උග්ග-2
වේසාලි පුරයෙහි ගෘහපතියෙකි. ඉතා මනාප දෑ දන් දුන්නවුන් අතුරෙහි ඔහු අග්ර බව බුදුහු වදාළහ. ඔහු තම උස් වූ දේහයත් කඩවසම් බවත් පිරිසිදු චරිතයන් නිසා උග්ගසෙට්ඨි යන නම ලද්දේය; බුදුරදුන් මුණ ගැසුණු පළමු අවස්ථාවේ දී ම සෝවාන් විය; අනතුරුව අනාගාමී විය. මහලු කල්හි දී ඔහුට මෙවන් සිතෙක් පහළ විය. “මට ඉතා මනාප යැයි දැනෙන දෑ මම බුදුරදුනට දෙමි. එසේ දෙන්නකු තමාගේ ප්රාර්ථනා මුදුන්පත් කරගන්නා බව මම උන්වහන්සේගෙන් ඇසුවෙමි. බුදුහු මාගේ නිවසට දැන් පැමිණෙත්වායි පතමි” යනුවෙනි. ඒ සිතුවිලි දිවැසින් දත් බුදුහු මහසඟුන් පිරිවරා ඔහු කරා වැඩියෙන්, හෙතෙම මහත් ගෞරවයෙන් උන්වහන්සේ පිළිගෙන, දන් පිරිනමා, මනාප දැයක් දන්වන සේ සැළ කොට සිටියේය.
වේසාලියෙහි කුටාගාරසාලාවෙහි බුදුහු වැඩ සිටිමින්, උග්ග කෙරෙහි ආශ්චර්ය්ය වූ අටගුණයක් පවතින බව වදාළ සේක. එයින් පළමුවැන්න නම් බුදුන් දුටු පළමු අවස්ථාවෙහි දී ම ඔහු තුළ උන්වහන්සේ කෙරෙහි භක්තියක් ඇතිවීමයි. පස්වැන්න හැම සඟනට ම ඔහු සකසා උවටැන් කරන බවයි. හවැන්න, ශ්රමණයන්වහන්සේ කෙනකු ඔහුට දහම් දෙසන කල්හි ඔහු සාවධානව අසා සිටින බවයි; උන්වහන්සේ දහම් නොදෙසත් නම් ඔහු ම දහම් දෙසන බවයි. අටවැන්න බුදුන් විසින් ප්රකාශිත සියලු ඕරම්භාගිය සංයෝජනවලින් ඔහු මිදුණ බවයි. සෙස්ස හත්ථිගාමයේ උග්ගගගපති [[[උග්ග-1]] බ.] කෙරෙහි පැවතුණු ගුණාංග මැයි.
මනුලොවින් චුත වූ උග්ග සිටු මනෝමය දේවගණයෙහි උපන්නේය. ඉක්බිතිව ද බුදුන් දක්නා අභිප්රායෙන් මනුලොවට පැමිණ තමා රහත්භාවයට පත්ව සිටින බව උන්වහන්සේට දන්වා සිටියේය.
බුදුන්, දහම්, සඟුන් කෙරෙහි අචල ශ්රද්ධාව, ආර්ය්යචර්ය්යාව, ප්රඥාව සහ විමුක්තිය යන විශේෂ ගුණ හයකින් යුතු වූ ගෘහපතියන් අතරින් මේ උග්ග සිටු ද එක් තැනැත්තකු බව අංගුත්තර නිකායෙහි එයි.
(සංස්කරණය: 1970)