ඇලුනයිට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alunite). මේ ඛනිජය දක්නට ලැබෙන්නේ සුදුපාට හෝ අළුපාට හෝ රොම්බස්තල (rhombohedral) ස්ඵටික වශයෙනි. කිරිගරුඬවලට සමාන වූ සියුම් තද කැටි-රාශි වශයෙනුත් එය දක්නට ලැබේ. ඇලුනයිට්වල රසායන සූත්‍රය Kal3 (SO4)2 (OH)6 වේ. එහි තද බව 3.5-4; විශිෂ්ට ගුරුත්වය 2.6-2.9.එය විලීන කළ නොහැක (infusible). ඇලුනයිට් ජලයේ අද්‍රාව්‍යය. සාන්ද්‍රණ හයිඩ්‍රොක්ලෝරික් හා නයිට්‍රික් අම්ලවලත් එය අද්‍රාව්‍යය. එය තනුක නයිට්‍රික් අම්ලයේ ඉතා සෙමින් දිය වේ.

ගෙන්දගම් වාෂ්ප ආම්ලික යමහල් පාෂාණ මත ඇලුනයිට් සාදයි. මේ ඛනිජය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ තිරුවාණ හෝ කෙඹලිනයිට් හෝ ආශ්‍රිතවය. ඇලුනයිට් වැඩි වශයෙන් යොදනු ලබන්නේ පොටෑෂ් හා ඇලම් (සීනක්කාරම්) සාදාගැනීමටය. ඉතාලිය, ප්‍රංසය, චෙකොස්ලොවේකියාව, මෙක්සිකෝව, එක්සත් ජනපද රාජ්‍යය ආදි රටවල ඇලුනයිට් දක්නට ලැබේ. ඌෂ්මකවල (furnaces) ඇලුනයිට් දමා නැවත නැවත පුලුස්සා සෝදා වෙන් කරගන්නා ද්‍රාවණය වාෂ්පීකරණයෙන් ස්ඵටිකීකරණය කොට ඇලම් සාදාගනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලුනයිට්&oldid=11770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි