ඇල්ලේපොළ මහ නිලමේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පැන නැඟි උඩරට කැරැල්ලේ ප්‍රධාන තැනක් ගෙන සටන් කොට රට, දැය, සමය වෙනුවෙන් දිවි පිදූ අභීත සිංහල වීරවරයෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේත් කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට අයත් වීමෙන් පසු ඔවුන් යටතේත් තනතුරු දැරූවෙකි.

මොහුගේ සම්පූර්ණ නම කහඳ මහන්තේ නවරත්න වික්‍රමසිංහ මුදියන්සේය. මාම්පිටිය බණ්ඩාරයන්ගේ රාජද්‍රෝහි කටයුතුවලට හවුල් වී යයි මොහු වරදකරුව වරෙක මරණ දණ්ඩනයට පවා නියමව සිටිය ද හේ පසුව රජු යටතේ උසස් තනතුරු දැරීය. තුන්කෝරළේ දිසාවේ වශයෙන් ද අනතුරුව දෙවෙනි අදිකාරම් වශයෙන් ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සේවය කළ හේ කාගේත් ගෞරවාදරයට පාත්‍ර විය. සැතපෙන ගේ සහ අතපත්තු මුර පොළ මුහන්දිරම් පදවියත් රන් ආයුධ මණ්ඩපේ ලේකම් පදවියත් ඉංග්‍රීසීන් විසින් 1815 දී මොහුට පවරනු ලැබූයේ මොහු ඔවුන්ගේ ද විශ්වාසය දිනාගත් බැවිනි.

එහෙත් ඌව වෙල්ලස්ස පෙදෙස්හි 1817 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි හටගත් කල්හි මොහු තුළ සැඟවී පැවැති ජාතික හැඟීම් ඉස්මතු වූයේය. හේ සියලු තනතුරු අතහැර දමා කැරලිනායක දොරේසාමි (බ.) ද කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ නිලමේ ද ඇතුළු ජාතික වීරයන් හා එක්ව පුරෝගාමීව සටන් කළේය. දොරේසාමි විසින් මොහු මාතලේ දිසාවේ හැටියට පත් කරන ලදි. ඇල්ලේපොළ කැරලිකරුවකට එක්වීම ගැන කිපුණු ඉංග්‍රීසීහු ඔහු රාජඋදහසට ලක්වූවකු බවත් ඔහු අල්ලා දුන් කෙනකුට රික්ස් ඩොලර් (පතාග) දහසක් දෙන බවත් දන්වා ආඥාපත්‍ර නිකුත් කළහ.

සිංහලයන්ගේ අවාසනාවකට මෙන් කැරලි නායකයන් අතුරෙන් පළමුවෙන් ම ඉංග්‍රීසීන් අතට පත්වූයේ ඇල්ලේපොළ නිලමේය. 1818 ඔක්තෝබර් 6 වැනි දින, වයෝවෘද්ධ වුව ද කාර්‍ය්‍යශූර ඇල්ලේපොළ තම කුමාරිහාමි ද සමග උඩදුම්බර ගම්පහ කෝරළේ බඹරබැද්ද අසල දී ලෙෆ්ටිනන්ට් බ්‍රවුන් විසින් අල්ලා ගන්නා ලදි. එකොළොස් දිනකට පසු යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලද මොහුට මරණීය දණ්ඩනය නියම විය. දොරේසාමි යටතේ මාතලේ දිසාවේ හැටියට සේවය කිරීමත් ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි ගැසීමත් මොහුට විරුද්ධව ඉදිරිපත් කරන ලද මූලික චෝදනා විය. ඔක්තෝබර් මස 27 වැනි දින මහනුවර බෝගම්බර පිටියේ දී මොහු එල්ලා මැරීමට නියම කරන ලදි. එහෙත් එය මදිකමක් කොට සැලකූ මේ නිර්භීත පුද්ගලයා ආණ්ඩුකාරතුමාට පෙත්සමක් යවමින් සිංහල නීතියේ හැටියට තමාගේ හිස ගසා දමන ලෙසත් මෘතශරීරය කැබලිවලට කපා බලුකපුටන්ට ආහාර පිණිස දෙන ලෙසත් ඉල්ලා සිටියේය. අවසානය දක්වා ම වීරයකු ලෙස සටන් කළ මොහු කිසි පැකිලීමක් නොමැතිව වධකයාට ගෙල පෑවේ බලාසිටියවුන් විස්මයට පත්කරමිනි. ඔහුගේ ගෙලට ගැසු කඩු පහරින් වධකයාගේ මුවහත් කඩුව කැඩී ගිය බව වාර්තා වේ. ඔහුගේ අවසාන ඉල්ලීම ගැන කිසිත් නොතැකූ ඉංග්‍රීසීන් විසින් මෘතශරීරය වළලා දමන ලදි.

උඩරට රදලවරුන් අතුරෙන් ඉතාමත් ශූර විචක්ෂණ බුද්ධියක් ඇත්තකු ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තුමා මොහු ගැන සඳහන් කොට ඇත.

ඇල්ලේපොළ කුමාරිහාමි ඉහගම පවුලට අයත් කාන්තාවක් වූවාය. රජු අණ පරිදි ඇගේ සැමියාගේ සියලු දේපළ රාජසන්තක කරනු ලැබූයෙන් ඈ ඉතා අසරණ තත්ත්වයකට පත් වූවාය. 1891 දී ඇති වූ වසූරි වසංගතයේ දී ඇල්ලේපොළ කුමාරිහාමි මිය ගියාය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්ලේපොළ_මහ_නිලමේ&oldid=12037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි