ඇරෝමැටික සංයෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්වාභාවික ද්‍රව්‍යවලින් ලබාගන්නා රෙසින් (දුම්මල වර්ග), ටර්පන්ටයින්, බෝල්සම්, ඇරෝමැටික තෙල් ආදිය වැනි කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් ගැන පැරණි රසායන විද්‍යාඥයෝ දැන සිටියහ. මේ සංයෝගවල ව්‍යූහය පිළිබඳ වැඩි අවබෝධයක් ඔවුන්ට නොතිබිණි. එහෙත් එක් ලක්ෂණයක් ඒවාට පොදු බව ඔව්හු දැන සිටියහ. ප්‍රිය සුවඳක් තිබීම මෙකී පොදු ලක්ෂණයයි. එබැවින්, වැඩිදුරටත් කරුණු නොවිමසූ පැරණි විද්‍යාඥයන් විසින් හිතුවක්කාර ලෙස මේවාට ඇරෝමැටික සංයෝග යන නම් දෙන ලදි (‘ඇරෝමා’ යන ග්‍රීක වචනය සුගන්ධවාචීය). ඉතිරි කාබනික සංයෝග ඇලිපැටික සංයෝග නමින් හැඳින්වේ.

කාබනික රසායන විද්‍යාව වර්ධනය වත් ම මේ සංයෝග වඩා සැලකිලිමත් ලෙස පරීක්ෂණයට භාජන කරන ලදි. ඇරෝමැටික සංයෝගවලට අනුරූප වන ඇලිපැටික සංයෝගවල තිබෙන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් ඇරෝමැටික සංයෝගවල තිබෙන බවත් ඇරෝමැටික සංයෝග බොහොමයක යටත් පිරිසෙයින් කාබන් පරමාණු හයක් වත් තිබෙන බවත් මේ පරීක්ෂණවලින් වටහාගන්නා ලදි. තවද ඇරෝමැටික සංයෝගයන් නොයෙක් ප්‍රතික්‍රියාවන්ට භාජන කළ විට ඒවායින් බොහෝ විට බෙන්සීන් (බ.) හෝ බෙන්සීන් ව්‍යූත්පන්නයක් සෑදෙන බවත් දැනගන්නට ලැබිණි. කල් යත් යත් ඇරෝමැටික සංයෝග හා බෙන්සීන් අතර සම්බන්ධකම් ඇති බව ප්‍රත්‍යක්ෂ විය. මේ හේතුවෙන් ඇරෝමැටික සංයෝග යන පදය පසුව බෙන්සීන්වලට හා බෙන්සීන්වල ව්‍යූත්පන්නයන්ට පමණක් සීමා කැරිණි. දැන් ඇරෝමැටික සංයෝගයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ සංවෘත වූත් සන්තෘප්ත වූත් වළල්ලක් අඩංගු සමවක්‍රීය (homocyclic) හෝ විෂමචක්‍රීය (heterocyclic) හෝ කාබනික සංයෝගයි. කොහෙත් ම වාගේ සුවඳක් නොමැති ඇරෝමැටික සංයෝග තිබෙන බවත් එස්ටර හා ඇල්ඩිහයිඩ වර්ග වැනි ප්‍රිය සුවඳ හමන ඇලිපැටික සංයෝග තිබෙන බවත් දැන් දැනගෙන ඇතත් මේ කාබනික සංයෝගවලට ඇරෝමැටික සංයෝග යන නාමය දැනුත් භාවිත කරනු ලැබේ. ඉතා පුළුල් වශයෙන් ඇරෝමැටික සංයෝග හඳුන්වනු ලබන්නේ ඇලිපැටික හා ඇලිසයික්ලික් සංයෝග මෙන් නොව ආදේශ (substitution) ප්‍රතික්‍රියාවන්ට පමණ පහසුවෙන් ආකලන (addition) ප්‍රතික්‍රියාවන්ට භාජන නොවීමෙන් විශේෂ අසන්තෘප්තියක් දක්වන චක්‍රීය කාබනික සංයෝග වශයෙනි. බෙන්සීන්, ටොලුවීන්, සයිලීන්, නැප්තලීන් (බ.), ඇන්ත්‍රසීන් (බ.), ඉන්ඩීන්, බයිපීනෝල්, ඇනිලීන් (බ.), සැලිසිලික් අම්ලය, ඇල්කලොයිඩ (බ.) ආදිය ඇරෝමැටික සංයෝග කිහිපයකි. සජීව සෛලවල දක්නට ලැබෙන කාබොහයිඩ්රේට, ප්‍රෝටීන හා මේද වර්ග ඇලිපැටික සංයෝග වන අතර රෝග සුව කිරීමට යොදන බොහෝ ඖෂධ වර්ග ද පූතිනාශක (antiseptics) ද ස්වභාවයෙන් ඇරෝමැටික වේ. සායම් වර්ග ද ප්‍රධාන වශයෙන් ඇරෝමැටික ව්‍යූත්පන්නයෝයි.

එක වළල්ලක් හෙවත් න්‍යෂ්ටියක් සහිත ඇරෝමැටික සංයෝගවලට ඒකන්‍යෂ්ටික යයි කියනු ලැබේ. වළලු හෙවත් න්‍යෂ්ටි දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇති ඒවාට බහුන්‍යෂ්ටික යයි කියනු ලැබේ. බෙන්සීන් න්‍යෂ්ටිවලට කාබන් පරමාණු එකක් හෝ දෙකක් පොදු වශයෙන් තිබෙන සංඝනීභූත වළලු සංයෝග (නි. නැප්තලීන්) ද කාබන් පරමාණු වෙන්ව තිබෙන ස්වාධීන වළලු සංයෝග (නි. බයිපීනෝල්) ද වශයෙන් බහුන්‍යෂ්ටික සංයෝග දෙවර්ගයකට බෙදනු ලැබේ. ඒවායේ අඩංගු ක්‍රියාකාරී කාණ්ඩ අනුව හයිඩ්‍රොකාබන්, හේලයිඩ්, ඇමයින, පීනෝල් ආදි වශයෙනුත් ඇරෝමැටික සංයෝග වර්ග කරනු ලැබේ.

ගල් අඟුරු තාර නමින් හැඳින්වෙන සංකීර්ණ මිශ්‍රණයෙන් බෙන්සීන්, ටොලුවීන් හා සයිලීන් වැනි ඇරෝමැටික සංයෝග නිස්සාරණය හෝ සංශ්ලේෂණය හෝ කරනු ලැබේ. පැට්රෝලියම්වලින් ලබාගන්නා ඇලිපැටික අමු ද්‍රව්‍යවලින් ඇරෝමැටික සංයෝග බොහොමයක් දැන් නිස්සාරණය කරනු ලැබේ. තයිමෝල්, ටැනින් හා ලිග්නින් වැනි වෙනත් ඇරෝමැටික සංයෝග ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලැබේ.

ඇලිපැටික සංයෝගවල අණුකභාරවලට වඩා ඇරෝමැටික සංයෝගවල අණුකභාර අධිකය. එබැවින් ඇරෝමැටික සංයෝගවලින් බොහොමයක් ඝන ද්‍රව්‍යයෝයි. මේවා ස්ඵටිකීකරණයෙන් සංශුද්ධ කළ හැකිය. බෙන්සීන්වලට හා බෙන්සීන් ව්‍යූත්පන්නයන්ට ආවේණික වූ රසායනික ලක්ෂණ ඇරෝමැටික ලක්ෂණ වශයෙන් බොහෝ විට සලකනු ලැබේ. ඔක්සීකරණයට ප්‍රතිරෝධයක් දැක්වීම, හයිඩ්‍රොක්සිල් ව්‍යූත්පන්නයන්ගේ ආම්ලික ලක්ෂණය දැක්වීම, සාමාන්‍යයෙන් අසන්තෘප්ත සංයෝගවලට ආකලනය වන ප්‍රතිකාරකයන් ආකලනය කළ නොහැකි වීම, හයිඩ්රජන් වෙනුවට වෙනත් පරමාණු හෝ කාණ්ඩ පහසුවෙන් ආදේශ කළ හැකි වීම යනාදිය ඇරෝමැටික ලක්ෂණවලින් සමහරකි. ඉතා වැදගත් ආදේශ ක්‍රියා පහත දැක්වේ:

(1) හැලජන්කරණය (halogenation) 888888888888888888888888888 (උත්ප්‍රේරකය වශයෙන් යකඩ යොදනු ලැබේ.)

(2) නයිට්රෝකරණය (nitration) 88888888888888888888888888

(3) සල්පොනීකරණය (sulphonation) 8888888888888888888888888

(4) ප්රීඩල්-ක්රාප්ට්ස් ප්‍රතික්‍රියාව (Friedel-Crafts reaction); (හේලයිඩ් හා ඇලුමිනියම් ක්ලෝරයිඩ් මගින් ඇල්කිල් (alkyl) හා ඇසිල් (acyl) කාණ්ඩ ප්‍රවේශනය කිරීම 8888888888888888888888888888888888888

හැලජන්කරණය, නයිට්රෝකරණය හා සල්පොනීකරණය වැනි මේ ආදේශ ප්‍රතික්‍රියා බොහොමයක් නිසා පමණක් නොව මධ්‍යස්ථ ප්‍රමාණ තත්ව යටතේ සාමාන්‍ය ඔක්සිකාරකයන් මගින් වළලු බිඳීමට ප්‍රතිරෝධයක් දැක්වීම නිසා ද ඒකන්‍යෂ්ටික ඇරෝමැටික සංයෝග අසන්තෘප්ත සංයෝගවලට වඩා සන්තෘප්ත සංයෝගවලට සමාන වේ. ඇන්ත්‍රසීන් වැනි බහුන්‍යෂ්ටික සංයෝගවල ඇරෝමැටික ස්වභාවය අඩුය. ඇතැම් අවස්ථාවල දී ඒවා අසන්තෘප්ත ඇලිපැටික සංයෝග (නි. ඔලිපීන්) මෙන් ක්‍රියා කරයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇරෝමැටික_සංයෝග&oldid=11751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි