ඇලස්කා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 49 වැනි ප්‍රදේශ රාජ්‍යයයි. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයේ වයඹ දිග කෙළවරෙහි බටහිර දේශාංශ 141° හා 172° ද උත්තර අක්ෂාංශ 51° හා 71°25’ ද අතර පිහිටියේ ය. උතුරින් ආක්ටික් සාගරයෙන් ද බටහිරින් චුක්චි හා බීරිං මුහුදුවලින් ද දකුණෙන් ශාන්තිකර සාගරයෙන් ද නැගෙනහිරින් කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියාව හා යූකොන් ප්‍රාන්තය යන ප්‍රදේශයන්ගෙන් ද සීමා වී ඇති මෙය ව.සැ. 586,400ක් පමණ විශාලය.

ඇලස්කාව කඳුකර රාජ්‍යයකි. උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළට සමාන්තරව විහිදෙන රොකී කඳුවැටි බටහිර දෙසට වක් වී ඇලස්කාව හරහා ඊශානේ සිට නිරිත බලා දිවෙයි. උතුරේ බ්‍රෑක්ස් රේන්ජ් සහ දකුණේ ඇලස්කා රේඤ්ජ් මෙහි ප්‍රධාන කඳුවැටිය. මයිකල්සන් (9,200’), චේම්බර්ලින් (9,131’) සහ ඇලපා (8,500’) උතුරෙහි ප්‍රධාන ශිඛර වන අතර මුළු මහාද්වීපයේ උස ම කඳු මුදුන වූ මැකින්ලි (20,320') ද හේස් (13,740') ද ඇලස්කා වැටියෙහි ශිඛරයෝය. උතුරෙහි බෙයාඩ් සහ රිචඩ්සන් ද නිරිතෙහි කස්කෝක්විම් ද දකුණෙහි ඇලූෂන්, වූගැක්, රැංගල් සහ සෙන්ට් ඉලයියස් ද ඇලස්කාවෙහි වෙනත් කඳු වැටිය. නිරිතෙහි කෝඩියැක් දූපත සහ ඇඟිල්ලක හැඩය ගත්තා වූ ද බොහෝ කඩතොලුවලින් සහ කොදිව්වලින් යුක්ත වූ ද ඇලූෂන් අර්ධද්වීපය වෙයි. අර්ධද්වීපයෙහි බටහිර කෙළවරෙහි සිට ආසියා මහාද්වීපය දෙසට සැ. 1,200ක් කවාකාරව ඇලූෂන් දිවයින් රැස විහිදේ. බටහිර වෙරළ සූස්ටල්, කස්කෝක්විම්, හෝටන් සහ කොට්සබියු යන වරායවලින් ද සිව’ඩ් අර්ධද්වීපයෙන් ද නූනිවැක් (නිනිවැක්) ආදි දිවයින්වලින් ද යුක්තයි. මධ්‍යම ඇලස්කාව හරහා දිවෙන යූකොන් මෙහි ප්‍රධාන ගඟයි. කොයියුකූක්, පෝක්‍යුපයින් සහ ටැනානා යන ප්‍රධාන අතුගංගා සහිත වූ එය සැ. 2,300ක් දිගය. ග්ලැසියර හේතු කොටගෙන හටගැනුණු විල් රාශියක් ද කඳුවැටි බෑවුම්වල ඇත.

ගිනිකඳු බොහෝ විට විදාරණය වෙමින් පවත්නා ‘දසදහස් දුම් නිම්නය’ (valley of ten thousand smokes) ද ලොවෙහි විශාලතම සක්‍රිය ගිනිකඳු විවරය ද ඇත්තේ මෙහිය. ගිනිකඳු ගහන දකුණු කඳු වැටිවලින් ශාන්තිකර වෙරළ දෙසට ගලන ග්ලැසියර රාශිය අතුරින් ගිනිකොනෙහි පිහිටි මැලාස්පීනා ග්ලැසියරය ව.සැ. 1,500ක් වසා සිටී.

රටේ විශාලත්වය සහ භූ විෂමතා නිසා ප්‍රාදේශීය දේශගුණික විවිධතා මෙහි දක්නා ලැබේ. ගිනිකොන දිග ඇලස්කාවේ උෂ්ණත්වය පැ. 32° සිට 44° පමණ වන අතර සා.වා.ව. අඟල් 80කට අධිකය. නිරිත දිග ඇලස්කාව මීට වඩා ශීතලය; එහෙත් එහි වර්ෂාව අඩුය. එහි ධූමිකා නිබඳ ව හටගනී. මධ්‍යම ඇලස්කාවේ ග්‍රීෂ්ම ඍතුවේ සා.උ.පැ. 77°කි. ශීත ඍතුවේ සා.උ.පැ. 15°ක් පමණ වේ. සාමාන්‍ය වර්ෂාපතනය දකුණෙහි අඟල් 11ක් පමණ වන අතර උතුරෙහි අඟල් 5ක් පමණ වේ. ආක්ටික් වෘත්තයෙන් උතුරෙහි තුන්ද්‍රා දේශගුණ ලක්ෂණ බල පවත්වයි. ඇලස්කාවේ ගිනිකොන දිග ප්‍රදේශවල කේතුධර වනාන්තර ඇති අතර, වර්ෂාව අඩු නමුත් සිසිල් වූ නිරිත දිග හා මධ්‍යම සානුවල තණ සශ්‍රීකව වැඩේ‍. උස් කඳු මුදුන්වල සහ උතුරේ තුන්ද්‍රා ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී පමණක් පෙඳ, පාසි සහ ලයිකන් වර්ග වැවේ. වෝල්රස්, හිමවලහා, කැරිබු, සිට්කාමුවා, පිනිමුවා ආදීහු මෙහි වසන ප්‍රධාන සත්තුය.

ඇලස්කාවේ ස්වාභාවික ඛනිජ ධනය අතින් ප්‍රධාන වනුයේ ටැනනා නිම්නයෙහි සහ සිව’ඩ් අර්ධද්වීපයෙහි පිහිටි රන් නිධිය. ප්‍රධාන රන් ආකර ඇත්තේ ක්ලෝන්ඩයික්හිය. කොපර් ගංගා නිම්නයේ රිදී සහ තඹ ආකර ඇත. ගල් අඟුරු, ප්ලැටිනම් ආදි ඛනිජ නිධි කඳු ප්‍රදේශවල ඇතැයි විශ්වාස කරනු ලබන නමුත් මේවා තව ම ක්‍රමානුකූලව ගවේෂණය කර නැත. කුක් හා කොන්ට්‍රෝලර් බොකු අසල ඛනිජ තෙල් ආකර ඇත.

දැව කර්මාන්තය, පල්ප් සෑදීම සහ මසුන් මැරීම හා ඇහිරීම ඇලස්කාවේ ප්‍රධානතම ආර්ථික ව්‍යාපාර වෙයි. සීඩර්, පොප්ලර්, ස්ප්‍රෑස්, බ’ච් ආදි මෘදු ලී සහිත ගස් වර්ග මෙහි වැවේ. චුගැක් සහ ටොංගාස් යන ජාතික වනාන්තර ප්‍රමාණයෙන් ව.සැ. 32,000කට අධිකය. ඇලස්කා අර්ධද්වීපය අවට මුහුදුවල තල්මස්, කොඩ්, හෙරිං, සැමන්, හැලිබට් යන මත්ස්‍ය වර්ග ද ගංගාවල මිරිදිය සැමන් වර්ග ද බහුලය. ධීවර කර්මාන්තය වඩාත් දියුණු ගිනිකොනෙහි දූපත්වලය. එහි පිහිටි කෙවිකැන් නගරය ඇලස්කාවේ ප්‍රධාන මසුන් තොටයි. අ'මින්, මින්ක්, සිවල්, වලස්, හා, වෘක, ලේන්, මාටින් ආදි සතුන්ගෙන් වටිනා සිනිඳු ලොම් ලබාගැනුම ද මෙහි ප්‍රධාන කර්මාන්තයකි. ෆ'ර් සිල් නම් මත්ස්‍යයාගේ ලොම් සහ සම් ද එකතු කරනු ලැබේ.

ඇලස්කාවේ වර්ග ප්‍රමාණයේ හැටියට වගා කරන ලද ඉඩම් ඇත්තේ ඉතා ස්වල්පයකි. විශේෂයෙන් ගංගා නිම්නවලට සීමා වූ මේ ගොවිබිම්වල වැඩි වශයෙන් අර්තාපල්, තිරිඟු, බාර්ලි හා එළවළු වර්ග වවනු ලැබේ. මස් පිණිස ඇති කරනු ලබන්නේ පිනිමුවන් පමණි.

මෙහි ගමනාගමනය දුෂ්කරය. ආකර සහ ගොවිබිම් ප්‍රදේශවල හැර සෙසු පළාත්වල මහාමාර්ග අඩුය. උතුරු තුන්ද්‍රා ප්‍රදේශවල බල්ලන් ලවා අද්දවන ස්ලෙජ් රථය ප්‍රධාන වාහනයයි.

ඇලස්කාවේ ජනගහනය (1950) 128,643කි. මොවුන්ගෙන් වැඩි දෙනකු සෙසු ඇමෙරිකානු පළාත්වලින් පැමිණි සුදු ජාතිකයන් වන අතර සෙස්සෝ එස්කිමෝ, රතු ඉන්දියානු සහ ඇලියුට් ජාතිකයෝය.

ඇලස්කාවේ අගනුවර ජූනෝ (5,956) ය. දැව, ධීවර සහ ආකර කර්මාන්ත දියුණු පළාතක පිහිටි එය වෙළඳ මධ්‍යස්ථානයකි; නැව් තොටකි. අහස් තොටක් සහ නැව්තොටක් සහිත ඇංකරෙජ් (11,254) යුද්ධ කාර්ය මධ්‍යස්ථානයකි. ෆෙයාර් බෑංක්ස් (5,771) දකුණේ පිහිටි සිව'ඩ් නගරයේ සිට එන එක ම දුම්රිය මඟ කෙළවර දක්නා නගරය වේ. රන් ආකර සහ දැව කර්මාන්තය පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන මෙහි ඇලස්කා විශ්වවිද්‍යාලය ද පිහිටා තිබේ. වෙළඳ නගරයක් වූ සිට්කා (1,985) නාවික මධ්‍යස්ථානයකි.

ඉතිහාසය

ඇලස්කාව සොයාගැනීමේ ගෞරවය හිමි වනුයේ රුසියානු නැව් හමුදාවේ සේවය කළ කැප්ටන් වයිටස් බීරිං (බ.) නම් ඩේන් ජාතිකයාටය. 1741 දී ඇලෙක්සි චිරිකොෆ් නම් නාවිකයා ද සමඟ සයිබීරියන් වෙරළින් ගමනාරම්භ කොට දෙවන වරට බීරිං සමුද්‍රසන්ධිය පසු කළ බීරිං ඇලස්කාවට අයත් කයියැක් නම් දූපතට ගොඩබැස්සේය. මේ ගමනේ දී බීරිංගේ නැව කැඩීබිඳී ගිය අතර අධික ශීතය නිසා රෝගාතුර වූ ඔහු මරුමුවට පත් විය.

බීරිංගෙන් පසු ස්පාඤ්ඤ, ඉංග්‍රීසි හා ප්‍රංස යන ජාතීන්ට අයත් දේශගවේෂකයෝ ද ඇලස්කාව බලා ගියහ. 1776 දී ජේම්ස් කුක් මෙපෙදෙස බලා එංගලන්තයෙන් පිටත් විය. ඉන්පසු වැන් කූවර් නම් ගවේෂකයා කුක් විසින් කරගෙන යන ලද ගවේෂණ කටයුතු දිගට ම කරගෙන ගියේය. 1793 දී මැකෙන්සි නමැත්තා රට මැදින් ගමන් කොට ජෝජියා බොක්කට පිවිසියේය.

අනිකුත් යුරෝපීයයන්ට හා ඇමෙරිකානුන්ට කලින් ඇලස්කාව සොයා එරටින් වෙළඳ ද්‍රව්‍ය සපයා ගැනීමේ යෙදුණු රුසියානු ජාතිකයෝ 1774 දී එරට පදිංචි වීමට පටන් ගත්හ. මුලින් ම රුසියානුන් පදිංචි වූ ‘ත්‍රී සේන්ට්ස් බේ’ නම් නගරය කලක් ම ඇලස්කාවේ අගනුවරව පැවතිණ. 1799 දී පෝල් රජ මේ රුසියානු ඇමෙරිකන් ජනපදයෙහි වෙළඳාම කරගෙන සෑම සඳහා ‘රුසියානු ඇමෙරිකන් වෙළඳ සමිතිය’ සංවිධානය කෙළේය. 1805න් පසු ඇලස්කාවේ අගනුවර බවට පත් වූ සිට්කා නම් නුවර බොහෝ කාලයක් ම එසේ පැවැත්තේය.

ඇමෙරිකාව ඇලස්කාව මිලට ගැනීම

ඇලස්කාවෙන් සිනිඳු ලෝම ලැබීම ක්‍රමයෙන් අඩු වන්නට වූ විට එරට ගැන රුසියානුන්ගේ උනන්දුව හීනවන්නට විය. ඒ අතර ම ඇමෙරිකන් හා ඉංග්‍රීසි ජාතිකයන් සමඟ වෙළඳාමට තරඟ කරන්නට ද සිදු වීම නිසා ලාභ ප්‍රයෝජන තවතවත් අඩු වන්නට විය. මේ නිසා ඇලස්කාව විකිණීමේ යෝජනා රුසියාව විසින් ඉදිරිපත් කරන ලදින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වර විලියම් සිව'ඩ් ඒ ගැන උනන්දුවක් දක්වන්ට පටන් ගති. 1859 සිට මේ ගැන කතාබහ පැවති නමුත් ඇමෙරිකන් ජනයා එයට දැඩි ලෙස විරුද්ධත්වය දැක්වූහ. ඒ කෙසේ වුව ද සිව'ඩ්ගේ බලවත් උනන්දුව නිසා 1867 දී ඩොලර් 7,200,000ක් තරම් සුළු මුදලක් ගෙවා මේ විශාල භූමි භාගය අයත් කරගැනීමේ භාග්‍යය ඇමෙරිකාවට ලැබිණ.

ඉක්බිති කලක් ම ඇලස්කාවේ පාලනය ගෙනයන ලද්දේ ඇමෙරිකානු යුද්ධ දෙපාර්තමේන්තුව මගිනි. තීරුබදු එකතු කිරීම රාජ්‍ය භාණ්ඩාගාරය විසින් කරන ලදි. 1896ට ප්‍රථම එරට අභ්‍යන්තර ප්‍රදේශය ගැන දැන සිටියේ ඉතා මඳ වශයෙනි. එම වර්ෂයේ දී ඇලස්කා-කැනඩා දේශ සීමාවට නුදුරින් කැනඩාවේ ක්ලොන්ඩයික් නම් ප්‍රදේශයේ රන් ඉල්ලම් ඇති බැව් සොයාගැනීමෙන් පසු ඇලස්කාව හරහා ව්‍යාපාරිකයෝ එපෙදෙසට ගලා එන්නට වූහ. මේ අතර 1898 දී ඇලස්කාවේ සිව'ඩ් අර්ධද්වීපයේ රත්රන් ඇති බැව් සොයා ගන්නා ලදින් කැනඩාව, ඇමෙරිකාව ආදි ප්‍රදේශවලින් දහස් ගණන් ව්‍යාපාරිකයෝ වැල නොකැඩී එහි එන්ට වූහ.

ආණ්ඩුක්‍රම විකාසය

1900 දී ඇලස්කාව අධිකරණ කොට්ඨාස තුනකට බෙදනු ලැබීය. 1909 දී තව ද කොටසක් එකතු කැරිණ. 1912 දී එක්සත් ජනපද රාජ්‍යයට යටත් ප්‍රාදේශීය ආණ්ඩු ක්‍රමයක් ඇලස්කාවට දෙනු ලැබීය. එම ආණ්ඩු ක්‍රමය යටතේ සෙනට් සභාවකින් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් ද යුත් ව්‍යවස්ථාදායක සංස්ථාවක් එරටට ලැබුණේය.

I වන ලෝක සංග්‍රාමයෙන් පසු කාලය ඇලස්කාවට මහත් දුර්භාග්‍ය සමයක් විය. මේ නිසා එක්සත් ජනපද පෙඩරල් ආණ්ඩුව විසින් ඇලස්කාවේ රැකීරක්ෂා නැති අයට සහනාධාර දෙන ලදි. රන් මිල නැංවීමෙන් එරට රන් හෑරීමේ කර්මාන්තයට රුකුල් දෙන ලදි. දෙවන ලෝක සංග්‍රාම කාලයේ දී ඇලස්කාව ඇමෙරිකන්-සෝවියට් අහස් මාර්ගයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විය. ඇලස්කාවට අයත් කිස්කා සහ අට්ටු යන දූපත් දෙක ජපන් ජාතිකයන් විසින් යුද්ධ සමයේ දී අල්ලා ගන්නා ලද නමුත් 1943 දී ඒවා මුදාගන්නා ලදි. මේ කාලය තුළ දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් ගොඩනඟන ලද ඇලස්කා මහා මාර්ගය (Alaska Highway) මගින් එරට මහා නගර කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සම්බන්ධ කැරිණ. මේ අතර විශාල වියදමක් දරා ජපන් රටට පහර දීම පිණිස යුද කඳවුරු, ගබඩාපළවල් හා මංමාවත් ආදිය තැනීම නිසා යුද්ධය නිම වීමෙන් පසු එරට විශාල ආර්ථික දියුණුවක් ඇති විය. ඒ සමඟ ම දේශපාලන වශයෙන් ද ප්‍රගතියක් දක්නා ලදි.

1946 දී දේශව්‍යාප්ත මහා ඡන්ද විමසීමක දී ඇලස්කාවාසීහු තම රටට ඇ.එ.ජ.රා.හි ප්‍රදේශ රාජ්‍ය තත්වය පතා ඡන්දය දුන්හ. 1950 දී ජනාධිපති ට්රූමන් මහතා ද ඇලස්කාවට ප්‍රදේශ රාජ්‍ය තත්වයක් දිය යුතු බව තරයේ කියා සිටි නමුත් එයට සෙනට් සභාවේ අනුමතිය නොලැබිණ.

1959 දී ඇ.එ.ජ.රා.හි ප්‍රදේශ රාජ්‍ය තත්වය ලැබූ ඇලස්කාව එහි 49 වන ප්‍රදේශ රාජ්‍යය විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලස්කා&oldid=11765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි