ඇම්පිබෝල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙටාසිලිකේට හෙවත් ඉනෝසිලිකේට ඛනිජවලින් සමන්විත වූ පාෂාණකාරක විශාල ඛනිජ කාණ්ඩයකට ව්‍යවහාර කෙරෙන නමකි. බෙහෙවින් සුලභ පාෂාණ සෑදී ඇත්තේ මේ ඛනිජවලිනි. විවිධ ස්වරූපයෙන් ස්ඵටිකීකරණය වන මේ ඇම්පිබෝල් වර්ග සංයුතිය අතින් ද විවිධාකාරය. මේවායේ බහුල වශයෙන් අන්තර්ගතවනුයේ සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ඇලුමිනියම් යන ලෝහත් සිලිකන්, ඔක්සිජන්, ෆ්ලුවොරින්, හයිඩ්රජන් යන අලෝහත් (nonmetals) ය.

ඇම්පිබෝල්වලින් සංකීර්ණ ඝන ද්‍රව පන්තියක් දැක්වේ. ඇන්ත්‍රොපිලයිට්, ට්‍රෙමොලයිට්, ග්ලවිකොපේන්, ආපෙඩ්සොනයිට්, යුරලයිට්, ඇස්බෙස්ටොස්, හෝන් බ්ලේන්ඩ්, ක්‍රිසොටයිල්, ඇමොසයිට් යනාදිය ඇම්පිබෝල් ගණයට අයත් ඛනිජ වර්ගවලින් සමහරකි. මේ එක් එක් වර්ගයේ ප්‍රභේද රාශියකි. මෙසේ ට්‍රෙමොලයිට් ඛනිජයේ අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය යකඩවල සමක ප්‍රමාණයකින් විස්ථාපනය වී ඇති විට පෙරෝට්‍රෙමොලයිට් ලැබේ; එහි අන්තර්ගත හයිඩ්‍රොක්සිල් කාණ්ඩ වෙනුවට පෙරික් යකඩත් ඔක්සිජනුත් ආදේශ වූ විට පෙරිට්‍රෙමොලයිට් ලැබේ. හෝන් බ්ලේන්ඩ් ගණයට අයත් ඛනිජ වර්ග ද මහත් රාශියකි. මේවා අතර බාල මැණික් වර්ග වශයෙන් ජේඩ්, ගානට්, පෙරිඩොලයිට්, පුෂ්පරාග, ක්වෝට්ස්, ක්‍රිසොබෙරිල් යනාදිය ද වේ.

ඇම්පිබෝල්වල එක් ලක්ෂණයක් නම් අංශක 124ක පමණ කෝණයක් සාදන්නාවූ ද පැහැදිලි වශයෙන් පෙනෙන්නාවූ ද ප්‍රිස්මාකාර බෙත්ම (cleavages) දෙකක් තිබීමයි. මැග්නීසියම් සාර ඇම්පිබෝල් සාමාන්‍යයෙන් සුදු හෝ අළුවන් හෝ ළා කොළ හෝ වැනි ළා පැහැයක් ගනී. එහෙත් අන්තර්ගත යකඩ ප්‍රමාණයේ වැඩි වීමත් සමඟ පැහැය තද කොළටත් තද දුඹුරටත් කළුවටත් හැරේ. තුනී පතුරු වශයෙන් ගත් කල බොහෝවිට දක්නා නිලට හුරු පැහැයෙන් දැක්වෙන්නේ සෝඩියම් තිබෙන බවයි. මැග්නීසියම් සාර ඇම්පිබෝල් සාමාන්‍යයෙන් ඉදිකටු වැනි ස්ඵටික හෝ තන්තුමය ස්ඵටික හෝ සාදයි. ස්ඵටිකවල අන්තර්ගත යකඩ හා ඇලුමිනියම් ප්‍රමාණය වැඩිවත් ම ස්ඵටික කෙටි වූ ද මහත් වූ ද ස්වරූපයක් ගනී.

යමහල් පාෂාණවලත් ආග්නේය පාෂාණවලත් විපරීත පාෂාණවලත් සුළු සංඝටක ලෙස කාණ්ඩයක් වශයෙන් ඇම්පිබෝල් අන්තර්ගත වේ. බොහෝ විපරීත ෂිස්ට්වලත් (schist) නයිස්වලත් (gneiss) මෙය බහුලව පවත්නා සංඝටකයකි.

(කර්තෘ: සුමනරත්න ද සිල්වා)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇම්පිබෝල්&oldid=11251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි