ඊරිය
සිංහල විශ්වකෝෂය වෙතින්
[හෝර්ස්පීල්ඩියා ඊරිය—Horsfieldia iriya (Gaertn.) Warb]. අඩි 40ක් පමණ උසට වැඩෙන මේ ඍජු ගස ලංකාවේ පාතරට තෙත් ප්‍රදේශවල දක්නට ලැබේ. බුරුමය, මලක්කාව, අන්දමන් හා මලයානු දූපත් යනාදි ප්‍රදේශවලත් එය වැවේ. එහෙත් ඉන්දියානු අර්ධද්වීපයේ එය දක්නට නොලැබේ.
ඊරිය පොත්ත දම්පාටට හුරු අළුපාටය. එහි පත්‍ර කැළල් ඇත. කොළ අඟල් 7 සිට 12 දක්වා දිගය. පුෂ්ප ඒකලිංගිකය; ළා කහපාටය. පුමංගී පුෂ්ප කුඩාය. අඟල් 4ක් පමණ දික් වූ බොහෝ ශාඛා සහිත සංයුක්ත ඒකාක්ෂවල පුමංගී පුෂ්ප විශාල සංඛ්‍යාවක් තිබේ. ජායාංගී පුෂ්ප මීට වඩා ලොකුය. ඒවා ස්වල්පයක් කෙටි සංයුක්ත ඒකාක්ෂවල හටගනී. ඵලය ගෝලාකාරය; අඟලක් පමණ දිගය. එහි ඇතුළත ළා රතුපාටය. තද රතුපාට කවචයකින් බීජය සම්පූර්ණයෙන් වැසී තිබේ.
ඊරිය ලීය කහපාටය; තරමක් බරය; ඉක්මනින් දිරායනසුලුය. ඊරිය මිරිස්ටිකාසේ (Myristicaecae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)