ඇල්කලොයිඩ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alkaloids). නයිට්‍රජන් අඩංගු භාස්මික සංයෝග රාශියක් ශාකයන්හි දක්නට ලැබේ. මේවා අතුරෙන් ව්‍යූහය අතින් තරමක් සංකීර්ණ වූ ද ඖෂධ වශයෙන් ප්‍රකට ගුණ ඇත්තා වූ ද සංයෝග සමූහයක් ඇල්කලොයිඩ නාමයෙන් හැඳින්වේ.

සමහර ඇල්කලොයිඩ නම් කොට ඇත්තේ ඒවා ලැබෙන ශාකයන්ගේ නම්වලට අනුවය. නි. අ'ගට් (ergot) නමැති ශාකයෙන් අ'ගොමෙට්රීන් ලැබේ. ඇතැම් ඇල්කලොයිඩයන්ගේ නාමය ඒවායින් ඇතිවන කායික ප්‍රතිඵලයන්ට අනුව යෙදේ. නි. නිද්‍රාවට අධිගෘහිත ග්‍රීක දෙවියා වන මෝෆියස්ගේ නාමය මෝෆීන්වලට දී තිබේ. ඇල්කලොයිඩයක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රස විද්‍යාඥයාගේ නම කිසිවිටෙක එම ඇල්කලොයිඩ යට දෙනු ලැබේ. නි. පෙලෙටියේ නමැති ප්‍රංස රස විද්‍යාඥයාගේ නම පෙලෙටියරීන්වලට දී තිබේ.

ශාක කුල තිස් අටකට පමණ වැටෙන ශාකයන්ගෙන් ඇල්කලොයිඩ දක්නට ලැබෙන්නේ සියයට දහයකටත් වඩා අඩු ශාක සංඛ්‍යාවකය. ඇතැම් කුලයෙක ඇල්කලොයිඩ නිෂ්පාදනය කරන ගණ සියල්ලෙහි ම ඇල්කලොයිඩ නිෂ්පාදනය කරන විශේෂ ඇතුළත් වන පපවෙරාසේ කුලය හෙවත් අබින් කුලය අසාමාන්‍ය කුලයකි. ඇතැම් ගණයකට අයිති නොයෙක් විශේෂවලින් ලබාගන්නා ඇල්කලොයිඩ ඒවායේ රසායනික ව්‍යූහය අතින් බොහෝ දුරට සමානකම් දක්වයි. එක ම ඇල්කලොයිඩය නොයෙක් නොයෙක් ශාක කුලවල සෑදෙන්නට ද පුළුවන. නි. ශාක කුල හයක බ'බරීන් තිබේ.

බීජ, කොළ, පොතු හා මුල් වැනි ශාකයේ නොයෙක් කොටස්වල ද ශීඝ්‍රව වැඩෙන ළපටි පටකයන්හි ද ඇලකලොයිඩ පිහිටා ඇත. ශාකයේ ඒ ඒ කොටස්වල අඩංගු ඇල්කලොයිඩ ප්‍රමාණය විවිධය. සාමාන්‍යයෙන් තිබෙන්නේ සියයට එකකට (1%) ආසන්න ප්‍රමාණයකි. එහෙත් ඇතැම් විට ඊට අධික වූ ප්‍රමාණයක් ද තිබිය හැකිය. පරණ බ'බෙරි මුලේ සියයට දහයක් (10%) පමණ බ'බරීන් තිබේ. ඇතැම් කොටස්වල තිබෙන ඇල්කලොයිඩ් ප්‍රමාණය ඍතුවට අනුව අඩු වැඩි වේ. වැඩි ම ප්‍රමාණය තිබෙන්නේ මල් හටගන්නා අවස්ථාවේ මුල් හරියේ දීය. ඇතැම් ශාකයක තිබෙන ඇල්කලොයිඩ ප්‍රමාණය කෙරෙහි පසේ ස්වභාවය හා දේශගුණය ද තරමක් දුරට බලපායි.

ශාකයක් තුළ හුදු භස්ම වශයෙන් ඇල්කලොයිඩ හමුවන්නේ කලාතුරකිනි. ඒවා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ඇසිටික්, ඔක්සලික්, ලැක්ටික්, මැලික්, සිට්‍රීක්, ටාටරික් යනාදි අම්ලවල ලවණ වශයෙනි. ඇල්කලොයිඩ ලවණයන්ගේ ජලීය ද්‍රාවණවලට පොටෑසියම් ම'කියුරික් අයඩයිඩ් හෝ පොටෑසියම් අයඩයිඩ්හි ද්‍රවණය කළ අයඩීන් හෝ වැනි ප්‍රතිකාරක යෙදූ විට අවක්ෂේප නැතහොත් පාට ඇති වේ. ශාකවල ඇල්කලොයිඩ ඇද්දැයි දැනගැනීමට මේ පරීක්ෂාව කළ හැකිය. ඇල්කලොයිඩ පමණක් නොව ශාකවල තිබෙන අනෙක් සමහර නිෂ්පාදිතයන් ද මෙවැනි අවක්ෂේප හෝ පාට ඇති කරන හෙයින් මේ පරීක්ෂාවන් පිළිබඳ නිගමනයන්ට බැසීමේ දී පරිස්සම් විය යුතුයි.

ඇල්කලොයිඩ නිස්සාරණය

ශාකයක එක ඇල්කලොයිඩයක් පමණක් ඇත්තේ කලාතුරකිනි. ශාකයක තිබෙන සම්පූර්ණ ඇල්කලොයිඩ ප්‍රමාණය වෙන් කොට ගැනීමේ දී ඇල්කලොයිඩවල භාස්මික ගුණ ඉවහල් කොටගනු ලැබේ. ඇල්කලොයිඩ නිස්සාරණය පිණිස ශාකයක බීජ, පොතු, මුල් හෝ කොළ පාවිච්චි කළ හැකිය. එහෙත් බීජ පාවිච්චි කරන විට ඒවායේ තිබෙන මේද ඉවත් කිරීම සඳහා ඇතැම් විට පෙට්‍රෝලියම් ඊතර් මගින් ප්‍රාරම්භක නිස්සාරණයක් කරනු ලැබේ.

ශාක ද්‍රව්‍යවලින් ඇල්කලොයිඩ නිස්සාරණය කරගැනීමේ ඉතා සරල මාර්ගය නම් අම්ල ස්වල්පයක් සහිත ජලය යෙදීමයි. මෙවිට ද්‍රාව්‍ය ලවණ වශයෙන් ඇල්කලොයිඩ ජලයෙහි දිය වෙයි. ද්‍රාවණය භාස්මික කළ විට වෙන් වන ඇල්කලොයිඩයන් ජලය හා මිශ්‍ර නොවනසුලු ද්‍රාවක මගින් ආපසු ලබාගත හැකිය. එසේ කිරීමේ දී බොහෝ විට පරීක්ෂණ හා සම්බන්ධ වූ නොයෙක් දුෂ්කරතා ඇති වේ. ශාක ද්‍රව්‍යයෙන් නොයෙක් මැලියම් හා දුම්මල වර්ග ඇල්කලොයිඩ සමඟ ජලීය අම්ලයට යා හැකිය. අම්ල නිස්සාරණය පෙරා ගැනීම දුෂ්කර වේ. භාස්මික කළ නිස්සාරිත ද්‍රව්‍යය ජලය හා මිශ්‍ර නොවන ද්‍රාවක සමඟ මිශ්‍ර කළ විට තෛලෝද සෑදේ.

වඩා සතුටුදායක ක්‍රමයක් නම් ශාක ද්‍රව්‍යය මෙතිල් හෝ එතිල් ඇල්කොහොල් සමඟ මිශ්‍ර කර ලැබෙන සාරය කුඩා පරිමාවක් වන තෙක් වාෂ්ප කොට අවශේෂය ආම්ලික කිරීමයි. ලවණ වශයෙන් ඇල්කලොයිඩ ඇත්තාවූ මේ ආම්ලික සාරය සාමාන්‍යයෙන් බොරය. තවද එහි එක්තරා ප්‍රමාණයක් දුම්මල ද්‍රව්‍ය අඩංගු වේ. ආම්ලික සාරකය රත් කර නටවා ශීතකරයක දවස් දෙක තුනක් තැබුවහොත් සාමාන්‍යයෙන් දුම්මල ද්‍රව්‍ය භාජනයේ පත්ලට බසී. එවිට බේරා වැක්කිරීමෙන් ආම්ලික සාරය පැහැදිලි ද්‍රව්‍යයක් වශයෙන් පහසුවෙන් වෙන් කරගත හැකිය. මේ සාරක භාස්මික කොට ජලය හා මිශ්‍ර නොවන ද්‍රාවකයක් සමඟ කළවම් කොට නිස්සාරණය කිරීමෙන් ඇල්කලොයිඩ ලබාගත හැකිය.

තවත් ක්‍රමයක් නම් ශාක ද්‍රව්‍යය කෙළින් ම භාස්මික කළ විට පිට වන ඇල්කලොයිඩ ජලය හා මිශ්‍ර නොවන ද්‍රාවකයකින් නිස්සාරණය කිරීමයි. මේ ද්‍රාවණය ජලීය අම්ලයක් සමඟ මිශ්‍ර කළ විට සෙසු කාබනික ද්‍රව්‍ය ද්‍රාවකයේ ඉතිරි කොට ඇල්කලොයිඩ ජලීය ස්තරයන් කරා පැමිණේ. ජලීය අම්ල ද්‍රාවණයෙන් සාමාන්‍ය ක්‍රමයට ඇල්කලොයිඩ ලබාගත හැකියි.

ඇල්කලොයිඩ වෙන් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ශාකයෙන් ශාකයට වෙනස් වෙයි. ඉහත විස්තර කළ ක්‍රම තුන යම්යම් වෙනස්කම් සහිතව ඒ ඒ ශාක සඳහා යොදනු ලැබේ. මේ සෑම විටෙක දී ම ඇල්කලොයිඩ දෙකක හෝ ඊට වැඩි ගණනක හෝ මිශ්‍රණයක් ලැබේ.

ශාකයෙන් සාමාන්‍යයෙන් ලබාගන්නා වූ මිශ්‍රණයෙන් ඒ ඒ ඇල්කලොයිඩය වෙන් වශයෙන් ලබා ගැනීමට පොදු ක්‍රියා මාර්ගයක් නියම කළ නොහැකිය. ඇල්කලොයිඩ භාගික ස්ඵටිකීකරණයට භාජන කිරීම ඉතාමත් ම සරල ක්‍රියාමාර්ගයයි. එහෙත් නොයෙක් විට ඒවායේ හයිඩ්‍රොක්ලෝරයිඩ, හයිඩ්‍රොබ්‍රෝමයිඩ, පික්රේට, ඔක්සලේට යනාදි ලවණ භාගික ස්ඵටිකීකරණයට භාජන කිරීම ද උපයෝගි කොට ගැනීමට සිදු වේ. මේ සඳහා වර්ණභේදන (chromatographic) ක්‍රම ද දැන් දැන් වැඩි වැඩියෙන් භාවිත කරනු ලැබේ.

ඇල්කලොයිඩවල ව්‍යූහය

ඇල්කලොයිඩවල රසායනික ව්‍යූහ සංකීර්ණය. ඒ ව්‍යූහ පහදා දීම නොයෙක් විට කාබනික රසායන විද්‍යාවට එල්ල වූ අභියෝගයක්ව පවත්නේය. අනෙක් අතට, ඇල්කලොයිඩ පිළිබඳ පරීක්ෂණයන්ගෙන් ලබා ඇති දැනුම කාබනික රසායන විද්‍යාවේ දියුණුවට මහත් රුකුලක් වී තිබේ. පිරිඩීන් (බ.), ඉන්ඩෝල් (බ.), අයිසො-ක්වීනොලීන් වැනි විෂම චක්‍රීය ව්‍යූහ බොහෝ විට ඇල්කලොයිඩවල අන්තර්ගතය. නයිට්‍රජන් අඩංගු ඇතැම් විෂම චක්‍රීය පද්ධති (නි. පිරොලිසිඩීන් හා ක්විනොලිසිඩීන්) පළමුවෙන් සොයාගන්නා ලද්දේ ඇල්කලොයිඩවලය. ඕනෑ ම ඇල්කලොයිඩයක ව්‍යූහය සෙවීමේ සාමාන්‍ය ක්‍රමය නම් ඊට වඩා සරල වූ සංයෝග බවට ඒවා බිඳ මේ සංයෝගවල ව්‍යූහ පහදාගැනීමයි. ඊට පසු ඇල්කලොයිඩයේ ව්‍යූහය නිගමනය කරනු ලබන්නේත් ස්ථිර කරනු ලබන්නේත් දන්නාවූ ව්‍යූහවලින් යුක්ත ද්‍රව්‍යවලින් පටන් ගෙන කරනු ලබන සංශ්ලේෂණයෙනි.

ප්‍රයෝජන

ශාකයක් තුළ වූ ඇල්කලොයිඩවලින් ශාකයට කිසි ප්‍රයෝජනයක් නැත. ඒවා ශාකවල උපදින නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ලෙස සැලකිය හැකිය. එහෙත් ඒවා සත්වයන්ගේ පරිවෘත්තියෙහි දී උපදින නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යවලින් දෙයාකාරයකින් වෙනස් වේ. පළමුවැන්න නම් ඒවා ශාකය තුළ ම රඳවාගැනීමයි. දෙවැන්න නම් ඒවා අණුවල සංකීර්ණතාව වැඩි වන ප්‍රතික්‍රියාවන්ගේ අවසාන ඵල වීමයි. සමහර ශාකයන්ගේ හෝර්මෝනවල සමතුලිතතාවක් ඇති කරගැනීමට මේ සංකීර්ණතාව වැඩි වන ප්‍රතික්‍රියා අවශ්‍ය විය හැකිය. නි. ට්‍රිප්ටොපේන් ඇල්කලොයිඩ බවට පරිවර්තනය වීම ඉන්ඩෝල්-3-ඇසිටික් අම්ලය නමැති ශාක වර්ධක හෝර්මෝනය අධික ලෙස සෑදීම අඩු කරලීමට ඉවහල් වනු විය හැකිය.

ඇල්කලොයිඩ සෑදීමේ දී ප්‍රයෝජනයට ගනු ලැබෙන්නේ ශාකයේ තිබෙන නයිට්‍රජන්වලින් සුළු කොටසක් (1-2%) පමණකි. ඇල්කලොයිඩ සංශ්ලේෂණයේ දී ප්‍රයෝජනයට ගනු ලැබෙන නයිට්‍රජන් අඩංගු සංයෝග අතර ඇමයින, ඇමයිඩ හා ඇමයිනො-අම්ල අඩංගු වේ. මේ අන්තර සංයෝග ප්‍රෝටීන වියෝජනයෙනුත් ශාකයේ තිබෙන කාබොහයිඩ්රේට් සමග ඇමෝනියා ක්‍රියාකිරීමෙනුත් ඇති වීමට ඉඩ තිබේ.

ඇල්කලොයිඩවල තිබෙන ඖෂධීය හා විෂ ලක්ෂණ නිසා වෙළහෙළඳාමෙහිත් නීතිය පිළිබඳ රසායන විද්‍යාවෙහිත් වැදගත් තැනක් ඒවාට අත්වේ. නි. සින්කෝනා පොත්තෙහි ඇති ක්විනීන් (බ.) මැලේරියාවට ඖෂධයකි. අබින් පැළෑටියෙන් ලබාගන්නා කොකේන් (බ.) ශරීරයේ කොටසක පමණක් තාවකාලික වශයෙන් වේදනාව නැති කරනු පිණිස යොදන ඖෂධයකි. නොබෝදා පරීක්ෂකයෝ රොවුල්ෆියා විශේෂවල (නි. ඒකාවේරිය බ.) තිබෙන ඇල්කලොයිඩ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කළහ. එම ඇල්කලොයිඩ මානසික ආබාධ හා අධික රුධිර පීඩනය සුව කිරීමට ප්‍රයෝජනවත් යයි සොයාගෙන තිබේ.

(කර්තෘ: ජී.පී. වන්නිගම)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්කලොයිඩ&oldid=11960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි