උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමිසම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව ඔවුන්ගේ පාලනය හේතුකොටගෙන එම ප්‍රදේශයේ පැනනැඟි ආර්ථික හා සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන්, දහනවවන සියවස තුළ මෙන් ම විසිවැනි සියවසේ මුල් භාගය තුළ ද උද්ඝෝෂණ ව්‍යාපාර පැවතිණ. 20 වන සියවසෙහි ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත්කරන්නට යෙදුණ ඩොනමෝර් සහ සෝල්බරි වැනි රාජකීය කොමිසන් සභාවන්ට ද මෙම ප්‍රශ්නය ඉදිරිපත් විය.

මෙම උද්ඝෝෂණයන්ට තුඩු දුන් කරුණු සම්බන්ධයෙන් 1949 ජනවාරි මස උඩරට ගැමි කොමිසම නමින් විශේෂ රාජකීය කොමිසමක් එකල අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා විසින් පත් කරන්නට යෙදිණි. මධ්‍යම හා ඌව පළාත්වල ගැමියන්ගේ ආර්ථික හා සමාජ තත්වයන් පිළිබඳව පරීක්ෂා කොට වාර්තා කිරීම එහි කාර්‍ය්‍ය නිර්දේශය විය. මෙහි දී වඩාත් විශේෂයෙන් ම ඉඩම්, නිවාස, අධ්‍යාපනය, ගමනාගමනය, වෛද්‍ය පහසුකම්, කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන සේවා නියුක්තිය, සමාජසේවා යෝජනා ක්‍රම යටතේ දෙන සහනාධාර යන අංශ කෙරෙහි එහි අවධානය යොමු විය යුතු විය.

1951 අගෝස්තු මස 31 වන දින නිකුත් කරන්නට යෙදුණ කොමිසම් වාර්තාවේ නිර්දේශ 1953 ජනවාරි මස කැබිනට් මණ්ඩලය මගින් පිළිගන්නා ලදි. 1953 වන විට රටට මුහුණ පෑමට වූ ආර්ථික ප්‍රශ්න නිසා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ නොවුව ද ඒ පිළිබඳව සකස් වුණු මූලික වැඩපිළිවෙළක් උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමිසම යනුවෙන් හැඳින්වෙන්නට විය. ස්වදේශභාර අමාත්‍යාංශය යටතට පැවරුණු මෙම කාර්යාංශය 1961 තෙක් ක්‍රියාත්මක වූයේ උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමිසමේ සම්බන්ධතා නිලධාරි තැන යටතේය. කොමිසමේ කටයුතු සඳහා මුදල් වෙන් වූයේ එ් ඒ දෙපාර්තමේන්තු වැය ශීර්ෂ යටතේය. 1961න් පසු උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමසාරිස් නමැති විශේෂ නිලධාරියකු වෙත මෙම කටයුතු පැවරුණු අතර කොමිසමට වෙන් වූ විශේෂ ශීර්ෂයක් යටතේ මුදල් වෙන් කිරීම ද ඇරඹිණ. 1965 ඔක්තෝබර් මස 22 වන දින සිට උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමිසම නමැති වෙන ම දෙපාර්තමේන්තුවක් යටතට මෙම කටයුතු පත් කරන්නට යෙදිණ. 1968 ඔක්තෝබර් මස 1 වැනි දින සිට C ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් බවට එය උසස් කරන ලදි.

උඩරට ගැමි (පුනරුත්ථාපන) කොමසාරිස්වරයාට උපදෙස් දීම සඳහා උපදේශක බලය පමණක් ඇති විශේෂ මණ්ඩලයක් ඇත. 1961 ඇති කරන ලද මෙම මණ්ඩලය සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත විය. 1965 දී එම සංඛ්‍යාව 47 දක්වා වැඩි කරන ලදි. කොමිසමේ භූගෝලීය ක්ෂේත්‍රයට අයත් ප්‍රදේශයන්හි විවිධ වෘත්තීන්ට අයත් මෙම සාමාජිකයන්ගේ කාර්‍ය්‍යය වනුයේ, ප්‍රාදේශීය අවශ්‍යතාවන්ට අනුව කොමිසමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කොමසාරිස්වරයාට උපදෙස් දීමය. කොමිසමේ අරමුණු සාර්ථක ලෙස ඉටු කරලීම සඳහා උපදේශක මණ්ඩලය අනුගමනය කරන එක් ක්‍රියා මාර්ගයක් නම් යම් යම් අවශ්‍යතා සම්බන්ධයෙන් ඊට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිසම වෙත ගෙන්වා විවිධ කරුණු ඔවුන්ගේ සැලකිල්ලට භාජන කිරීමයි. ඒ හැර නව යෝජනා ක්‍රම ඉදිරිපත් කරන අතර කොමිසමේ දුර්වලතා ඉවත් කිරීමට ද කටයුතු සලසනු ලැබේ.

කොමිසමේ අවධානය යොමු වන අංශ කීපයකි. මංමාවත් තැනීම, අධ්‍යාපන ගොඩනැඟිලි (පාසැල්, කාර්මික හා වෘත්තීය පාසැල්, පාසැල් ජලසේවා, ක්‍රීඩා භූමි, කැසිකිළි, වැසිකිළි) සහ සෞඛ්‍ය ගොඩනැඟිලි (ගැමි රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා, මාතෘ නිවාස, වෛද්‍ය නිලධාරි නිවාස, සුළු සේවක නිවාස, රෝහල් ජල සේවා, බෙහෙත් ශාලා) ඉදිකිරීම්, ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම, විදුලි බලය සැපයීම යන මේවායි.

මෙම කාර්‍ය්‍යයන් ක්‍රියාත්මක කෙරෙනුයේ රජයේ දෙපාර්තමේන්තු මගිනි. මංමාවත් තැනීම ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව මගිනුත් අධ්‍යාපන ගොඩනැඟිලි අධ්‍යාපන අධ්‍යක්ෂතුමා යටතේත් සෞඛ්‍ය ගොඩනැඟිලි හා ජල සම්පාදන යෝජනා ක්‍රම බොහෝ අවස්ථාවල පළාත් පාලන කොමසාරිස්තුමා යටතේත් කෙරේ. එහෙයින් ලංකාවේ වෙනත් සංවර්ධන යෝජනා ක්‍රමයන්ට මෙන් විශේෂ ආයතන පවත්වා ගෙන යෑමේ වියදමක් දැරීමට මෙයට සිදු නොවේ. රජයේ දෙපාර්තමේන්තු මඟින් ලබාගත හැකි උපරිම සේවා ප්‍රමාණයක් ලබාගනිමින් කොමිසමට වෙන් වන මුදල් සම්පූර්ණයෙන් ම යෝජිත අංශ කෙරෙහි යෙදවීමට මින් අවස්ථාව සැලසී ඇත.

1961-62 මුදල් වර්ෂයේ සිට 1966-67 දක්වා මංමාවත් සඳහා රු.23,190,873ක් වැය කොට ඇති අතර එම කාලය තුළ වෛද්‍ය හා අධ්‍යාපන ගොඩනැඟිලි සහ ග්‍රාමීය ජල සම්පාදන යෝජනා සඳහා රු.4,071,334ක් වැය කොට ඇත. කොමිසම මඟින් මෙතෙක් කල් මධ්‍යම හා ඌව පළාත්වල නිම කර ඇත්තාවූ ද කරගෙන යනු ලබන්නාවූ ද සේවා අතර මාර්ග 225ක් ද ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම 150ක් ද සෞඛ්‍ය ගොඩනැඟිලි 20ක් ද අධ්‍යාපන ගොඩනැඟිලි 700ක් ද වේ.

(සංස්කරණය: 1970)