බව පෙනෙන්නට තිබේ.
(සංස්කරණය: 1965)