ඇපෙන්ඩිසයිටිස්
(අනුබද්ධදාහය). මහාන්තකයේ කොටසක් වූ අනුබද්ධයෙහි (appendix) හටගන්නා ප්‍රදාහය මෙනමින් හැඳින්වේ.
රළු බීජ, කුඩා ගල්කැට, ඇටකැබලි, වියළි මලගැට, පොඩි අල්පෙනෙත්ති යනාදිය අනුබද්ධයට ඇතුළු වී එහි මුඛය හිර කොට එහි ස්වාභාවික පරින්යස්තක (peristaltic) කාර්යයන්ට බාධා පමුණුවමින් සුළු තුවාළ සෑදූ විට එහි නිතර වෙසෙන, ප්‍රදාහය සිදුකරන්නා වූ බැක්ටීරියාවන් තදින් බෝවී ක්‍රියා කරන්ට වීම රෝග නිදානය සේ සැලකේ.
වැඩි කොට ම වයස 10ත් 30ත් අතර වූවන්ට වැලඳෙන මේ උග්‍ර ආබාධය ආරම්භ වන්නේ සුළු වූ බඩේ කැක්කුම් ගතියක් දැක්වීමෙනි. බොහෝ දෙන මෙය මුල දී අජීර්ණයක් සේ සලකත්. පළමුවෙන් රුජාව උදරයේ මුළු ඉහළ කොට්ඨාසය පුරා ඒ ඒ තැන පැතිරෙමින් හෝ නාභිය වටා එක්තැන් වෙමින් හෝ තිබී පැයකට දෙකකට පසුව උදරයේ පහළ කොටසේ දකුණු පැත්තේ නිත්‍ය වශයෙන් රැඳෙන්නට පටන්ගනී. ඒ පැත්ත ඇල්ලූ විට රිදේ. මෙවිට ම වාගේ බඩදැඟලීම, ඔක්කාරය හා වමනය ඇති වේ. සාමාන්‍යයෙන් මෙම රෝගයේ ප්රමුඛ ලක්ෂණයක් නොවන්නා වූ උණ පැ. 101° දක්වා නඟින්නේ කලාතුරකිනි.
රෝගය මුල්බැසගත් විට අනුබද්ධය සැරවින් පිරී එහි මුඛය වැසී අවහිර වූ කල ඇතුළේ රැඳී තිබෙන ද්‍රව්‍ය පිටත ලාපියන්ට අනුබද්ධය වෙරගන්නා විට ඉවසිය නොහැකි තරම් වේදනාවක් රෝගියාට ඇති වෙයි. ක්‍රමක්‍රමයෙන් සැරව අනුබද්ධය සිදුරු කොට පරිතානය කරා ගොස් පරිතානදාහය (peritonitis) ඇති කරයි. මෙය අවදානම් තත්වයකි.
ඇපෙන්ඩිසයිටිස් රෝගයෙහි යට දැක්වූ ලාක්ෂණික ගමන් පිළිවෙළ සිහි තබාගත් කල ඒ හා සමාන අන් රෝගයන්ගෙන් එය වෙසෙසා හැඳින ගත හැක. පණු රෝගයෙන් වෙන් කොට හැඳින ගැනීම සඳහා කලින් පණුවන් වැටී ඇද්ද නැද්දැයි දැනගැනීම ප්‍රයෝජනවත් වේ. එහෙත් රෝග දෙක ම එකවර ඇති විය හැක. අන්තකයේ කොටසක් අසල කොටසට ගැන්වෙන අන්තරලහනය (intussusception) උදරය අත්ලෙන් පිරිමදින විට දකුණු පැත්තේ කැටියක් නැඟ ඒමේ සලකුණින් හඳුනාගත හැකිවේ. අධිකතර බඩ යෑම සහ ලේ බඩ යෑම ලකුණු කොට ගැනීමෙන් පාචනය සහ අතීසාරය වෙන් කරගන්නට පුළුවන. ඇතැම් විට ශ්‍රෝණි කුහරයෙහි අවයව සම්බන්ධ වූ රෝග ඇපෙන්ඩිසයිටිස් රෝගයෙන් වෙසෙසා හැඳිනගැනීම දුෂ්කර වේ.
රෝගය ඇපෙන්ඩිසයිටිස් බව නිවැරදිව ම හැඳිනගත් කල කළ යුත්තේ ආසාදිත අනුබද්ධය කපා ඉවත් කරලීමයි. මොනයම් කරුණක් හෝ නිසා ශල්‍යකර්මයක් කිරීම නුපුළුවන් වේ නම් වහා ප්‍රථමාධාර සැලැස්විය යුතුයි. විරේචන බෙහෙත් සහ අබිං වැනි ඖෂධ බැහැර කළ යුතු බව විශේෂයෙන් කිවමනායි. විරේචනයෙන් රෝගය උදරයෙහි පැතිර ගොස් තත්වය වඩාත් උග්‍ර විය හැක. අබිං වැනි බෙහෙත් දීමෙන් අත්‍යවශ්‍ය රෝග සලකුණු මැකී යයි. ඇපෙන්ඩිසයිටිස් රෝගය යයි සැක කළ කෙණෙහි රෝගියා ඇඳේ සතප්පා පිරිසිදු ජලය මඳක් බොන්නට දිය යුතු වේ. වෛද්‍යවරයකුට පෙන්වීම අවශ්‍ය මය. තාවකාලික වශයෙන් වේදනාව අඩු කිරීම පිණිස රිදුම පවත්නා ස්ථානය මත උණුවතුර බෝතලයක් තැබීම මැනවි. ශල්‍යකර්මයක් කළ හැකි වන තුරු වේදනානාශක බෙහෙත් විදීමේ ද වරදක් නැත. ශල්‍යකර්මයට පෙරත් ඉන් පසුත් පෙනිසිලින්, ස්ට්රෙප්ටොමෛසින්, ඕරියොමෛසින් හා ටෙරමෛසින් යන ප්රතිජෛවක (antibiotic) ඖෂධ අතිශයින් ගුණදායි විය හැක. මීට අමතර වශයෙන් සල්ෆා ඖෂධ ද ප්‍රයෝජනවත් වේ.
රෝගය වැලඳී පැය 24ක් ඇතුළත ආසාදිත අනුබද්ධය ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීම කිසිසේත් සැකට බියට කරුණක් නොවන බව සැලකුව මනාය. නොයෙක් උපද්‍රව සිදු වන්නේ භයෙන් ත්‍රස්තව එක් එක් අයගේ බහට කන් දෙමින් ශල්‍යකර්මය අතපසු කිරීමෙනි. දෙතුන් දවසක් කල් ගියහොත් එවෙලට කළ මනා ප්රතිජෛවක ඖෂධ දීම් ආදි ප්‍රතිකාර කරවා මාස තුනකින් ශල්‍යකර්මය කිරීම නුවණට හුරුය. දවස් ගත වීමෙන් අනුබද්ධය ඊට සමීපව තිබෙන අංගප්රත්යංගයන්ට ඇදීබැඳී යෑමෙන් එය ඉවත් කිරීම ඉතාමත් ම දුෂ්කර වේ.
අනුබද්ධය කපා දැමීමේ ශල්‍ය කර්මය අද ලෙහෙසියෙන් කළ හැකි කාර්යයකි. පෙර සේ දීර්ඝ කාලයක් ලෙඩා පිළියෙල කිරීමක් උවමනා නොකෙරේ. ශල්‍යකර්මයට පසුව ප්රතිජෛවක ඖෂධ දී ලෙඩා නිශ්චලව ඇඳේ සතප්වා තැබීමෙන් අභ්‍යන්තර ප්‍රදාහය මැඩලිය හැක. වෙනත් සංකුලතාවන් නැති කල පැය 24ක් හෝ 48ක් පසු වූ විට ඇඳෙන් බස්සා වැසිකිළියට යෑමට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතුය.
(කර්තෘ: ඒ.ඇම්. කුලතිලක)
(සංස්කරණය: 1967)