ඇල්බට් ද සිල්වා (බෙන්තොට)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල සාහිත්‍යය පෝෂණය කරලීමට ප්‍රබල නවාංගයන් නිපැයූ විශිෂ්ට පඬිවරයෙකි. ඇල්බට් ද සිල්වා උපන්නේ 1866 ජූනි මස 27 වැනි දිනය. බෙන්තොට පහුරුමුල්ල වසමේ ගම්මුලාදෑනි ධුරය ඉසිලූ කංකානම් පතිරගේ දොන් අර්නෝලිස් ද සිල්වා ගුණසේකර මහතා ඔහුගේ පියාණෝය. අස්සල ආරච්චිගේ උංගෝ හාමිනේ නම් කාන්තාව මව වූවාය.

පිරිහෙමින් පැවති ධර්ම ශාස්ත්‍රාලෝකය පුනරුත්ථානයට පත් කිරීමේ පුරෝගාමී වූ මහා විද්‍යාස්ථානයන්ගෙන් එකක් වන වනවාස රජමහා විහාරය පිහිටියේ ඇල්බට්ගේ නිවසට නුදුරුවය. කුඩා ඇල්බට් ලංසි පල්ලිය නමින් එකල ප්‍රසිද්ධ වූ බෙන්තොට ද්විභාෂා පාසැලේ ඉගෙනුම ලබන ගමන් ම වනවාස පිරිවෙනෙහි එළු,පාළි, සකු හදාළේය. මේ භාෂා උගන්වන ලද්දේ ඇල්බට් හට අත්පොත් තැබූ වියත් කෝම්මල ඉන්දසාර හාමුදුරුවන් වහන්සේ සහ මහා පඬිවර යාත්‍රාමුල්ලේ ධම්මාරාම හාමුදුරුවන්වහන්සේ ද විසිනි. පෙරදිග භාෂාවන්ට අමතරව කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ විශේෂ ගුරූපදේශයන් ද කෝම්මල හාමුදුරුවන්ගෙන් ලැබීමේ වාසනාව ඔහුට හිමිවිය. උසස් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කෝට්ටේ ක්‍රිස්තියානි මිෂනාරි අග්‍ර පාඨශාලාවට ඇතුළු වූ ඇල්බට් ලතින් භාෂාව පිළිබඳ විශේෂ දක්ෂකම් දැක්වූ බව කියනු ලැබේ.

ගැටවර වියේ දී ම බලපිටියේ උසාවියේ ලිපිකාරකමක් ලැබී එහි ගිය ඇල්බට් අවට විහාරාරාමවාසී උගත් භික්ෂූන්වහන්සේලාගේ ආශ්‍රය නිසා පෙරදිග භාෂා ශාස්ත්‍ර කෙරෙහි වඩ වඩාත් නැඹුරු වන්නට විය. කවි ගීත බඳිමින්, වෙසක් කැරොල් කණ්ඩායම් පුහුණු කරවමින් සිත්වූ පරිදි ගමෙහි ගතකළ නිවහල් ජීවිතය මඳ කලකට ම සීමාවූයේ නැගෙනහිර පස්දුන් කෝරළය කරවූ මුදලිඳුගේ කාර්යාලයෙහි ප්‍රධාන ලිපිකාර ධුරය භාර ගැනීමට සිදු වූ බැවිනි. එහි සේවයේ යෙදී සිටින ගමන් ම ශාස්ත්‍රීය කටයුතුවල ද ඔහු යෙදුණේය. එකල පළ වූ ප්‍රවෘත්තිපත්‍ර සඟරාදියට ඔහුගෙන් නිබඳව ම ලිපි සැපයුණේය.

කෝරළ මුදලි කාර්යාලයෙහි අවුරුදු කීපයක සේවයෙන් පසුව යළිදු බෙන්තොටට පැමිණි ඇල්බට් ශාස්ත්‍රීය ව්‍යාපාරයන්හි වඩාත් උනන්දුවෙන් නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ ග්‍රන්ථ ප්‍රකාශක සමාගම් සියල්ල ම සමඟ පාහේ සම්බන්ධකම් ඇති විය. අවිවාහකව විනෝදකාමී ජීවිතයක් ගත කළ ඔහුට බොහෝ මිත්‍රයෝ වූහ. එකල ප්‍රසිද්ධියට පත්වැ සිටි ගිහි පැවිදි වියත්හු ඔහුගේ දැනුම මෙන් ම සමාජශීලී පැවතුම් ද අගය කළෝය. එබඳු හිත මිත්‍රයකු වූ සී. දොන් බස්තියන් මහතාගේ කර්තෘත්වයෙන් අරඹන ලද ‘දිනපතා ප්‍රවෘත්ති’ ‍පත්‍රයෙහි සහාය කතුවර පදවිය පැවරුණෙන් ඔහු කොළඹ පදිංචි විය.

ශාස්ත්‍රීය කටයුතු සඳහා කොළඹ සෑම ඉඩ පහසුවක් ම සැලසුණෙන් හේ ගද්‍ය පද්‍ය ග්‍රන්ථ නිර්මාණය, ඉංග්‍රීසි ග්‍රන්ථ පරිවර්තනය, සඟරා සංස්කරණය හා ශාස්ත්‍රීය වාද විවාදයන්ට සහභාගිවීම යනාදියෙහි ද මුළු විවේක කාලය ම යෙදවූයේය. කොළඹ අවුරුදු කීපයක් ගත කළ පසු යළිදු කෝරළ මුදලි කාර්යාලයක ප්‍රධාන ලිපිකරු තනතුර භාරගැනීමට ඔහුට සිදු විය. කාර්යාලය පිහිටියේ උතුරු අලුත්කූරු කෝරළයේ මිනුවන්ගොඩට නුදුරු වූ අඹගහවත්ත නම් පියසේය. එහිදු අවශ්‍ය විවේකය හා ධෛර්‍ය්‍ය ගැන්වීම ද නොඅඩුව ම ලැබුණෙන් ග්‍රන්ථකරණයෙහි මෙන් ම සමාජ සේවයෙහි ද ඉමහත් උනන්දුවෙන් නිරත විය.

1918 අවුරුද්දේ ලංකාව පුරා පැතිරී ගිය භයානක වසංගත උණ රෝගය අඹගහවත්ත ද ගිලගත්තේය. අසරණ අසල්වාසීන් සුවපත් කරනු සඳහා දිවා රෑ වෙහෙසුණු ඔහුට රෝ රකුසාගෙන් ගැලවීගත නොහැකි විය. අසනීපය අතිශයින් උත්සන්නව තිබිය දී ද මේ රසිකයා උත්සාහවත් වූයේ තමා පරිවර්තනය කරමින් සිටි ලෝක ඉතිහාස ග්‍රන්ථය අවසන් කරලීමටය. එහෙත් එහි නිමාවක් දැකීමට පෙරාතුව ම වර්තමාන සාහිත්‍ය යුගයෙහි පුරෝගාමියකු වූ ඒ සාහිත්‍යධරයා 1919 ජනවාරි 30 වැනි දින පරලෝ සැපත් විය. සමකාලීන අනෙක් වියතුන් නොදුටු නොසිතූ නවමංවලින් භාෂාව පෝෂණය කිරීමෙහි උත්සාහවත් වූ ඔහු පළමුවරට සිංහල සාහිත්‍යයට නවකථාව ඇතුළු කෙළේය. එසේ ම පළමුවරට කවියට ම කැප කළ සඟරාවක් ආරම්භ කෙළේය. එමතු ද නොව පළමුවරට ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කෙළේය. ඇල්බට් ද සිල්වා විසින් සම්පාදිත සාහිත්‍ය කෘති ගණනින් පනසක් පමණ වෙයි. පද්‍යය, ගද්‍යය, නාට්‍යය, ප්‍රබන්ධය, පරිවර්තනය, සංස්කරණය, කාලීන සංග්‍රහය, වාදය යනුවෙන් ඒවා කොටස් අටකට බෙදිය හැකි ය. ඇල්බට් ද සිල්වාගේ නාමය අමරණීය වීම සඳහා ඔහුගේ ප්‍රබන්ධ හා පරිවර්තන ම ප්‍රමාණවත්ය.

ඔහුගේ මුල් ම කෘතිය වන පන්දුකෙළිය පළ වූයේ 1888 දීය. විමලා, ආදර හසුන, සිරිබරී සහ වෙසක් දූතයා නම් නවකථා සතරකි. ඔහුගේ ප්‍රථම නවකථාව වූ 1892 අප්‍රියෙල් මාසයේ ප්‍රසිද්ධ කරන ලද විමලා සිංහල සාහිත්‍ය වංශයේ මුල් ම නවකථාවකි. ඇරේබියන් නයිට්ස් නම් මහා ග්‍රන්ථයේ සංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය වන අරාබිනිශොල්ලාසය එතෙක් මෙතෙක් ඇති වූ පරිවර්තන අතුරෙහි උසස් ම තැනක් ගන්නේය. එහි පළමුවැනි කාණ්ඩය මුද්‍රණය වූයේ 1892 දීය.

ඔහුගේ වෙනත් කෘතීහු නම් බෙන්තොටලකර, වොලන්ටියර් කඳවුර, කෙළිකව් මල්දම, කව්මිණි කළඹ, සූකරජාතක කාව්‍යය, අනිත්‍ය දර්ශනය, ගණිතගැටය, රොස්ලින් කතාව, රොමියෝ ජුලියට්, සුරාසොඬ චරිතය, විබත්කව, ගණිතගර්භ කාව්‍යය, මහාබාරස පාදය සහ ශුභ මඟුල් සාන්තිය, රතිරත්නය, රොම්ලින් කතාව, අභිනව ස්වප්න මාලය, බටකුරුලු සන්දේශය, කොරවක් සන්දේශය, වැහිළිහිණි සන්දේශය, මලිති සන්දේශය, රේරු සන්දේශය, වියොවග සිතුමිණ, වෙසක් තොරණ, වෙසක් තුටු පඬුර, වෙසක් කව් මල්දම, ගුණරුවන, සර්වඥ චරිතය, රාය සහ අජපායි, සිංහල රාජමාලා, සුභාෂිත දර්ශනය, දළදාවත, ගව විලාපය, ගෝ ඝාතකයන්ගේ ප්‍රීති ඝෝෂාව, ඔවදන් කිරුළ, රසබස්, කව්තුටුපඬුර, ඇනී බැසැන්ට් චරිතය, හර්කියුලස් චරිතය, අලගියවන්න චරිතය, හියුගෝ මුනීන්ද්‍ර චරිතය, මීරිපැන්නේ ධම්මරතන චරිතය යන මොව්හුයි.

ගණදෙවි හෑල්ල, වදන්කවිපොත, සුභාෂිතය, සිංහල විමාන වස්තු ප්‍රකරණය, මහසොහොන් සමයම, මකරධ්වජය, නීලකොබෝ සන්දේශය, සුරාසොඬ සන්දේශය, කිරල් සන්දේශය, මොරතොට වත, හරිච්චන්ද්‍ර කතාව, සින්න මුත්තු කතාව, මහහටන යන ග්‍රන්ථයන්ගේ සංස්කරණ ද කව්මිණි නිදන, පුස්තකාලය, විවේක කාලය, බෞද්ධ සංග්‍රහව යන සඟරා ද පණ්ඩුකාභය, හරිස්චන්ද්‍ර, අලිබබා, යන නාට්‍ය ද ඉඳුරු වාදය, සිරිත්මල්දම් වාදය, වරඟන වාදය, ලංකා වර්ණනා වාදය යන වාද ලිපි ද ඇල්බට් ද සිල්වා මහතාගේ කෘතීන් අතර වේ.

(කර්තෘ: මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා)

(සංස්කරණය: 1967)