ඉබ්ලීස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාම් ධර්මයේ දෙවියන්ගේ සතුරා වශයෙන් දැක්වෙන යක්ෂයාට ව්‍යවහාර වන නමකි. ක්‍රිස්තු ධර්මයේ මෙන් ම ඉස්ලාම් ධර්මයේ ද මොහුට සාතන් (ෂේතාන්) යන නම ද ව්‍යවහාර වේ. බයිබල් කථාවේ දැක්වෙන පරිදි ම ඒව පෙලඹවීමෙහි කර්තෘ වූයේ ද මොහුය.

ඉබ්ලීස් ජින් කෙනකු හැටියට ද දේවදූතයකු හැටියට ද කුරාන් පොතේ හඳුන්වා තිබේ. ජින් යනු වායුමය හෝ අග්නිමය දේහීන් විශේෂයකි. කැමති විටක කැමති වේශයක් මවා ගත හැකි, ඇසට නොපෙනෙන ඔවුන් ධූමයෙන් තොර ගිනි දැල්වලින් මවන ලද බව සඳහන් වේ.

කුරාන් කථාන්තරය අනුව අල්ලා දෙවියන් වහන්සේ මැටිවලින් ආදම් මවා ප්‍රාණවායුව ගැන්වීමෙන් ජීවියකු බවට පමුණුවා ඔහුට නමස්කාර කරන ලෙස දේවදූතයන්ට අණ කළ සේක. එය ප්‍රතික්ෂේප කළ එක ම දේවදූතයා ඉබ්ලීස්ය. මෙපරිද්දෙන් දෙවියන්ට අකීකරු වූ බැවින් ශාපයට ලක් වූ ඔහු ස්වර්ගයෙන් පිටුවහල් කිරීමට නියම විය. එකල විනිශ්චය දිනය දක්වා දඬුවම කල් දමන ලෙස ඉබ්ලීස් ඉල්ලා සිටියේය. ඊට කැමැති වූ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ දාසයන් නොවන හැම දෙන ම මුළා කිරීමට බලය ද ඕහට දෙන ලදි.

ආදම් මවන තුරු ඉබ්ලීස් අල්ලාගේ විශ්වාසය කටයුතු සේවකයකු ලෙස කටයුතු කෙළේය. පාරාදීසය පිළිබඳ කථාවේ ඉබ්ලීස් ස්වර්ගයට ඇතුළු වූ සැටි විස්තර වේ. පා සතරකින් යුත් ලක්ෂණ සර්පයකු විසින් උගේ දත් අතරේ හෝ බඩ ඇතුළේ ඉබ්ලීස් හිඳුවාගෙන ගොස් ස්වර්ගයට ඇතුළු කරනු ලැබීය. ඒව සමඟ මිත්‍රභාවයෙන් සිටි සර්පයාගේ මුඛයෙන් ඉබ්ලීස් කථා කර එක්තරා වෘක්ෂයක අමරණීයභාවය ගෙන දෙන ඵලයක් ගැන තමාට දේවදූතයකු කළ ප්‍රකාශයක් පිළිබඳව සඳහන් කෙළේය. ආදම් සහ ඒව යන දෙදෙනට තහනම් ගසෙන් ගෙඩි කෑමට සැලැස්වූ බැවින් ඉබ්ලීස් ඇතුළු ඒ තිදෙන ම දෙවියන්ගේ ශාපයට ලක් වූහ. පළමුවෙන් පා සතරකින් යුත් ලක්ෂණ සතකුව සිටි සර්පයාට ද බඩගායන්ට සිදු විය. එතැන් පටන් ඉබ්ලීස්ගේ වාසස්ථාන වූයේ විනාශ වූ තැන්, සොහොන්භූමි හා අපවිත්‍ර ස්ථානය. මුද්‍රික පානය හා ප්‍රතිමාවලට පුදන මස් ඔහුගේ ආහාරය විය. සංගීත, නෘත්‍ය, ගීත යන මේවායින් ඔහු විනෝදය ලබයි. ඔහුගෙන් පැවත එන්නන්ගේ සංඛ්‍යාව මනුෂ්‍යයන්ට වඩා සත්ගුණයකින් අධිකය. ආදම්ගේ දරුවන්ගේ හිතුවක්කාර ක්‍රියා ගැන සතුටු වන හැම අවස්ථාවක දී ම ඉබ්ලීස් බිත්තර දෙක බැගින් දමයි. මේ බිත්තරවලින් උපදින දරුවන්ගෙන් ඔහුගේ සන්තානවෘද්ධිය වේ. අවසානයේ දී ඉබ්ලීස් සහ ඔහුගේ පිරිස සදාකාලික ගින්නට දමනු ලැබ මනුෂ්‍යයන් අතර ගර්භාවට පත් වන්නෝය. මේ අතරතුර ඉබ්ලීස් ඔහුගේ විවිධ ප්‍රයෝගයන්ගෙන් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නන් හැර අනිකුත් මනුෂ්‍යයන් මුළාවට පමුණුවන බව පැවසේ. අරාබි සාහිත්‍යයේ නොයෙක් තැන්වල හාතිෆ් නමින් හැඳින්වෙන්නේ ඉබ්ලීස්ගේ කටහඬය. යොහන් බවතීස්ත වරක් ඉබ්ලීස් සමඟ කථා කිරීමට අල්ලාගෙන් අවසර ලබාගෙන ඔහු මනුෂ්‍යයන් කෙරෙහි අධික වශයෙන් බලපවත්වන අවස්ථාව කුමක් දැයි ඇසීය. ඊට පිළිතුරු වශයෙන් ඔවුන් කෑම්බිම්වලින් හොඳට ම බඩපුරවාගත් විට යයි ඉබ්ලීස් කීය. යොහන් බවතීස්ත එතැන් පටන් වැඩි ආහාරපාන ගැනීමක් නොකළ බව සඳහන් වේ. ඉබ්ලීස් පිළිබඳ කථාව ක්‍රිස්තු ධර්මයේ එන සාතන් පදනම් කරගෙන ගෙතුණක් සේ පෙනේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්ලීස්&oldid=8127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි