ඉබ්න් ජුබයිර්
(1145–1217). නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රදේශයෙහි උපන් අරාබි ජාතික භූගෝලශාස්ත්‍රඥයෙකි; සුප්‍රසිද්ධ යාත්රිකයෙකි. මොහු ස්වකීය පරම්පරාවේ නිජභූමිය වූ හාතිවා නගරයේ දී ඉස්ලාම් නීතිවිද්‍යාව හා සාහිත්‍යය හැදෑරීය. කලක් ග්රැනඩා ප්‍රදේශයේ ආණ්ඩුකාරයාගේ ලේකම් ධුරය දරද්දී වරක් තමාට මුද්‍රිකපානය කිරීමට සිදුවීමෙන් අත් වූ පාපයෙන් මිදීමට හෙතෙම තීර්ථයාත්රාවක යෙදුණේය. ක්‍රි.ව. 1183 දී ග්රැනඩාවෙන් පිටත් වූ ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාව, කයිරෝ, මක්කම, මෙදීනා, කූෆා, බැග්ඩෑඩ්, මොසුල්, අලෙප්පෝ, දමස්කස්, ආක්රෙ, සිසිලිය, කාර්තජිනා යන ප්‍රදේශවල සංචාරය කර 1185 දී ආපසු ග්රැනඩා නගරය කරා පැමිණියේය. මින් පසු කාලයෙහි ද ඔහු පෙරදිග රටවල් බැලීමට දෙවරක් ගිය බව සඳහන් වේ. අවසන් ගමනේ දී ඇලෙක්සැන්ඩ්‍රියාවට ළඟා වූ ඔහු එහි දී මිය ගියේය. ස්වකීය ගමන් පිළිබඳව ඔහු ලියූ 'ඉබ්න් ජුබයිර්ගේ භ්‍රමණවෘත්තාන්ත' නම් ග්‍රන්ථය අරාබි සාහිත්‍යයේ උසස් තැනක් ගනී.
(සංස්කරණය: 1970)