ඇලස්කා කඳු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇලස්කාවේ දකුණු වෙරළේ සිට නැගෙනහිර දේශසීමාව කරා කවාකාරව විහිදී ඇති සැතැපුම් 300ක් පමණ දිග කඳු වැටියකි. එයට උතුරින් යූකොන් ද්‍රෝණිය පිහිටා ඇති ඇලස්කා කඳුවැටිය සාමාන්‍යයෙන් අඩි 8,000ක් ඉක්මවා ඉහළට නඟී. උතුරු ඇමෙරිකාවේ ඉතා ම උස ශිඛරය වන මවුන්ට් මැකින්ලි (20,300’) පිහිටියේ ද මේ කඳු වැටියෙහිය. ෆොරකර් (17,280’), හන්ටර් (14,960') සහ හේස් (13,740') අනෙක් ප්‍රධාන ශිඛරය. මවුන්ට් මැකින්ලි පාමුල ඒ නමින් වූ ජාතික උද්‍යානය පිහිටියේය. ඇලස්කා කඳු ශිඛර අවුරුද්ද මුළුල්ලේ ම හිමෙන් වැසී පවතින හෙයින් සදාකාලික ග්ලැසියර කීපයක් ද එහි ඇත. මෙහි දකුණු බෑවුම්වලින් කොපර් සහ සුසිට්නා යන ගංගා ද උතුරු බෑවුම්වලින් කස්කෝක්විම් සහ යූකොන් යන ගංගාවල ඇතැම් අතු ද ඇරඹෙයි. සාගරික බලපෑම ලබන දකුණු බෑවුම් උතුරු බෑවුම්වලට වඩා තෙත්ය, උණුසුම්ය. පහත මට්ටමෙහි ඇති කේතුධර වනයෙහි වෘක, කැරිබු ආදී සත්තු වෙසෙති. ෆෙයාර්බෑංක්ස් නගරයේ සිට ඇලස්කා වෙරළ දක්වා දුම්රිය මාර්ගයක් සහ මහා මාර්ගයක් මේ කඳු හරහා වැටී තිබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලස්කා_කඳු&oldid=11766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි