ඇන්ටාක්ටිකාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දක්ෂිණ ධ්‍රැවය වටා විහිදියා වූ ද සාමාන්‍යයෙන් ඇන්ටාක්ටික් වෘත්තයට දකුණුදිගින් පිහිටියා වූද ගොඩබිම් හා සාගරික කොටස් ඇන්ටාක්ටිකාව හෙවත් ඇන්ටාක්ටික් මහාද්වීපය නමින් හැඳින්වේ.

ඇන්ටාක්ටිකාව වූකලි නිතර ම පාහේ දිය මිදී පවත්නා සාගරයකින් වට වූත් වැඩි කොටස ඉතා ඝන අයිස් තට්ටුවකින් වැසී ඇත්තාවූත් ගොඩබිමකි. එය හුදකලාව පිහිටි මහාද්වීපයක් ද වේ. ඇන්ටාක්ටික් මහාද්වීපයේ සිට ඊට ඉතා ම නුදුරු අනෙක් ගොඩබිම කරා යෑමට ගැඹුරු මුහුදේ අඩු වශයෙන් සැතපුම් 600ක් පමණ වූ දුරක් තරණය කළ යුතු වේ. ඇන්ටාක්ටික් ප්‍රදේශය ඉතා ශීතලය. මෑතක් වන තුරු ම මෙම දුෂ්කරතාවන්ට මුහුණ පා ඇන්ටාක්ටික් පෙදෙස් කරා යාත්‍රා කෙළේ තල්මසුන් මැරීමෙහි යෙදුණු නාවිකයන් පමණි.

ඇන්ටාක්ටික් මහාද්වීපය වර්ග සැතපුම් 5,300,000ක් පමණ විශාල බව 20 වැනි ශතවර්ෂයේ කරන ලද ගවේෂණයන්ගෙන් ලත් දැනීම අනුව නිගමනය කරනු ලැබේ. මෙම මහාද්වීපයට සම්බන්ධ ගොඩබිම් දක්ෂිණාංශ 65°න් උතුරට නොවිහිදේ. වෙඩෙල් මුහුද හා රොස් මුහුද නිසා ඇන්ටාක්ටික් වෙරළේ විශාල කඩතොලු දෙකක් සෑදී ඇත. මේ හැර මහාද්වීපය මධ්‍යයේ සිට සාගරය කරා ගලා එන ග්ලැසියර මෝයයන් නිසා ද වෙරළ ඉතා කඩතොලු සහිතය. රොස් මුහුද පැත්තේ හැර අනික් සෑම පැත්තේ ම පටු මහාද්වීප තටකයක් ද ඇන්ටාක්ටිකාවේ ඇත.

අනෙක් මහාද්වීප මෙන් පැරණි ඉතිහාසයක් නොමැති ඇන්ටාක්ටික් මහාද්වීපය හඳුනාගැනීම උදෙසා දේශාන්තර අනුව එය කොටස්වලට බෙදා ඇත. මේ හැර ඇන්ටාක්ටිකාවේ ගවේෂණ කටයුතුවල යෙදුණ ගවේෂකයන් හා ඔවුන් හිමිකම් දැක්වූ දේශයන් අනුව ඇන්ටාක්ටිකාවේ යම් යම් පෙදෙස් නම් කර තිබේ. ලෝකයේ කිසිදු ජාතියක් මෙතෙක් ඇන්ටාක්ටිකාවේ ප්‍රදේශ සම්බන්ධයෙන් දේශපාලන ආධිපත්‍යයක් දක්වා නැතත් ඇතැම් ජාතීන් ඇන්ටාක්ටිකාවේ යම් යම් පෙදෙස්වලට නාමමාත්‍ර අයිතියක් දක්වා ඇත. දැනට බෙදාගෙන ඇති අන්දමට බටහිර දේශාංශ 20°-80° අතර පිහිටි ෆෝක්ලන්ත දූපත් අවට පිහිටි කුඩා දූපත් බ්‍රිතාන්‍යය සතුව පවතී. නවසීලන්තය හිමිකම් දක්වන රොස් විජිතය (Ross Dependency) හෙවත් බටහිර දේශාංශ 150°-160° අතර පෙදෙස ඇන්ටාක්ටිකාවේ දොරටුව වශයෙන් හැඳින්විය හැකි පෙදෙසයි. නැගෙනහිර දේශාංශ 45° සිට 135° දක්වාත් 145° සිට 160° දක්වාත් බිම් පෙදෙස් ඕස්ට්රේලියානු ඇන්ටාක්ටික් පෙදෙස් වශයෙන් හඳුන්වනු ලැබේ. නැගෙනහිර දේශාංශ 135°-145° අතර පිහිටි ඇඩ්ලීලන්තය (Adelei Land) නම් වූ පෙදෙස ප්‍රංසය සතු ඇන්ටාක්ටිකානු භූමිභාගයයි. බටහිර දේශාංශ 20° හා නැගෙනහිර දේශාංශ 35° අතර පිහිටි ක්වීන් මෝඩ්ලන්තය (Queen Maud Land) නම් වූ පෙදෙස නෝර්වේ රට සතුය. මේවා බොහෝදුරට ගවේෂණය කර ඇති පෙදෙස්ය. නැගෙනහිර දේශාංශ 150° සිට 90 ° දක්වා වූ විල්ක්ස්ලන්තය (Wilkes Land) නම් වූ පෙදෙස ගවේෂණයන්ට භාජන නොවූ කොටසකි.

භූමි ලක්ෂණ අනුව ඇන්ටාක්ටික් මහාද්වීපය ද අප්‍රිකානු මහාද්වීපය මෙන් එක ම සානුවකි. මෙහි සාමාන්‍ය උස අඩි 8,000ක් පමණ විය හැකි බව නිගමනය කර ඇත. දක්ෂිණ ධ්‍රැවය වටා පිහිටි දක්ෂිණ ධ්‍රැව සානුව හා වික්ටෝරියාලන්තය (Victoria Land) නම් වූ පෙදෙසෙහි උස්බිම් රොස් මුහුද හා රොස් අයිස් තට්ටුව දක්වා ම විහිදී ඇත. මෙම ගැටියෙහි අඩි 10,000–15,000 අතර වූ ශිඛර රාශියක් වේ. ඇන්ටාක්ටික් මහාද්වීපයෙහි ඉතා ම උස් ශිඛරය සේ ගැණෙන මවුන්ට් මාර්කම් (15,100’) පිහිටා ඇත්තේත් මෙම ගැටියෙහිය. දළ වශයෙන් මීට සමාන්තරව දක්ෂිණාංශ 78° පමණ ඔස්සේ විහිදි යමහල් දූපත් වැළක් ඇත. රොස් දිවයිනෙහි පිහිටි එරිබස් කන්ද (13,202’) ඇතුළු ගිනි කඳු කීපයක් ම මෙම දූපත් පන්තියෙහි ඇත. ඇන්ටාක්ටිකාවේ විශාලත්වයෙන් 1‍/5ක් පමණ වූ ද දක්ෂිණ චුම්බක ධ්‍රැවය පිහිටියා වූ ද විල්ක්ස්ලන්තය භූමි නිර්මාණය අතින් දක්ෂිණ ධ්‍රැව සානුවට හා වික්ටෝරියාලන්තයට සමාන වුව ද එහි වෙරළාසන්න සීමා එතරම් ප්‍රපාතාකාර නොවේ.

ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් වැඩි කොටස වසාගෙන පැතිර පවත්නා ඝන අයිස් තට්ටුව එහි භූ විද්‍යානුකූල ගවේෂණයන්ට මහත් බාධකයකි. එසේ වුව ද මෙතෙක් පවත්වා ඇති භූ ගවේෂණයන් අනුව ඇන්ටාක්ටිකාව පිළිබඳ වැදගත් භූ විද්‍යාත්මක කරුණු රැසක් හෙළි වී තිබේ. රොස් මුහුදේ සිට වෙඩල් මුහුද දක්වා විහිදි භූචලන නිම්නයකින් ඇන්ටාක්ටිකාව භූවිද්‍යානුකූල පෙදෙස් දෙකකට වෙන් වී ඇතැයි සලකනු ලැබේ. සප්තම එඩ්වඩ් අර්ධද්වීපය, මාරිබ’ඩ්ලන්තය, එල්ස්ව'ත් උස්බිම් හා පාමර් අර්ධද්වීපය ඇතුළු බටහිර ඇන්ටාක්ටික් ප්‍රදේශය මෙසොසොයික හා ත්‍රියාසික අවධිවල පැවති භූ-ද්‍රෝණි හා ඇති වූ නැමි කඳු සහිත පෙදෙසක්ය යනු සාමාන්‍ය පිළිගැනීමයි. පාමර් අර්ධද්වීපයේ භූ ව්‍යූහය ඇන්ඩීස් කඳුවල භූ ව්‍යූහයට සමාන බව සොයාගෙන ඇත. උද්ගත වෙරළබඩ පෙදෙස් අනුව බටහිර ඇන්ටාක්ටිකාවේ සමහර පෙදෙස් චාතුර්ථික අවධියේ දී මතු වී යැයි නිගමනය කළ හැකිය.

රොස් මුහුද හා වෙඩල් මුහුද අතර ගිලා බැස ඇති බිම් තීරයන් නිසා බටහිර ඇන්ටාක්ටික් භු ප්‍රදේශයෙන් වෙන් වන නැගෙනහිර ඇන්ටාක්ටික් භූ ප්‍රදේශය වැඩි වශයෙන් ම ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයෙන් සෑදී ඇත. කඳු කුළු බහුලය. ගල් අඟුරු, රත්රන්, යකඩ, මැංගනීස් ආදි ඛනිජ වර්ග ඇන්ටාක්ටිකාවේ වික්ටෝරියාලන්ත ප්‍රදේශයෙහි හා දකුණු ෂෙට්ලන්තයෙහි ඇතැයි නිගමනය කර ඇත. එහෙත් ඇන්ටාක්ටිකාවේ ආකර කර්මාන්තය දියුණු කිරීමට තරම් ප්‍රමාණවත් ඛනිජ නිධි මෙතෙක් සොයාගෙන නොමැත.

3-107.jpg

ඇන්ටාක්ටිකාවෙහි වැඩි කොටස වසාගෙන පැතිර පවත්නා අයිස් තට්ටුව මුළු දක්ෂිණාර්ධ ගෝලයෙහි ම දේශගුණය කෙරෙහි බලපවත්වන්නකි. මෙම අයිස් තට්ටුව නිසා ඇන්ටාක්ටිකා භූමිය ආශ්‍රිත වායුව අධික පීඩනයෙන් යුක්තය. ඒ අවට වායුව අඩු පීඩනයෙන් යුක්තය. එහෙයින් ඇන්ටාක්ටික් මහාද්වීපය අවට මුහුදෙහි සැඩ සුළං හා කුණාටු අධිකය. මෙහි සාමාන්‍ය වාර්ෂික සුළං වේගය පැ.සැ. 50ක් පමණ බව ගණන් බලා ඇත. සමහර විට පැ.සැ. 100ක පමණ වේගයකින් හමන සුළං සහිත හිම කුණාටු ද ඇති වේ. සමහර විට දවස් කීපයක් ම මෙම තත්වය පවතී. ඇන්ටාක්ටිකාවෙහි ‘ග්‍රීෂ්ම ඍතුව’ යන්න නක්ෂත්‍රිය සංකල්පයක් පමණකැයි කිව හැකිය. ඉතා ම උෂ්ණ මාසයේ දී වුව ද උෂ්ණත්වය හිමාංකයට වඩා වැඩි වන්නේ ග්‍රැහැම්ලන්තයේ බටහිර වෙරළේ පමණි. ඇන්ටාක්ටිකාවේ වර්ෂණය හිම පතනයට සීමා වී පවතී.

මේ ප්‍රදේශයට ම විශේෂ වූ භූගෝලීය ලක්ෂණය නම් අවුරුද්ද මුළුල්ලෙහි මහාද්වීපයෙන් වැඩි කොටස වසා සිටින අයිස් යායයි. මහාද්වීපය මධ්‍යයෙහි අයිස් යායේ ඝනකම අඩි 6,000ක් පමණ වේ; වෙරළාසන්නයෙහි අඩි 1,000ක් පමණ වේ. මෙම අයිස් යායෙන් පටන් ගන්නා ග්ලැසියර, වෙරළ දක්වා සෙමින් ගලයි. ඇන්ටාක්ටිකාවෙහි නිම්න ඔස්සේ ගලා එන ග්ලැසියර හැර විශාල ප්‍රදේශ ඔස්සේ ඇදෙන අයිස් තට්ටු ද ඇත. මහාද්වීපික අයිස් යායෙන් වෙන් වී මෙසේ පාවී යන අයිස් තට්ටු ලෝකයේ අන් කිසි ම ප්‍රදේශයක නැත. 1841 දී කපිතන් ක්ලාක් රොස් විසින් ප්‍රථම වරට දක්නා ලද රොස් අයිස් තට්ටුව මෙසේ පාවෙන ඉතා ම විශාල අයිස් තට්ටුව ලෙස ගිණිය හැකිය. රොස් අයිස් තට්ටුවේ පළල සැතැපුම් 400ක් පමණ වේ. විශාලත්වයෙන් එය ප්‍රංස දේශයට සමාන යැයි කිව හැකිය. වෙරළ දෙසට ගලා එන ග්ලැසියර වෙරළාසන්නයෙහි දී එක්තැන් වීමෙන් ද මීට සමාන අයිස් තට්ටු සෑදේ. ග්‍රීෂ්ම ඍතුවේ දී මෙම අයිස් තට්ටුවලින් බිඳී වෙන් වන අයිස්පර ඇන්ටාක්ටිකාව අවට සාගරයෙහි පාවේ. මෙම අයිස්පර සමහර විට දිගින් සැතැපුම් 50කටත් අධික වේ. ශීත ඍතුව ළංවත් ම, කෙමෙන් උතුරු දිගට පාවී යන මෙම අයිස්පර වඩා උණුසුම් කලාපයන්ට පැමිණි විට අවට වාතයේ උණුසුම නිසාත් සාගරයේ සැඩදිය නිසාත් දිය වී යයි. වෙරළාශ්‍රිත බොකුවල දිය මිදීමට පටන් ගනී. සාගරයේ සැඩ රළ පහර නොවදිනා පටු කළපුවල දිය අවුරුද්ද මුළුල්ලේ ම මිදී පවතී. සෙසු පෙදෙස්වල සැඩ රළ පහර හා සුළඟ නිසා අයිස් තට්ටු බිඳී වෙන්ව දිය වී යයි.

සතුන් හා වෘක්ෂලතාදිය: මෙතෙක් සොයාගෙන ඇති කරුණු අනුව, ඇන්ටාක්ටිකාවෙහි උද්භිද හා සත්ව ජීවිතය බහුල නොවේ. එහෙත් ෂැකල්ටන්, ස්කොට්, ප්‍රීස්ට්ලි ආදි ඇන්ටාක්ටික් දේශගවේෂකයන් විසින් රැස් කරන ලද පාෂාණීභූත ධාතු අනුව එළඹ ඇති නිගම්නය නම් ඈත අතීතයේ දී ඇන්ටාක්ටිකාවෙහි කේතුධර වර්ගයට අයත් පැළෑටි වර්ග වැඩී තිබුණු බවයි. මේ අනුව අතීතයේ දී ඇන්ටාක්ටික් මහාද්වීපයෙහි දේශගුණය දැනට වඩා උණුසුම්ව පැවති බවක් හෝ මහාද්වීපය පෙර දී දැනට වඩා උණුසුම් වූ කලාපයක පිහිටා තිබී දකුණු දෙසට පාවී ගොස් ඇති බවක් හෝ පිළිගත යුතු වේ. 1946 දී අහස්යානාවකින් ඇන්ටාක්ටික් ගවේෂණයෙහි යෙදුණ බ'ඩ් විසින් හිමෙන් තොර පැහැදිලි ජලයෙන් යුත් විල් කීපයක් හා ඒ අවට මනාව වැඩුණු නිල්වන් ගසකොළ ද දක්නා ලදි. නැගෙනහිර දේශාංශ 1050 ආශ්‍රිතව පිහිටි මෙම විල් අවට උණුදිය උල්පත් තිබිය හැකැයි මේ නයින් සැක කරනු ලැබේ. ඇන්ටාක්ටික් මහාද්වීපයේ ගස්වැල් දුලබ ය. මල් හටගන්නා පැළෑටි ඇත්තේ ම නැත. මිරිදියෙහි වැඩෙන අල්ගේ, පාසි, ලයිකන් යනාදි පැළෑටි දක්නට ලැබේ. වෘක්ෂලතාදිය දුලබ හෙයින් සත්ව ජීවිතය ද සීමාසහිතය. ක්ෂීරපායී වර්ගයට අයත් වූ ගොඩ වෙසෙන කිසිම සත්ව වර්ගයක් ඇන්ටාක්ටිකාවෙහි නැත. තටු නැති කෘමි වර්ගයක් එහි ඇති බව මෙතෙක් එහි ගොස් පැමිණි ගවේෂකයන් විසින් වාර්තා කර ඇත. සාගරික ජීවීන් ආහාර කොටගන්නා පෙංග්වින් පක්ෂීන් හා ලිහිණි වර්ග කීපයක් ද මෙහි ඇත. මොව්හු විශේෂයෙන් ම ග්‍රීෂ්ම ඍතුවේ දී මෙහි ලැගීමට පැමිණෙන්නෝය. ඇඩ්ලී හා එම්පරර් නම් වූ පෙංග්වින් වර්ග බිජු ලන හා රක්නා කාලයන්හි දී ද ඇන්ටාක්ටික් මහාද්වීපයෙහි ම රැඳෙති. ඇඩ්ලී පෙංග්වින් පක්ෂියා බිජු රැකීම සඳහා ගල්වලින් කූඩුවක් සාදාගනී. මේ හැර පෙට්රල්, කෝර්මොරන්ට් ආදි සංචාරක පක්ෂීහු ද ග්‍රීෂ්ම කාලයේ දී ඇන්ටාක්ටික් මහාද්වීපයට පැමිණෙති.

ඇන්ටාක්ටිකාව අවට මුහුදට විශේෂ වූ තල්මසුන් හා සීල් මත්ස්‍ය වර්ග කීපයක් වෙති. වර්තමාන ආර්ථික ව්‍යාපාර සඳහා වැදගත් ද්‍රව්‍ය ඇන්ටාක්ටික් මහාද්වීපයෙහි නොමැති නමුත් අවට මුහුද මත්ස්‍යයන්ගෙන් ගහන වීම මෙම පෙදෙස්වලට නාවිකයන් ඇදී යන කරුණක් වී ඇත.

ඇන්ටාක්ටික් ගවේෂණය: දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව භූමි ප්‍රදේශයක් පවත්නා බවක් ආදි ග්‍රීක පඬුවන් විසින් සඳහන් කරනු ලැබීය. එහෙත් එම ප්‍රදේශ සම්බන්ධ ගවේෂණ කටයුතු ආරම්භ වූයේ අප්‍රිකා මහාද්වීපය වටා යෑමෙන් යුරෝපයේ සිට ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයාගැනීමට 1481 දී නාවික හෙන්රි කුමරු දැරූ ප්‍රයත්නයෙන් පසුව යැයි කිව හැකිය. මෙම ගමන් මාර්ගය සෙවීමෙහි නිරත වූවන්ගේ ගමන්වලින් හෙළි වූයේ දක්ෂිණ ධ්‍රැවාශ්‍රිත මහාද්වීපයක් ඇතත් එය එකල දැන සිටි මහාද්වීපයන්ට එතරම් සමීපව නොපිහිටි බවය. ඇන්ටාක්ටික් වෘත්තයෙන් ඔබ්බට යාත්‍රා කළ ප්‍රථම ගවේෂකයා ඉංග්‍රීසි ජාතික ජේම්ස් කුක්ය. 1774 දී දක්ෂිණාංශ 71° 10' හා බටහිර දේශාංශ 106° 54' දක්වා පමණක් යාත්‍රා කළ ජේම්ස් කුක්ට අයිස් බාධකයන් නිසා ඉන් ඔබ්බට නොයා හැකි විය. 18 වැනි ශතවර්ෂය ගෙවෙන විට මීට වඩා දකුණු දිගට යාත්‍රා කළවුන් පිළිබඳ වෙනත් වාර්තා නොවීය. කෙසේ වුවත් කුක්ගේ ගමනින් දිරි ගැන්වුණු මස් මරන්නන් සීලුන් හා තල්මසුන් සොයා ඇන්ටාක්ටික් සාගරය කරා යාත්‍රා කළ හෙයින් ඔවුන් අතින් ද ඇන්ටාක්ටික් ගවේෂණ කටයුතුවලට සේවයක් සිදු විය. 1810 දී මැක් ක්වේරි දූපතට ගිය ෆෙඩ්රික් හැසල්බරෝ ද 1819 දී දෙවරක් ෂෙට්ලන්ත දූපත් කරා ගිය විලියම් ස්මිත් ද මොවුන් අතුරෙන් පුරෝගාමීහුය. 1820 දී තෙවන ගමනක යෙදුණු විලියම් ස්මිත් ට්රිනිටි අර්ධද්වීපය සොයාගත්තේය. ප්‍රථමයෙන් ම මිනිස් පහස ලැබූ ඇන්ටාක්ටික් මහාද්වීපායත්ත ප්‍රදේශය මෙය යැයි කිව හැකිය. 1820 නොවැම්බරයේ දී එහි ගිය ඇමෙරිකානු මස්මරන්නකු වූ ඇන්.බී. පාමර් දැනට ඔහුගේ නමින් ම හැඳින්වෙන පාමර් කොදිව් සමූහය සොයා ගත්තේය. 1821-22 දී පාමර් සමඟ ඇන්ටාක්ටිකාවට ගිය ජෝජ් පවල් දකුණු ඕක්නි දූපත් සොයාගෙන ඒවායේ මුල් සිතියම් සම්පාදනය කිරීමේ ගෞරවය ද ලබාගති. 1819-21 අතරේ දී දකුණු සැන්ඩ්විච් හා ෂෙට්ලන්ත දූපත්වලට ද ගොස් ඇලෙක්සැන්ඩර් I හා පීටර් 1 දූපත් සොයාගෙන ඇන්ටාක්ටික් ප්‍රදේශ ආශ්‍රිතව වූ මාර්ගයක් ඔස්සේ ‘වොස්ටොක්’ නම් නෞකාවකින් ලෝකය වටා ගිය බෙලිංස් හුසන් නම් රුසියන් නාවිකයාගේ ගමන ද මුල් ඇන්ටාක්ටික් ගවේෂණ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

1823 දී විශේෂයෙන් ලන්ඩන්හි එන්ඩ'බි සමාගමේ මෙහෙයීමෙන් සීලුන් හා තල්මසුන් සොයා තව තවත් දකුණු දිගට යෑමට තැත් කළ නාවිකයන් අතුරෙහි ජේම්ස් වෙඩල්, ජෝන් බිස්කෝ, පීටර් කෙම්ප් හා ජෝන් බෙලනි වැදගත් ය. දැනට වෙඩල් මුහුද නමින් හැඳින්වෙන ප්‍රදේශයට වෙඩල් සැපත් වූයේ 1823 දීය. ජෝන් බිස්කෝ 1830 දී ඇන්ටාක්ටිකාවට ගිය ගමනේ දී දැනට එන්ඩ'බිලන්තය යැයි නම් කර ඇති ප්‍රදේශය දුටු බව වාර්තා කළ අතර 1832 දී බිස්කෝ දූපත් හා පාමර් අර්ධද්වීපය සොයාගත්තේය. පීටර් කෙම්ප් විසින් හ'ඩ් දූපත හා වෙරළ සොයාගන්නා ලද්දේ 1833 දීය. බෙලනි විසින් 1839 දී සොයාගන්නා ලද දූපත් සමූහය දැනට ඔහුගේ නමින් ම හඳුන්වනු ලැබේ.

දක්ෂිණ ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි චුම්බක නිරීක්ෂණ ආදි විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමට ප්‍රංස, ඇමරිකන් හා බ්‍රිතාන්‍ය ගවේෂකයෝ උනන්දුවක් දැක්වූහ. ‘ඇස්ට්‍රොලාබ්’ හා ‘සෙලී’ නම් වූ නෞකා දෙකක් මෙහෙයවාගෙන පිටත්වූ ඩුමොං ඩ'ර්විල් නම් වූ ප්‍රංස ගවේෂකයා ග්‍රැහැම්ලන්තයට ගොස් අනතුරුව ජොයින්විල් දූපත සොයාගත්තේ ය (1838). ඉක්බිති ශාන්තිකර සාගරයේ දක්ෂිණ සීමා ආශ්‍රිතව යාත්‍රා කළ ඔහු දැනට ඇඩ්ලී වෙරළ නමින් හැඳින්වෙන ප්‍රදේශය සොයාගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි නාවික ගවේෂක කණ්ඩායමක් මෙහෙය වූ (1838) චාල්ස් විල්ක්ස්ගේ ගමන වෙඩල්ගේ හා කුක්ගේ ගමන් තරම් සාර්ථක නොවීය. එන්ඩ'බිලන්තය සමීපයෙහි තවත් භූමි ප්‍රදේශයන් දුටු බව ඔහු හා ඔහුගේ කණ්ඩායම විසින් වාර්තා කරනු ලැබුවත් ඔවුන් විසින් සඳහන් කරන ලද සීමාවන් සදොස් බව පසුකාලීන ගවේෂණයන්ගෙන් හෙළි වී ඇත.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙහෙයීමෙන් 1841 දී ‘එරිබස්’ හා ‘ටෙරර්’ නම් වූ නෞකා සහිත ගවේෂක කණ්ඩායමක් භාරව පිටත් වූ ජේ. ක්ලාක් රොස් දැනට වික්ටෝරියාලන්තය නම් වූ ප්‍රදේශය ද එරිබස් හා ටෙරර් නමින් හැඳින්වෙන ගිනිකඳු දෙක ද සොයාගෙන දක්ෂිණාංශ 78° 4’ දක්වා යාත්‍රා කර පෙරළා පැමිණියේය. 1841 අග භාගයේ දී රොස් නැවතත් ඇන්ටාක්ටික් කැටි අයිස් හරහා දක්ෂිණාංශ 78° 10' දක්වා යාත්‍රා කළේය. 1842 මුල් භාගයේ දී තවත් දකුණු දිගට යෑමට ඔහු දැරූ තෙවන ප්‍රයත්නය අයිස් බාධක නිසා සාර්ථක නොවීය. රොස්ගේ ගමනින් පසු 1850 දී එන්ඩ'බි නැවකින් බෙලනි දූපත් දක්වා ටැප්සල් ගිය ගමන හැරුණු විට 1874 වන තුරු වෙනත් ඇන්ටාක්ටික් ගවේෂණ ගමන් නොවීය. ඇන්ටාක්ටික් ප්‍රදේශ කරා පළමුවෙන් ම යාත්‍රා කළ දුම් නැව වූ ‘චැලෙන්ජර්’ මෙහෙයවූ ජෝජ් ඇස්. නෙයාර්ස් දක්ෂිණාංශ 66° 40′ දී ආපසු හැරුණේය. 1872-1888 කාලයේ දී සීලුන් සෙවීමෙහි යෙදුණ ඊ. ඩැල්මාන් හා සී.ඒ. ලාසන්, පාමර් අර්ධද්වීපය හා අවට ප්‍රදේශය ගවේෂණය කළහ. 1897 දී ඒඩ්රියන් ඩි ගාර්ලක් විසින් මෙහෙයවන ලද බෙල්ජියානු ගවේෂක කණ්ඩායමක් පාමර් අර්ධද්වීපයෙහි අවුරුද්දක් පමණ කාලයක් නැවතී සිට ඒ ප්‍රදේශය පිළිබඳ විද්‍යාත්මක කරුණු රාශියක් රැස් කොටගත්තේය. රෝආල් ආමුන්සන් ද මෙම කණ්ඩායමෙහි විය. 1898 දී එංගලන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ගිය සී.ඊ. බෝර්ෂ් ග්‍රෙවින්ක් ද විද්‍යාත්මක කරුණු බොහොමයක් රැස් කළේය. රාජකීය සංගමය හා රාජකීය භූගෝලීය සංගමය මඟින් සංවිධානය කරන ලද බ්‍රිතාන්‍ය ජාතික ඇන්ටාක්ටික් ගවේෂක කණ්ඩායම (1901-04) මෙහෙයවූ ආර්.ඇෆ්. ස්කොට් සප්තම ඇඩ්වඩ්ලන්තය සොයාගත්තේය. 1902 දෙසැම්බරයේ දී ස්කොට්, අ'නස්ට් ෂැකල්ටන්, ඊ.ඒ. විල්සන් යන අය ස්ලෙජ්වලින් දක්ෂිණාංශ 820 17’ දක්වා ගියෝය. මේ කාලයේ දී මෙම බ්‍රිතාන්‍ය ගවේෂක කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කළ ජර්මන් ගවේෂක කණ්ඩායමක නායක එරික් ෆොන් ඩ්රිගුල්ස්කි විසින් දක්නා ලද භූමි ප්‍රදේශය කයිසර් විලියම් II යයි නම් කරනු ලැබීය. මේ කාලයේ දී ම ඇන්ටාක්ටික් ගවේෂණයන්හි යෙදුණවුන් අතර ඔටෝ නෝඩන්ෂල් හා ඩබ්ලිව්.ඇස්. බ්රූස් සඳහන් කළ යුතුය. නෝඩන්ෂල් වෙඩල් මුහුද තරණය කළ අතර බ්රූස්ගේ මෙහෙයීමෙන් වූ ගවේෂක කණ්ඩායම විසින් දකුණු ඕක්නීස් දූපත්වල කාලගුණ නිරීක්ෂණ ස්ථානයක් පිහිටුවා එය ආජන්ටිනා ආණ්ඩුවට භාර දෙනු ලැබීය. 1908 දී පමණ ෂැකල්ටන් බියඩ්මෝර් ග්ලැසියර ඔස්සේ දැනට දක්ෂිණ ධ්‍රැව සානුව නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගියේය. 1909 දී ටී.ඩබ්ලිව්. එජ්වත් ඩේවිඩ් චුම්බක ධ්‍රැවය කරා ගියේය.

දක්ෂිණ ධ්‍රැවයට ගිය පළමුවැනි ගවේෂකයා රෝආල් ආමුන්සන් (බ.) ය (1911). 1912 ජනවාරි 18 දින දක්ෂිණ ධ්‍රැවයට ළඟා වූ ස්කොට් හා ඔහුගේ පිරිස ආපසු එද්දී අධික ශීතය නිසා ම මරණයට පත් වූහ. 1911-1914 දී ඇන්ටාක්ටික් ගවේෂණයෙහි යෙදුණු ඕස්ට්රේලියානු කණ්ඩායමක් මෙහෙයවූ ඩග්ලස් මෝසන්, කොමන්වෙල්ත් බොක්කේ ඩෙනිසන් තුඩුවෙහි රැඳී සිට මහාද්වීපයේ මැද පෙදෙස් ස්ලේජ් මගින් ගවේෂණය කළේය. 1914 දී වෙඩල් මුහුදේ සිට රොස් මුහුද දක්වා ඇන්ටාක්ටික් මහාද්වීපය හරහා යෑමට තැත් කළ ෂැකල්ටන්ගේ ‘එන්ඩියුරන්ස්’ නෞකාව වෙඩල් මුහුදේ දී අයිස් පරයන්හි හැපී විනාශ වූයෙන් ඔහුගේ කණ්ඩායමට සමසක් පමණ අයිස් යායක් මත ජීවත් වන්නට සිදු විය. ඉන් පසුව කුඩා යාත්‍රාවලින් එලිෆන්ට් දූපත දක්වා ගිය මෙම කණ්ඩායම පසුව ෆ්රෑන්ක් වයිල්ඩ්ගේ ගවේෂක කණ්ඩායමට එක් විය.

1927න් පසුව තල්මසුන් සඳහා ඇන්ටාක්ටික් ප්‍රදේශ ගවේෂණය කිරීම නැවතත් ඇරඹිණ. නයිල්ස් ලාසන්, ලාස් ක්‍රිස්ටන්සන් යන දෙදෙන මේ සම්බන්ධයෙන් සඳහන් කළ යුත්තෝය. 1928-1929 දී ඇන්ටාක්ටිකාව හරහා ගුවනින් යෑමට තැත් කළ හියුබට් විල්කින්සන්ට අයහපත් කාලගුණය බාධකයක් වූයෙන් හේ පාමර් අර්ධද්වීපයෙහි නැගෙනහිර වෙරළාශ්‍රිත පෙදෙස් පමණක් ගුවනින් සමීක්ෂණය කර පෙරළා පැමිණියේය. 1933-34, 1935 හා 1938-39 දී ලින්කන් එල්ස්වත් තෙවරක් ම ගුවනින් ඇන්ටාක්ටිකාවට ගියේය. ඇන්ටාක්ටිකාව නැගෙනහිර හා බටහිර යයි වෙන් කරන සාගර කොටසක් නොමැති බව එල්ස්වත් තහවුරු කළේය. 1928 දී බ`ඩ් ගවේෂක කණ්ඩායම ඇන්ටාක්ටික් ගවේෂණය සඳහා නිව් යෝක් වරායෙන් නැව් සතරකින් පිටත් විය. 1929 දී රොස් මුහුද අසබඩ කුඩා ඇමෙරිකා නම් ස්ථානයෙහි නැවතී සිටි මේ ගවේෂක කණ්ඩායමෙහි සමහරු දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට උඩින් ගුවන් ගමනක යෙදුණාහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් සිතියම් ගත නොකරනු ලැබූ විශාල ප්‍රදේශයක් සොයාගැනීමට හැකි විය. 1933 දී හා 1939-41 දී කරන ලද තවත් ගවේෂණ ගමන් දෙකක දී බ’ඩ් ඇන්ටාක්ටිකාව පිළිබඳ නවීන විද්‍යාත්මක කරුණු රැසක් සොයා ගත්තේය. ඇන්ටාක්ටිකාව සකල ලෝකයා සඳහා පවත්නා ශීතකරණයක් යයි එහි ස්වාභාවික ලක්ෂණ පිරික්සා පැවසූ බ'ඩ් මෙතෙක් දේශපාලන සතුරුකම් ආදියෙන් නොකිලිටි මේ ශුද්ධ භූමිය එසේම පවත්වාගැන්මට පමණක් ශිෂ්ටාචාරය ඇන්ටාක්ටිකාවට පිවිසේවායි ප්‍රාර්ථනා කළේය.

1934-1937 දී බ්‍රිතාන්‍ය ග්‍රරැහැම්ලන්ත ගවේෂක කණ්ඩායමෙහි මූලිකත්වය දැරූ ජෝන් රිමිල් විසින් පාමර් අර්ධද්වීපය ඇන්ටාක්ටික් මහාද්වීපයෙහි කොටසක් බවත් ඇලැක්සැන්ඩර් I දූපත දූපතක් ම බවත් සනාථ කරන ලදි.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු රාෂ්ට හිමිකම් ආදිය පිළිබඳව ප්‍රබල ජාතීන් අතර ද්‍රෝහිකම් ඇති වීම නිසා මෙන් ම ඇන්ටාක්ටිකාව පිළිබඳ කරුණු සොයා ගැන්මට එහි ස්ථිර නිරීක්ෂණස්ථාන නොකඩවා පවත්වාගෙන යැමේ වැදගත්කම අවබෝධ වීම ද නිසා පසුගිය විසි හවුරුදු කාලය පමණ තුළ විශේෂයෙන් ම ප්‍රබල ජාතීන් විසින් මෙහෙයවනු ලැබූ නිරීක්ෂණ සංවිධාන කීපයක් ම පිහිටුවා ඇත.

පාමර් අර්ධද්වීපයෙහි හා බ්‍රිතාන්‍යයට අයත් යැයි සැලකෙන දූපත්වල භූ ලක්ෂණ හා ආර්ථික සමීක්ෂණ පැවැත්වූ ෆෝක්ලන්ත ද්වීපායත්ත ප්‍රදේශ සමීක්ෂණය (Falkland Islands Dependencies Survey) ඉන් එකකි. 1947 පටන් ආජන්ටිනා හා චිලී ආණ්ඩු මගින් නොකඩවා වාර්ෂික පරීක්ෂණ පවත්වා ඇත. 1946-47 අතරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් බ’ඩ්ගේ මෙහෙයීම යටතේ පවත්වන ලද ගුවන් සමීක්ෂණය ද ජී.ඇල්. කෙචම් යටතේ පවත්වන ලද නාවික සමීක්ෂණ ද වැදගත්ය. 1947 දී පිහිටුවන ලද ඕස්ට්රේලියානු ජාතික ඇන්ටාක්ටික් පර්යේෂණ කණ්ඩායම අතින් ඉටු වූ ගවේෂණ කටයුතු අතර මෝසන් නිරීක්ෂණාගාරය පිහිටුවීම වැදගත් වේ. දකුණු අප්‍රිකානු ආණ්ඩුව මගින් මැරියන් දූපතෙහි පිහිටුවන ලද නිරීක්ෂණාගාරය ද 1949 දී ප්‍රංස ආණ්ඩුව මගින් ක්රූග්ලන් දූපතෙහි පිහිටුවන ලද නිරීක්ෂණාගාරය ද නවීන ගවේෂණ කටයුතුවලට බෙහෙවින් උපකාරී වී ඇත.

1957-58 ජාත්‍යන්තර භූ-භෞතික වර්ෂය නමින් ආරම්භ කරන ලද විද්‍යා නිරීක්ෂණ හා පරීක්ෂණ වැඩපිළිවෙළ යටතෙහි ද ඇන්ටාක්ටිකාව කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ. 1959 දී ආජන්ටිනාව, ඕස්ට්රේලියාව, බෙල්ජියම, චිලි, ප්‍රංසය, ජපානය, නවසීලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකානු සංගමය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය එක්ව වොෂින්ටනයේ දී අත්සන් තබන ලද ඇන්ටාක්ටික් ගිවිසුම අනුව ඇන්ටාක්ටිකාවේ දැනට පවත්වාගෙන යන විද්‍යාත්මක පර්යෙෂණ හා නිරීක්ෂණ හුදෙක් සාමකාමී අරමුණු සඳහා ම විය යුතු අතර දැනට එහි පවත්නා රාෂ්ට්‍ර හා ආධිපත්‍ය හිමිකම් ද ගිවිසුම වළංගුව පවත්නා තෙක් හෙවත් තිස් අවුරුදු කලක් එසේම පැවතිය යුතුය. 1962 දී ජාතීන් නවයක් විසින් මෙහි නිරීක්ෂණාගාර 32ක් පමණ පවත්වා ගෙන යනු ලැබීය. නව විද්‍යා වර්ධනයත් සමග ම නාවික හා ගුවන් ප්‍රවාහණ ක්‍රම, ගවේෂකයන්ට වැඩි පහසුව සලසා දෙන ඇඳුම්පැලඳුම්, ආහාරපාන ආදිය මෙන් ම විද්‍යා පර්යේෂණ උපකරණ ද බහුල වී ඇති හෙයින් ඇන්ටාක්ටිකාව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීමේ කටයුත්ත වැඩි කල් නොගොස් ම සඵල විය හැකිය.

ඇන්ටාක්ටිකාවේ වත්මන් ගවේෂණ කටයුතු හුදෙක් දේශ ගවේෂණයට නොව එහි භූමිය, ව්‍යූහය, භූ කම්පන, දේශ ගුණය හා කාලගුණය, වායුව, ජීවීන් හා සාගර ගති ආදිය පිළිබඳ වූ විද්‍යාත්මක ගවේෂණයට මුල් තැන දී සංවිධානය වන බව පෙනේ.

ජාත්‍යන්තර භූ-භෞතික වර්ෂයේ වැඩ පිළිවෙළ යටතෙහි ඇ.එ.ජ. විසින් දක්ෂිණ ධ්‍රැවයෙහි ද හැලට්, මැක් ම 'ඩෝ හා නව බ'ඩ් නිරීක්ෂණාගාරයන්හි ද විවිධ වූ විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවා ඇත. 1959-60 ඇ.එ.ජ. ගවේෂකයෝ අයිස් කඩන නැව් යොදා බෙලිංස්හෝසන් මුහුද තරණය කළහ. වර්ග සැ. 196,000ක් ඇන්ටාක්ටිකාව ඇන්ටිගුටා දූපත විශාල වූ රොස් අයිස් යාය තරම් වූ වෙනත් පාවෙන අයිස් යායක් ලෝකයේ නොමැති බවත් එහි යටි මුහුදේ ගැඹුර අඩි 2,600කට අධික බවත් සොයාගත්හ. ඇන්ටාක්ටික් පක්ෂීන්ගේ සංක්‍රමණ විධි හා ආහාර විහරණ ද එහි කෘමි පණු මාළු ආදීන් ජීවත් වන අයුරු ද මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි එහි වායු ගුණය බල පවත්වන ආකාරය ද පිළිබඳ පරීක්ෂණ මෙම ගවේෂණ කණ්ඩායම් මගින් මෙහෙයවනු ලැබේ. තියෙල්, හෝර්ලික් හා එස්වත් කඳු ඇ.එ.ජ. භූ විද්‍යා ගවේෂණයන්ට ලක් වී ඇත. රොස් හා වෙඩල් මුහුදු අතර භූ ද්‍රෝණියක් ඇති බවට සාක්ෂි මොවුන් විසින් සොයාගෙන ඇත. රොස් මුහුදට බටහිරින් පිහිටි ව.සැ. 1,100ක පමණ භූමි ප්‍රදේශයක් ගුවන් සමීක්ෂණ හා භූ සමීක්ෂණ අනුව සිතියම් ගතකර ඇත.

සෝවියට් රුසියාව මගින් පාලනය වන නිරීක්ෂණ ස්ථාන අතුරෙන් වොස්ටොක්, මිීර්නි, කොම්සොමොස්කියා හා සොවෙට්ස්කායා ප්‍රධාන වේ. සැවොඩොව්ස්කි හා ඩ්රිගල්ස්කි දූපත්වල ස්වයංක්‍රිය කාලගුණ නිරීක්ෂණාගාර දෙකක් සෝවියට් රුසියාව පිහිටුවා ඇත. 1960 අගෝස්තු 24 වැනි දින වොස්ටොක්හි වාර්තාගත පැ.-126.9° තරම් අඩු උෂ්ණත්වයක් ලෝකයේ අන් කිසි ම ස්ථානයකින් වාර්තා වී නැත.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් ප්‍රදේශයෙහි බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ මණ්ඩලය මගින් පවත්වා ගෙන යන නිරීක්ෂණ ස්ථාන නවයක් ඇත. මේ ආදි වශයෙන් ඇන්ටාක්ටික් ගිවිසුමට අත්සන් තබා ඇති ජාතීන් විසින් මෙහෙයවනු ලබන පර්යේෂණ ස්ථාන සහ වැඩ පිළිවෙළවල් රාශියකි.

අවුරුදු පතා තල්මසුන් අල්ලන කාලයේ දී ප්‍රධාන වශයෙන් ජපන්, නෝර්වීජියානු, සෝවියට් රුසියානු, බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත මස් මරන්නෝ මෙහි යති. 1961-62 වර්ෂයේ දී තල්මස් තෙල් පීප්ප දෙකෝටියක් පමණ මෙහි දී රැස් කර ගන්නා ලදි. මෙයින් 43% ජපානයටත් 25% නෝර්වේ රටටත් 21% සෝවියට් රුසියාවටත් 7% බ්‍රිතාන්‍යයටත් 4% නෙදර්ලන්තයටත් ලැබිණ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ටාක්ටිකාව&oldid=9369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි