උඩරට කැරැල්ල (1848)
උඩරට මහ කැරැල්ලෙන් පසු ලංකාවෙහි ඇති වී තිබුණු නිශ්චලතාව යළිත් සිඳී ගියේ 1848 කැරලි කෝලාහලයෙනි. මෙය උඩරට ඉතිහාසයේ අවසාන වැදගත් කැරැල්ල වූ අතර ම යුරෝපීය රැඩිකල්වාදයේ අදහස් ලංකාව කෙරෙහි බලපා ඇති බව පෙනී ගිය පළමු අවස්ථාව ද වේ.
1848 දී කැරලි මධ්‍යස්ථාන දෙකක් විය. ඉන් එකක් කොළඹ වූ අතර අනික් මධ්‍යස්ථානය උඩරට ප්‍රදේශයන් වූ මාතලේ හා කුරුණෑගල විය. මේ කැරලි මධ්‍යස්ථාන දෙකෙහි ම කලබල ඇති වීමට හේතු වූ එක ම පොදු කරුණ නම් අලුතෙන් පනවන ලද බදු හා පනත් ගැන ඇති වූ මහජන විරෝධයයි. සාප්පු බද්ද, තුවක්කු බද්ද, සුනඛ බද්ද හා මාර්ග පනත එම බදු හා පනත්ය. 1848 දී ලංකාවේ එවක බදුක්‍රමය පරීක්ෂා කර ඊට සම්පූර්ණයෙන් ම වෙනස් බදු ක්‍රමයක් පිහිටුවීමට තීරණය විය. අලුත් බදු ක්‍රමය රඳා පැවැතියේ නිර්යාත හා ආයාත බදු මත නොව නොවක් බදු මත වූ අතර එහි පදනම වශයෙන් ඉඩම් බද්දක් පැනවීම ආණ්ඩුවේ අරමුණ විය. මේ නිසා 1847 දී නිර්යාත හා ආයාත බදු බොහෝ දුරට කපා හැර, බ්‍රිතාන්‍ය හා විදේශීය නිෂ්පාදනයන්ගෙන් අය කළ බදුවල සමතාවක් ඇති කිරීම ඉඩම් බද්ද පැනවීමට මඟපෑදීමක් වශයෙන් සලකනු ලැබුවත් අවාසනාවකට මෙන් ඒ අවුරුද්දේ ලංකාව කෙරෙහි බලපෑ වෙළෙඳ පරිහාණිය නිසා ඉඩම් බද්ද අය කිරීමට ආණ්ඩුවට නොහැකි විය. ඒ වෙනුවට, විශේෂයෙන් ම ගොවීන් ඇතුළු ස්වදේශීය ජනයා කෙරෙහි තදින් බලපෑ බදු කීපයක් ඇති කරනු ලැබීය.
මේ අලුත් බදු ගැන රටේ තද අප්‍රසාදයක් හා නොසන්සුන්කමක් ඇති විය. කොළඹ මේ බදුවලට විරුද්ධත්වය පළ කළවුන්ගේ නායකයන් වූයේ “කලම්බු ඔබ්සර්වර්” පත්‍රයේ කර්තෘ වූ අයිරිෂ් ජාතික ක්‍රිස්ටොෆර් එලියට් සහ රිචඩ් මෝර්ගන් ප්රමුඛ බර්ගර් (ලන්සි) නීතිඥයන් කිහිප දෙනකුන්ය. මොවුන්ට මේ අවස්ථාව ආණ්ඩුවෙන් නොයෙක් ඉල්ලීම් - සමහර විට අලුත් බදු හා කිසිදු සම්බන්ධයක් නැති දෑ - ඉල්ලා සිටීමට කදිම අවස්ථාවක් විය. මෙය යුරෝපයේ විප්ලව වර්ෂය විය. 1848 ප්රංස විප්ලවය ගැන කරුණු ලංකාවට දැන ගැනීමට ලැබුණු විට ලංකාවේ අලුත් අයබදුවලට විරුද්ධව කරගෙන ගිය උද්ඝෝෂණය කෙරෙහි යුරෝපීය රැඩිකල් අදහස් යොමු කිරීමට එලියට වෑයම් කෙළේය. ඔහුගේ ප්රවෘත්ති පත්‍රය මඟින් ආණ්ඩුවේ අයබදු පිළිබඳ ප්‍රතිපත්තියට විරුද්ධව ප්‍රචාරයක් නොකඩවා ම කරගෙන යන ලදි.
