ඇපල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇපල් ගස රෝසේසි (බ.) කුලයට අයත්, අඩි 40ක් පමණ උස මධ්‍යම තරමේ ගසකි. එහි ලීය රතුපාටය, තදය, ඝනය. කොළ අඟල් 2 සිට 4 දක්වා දිගය; ඝනය. මල් පොකුරු සෑදෙන්නේ කෙටි පාර්ශ්වික ශාඛාවලය. සුදු හෝ ළා රතුපාට මල්වල ප්‍රියංකර සුවඳක් ඇත. මලක් අඟල් දෙකක් පමණ පළල්ය. පරාගණය කෙරෙන්නේ කෘමීන් (විශේෂයෙන් මීමැස්සන්) මගිනි. ඵලය ආපලයකි (pome). ඇපල් ගෙඩියේ පිට ලෙල්ලත් එහි මාංසල කොටසත් සෑදෙන්නේ පුෂ්පයේ ග්‍රාහකයෙනි. ඇපල් ගෙඩිය මැද තිබෙන ඝන කඩදාසි වැනි කොස්ස අණ්ඩප පහකින් සෑදී ඇත. අණ්ඩපයක බීජ දෙකක් තිබේ. නොපැසුණු ගෙඩියෙහි මැලික් අම්ලය හා පිෂ්ට බෙහෙවින් අඩංගුය. ගෙඩිය පැසෙන විට මැලික් අම්ලය අඩු වන අතර පිෂ්ටයෙන් වැඩි කොටසක් සීනිවලට හැරේ. ඇපල් ගෙඩියේ විශේෂ සුවඳත් රසත් ඇති වන්නේ ඒ අවස්ථාවේ දීය. ගෙඩිය තවදුරට පැසෙන විට ඇතැම් ප්‍රභේදවල මාංසල කොටස පිටි බවට හැරී රසය බෙහෙවින් අඩු වේ.

ඇපල් ගසේ ජන්ම භූමිය නිරිත දිග ආසියාවත් ඊට යාබද යුරෝපීය ප්‍රදේශයත්ය. ඇපල් අනාදිමත් කාලයක පටන් වවනු ලබන්නකි. දැන් එය සෞම්‍ය දේශගුණය ඇති සෑම පළාත්වල ම විශාල ලෙස වවනු ලැබේ. ඇපල් ගස බොහෝ විපර්යාසයන්ට භාජනවනසුලුය. දැනටමත් ඇපල් ප්‍රභේද 3,000ක් පමණ තිබේ. අවුරුද්දක් පාසා අලුත් ප්‍රභේද ඇති කරනු ලැබේ. වෙළෙඳාමෙහි ලා ඇපල් ඉතාමත් වැදගත් පලතුරු වර්ගයකි.

ඇපල් ගස ඇති වූයේ යුරෝපය, බටහිර ආසියාව සහ හිමාලය යනාදි ප්‍රදේශවල වල් ගසක් වශයෙන් වැවුණු මාලුස් පුමිලා නමැති විශේෂයෙනි. මේ විශේෂය මාලුස් ප්රුනිෆෝලියා හා මාලුස් සිල්වෙස්ට්‍රිස් යන විශේෂ දෙක සමග දෙමුහුන් වූ බව සිතිය හැකිය. සමහර ඇපල්වල ජන්ම භූමිය උතුරු ඇමෙරිකාවය. ලෝකයේ ඇපල් වවන රටවලින් ප්‍රධාන වනුයේ උතුරු ඇමෙරිකාවය. ‘ක්රැබ් ඇපල්’ නමැති වල් ඇපල් විශේෂය පැවත එන්නේ ප්‍රධාන වශයෙන් පයිරස් බැකාටා විශේෂයෙනි.

ඇපල් ගස පස් වර්ග කීපයක ම හොඳින් වැඩේ. කඳු බෑවුම් ද තරමක් උස් වූ බිම් ද ඇපල් වැවීමට ඉතා සුදුසු බව සාමාන්‍ය පිළිගැනීමයි. පස බුරුල් කළ බිම්වල පලදාව සාමාන්‍යයෙන් සතුටුදායකය.

අතු බැඳීමෙන් ද අතු කැබලිවලින් ද අංකුර බද්ධයෙන් ද ඇපල් ගස බෝකරගත හැකිය. ඒ අතුරෙන් සුලබ ක්‍රමය අංකුර බද්ධයයි. ඇපල් ඇට පැළ කරන්නේ කලාතුරකිනි. අලුත් ප්‍රභේද ඇති කිරීමට වුවමනා වූ කල පමණක් ඇට පැළ කරනු ලැබේ. ඇපල් ගස තරමක් වැඩුණු පසු අවුරුද්දක් පාසා කප්පාදු කරනු ලැබේ. පරණ ඇපල් වතු ප්‍රකෘතිමත් කරගන්නේ ඒවායේ ගස් කප්පාදු කිරීමෙනි.

ඇපල් ගසට නොයෙක් රෝග සෑදේ. ඇපල් පණුවා (‘කොඩ්ලින්’ සලබයාගේ කීටයා) හා ඇපල් හොරි (දිලීර) මේ රෝගවලින් ප්‍රධාන දෙකයි. පාසාණම් විෂ ඉසීමෙන් පණුවා ද බෝඩෝ මිශ්‍රණය හෝ හුනු-ගෙන්දගම් ඉසීමෙන් හො‍රි ද මැඩ පැවැත්විය හැකිය.

ඇපල් ගෙඩිවලින් ඇති ප්‍රයෝජන කීපයකි. ඉන් විශාල ප්‍රමාණයක් පලතුරු වශයෙන් කෑමට ගනු ලැබේ. සමහරකින් ‘සාස්’ හෝ රසවත් කැවිලි වර්ග සාදාගනිති. ඇපල් යුෂයෙන් ‘සයිඩර්’ නමැති පාන වර්ගයක් සාදාගනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපල්&oldid=9425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි