ඉල්‍යුසිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Eleusis). අතිපුරාණ ග්‍රීක නගරයකි. ඩිමීටර් නම් දෙවඟන ඇදහීම පිළිබඳ ප්‍රධාන මධ්‍යස්ථානය වී පැවැති මෙය බටහිර සලාමිස් දූව ඉදිරියේ ඉල්‍යුසිස් යන නමින් ම හැඳින්වෙන බොක්කෙහි ඇතන්ස් නුවරට සැතපුම් 14ක් පමණ ඈතින් පිහිටියේය. පුරාණයේ දී මේ නුවර ඇතන්ස් නගරය හා ශුද්ධ මාවතකින් සම්බන්ධ කොට තිබිණ.

ඉල්‍යුසිස් නගරය මුල් කාලයේ දී ඇටිකාවේ ස්වාධීන නුවරක් විය. ඈත අතීතයේ දී ඉදි කරනු ලැබූ නගරයක් හැටියට සලකනු ලබන මෙය ක්‍රි.පූ. 1200 පමණේ දී ඇතන්ස්හි තීසියස් නම් රජු විසින් එම නගරය හා සම්බන්ධ කරන ලද බවත් ක්‍රි.පූ. 650-600 අතර කාලයේ දී නියම වශයෙන් ඇතන්ස් නුවර හා එක් කරන ලද බවත් සලකනු ලැබේ.

ඉල්‍යුසිස් නගරය විශේෂ ප්‍රසිද්ධියට පාත්‍ර වූයේ එහි පැවති ඉල්‍යුසියානු අභිරහස් නමින් ප්‍රකට ගුප්ත විශ්වාසය සම්බන්ධයෙනි. ඩිමීටර් දෙවඟන පිදීමේ මූලික ස්ථානය වූ මෙහි ඇයගේ දියණියන් වූ පර්සිෆොනී දෙවඟන පිදීම ද කැරිණි. දේවකථා සම්බන්ධයෙන් එනුවර ප්‍රසිද්ධියට පත් වූයේ ක්‍රි.පූ. 1400 තරම් පැරණි කාලයේ දී යයි සිතනු ලැබේ. 1882 සිට මෙනුවර කරගෙන යනු ලබන පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අවස්ථා කීහිපයකට අයත් ගොඩනැගිලි නටබුන් සහ එනුවර පැවති (ඩිමීටර් හා පර්සිෆොනී) දෙවඟනන් පිදීම හා සම්බන්ධ භාණ්ඩ රාශියක් ද සොයාගත හැකිව තිබේ. මේ භාණ්ඩ බොහොමයක් ඒ ස්ථානයේ ම වූ කෞතුකාගාරයක තැන්පත් කොට ඇත. ක්‍රි.ව. 396 දී ඇලරික් විසින් විනාශ කරන ලද ඉල්‍යුසියානු දේවමන්දිරාදියේ නෂ්ටාවශේෂ ග්‍රීක කැටයම් කලාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ඉතා උසස් අවධි කීපයක් පිළිබිඹු කරයි.

මිනිසාට තිරිඟු වැවීම පුරුදු පුහුණු කරන ලද්දේ මේ නගර ප්‍රදේශයේ දීය යන විශ්වාසයක් ද පවතී. ලෝකයේ ප්‍රථම ශෝකාන්ත නාට්‍ය රචක ඊස්කිලස් (බ.) උපන්නේ (ක්‍රි.පූ. 525) ද මෙනුවරය.

මෙකල ලෝසිනා නමින් ප්‍රකට ඉල්‍යුසිස් කාර්මික නගරයකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉල්‍යුසිස්&oldid=8480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි