ආවේණිකධර්ම
බුදුරදුන්ට ම විශේෂ වූ අනෙකක්හට නොලැබෙන ගුණයෝයි. ඔහු අටළොස්දෙනෙක් වෙති. එය 'අට්ඨාරස ආවෙණික ධම්ම' යයි ජිනාලංකාරවර්ණනායෙහි ද 'අටළොස් බුදුදහම' (බුදුදහම අටළොසි) යයි කව්සේකරයෙහිද ආයේය. එනම්: අතීත වූ ස්කන්ධාදි ධර්මයන්හි බුදුන්ගේ ඥානදර්ශනය නොපැකිල පවත්නේය, හෙවත් ආවරණ සහිතය. එසේම අනාගතයෙහි හා වර්තමානයෙහි ද ඥාන දර්ශනය අනාවරණය. මේ තුන් දහමින් සමන්විත වූ බුදුරදුන්ගේ සියලු කායකර්මය නුවණ පෙරදැරි කොට ඇත්තේය. ඥාන විරහිත වූයේ නොවෙයි. එසේ ම සියලු වාක්කර්මය ද සියලු මනඃකර්මය ද නුවණ පෙරදැරි කොට ඇත්තේ නුවණට අනුව පවත්නේ ම වෙයි. මේ ෂඩ්ධර්මයෙන් සමන්විත වූ බුදුරදුන් ඡන්දයෙහි හානියෙක්‚ පිරිහීමෙක් නැත්තේය. එසේ ම ධර්මදේශනාව-වීර්යය-සමාධිය-ප්රඥාව-විමුක්තිය පිළිබඳව ද හානියෙක්, පිරිහීමෙක් නැත්තේය. මෙකී දොළොස් දහමින් යුත් බුදුරදුන්ගේ ද්රවයෙක් හෙවත් කෙළියටි සිතින් කරන ක්රියා නැත; රවයෙක් හෙවත් සැහැසි ක්රියා නැත; නුවණින් නොපහස්නා ලද්දක් නැත; හටගත් වේග ඇති බවක්, වහා කරන බවක් නැත; නිරර්ථක වූ සිතිවිලි නැත; ඥානවිප්රයුක්ත වූ උපේක්ෂාවක් නැත. මේ අටළොස බුදුරදුන්ගේ ආවේණික ධර්මයෝයි.
(සංස්කරණය: 1965)