ඉරහඳ කොඩිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉරහඳ ලකුණු දරන පුරාණ සිංහල කොඩියකි. පුරාණ සිංහල කොඩි අතුරෙන් මේ ඉතා පැරැණි වූත් සම්භාවනීය වූත් කොඩියක් වුව ද මෙහි ඉතිහාසය අඳුරු අතීතයෙන් වැසී ගියේ වේ. එහි එන ඉරත් හඳත් ලංකාවේ රාජලාංඡනයයි. එහෙයින් මේ ලකුණු දෙක ම දරන ඉරහඳ කොඩිය රිවිසඳු කුල දෙකට ම හිමිකම් කී රජ පරපුරක කොඩිය වී යැයි සිතීමට ඉඩ තිබේ. එහෙත් මේ ඉරහඳ කොඩිය උපුල්වන් දෙව්රජුන්ගේ ද කොඩිය වූ බව පෙනේ. ලක් බුදුසස්න රැක්මේ කාර්යභාරය උසුලන මේ දෙව්රජු දිවා රෑ දෙක්හි ම රටත් සස්නත් රක්නා වග හඟවනු පිණිස ඔවුන්ගේ කොඩිය ද ඉරහඳ ලකුණු සහිතව කැරුණේ යැයි සිතීමට ද ඉඩ නැත්තේ නොවේ.

මෑත භාගයෙහි - එනම් සිංහල රාජ්‍යයේ අවසාන භාගයෙහි - මේ කොඩිය සතරකෝරළේ කොඩිය වූ වග පෙනේ. සතරකෝරළේ පුරාණ හී ලේකම් මිටියේ එන පැදි පෙළක කියැවෙන පරිදි සතර කෝරළයට මෙම ‘මාන්නය’ එනම් ‘සෝම රිවි රුව’ පිහිටි කොඩිය, හිමි කොට දෙනු ලැබුණේ දෙවැනි රාජසිංහ රජු විසිනි. කලක් උඩරට සිංහල රාජ්‍යයේ ප්‍රධාන දිශාව වූයේ සතරකෝරළයයි. එහෙයින් එදවස සිංහල යුද්ධ හමුදාවේ පෙරමුණ ගත්තේ සතරකෝරළයේ සෙනඟයි. එහෙයින් ම එහි කොඩියය සිංහල හමුදාවේ ද පෙරමුණ ගෙන යනු ලැබුණේ. මෙයින් එකල ඉරහඳ කොඩියට ලැබුණේ විශිෂ්ට ගෞරවයකි.

සතරකෝරළයට මේ කොඩිය මුල දී ගෙන එනු ලැබුණේ දෙවුන්දරින් අලුත්නුවරට රාම දෙව් රජු වඩිනා ගමනේ දී යැයි යට සඳහන් කැරුණු පැදි පෙළෙහි කියැවේ. මේ ගමන සිදු වුණේ ජනප්‍රවාදයේ එන එක්තරා පැදියක කියැවෙන පරිදි ඇතුගල්පුර පැරකුම්බා රජු දවසය. ඇතුගල්පුර නම් කුරුණෑගලයි. එහි වුසූ පැරකුම්බාවෝ නම් සිවුවැනි පැරකුම්බාවෝයි. ඒ රජු උපුල්වන් දෙව්රජුට අලුත් දේවාලයක් අලුත්නුවර කරවා එහි ප්‍රතිෂ්ඨාපනය කරවනු පිණිස දෙවුන්දර උපුල්වන් දේවාලයෙන් රත්හඳුනෙන් කළ දෙව්රුවක් ගෙන්වනු ලැබුණු වගය, එකී පැරණි පැදියෙන් කියැවෙනුයේ. එම දෙව්රුව දෙවුන්දරින් ගෙන එන විටය, ඉරහඳ කොඩිය ද අලුත්නුවරට ගෙන එනු ලැබුණේ. මෙයින් මේ ඉරහඳ කොඩිය කෝරළයට හිමි කැරැ දෙන්නට කලින් එහි පිහිටි උපුල්වන් දේවාලයේ කොඩිය ව පැවැති වග පෙනේ.

අද දවසේ මහනුවර මහදේවාලයේ පැරැණි ඉරහඳ කොඩියක් තිබේ. එය අලුත්නුවරට දෙවුන්දරින් ගෙන එනු ලැබුණු කොඩිය ද නැතහොත් සතරකෝරළේ දිසාවේගේ කොඩියක් ද යනු ඉඳුරා කිව නොහැකියි. එහෙත් දේවාලයේ අය එය සලකන්නේ සතරකෝරළේ දිසාවගේ කොඩියක් හැටියටයි.

කෑගල්ල අසල කුඹල්දිවෙල පුරාණ විහාරයෙහි ද පැරැණි ඉරහඳ කොඩියක් ප්‍රදර්ශනයට තබා ඇත. එ ද සතර කෝරළයට පිරිනැමුණු කොඩියකැයි කියති. දිගු ඉතිහාසයක් ඇති පුරාවස්තුවක් වන මේ කොඩිය දෙවැනි රාජසිංහ රජු මඩකලපුවට යන ගමනෙහි දී ගල්ඔයෙන් එතර වෙද්දී දස්කමක් කොට ඉලුක්කෝලයක් ද සිය කෝරළයට මාන්නයක් වශයෙන් දිනා දුන් කප්පාගොඩ පොල්හේන්ගොඩ අප්පුහාමි නමැති වීරයාගේ පරම්පරාවට අයිතිව පැවැත පසුකලක රන්කොත්දිවෙල වලව්වට ලැබී ඔබින් වේකොළදෙණියේ හිමියනට ලැබී එතුමන් විසින් සිය පන්සලෙහි තැන්පත් කොට තැබිණැයි යෙති.

මහනුවර සමයෙහි දී ඉරහඳ කොඩිය විශේෂ මාන්නයක් වශයෙන් සතරකෝරළයට පමණක් නොව අනෙක් පළාත්වලට ද පිරිනැමිණැයි ඇතැම් ඉතිහාසඥයෝ කියති. විමලධර්මසූර්ය රජු විසින් මාතලේ දිශාවට ද සෙනරත් රජු විසින් සත්කෝරළයට ද ආදී වශයෙනි.

ඉරහඳ කොඩිය සිංහල රාජ්‍යයේ අවසාන කාලයේ දී සතරකෝරළයට අයත්ව පැවති බවට සාධක ඇත. 1815 දී සතරකෝරළේ දිසාව වූ මොල්ලිගොඩ මහනිලමේ බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට එද්දී ඉරහඳ කොඩිය සමඟ ගමන් කළ බැව් සඳහන් වේ. මහනුවර රාජ්‍යසමයෙහි සතරකෝරළේ මහදිසාවට යුදකටයුතු හා වාර්ෂික ඇසළ පෙරහැර මෙහෙයවීම විෂයෙහි සෙසු ප්‍රාදේශික නිලධාරීන්ට වඩා වැදගත් තැනක් හිමි විය. එබඳු අවස්ථාවල දී සතරකෝරළයට ලැබී තිබුණු (1) ඉරහඳ මහ කොඩිය (2) දවුණ්ඩය (3) පච්ච ලන්සය (4) කෙටේරිය හෙවත් ඉලුක්කෝලය හා (5) රතු පට කොඩිය යන සම්මාන ලාඤ්ඡන ඉදිරියෙන් ගෙනයාමට ඔහුට අවසර තිබිණි. වාර්ෂික ඇසළ පෙරහැරෙහි ගජනායක නිලමේට හා කොඩිතුවක්කු නිලමේට පසුව එහෙත් සෙසු දිසාවේවරුන්ට හා වෙනත් නිලධාරීන්ට ඉදිරියෙන් සතරකෝරළේ මහදිසාව ඉරහඳ කොඩිය පෙරටුකොටගෙන ගමන් ගත් බව වාර්තාගතය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරහඳ_කොඩිය&oldid=8155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි