ඇල්බට් (වල්ලභ) කුමාරයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Albert, Prince Consort) (1819-1861). ෆ්රැන්සිස් චාල්ස් ඕගස්ටස් ඇල්බට් එම්මානුවෙල් හෙවත් ඇල්බට් කුමාරයා එංගලන්තයේ වික්ටෝරියා මහාරාජිනියගේ වල්ලභ කුමාරයාය. ජර්මනියේ සැක්ස්-කෝබර්ග්-ගෝතාහි ආදිපාදයාගේ ද්විතීය පුත්‍ර වූ මෙතෙම වික්ටෝරියා රැජින හා විවාහප්‍රාප්ත වූයේ තම විසිඑක්වැනි වියේ (1840) දීය.

ඇල්බට් කුමරු විදේශිකයකු වීම නිසා ඉංග්‍රීසිහු මුල දී ඔහු ගැන සැකයෙන් පසු වූහ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ද ඔහුට යම් යම් අවහිරකම් ඇති විය. එහෙත් නුවණින් ක්‍රියා කළ හෙතෙම ක්‍රමයෙන් ඉංග්‍රීසින්ගේ සිත් දිනාගැන්මෙහි සමත් විය. ඇල්බට් කුමරා 1847 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි කුලපති පදවියෙන් ද පුදනු ලැබීය. ඔහුට ‘රාජ වල්ලභ කුමාරයා’ යන නාමය නියම වශයෙන් පිරිනමනු ලැබුයේ 1857 දීය. රාජ්‍ය පාලන කටයුතුවල දී හේ රැජිනට මඟ පෙන්වීය; කිරීටයට අයත් ආණ්ඩු බලය තහවුරු කිරීමෙහි ලා රැජින හා එක්ව ක්‍රියා කෙළේය. විදේශ කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ උවදෙස් රැජිනට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

විද්‍යාවේ හා කලාවේ දියුණුව ගැන උනන්දු වූ ඔහු 1861 දී ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව ප්‍රාරම්භ කටයුතු කරමින් සිටිය දී ආතුරව වින්ඩ්සර් මාළිගයේ දී කලුරිය කෙළේය. ඇල්බට් කුමරු සිහිවීම පිණිස ලන්ඩන්හි සුප්‍රසිද්ධ ඇල්බට් ශාලාව, ඇල්බට් ස්මාරකය ආදිය ඉදිකොට ඇත. ජීවිත බේරීමේ වීරක්‍රියා සම්බන්ධයෙන් පිරිනැමෙන ඇල්බට් පදක්කම ද ඔහු සිහි කිරීම අරභයා ඇති කරන ලද්දකි.

ඇල්බට් කුමාරයාගේත් වික්ටෝරියා රැජිනගේත් පුත්‍ර එඩ්වඩ් කුමාරයා වික්ටෝරියා රැජිනගේ ඇවෑමෙන් එඩ්වඩ් VII නමින් රජ විය.

(සංස්කරණය: 1967)