1848 ජූලි මාසයේ දී අලුත් අයබදුවලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා රැස්වීමක් බොරැල්ලේ දී පැවැත්විණ. මෙහි රැස් වූ ජනයා වැඩි වේලාවක් යන්නට මත්තෙන්, කොළඹ කොටුවට පහර දීමට පෙලඹෙන තරම් කුපිත වූහ. ඒ අනුවණ අදහස් අත්හැර, අයබදුවලට තම විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඒවා අවළංගු කරන ලෙස ඉල්ලා ආණ්ඩුකාරතුමාට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු යයි එලියට් කියා සිටියේය. යුද්ධ හමුදාව සමඟ ගැටීමක් ඇතිවීම වැළැක්වීමට එලියට් කොතෙක් වෑයම් කළ ද එබන්දක් ඇති විය. එහෙත් එය තදබල ගැටුමක් නොවීය. මේ කරුණුවලින් පෙනී යන්නේ කොළඹ ඇති වූ කලබල සියල්ලක් බදු නිසා ඇති වූ බවයි.
උඩරට ප්‍රදේශයන්හි උද්ඝෝෂණ අවසන් වූයේ කැරලි කෝලාහල ඇති වීමෙනි. මේ කැරලි කෝලාහල ඇති වූයේ උඩරට වතුවගාව බොහෝ සේ පැතිරගිය ප්‍රදේශයන්හි නිසා කැරලි කෝලාහල හා වතුවගාව අතර සම්බන්ධයක් ඇතැයි ඇතැමෙක් කල්පනා කළහ. ටොරිංටන් ආණ්ඩුකාරයා ද කෝපි වතුවගාව පැතිරයාම ගැන උඩරැටියන් තදින් ම කුපිත වී සිටින බව ප්‍රකාශ කෙළේය. වතු වැවිලි ක්‍රමය පැතිරයාම නිසා බොහෝ පටලැවිලි සහිත සමාජ හා ආර්ථික ප්‍රශ්න ඇති වී තිබිණි. තම ප්‍රදේශයන්හි කෝපි හා උක් වතුවගාව පැතිර යාම ගැන කෝප වී සිටි උඩරට ජනයා තවදුරටත් කුපිත වූයේ ආණ්ඩුව ස්වදේශීය ජනයා කෙරෙහි දක්වනවාට වඩා විශේෂ සැලකිල්ලක් වතුවගාව කෙරෙහි දක්වන බවක් ඔවුන්ට හැඟී ගිය හෙයිනි.
එය කෙසේ වෙතත් කැරලි කෝලාහල ඇති වූයේ වතුවගාව පමණක් ම හේතුකොට ගෙන නොවේ. 1848 කැරලි කෝලාහල ගොවිජනයා විසින් වතුවගාවට විරුද්ධව ඇති කරන ලද ඒවා නොවූ බව හොඳින් ම පෙනීයන්නේ කැරලි කෝලාහල කාලයේ දී පහසුවෙන් ම වතුවලට පහරදීමට හැකිව තිබුණ ද එසේ පහර ලත් වතු ඉතාමත් ම සුළු සංඛ්‍යාවක් වීම නිසාය.
ආර්ථික වශයෙන් ඉතා ඉක්මනින් දියුණු වූ උඩරට ප්‍රදේශයට පහතරට සිංහල ජනයා ඇදී ආහ. එහෙත් ඔවුන්ගේ පැමිණීම සමඟ ම නීති විරෝධී ක්‍රියා ද වැඩි වී, කෝපි වගා කළ උඩරට ප්‍රදේශය කෙළවර දී සූදු කෙළින්නන්, සොරුන් හා නීතියේ රැහැණට අසු නොවී සැඟවී සිටින්නන් රැස් වූ ප්‍රදේශයක් විය. පහතරට ජනයා අතුරෙන් අප්‍රියජනක කොටස මෙලෙස උඩරටට ඇදී ආවේ ආණ්ඩුවේ සුරාබදු ප්‍රතිපත්තිය නිසා හෙයින්, මෙවැනි තත්වයක් ඇති වීම හා සම්බන්ධ වගකීමෙන් කොටසක් ආණ්ඩුවට පැවරිය යුතුයි. අධික සුරාපානය ගැන ප්‍රසිද්ධියක් නොතිබුණු, සුරා නිෂ්පාදනය දියුණු කිරීමට වෑයමක් නොකළ උඩරට ප්‍රදේශයන්හි තැබෑරුම් විවෘත කිරීමට ආණ්ඩුව අනුබල දුන්නේය. අන්තිමේ දී උඩරට ජනයා පහතරටින් පැමිණියවුන්, ඉන්දියානු කම්කරුවන් හා යුරෝපීය වැවිලිකරුවන් උඩරට ප්‍රදේශයන්හි සිටීම ගැන තදින් අමනාප වූහ.
පැනනැඟ තිබුණු ගැටලුවල බරපතළකම ආණ්ඩුවට වැටහුණේ නම් මෙවැනි ඛේදජනක තත්වයක් ඇති නොවන්නට ඉඩ තිබිණි. ඇත්ත වශයෙන් මෙවැනි ගැටලු ඇති වී තිබුණු බවවත් ආණ්ඩුව දැන නොසිටියේය. මෙසේ වූයේ සිවිල් සේවය පිළිබඳව කෝල්බ්රුක්ගේ විනාශකාරී ප්රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සිවිල් සේවය පිරිහී යාම නිසාය. ආණ්ඩුවෙන් ලැබුණු අනුබලය නිසා, විශේෂයෙන් ම ස්ටුවර්ට් මැකෙන්සි ආණ්ඩුකාරයාගේ කාලයේ දී (1837-41), ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් වතු වගාවෙහි නිරත වූවාහු ඔවුන්ගේ සේවා කටයුතු අතපසු කළහ. 1845 දී ඔවුන් ඉඩම් මිලයට ගැනීම හා වතුවගාවෙහි යෙදීම සිවිල් සේවා ප්‍රතිසංස්කරණ මඟින් ස්ථිර වශයෙන් සීමා කරනු ලැබුව ද එකවරට ම සිවිල් සේවයේ කාර්යක්ෂමතාවෙහි දියුණුවක් ඇති නොවීය. මෙසේ ජනයා හා පාලක පක්ෂය අතර විශාල පරතරයක් ඇති විය.
ගොවිජනතාවගේ දියුණුව සඳහා ආණ්ඩුව ක්‍රියා කර තිබුණේ ඉතාමත් ස්වල්ප වශයෙනි. ඔවුන්ගේ ගොවිතැන් පිරිහී ගොස් තිබුණු අතර, උඩරට ප්‍රදේශයන්හි වාරිමාර්ගයන්ගෙන් වැඩි කොටසක් නොසලකා හැරීමත් අලුත්වැඩියා නොකිරීමත් නිසා කැඩීබිඳීගොස් තිබිණි. මේ නිසා ගොවිජනයා එකල පැවති ආණ්ඩුව ඔවුන්ගේ දියුණුව ගැන කිසි ම සැලකිල්ලක් නොදක්වන, ඔවුන්ගේ තත්වය ගැන කිසි ම අනුකම්පාවක් නොමැති ආණ්ඩුවක්ය යන නිගමනයට බැසීම ස්වාභාවික වූ කරුණකි.
උඩරට ප්‍රධානීහු ද ගොවිජනයා දැක්වූවාට වැඩි මිත්‍රත්වයක් බ්‍රිතාන්‍යයන් කෙරෙහි නොදැක්වූහ. 1817-18 මහා කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ක්රමානුකූල ලෙස එම ප්‍රධානීන්ගේ බලතල අඩු කරන ලද නමුත් උඩරට සාමාන්‍ය ජනයා කෙරෙහි තිබුණු ඔවුන්ගේ බලපෑම නම් තවමත් අඩු නොවීය. තමන් කෙරෙහි කිසි විශ්වාසයක් නොතැබූ ආණ්ඩුවකට පක්ෂපාත වීමට ද රදලවරුන්ට හේතුවක් නොවීය. තවද 1840 පමණ කාලයේ දී ලංකාවේ ආණ්ඩුව හා බුද්ධාගම අතර පැවති සම්බන්ධය නැති කර දැමීම සඳහා මිෂනාරිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පටන් ගෙන තිබිණි. මෙවැනි ක්‍රියාමාර්ගයක් මහජන අප්‍රසාදයට ලක්වන බවත් ආගමික උද්ඝෝෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සිවිල් කලකෝලාහල ඇති විය හැකි බවත් දත් ලංකාවේ නිලධාරීන් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට මැළි වුවත් මිෂනාරිවරුන්ගේ බලපෑම නිසා යටත් විජිත කාර්යාලය ලංකාණ්ඩුව හා බුද්ධාගම අතර පැවැති සම්බන්ධය නැති කිරීමට වෑයම් කළ යුතු යයි කියා සිටියේය. මෙහි ප්‍රතිඵලය වූයේ උඩරට නායකයන් වූ රදලවරුන් හා භික්ෂූන් විපක්ෂ වීමයි. මේ ක්‍රියාමාර්ගය ඔවුන්ට පෙනී ගියේ උඩරට ගිවිසුම ඇති කිරීමෙහි දී දෙන ලද පොරොන්දු කඩකිරීමක් වශයෙනි. යටත් විජිත කාර්යාලයේ මේ ප්‍රතිපත්තිය නිසා උඩරට සමාජයේ ඉතාමත් බලවත් කොටස් දෙක වූ රදලවරු ද පැවිදි පක්ෂය ද ආණ්ඩුවට විපක්ෂ වූහ.
මාතලේ හා කුරුණෑගල කැරලි කෝලාහල ඇතිවීමට ආසන්න හේතුව වූයේ 1848 බදු ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම බව නිසැකය. බදු පැනවීමට ස්වල්ප කලකට පෙර සිට කැරලි ඇතිවීම දක්වා (ජූලි 1 වැනි දා පමණ සිට 29-31 දක්වා) ගත වූ මසක පමණ කාලය තුළ උඩරට ප්‍රදේශයන්හි බ්‍රිතාන්‍ය ආණ්ඩුක්රමයේ බලවත් අඩුපාඩු හොඳින් කැපී පෙනිණි. ආණ්ඩුව හා මහජනයා අතර පරතරය ඉතාමත් අධික වූයේ මෙකලය.
මේ බදු ජනතාවෙහි සෑම කොටසක් කෙරෙහි ම බලපාන බව ආණ්ඩුව දැන සිටිය ද මහජනයාගේ අදහස් පිරික්සීමට වත් විරුද්ධත්වයක් පෙනුණු විට සමථයක් ඇති කරගැනීමට වත් ආණ්ඩුව කිසිදු වෑයමක් නොකෙළේය. නොයෙක් අන්දමේ අලුත් බදු ගණනාවක් තිබුණු නිසා තවත් බදු පැනවෙතැයි දූසමාන ආරංචියක් පැතිරයෑම පුදුමයක් නොවේ. මෙවැනි දූසමාන ආරංචි පැතිර ගියේ ලංකාවේ තත්වය පිළිබඳව වාර්ෂිකව පිළියෙල කරනු ලැබූ රාජ්‍ය වාර්තා පොතට කරුණු සපයාගැනීමට ආණ්ඩුව වැයම් කළ විටය. අලුත් බදුවලට විරුද්ධත්වය වැඩිදියුණු වී ගියේ මෙවැනි ශංකා පරවශ වූ පරිසරයක් පැවති නිසාය. අලුත් බදු ගැන ජනයාගේ විරුද්ධත්වයෙහි දැඩිකම ආණ්ඩුවේ නායකයන්ට නොවැටහීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව කෙතරම් දුරට ජනයාගෙන් ඈත්ව සිටියේ ද යනුයි.
ජූලි 8 වැනි දාත් මාතලේ කැරලි කෝලාහල ඇති වූ 29 වැනි දාත් අතර කාලයේ දී බදුවලට විරුද්ධව පැනනැඟ තිබුණු උද්ඝෝෂණයේ නායකත්වය ලබාගත් කිහිප දෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බ්‍රිතාන්‍යයන් උඩරටින් පලවා හැරීමට වැයම් කළහ. මේ නායකයෝ ගොවි ජනයා අතරින් පැමිණි අය වූහ. ඔවුන් අතුරින් මහත් ප්‍රසිද්ධියට පත්, දඹුල්ලේ දී ඔටුනු පලන් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන්අප්පු පහතරට අය වූහ. ඔවුන්ගේ පරමාර්ථය වූයේ සම්ප්‍රදායානුකූල උඩරට පාලන ක්‍රමය නැවත ඇති කිරීම වූ අතර ඔවුහු බ්‍රිතාන්‍ය පාලනය නිසා ඇති වී තිබුණු වෙනස්වීම් ගැන තම විරුද්ධත්වය දක්වා සිටියහ. ඇත්ත වශයෙන් ම ඔවුන්ට උවමනා වූයේ තමන්ට වැටහෙන, හුරුපුරුදු, පැරණි සමාජක්‍රමය නැවත ඇති කිරීමටය.
කැරලි කෝලාහල පහසුවෙන් මර්දනය කිරීමට හැකි වූයෙන් දින දෙකක් තුළ දී යළිත් සාමය ඇති කරනු ලැබීය. කැරලිකරුවන්ගේ වෑයම් හා පරමාර්ථ සියල්ලක් ම අසාර්ථක වීමට හේතු දැක්වීම දුෂ්කර නොවේ. එදා ලෝකය ගැන කිසිවක් නොදත්, පහසුවෙන් මුළා වූ ඔවුන්ගේ නායකයන්ට එකල පැවති බලවත් ම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීම නොකළ හැක්කක් විය. අනික් අතට, උඩරට රදලවරු කැරැල්ලට අනුබල දුන්නහු නම් එය මර්දනය කිරීම මීට වඩා දුෂ්කර වීමට ඉඩ තිබිණි. එහෙත් රදලවරු කැරලිකරුවන්ට වත් බ්‍රිතාන්‍යයන්ට වත් උපකාර නොකොට කෝලාහලයට මැදහත් නොවී සිටියහ. භික්ෂූන්ගෙන් සමහරෙක් නම් කැරලිකරුවන්ට උපකාර කළහ. ගොවිජනයා කැරලි කෝලාහලයට සහභාගී වූයේ අලුත් බදු ගැන විරුද්ධත්වය දැක්වීමටය. එහෙත් ඔවුන්ගේ නායකයන්ගේ තත්වානුරූප නොවූ අදහස් අනුව නම් ඔවුන් වෑයම් කෙළේ උඩරටින් බ්‍රිතාන්‍යයන් පලවා හැරීමටය.
කැරලිකරුවන් පහසුවෙන් මර්දනය කරනු ලැබුව ද ආණ්ඩුව තැති ගත්තේය. යළිත් 1817-18 මහකැරැල්ල වැන්නක් ඇති වේ යයි ඔවුහු කල්පනා කළහ. 1817-18 කැරැල්ලෙහි නායකත්වය දැරුවේ රදලවරුන් හා භික්ෂූන්ය. ඒ නිසා ටොරිංටන් ආණ්ඩුකාරයා හා ඔහුගේ අනුශාසකයෝ මේ අවස්ථාවෙහි ද කැරලි කෝලාහලය සංවිධානය කළවුන් වශයෙන් රදලවරුන් හා භික්ෂූන් ගැන සැක කළ ද එය සනාථ කිරීමට සාක්ෂ්‍ය නොමැති විය. ආණ්ඩුවේ අදහස අනුව නැවත එයට මුහුණ පෑමට සිදු වූයේ 1817-18 සටන වැන්නකටය. ඒ නිසා එකල බ්රවුන්රිග් විසින් අනුගමනය කරන ලදැයි සිතූ වැරදි ක්‍රියාමාර්ග මඟහැර කටයුතු කිරීමට ටොරිංටන් කල්පනා කළේය. යුද්ධ නීතිය පැනවීම පමා කිරීමෙන් කැරලි කෝලාහලය දික්ගැස්සුණේ යයි බ්රවුන්රිග්ගේ ක්‍රියාමාර්ගය විවේචනයට භාජන විය. එහෙයින් ටොරිංටන් එකවරට ම යුද්ධ නීතිය පනවා අනුකම්පා විරහිතව “කැරැල්ල” මර්දනය කෙළේය. ජූලි 29 වැනි සහ 31 වැනි දිනවලින් පසු බරපතළ කලබල ඇති නොවුව ද ඔක්තෝබර් 10 වැනි දා වන තුරු යුද්ධ නීතිය ඉවත් නොකරන ලදි. මේ මුළු කාලය තුළ දී ම බ්‍රිතාන්‍යයන් අතුරෙන් මරණයට පත් වූයේ එක් යුද්ධභටයකු පමණක් වූ අතර උඩරැටියන් අතුරින් නම් අඩු ගණනේ දෙසියයක් පමණ මරණයට පත් වූහ.
මෙසේ නිර්දය ලෙස කැරැල්ල මර්දනය කිරීමට හේතු වූයේ ටොරිංටන්ට පාලක කටයුතු පිළිබඳව පළපුරුද්දක් නොමැති වූ නිසා යයි සිතිය හැකිය. තවද කැරැල්ල ඉක්මනින් මර්දනය නොකළ හොත් 1848 කෝපි පලදාව සම්පූර්ණයෙන් ම විනාශ වේය යන අදහස නිසා ටොරිංටන් සහ ඔහුගේ අනුශාසකයන් විසින් (ඔවුන්ගෙන් අඩු ගණනේ දෙදෙනෙක් කෝපි වැවිලිකරුවෝ වූහ) මෙවැනි දරුණු ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන ලදැයි ද සිතිය හැකිය.
කැරලි කෝලාහලයේ මුල් අවස්ථාවේ දී, කැරලිකරුවන් ගැන තදින් ක්‍රියා කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එකඟ වූ එලියට් ආණ්ඩුවට තම සහයෝගය දීමට තීරණය කෙළේය. ඔහුට ද උවමනා වූයේ සාමකාමී ලෙස බදුවලට විරුද්ධව උද්ඝෝෂණය කිරීම නිසා කැරලිකරුවන්ගේ දාමරිකකම් ගැන ආණ්ඩුව මෙන් ම ඔහු ද පුදුමයට පත් විය. එහෙත් පසුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නුවුවමනා තරමට දරුණු වූයෙන් එලියට් එයට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගත්තේය. ලංකාවේ තත්වය ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රැඩිකල්වාදීන්ගේ සැලකිල්ල යොමු කරවනු ලැබ ඔවුන්ගේ මැදිහත් වීමෙන් ලංකාව ගැන කරුණු පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරවා ගැනීමට හැකි විය. එහෙත් මේ කාරක සභාව වාර්තා තුනක් නිකුත් කළ ද ලංකාවේ තත්වය ගැන ස්ථිර නිගමනයකට එළඹීමට එය අපොහොසත් විය.
කැරලි කෝලාහලයෙහි ප්‍රතිඵලය වූයේ ටොරිංටන් ආණ්ඩුකාරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් දෙදෙනකු ආපසු කැඳවීමත් මාර්ග පිළිබඳ පනත හැරෙන්නට 1848 පැනවූ අනික් බදු අවලංගු කිරීමත්ය. මින් පසු කලක් යන තුරු උඩරැටියන් හා සම්බන්ධ සමාජ හා ආගමික ප්‍රශ්න, බදු පිළිබඳ ප්‍රශ්න යනාදිය ගැන බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ පරෙස්සමිනි. තවද උඩරට ප්‍රදේශයන්හි වාරිමාර්ග විනාශ වී ගොස් තිබුණු බව වැටහී ගියෙන් වෝඩ් ආණ්ඩුකාරයාගේ කාලයේ සිට ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන ලදි. එහෙත් කැරලි කෝලාහලයෙහි වැදගත් ම බලපෑම දක්නට ලැබුණේ ආණ්ඩුවේ ආගමික ප්‍රතිපත්තිය කෙරෙහිය. ටොරිංටන්ගේ හා යටත් විජිත කාර්යාලයේ අදහස අනුව කැරැල්ල සංවිධානය කෙළේ බුද්ධාගම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කෙරෙහි පැවති විරුද්ධත්වයෙන් මඩනා ලද රදලවරුන් හා භික්ෂූන්ය. එහෙයින් මින් අනතුරුව ආණ්ඩුවේ ආගමික ප්‍රතිපත්තිය පෙරට වඩා පරීක්ෂාකාරී විය. මේ හැරෙන්නට ආණ්ඩුවේ වෙනත් ප්රතිපත්තීන් කෙරෙහි කැරලි කෝලාහලය තදින් බලපෑවේ නැත. උදාහරණයක් වශයෙන් දැක්විය හැක්කේ වතුවගාව තව තවත් දියුණු වූ බවය. උඩරැටියන් ඊට විරුද්ධ වුව ද එහි දියුණුව නොවැළැක්විය හැකි විය.
(කර්තෘ: කේ.ඇම්. ද සිල්වා)
(සංස්කරණය: 1970)