ආහාර විෂ වීම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආහාර විෂ වීම යනුවෙන් සාමාන්‍යයෙන් ගැනෙන්නේ බැක්ටීරියාවලින් හෝ බැක්ටීරියා ධූලකවලින් (toxins, poisons) දූෂිත වූ ආහාර අනුභව කිරීම නිසා හටගන්නා වමනය, පාචනය සහ අන්තකශූලය ලක්ෂණ කොට ඇති ශායනික ස්වරූපයයි. පෘථුල වශයෙන් සලකන විට ගෙඩිවර්ගවල, ඇටවර්ගවල හා අලවර්ගවල ද ඇතැම් මත්ස්‍යවර්ගවල ද අන්තර්ගත වූ විෂ ද්‍රව්‍ය කැවීම නිසා ඇති වන අසනීපය ද ආහාර විෂ වීම යනුවෙන් ගැනේ.

බැක්ටීරීය දූෂණයෙන් ඇතිවන ආහාර විෂ වීම් වලට නිතරම මුල් වනුයේ ආහාර ස්වාඪ්‍යය පහත් තත්වයක පැවතීමයි. මෙකී ආහාර විෂ වීම වර්ග තුනකට බෙදා දැක්විය හැකිය:—

1. ධූලක ජඨර-ආන්ත්‍රදාහය:

ආහාරයෙහි වැඩෙන බැක්ටීරියා වලින් ධූලකයක් උපදී. විෂ වීම ඇති වනුයේ බැක්ටීරියා කැවීමෙන් නොව යථෝක්ත ධූලකය කැවීමෙනි. ධූලක ජඨර-ආන්ත්‍ර දාහය ස්ටfපිලොකොකුසීය ආහාර විෂ වීම නමින් ද හැඳින් වේ. මේ රෝගය ඇති කරන ජීවියා ස්ට පිලොකොකුස් අවුරෙයුස් නමැති බැක්ටීරියා වල විශිෂ්ට මාදිළියක් වන හෙයිනි. සාමාන්‍ය යෙන් සමේ ආසාදනයන්ට (ගඩු, විස්ඵෝට, විද්‍රධි ආදියට) හේතු වනුයේ ස්ටfපිලොකොකුසයායි. ඌ ඇතැමුන් නාසයෙහි හා උගුරෙහි ද ඇතැම් විට කාමරවල වාතයෙහි හා දූවිල්ලෙහි ද වෙසේ. ආසාදිත සමකින් හෝ ආහාර අතපත ගාන්නකුගේ නාසා ග්‍රසනියෙන් හෝ කලාතුරෙ කින් දූෂිත දූවිල්ලෙන් හෝ මේ ජීවීහු ආහාරයට ඇතුළු වෙති. දූෂිත වූ ආහාර ටික වේලාවක් නොවසා තැබුවහොත් ස්ටැපිලොකොකුසයන් ආහාරයෙහි බෝවී ධූලකයක් ඇති කැරෙයි. රත් කිරීමෙන් පිලොකොකුසයන් විනාශ වුවද ධුලක විනාශ නොවේ. එවැනි ආහාර අනුභව කිරීමේ දී ධූලක කැවුණු විට අන්තක ශූලය හදිසියේ ම හටගනී. ආහාර ගැනීමෙන් පසු පැය 1 සිට 6 දක්වා කාලයක් තුළ දී වමනය හා පාචනය ඇති වීමට පටන් ගනී. මේ රෝග ලක්ෂණ පැය ස්වල්පයකට පසු පහවී ගොස් රෝගියා සාමාන්‍යයෙන් සුවය ලබතත් බාල ළමුන් හා වයස්ගත වූවන් සම්බන්ධයෙන් තත්වය බරපතළ වීමට පිළිවන.

2. ආසාදක ජඨර-ආන්ත්‍රදාහය:

ආහාර සමග දූෂක බැක්ටීරියා ගිලුණු විට එම බැක්ටීරියා අන්තක ආලිය තුළ වැඩීම හා බෝවීම නිසා ජඨර-ආන්ත්‍රික උපද්‍රවය ඇති වේ. මේ රෝගය ඇති කරන ජීවියා සැල්මොනෙලා නම් බැක්ටීරියා විශේෂයක් වන බැවින් ආසාදක ජඨර-ආන්ත්‍රදාහය සැල්මොනෙලා ආහාර විෂ වීම යනුවෙන්ද හැඳින්වේ. සාමාන්‍යයෙන් බැක්ටීරියාවලින් ආහාර දූෂණය වනුයේ ස්වකීය අන්තකයන්හි ජීවීන් දරා සිටින්නා වූ ද එසේ ම ශරීර කෘත්‍යයෙන් පසු මැනවින් ශුද්ධපවිත්‍ර වීම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන්නා වූ ද පුද්ගලයන් ආහාර අතපත ගෑමෙන් හා ආවරණය නොකරන ලද ආහාර දුෂණය කරන ආසාදිත වූ මීයන් මගින් ද වේ. සැල්මොනෙලා බැක්ටීරියා මගින් අධික ලෙස ආසාදිත වූ ආහාර කැවීම හේතු කොටගෙන අන්තක දක්වා කාල සීමාවකට පසු උණ ද ඇති වේ. මේ ශුලය, වචනය හා පාචනය ද පැය 12 සිට 24 තත්වය දින 1 සිට 5 දක්වා පැවැති පසු රෝගියා සුවය ලබයි. එහෙත් ළදරුවන්ටත් වයස්ගත වූවන්ටත් බෙලහීනයන්ටත් මෙය මාරක රෝගයක් වන අවස්ථාද නැත්තේ නොවේ. ආසාදක ජඨර - ආන්ත්‍රදාහයෙන් සුවය ලැබීමෙන් පසුව ද ඇතැමුන්ගේ අන්තකවල සල්මොනෙලා බැක්ටීරියා ශේෂ වේ. එවැනි පුද්ගලයන්ගෙන් අන්‍යයනට රෝගය ආසාදනය වෙයි.

3. බොටුලිනියාව:

මේ වූ කලි බැක්ටීරියා මගින් ආහාර විෂ වීමේ රෝග අතුරෙන් ඉතා ම කලාතුරකින් දක්නා රෝගයයි. මෙය ඇති වන්නේ ක්ලොස්ට්‍රිඩියුම් බොටුලිනුම් නමැති බැක්ටීරියාව මගින් නිපැදෙන ධූලකයක් කැවීමෙනි. මෙය ඊට ම විශේෂ වූ අඝාතයක් (අංශභාගයක්) ජනිත කරවන බරපතළ රෝගයක් බැවින් මේ ගැන වෙන් වශයෙන් සලකා බැලිය යුතුය. ක්ලොස් ට්‍රිඩියුම් බොටුලිනුම්වල වාසස්ථානය වනුයේ සතුන්ගේ අන්තක කාර්ෂය හා කුණු කසළය. මේ බැක්ටීරියා විශේෂය බෝවිය හැක්කේ වාතය නොමැති විට පමණි. එහෙයින් නොමනා ලෙස පිළියෙල කළ ටින් කෑම වර්ග මේ ජීවියාගේ වර්ධනයට යෝග්‍ය පරිසරයක් වෙයි. ජීවියා වැඩෙන්නාවූත් බෝවෙන්නාවූත් කාලය තුළ දී බොටියුලිනස් ධූලකය උපදවයි. මේ ධූලකය මේතාක් දැන ඇති ඉතාම ප්‍රබල විෂ වර්ගයකි. ආහාර පිසීමෙන් බැක්ටීරියාව මෙන් ම ධූලකය ද විනාශ වේ. ධූලකය කැවීම ශරීරාවයවයන්ගේ ඉච්ඡානුග චලනය පිළිබඳ බෙහෙවින් පැතිරුණු අඝාතයට හේතු වේ. පළමුව ක්ලාන්තය, තෙහෙට්ටුව හා දෘෂ්ටිය පිළිබඳ බාධා ඇති කරයි. ඉක්බිති ස්වර භංගය, ආහාර පාන ගිලීමේ අපහසුව, පේශීන්ගේ දුර්වලත්වය හා අඝාතය ඇති කරයි. සංඥතාවේ අඩුවක් ඇති නොවේ. ජඨර ආන්ත්‍රික පීඩා ඇති වන්නේද විරල වශයෙනි. මෙම රෝගීන් ගෙන් තුනෙන් දෙකොටසක් පමණ මියයත්.

ඇතැම් විට ආහාර විෂ වීම එක්තරා වයිරසයක් මගින් සිදුවන බව ද මෑතක දී ලැබුණු සාක්ෂ්‍ය අනුව පෙනී ගොස් තිබේ.

බැක්ටීරීය දුෂණය හේතු කොටගෙන ආහාර විෂ වීම හදිසියේ සිදුවනු රෝග ලක්ෂණයයි. එක ම ආහාරය කෑ පුද්ගලයන් කට්ටි කට්ටි වශයෙන් රෝගාතුර වනු සාමාන්‍යයෙන් දක්නට ලැබේ. ඇතැම් ආහාර වර්ග බැක්ටීරියා වර්ධනයට ඉතාමත් හිතකරය. කිරි, අයිස්ක්‍රීම්, කස්ටඩ් වැනි කිරි ආහාර, මස්, මාළු හා සියලු ම ටින් කෑම ඒ ආහාර වර්ග අතුරෙන් ප්‍රධානය. මෙබඳු ආහාර වර්ග පිසීමත් අනුභව කිරීමත් අතර කාලය තුළ වැඩි වේලාවක් නොවසා නොතැබිය යුතුයි. බැක්ටීරියා මගින් ආහාර දූෂණය වීම සාමාන්‍ය මුළුතැන් ගෙයක දී සිදුවනවාට වඩා බහුල ලෙස සිදුවනුයේ අයිස්ක්‍රීම් කම්හලක හෝ ජෑම් කම්හලක හෝ ආපණශාලා මුළුතැන් ගෙයක හෝ බේකරියක හෝ ආහාර අතපත ගාන ආසාදිතයකු මගිනි.

ආහාර විෂ වීම වළක්වා ගැනීමෙහි ලා ප්‍රධාන මාර්ගය වනුයේ ආහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්වයක් ආරක්ෂා කර ගැනීමයි. විශාල ආහාර නිෂ්පාදන කටයුතුවල දී බොහෝ දෙනා අතින් ආහාර ස්පර්ශ වීම නොවැළැක්විය හැකිය. එබැවින් මහජන ආරක්ෂාව රඳා පවත්නේ ආහාර ස්වාස්ත්‍යය සම්බන්ධ ප්‍රකට නීතිරීති නොකැඩෙන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් තම බලතල ක්‍රියා වේ යෙදවීම මත වේ. ගෙදර මුළුතැන් ගෙහි දීත් ස්වාඪ්‍ය මූලධර්ම කෙරෙහි සැලකිලිමත් වීම අවශ්‍යය. විශේෂයෙන් ම ශරීර කෘත්‍යයෙන් පසු සබන් ගා අත් සෝදා නොගෙන ආහාර අතපත ගෑමට කිසිවකුට ඉඩ නොතැබිය යුතුයි. ඉතිරි වූ කෑම වර්ග ශීතකරයක ලා ආරක්ෂා නොකරන්නේ නම් ඒවා වැඩි වේලා නොතබාගත යුතුය.

බැක්ටීරියාවලින් පමණක් නොව සතුන්ගේ හා පැළෑටිවල විෂ ද්‍රව්‍ය කැවීමෙන් ද ආහාර විෂ වීම සිදුවේ. විෂ පැළෑටි වර්ග කෑමට ගන්නා පැළෑටි ලෙස වරදවා ගැනීමට ඉඩ තිබේ. කෑමට ගන්නා පැළෑටි වුව ද ඇතැම් අවස්ථාවල දී විෂ විය හැකිය.

මඤ්ඤොක්කා: මඤ්ඤොක්කා අලයේ පිට පොත්තෙහි සයනජන් සංයෝගයක් අඩංගුය. තනිකර එය පමණක් හානිකර නොවන නමුදු එය කෙසේ හෝ අලයේ අග කොටසෙහි ඇති එන්සයිමයක් හා ස්පර්ශයට පැමිණි කල ඇති වන ප්‍රතික්‍රියාව හේතු කොටගෙන ප්‍රබල විෂ වර්ගයක් වූ හයිඩ්‍රොසයනික් අම්ලය (ප්‍රසික් අම්ලය) උපදී. මඤ්ඤොක්කා අලයෙහි එන්සයිම හා සයනජන් සංයෝගය සාමාන්‍යයෙන් පවත්නේ වෙන් වෙන් වශයෙනි. එහෙත් ඉදිරීමේ දී අලය වැඩිපුර තැළුණොත් ඒ දෙවර්ගය එකතු වෙයි. හයිඩ් රොසයනික් අම්ලය නිපදවීමේ ප්‍රතික්‍රියාව සඳහා එතැන් සිට පැය කීපයක් ගත විය හැකිය. මේ අම්ලය වාෂ්පශීල වන බැවින් මඤ්ඤොක්කා තැම්බීමේ දී භාජනය ඇර තැබුවහොත් එය පහසු වෙන්ම ඉවත් කළ හැකි වේ. අල ඉදිරීමේ දී වැඩිපුර නොතැළෙන්නේ නම්, ඉදිරීමත් තැම්බීමත් අතර වැඩි කාලයක් ගත නොවන්නේ නම්, එසේම භාජනයේ කට නොවසා තම්බන්නේ නම්, මඤ්ඤොක්කා විෂ වීම වැළැක්විය හැකිය.

නියඟලා (Gloriosa superba): ශාකයේ මාංසල ආකන්දවලත් කෑමට ගන්නා අලවලත් කිට්ටු සමානකමක් ඇති නිසා ඒවා කෑමට ගන්නා අල යයි බොහෝ විට වරදවා ගනු ලැබේ. මේ ආකන්දවල කොල්කිසින් නමින් දන්නා ප්‍රබල විෂ වර්ගයක් අඩංගුය. මෙය නොයෙක් විට මාරාන්තික වූ උග්‍ර අන්තක ශුලයට හා පාචනයට හේතු වේ.

හොඬල (Modecca palmata): හොඬල වැලේ ගෙඩිය පැෂන් fප්රුට් ගෙඩියට බෙහෙවින් සමානය. ඉදී කහපාටට දිලිසෙන හොඬල ගෙඩි දැක ඒවා පැෂන් fප්රුට් ගෙඩි යයි සිතා රැවටෙන කුඩා ළමයි එම ගෙඩි කති. හොඬල ගෙඩියේ ඇට වටා පිහිටි ලොඳ වැනි ද්‍රව්‍යයෙහි හයිඩ්රාසයනික් අම්ල සුළු ප්‍රමාණයක් ද මේ දක්වා හඳුනාගෙන නැති තවත් ප්‍රබල විෂ වර්ගයක් ද අඩංගුය. මේ ද්‍රව්‍ය මුලින් හිස කරකැවිල්ල හා ව්‍යාකුලත්වයත් දෙවනුව අධික ශුලයත් පාචනයත් ඇති කරයි.

කළු අත්තන (Datura fastuosa): කළු අත්තන ගෙඩි වල ඇට්‍රොපීන් හා හයොසින් අන්තර්ගතය. මේවා උෂෝභය හා උමතු හැසිරීම් ඇති කරයි. එහෙත් විශාල ප්‍රමාණයක් කැවුණහොත් විනා එය එතරම් අනතුරුදායක නොවේ. ළමයින්ට මේ ගෙඩි හදිසියෙන් විෂ වනුයේ ඔවුන් ඒ ඇටවලට ආශා කොට වැඩිපුර බුදීමෙනි. සාමාන්‍යයෙන් කළු අත්තන විෂ සහිත පැළෑටි වර්ගයක් බව කවුරුත් දන්නා හෙයින් එයින් විෂ වීම කලාතුරකින් සිදු වන්නකි.

හතු: විෂ සහිත හතුවල මස්කරීන් හෝ fපැලොයිඩීන් යන විෂ වර්ග දෙකෙන් එක් වර්ගයක් අන්තර් ගත වේ. මස්කරීන් හේතු කොටගෙන වමනය, පාචනය, හිස කරකැවිල්ල සහ මානසික ව්‍යාකුලත්වය හටගනී. fපැලොයිඩින් උග්‍ර පාචනය ඇති කරයි. ඉන් අක්මාවට හානි පැමිණෙන අවස්ථා ද ඇත.

අ'ගට්: මේ වූ කලි රයි නම් ධාන්‍ය බීජ වල වැඩි අ'ගටමින් නම් විෂ ද්‍රව්‍යයක් උපදවන දිලීරයකි. යුරෝපා රටවල රයිපිටි පාන් සෑදීම සඳහා යොදා ගනු ලැබේ. අ'ගට්වලින් දූෂිත වූ රයිපිටි යෙදූ විට පාවල ද අ'ගටමින් අන්තර්ගත වේ. කලක් මුළුල්ලෙහි යමකු එබඳු පාන් අනුභව කළහොත් ශරීරය තුළ අ'ගටමින් එකතු වී මානසික කැළැඹිලි හා අත්පා කෙළවරවල කෝථය ද ඇති කරයි. ඉක්තියොසාර්කොටොක්සිසිස්ම් නම් රෝගය: සතුන්ගේ මාර්ගයෙන් ඇති වන විෂ හේතු කොට ගෙන ආහාර විෂ වීම ලංකාවෙහි අතිශයින් දුර්ලභය. ශාන්තිකර දූපත් වල මෙන් වෙනත් රටවල ද සමහර මාළු වර්ග නිසා තදබල ආහාර විෂ වීම් ඇති වෙයි. මේ මාළුන්ගේ මසෙහි ඉක්තියොසාර් හීලෑ කොටොක්සින් නමින් දන්නා විෂ වර්ගය පවත්නා බැවිනි. ශාන්තිකර වෙරළාසන්න ප්‍රදේශවල වැසියන්ට බෙල්ලන් කෙරෙන් ඇති වන විෂ වීම මිටිලොටොක්සින් නම් ධූලක කැවීම නිසා ඇති වන්නකි.

කර්තෘ:ඇස්.ඩබ්ලිව්. බිබිලෙ

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආහාර_විෂ_වීම&oldid=2953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි