උඩරට සමයේ සුළු කලාශිල්ප

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩරට රාජධානි සමයට අයත් ලෝහ භාණ්ඩ රාශියක් ලංකාවේ කෞතුකාගාරවල තැන්පත්ව ඇත. මේ අතර පිහියා රාශියක් වෙයි. උදලු, කැති, දෑකැති ආදි ගොවි උපකරණ, ගිරා, බුලත් වංගෙඩි, කාර්මිකයන්ට අවශ්‍ය ආයුධ, පල්ලැක්කි අඩුවැඩිය, ශල්‍ය උපකරණ, හෙණ්ඩු, උල්කටු, පන්හිඳවල්, යතුරු තහඩු, සරනේරු, සොයිබ, අල්ලු, කඩු, තුවක්කු, හෙල්ල, ඊතල ආදි භාණ්ඩ ද උඩරට ශිල්පීන් විසින් නිපදවනු ලැබීය. ඉතා චාම් පිහියා තනනු ලැබුවේ වානේ විශේෂයකිනි. ප්‍රධානීන් විසින් පලඳිනු ලැබූ, රිදී හෝ රන් ඔබ්බා හෝ ඔප දමා කළ පිහියා ද කෞතුකාගාරවල තැන්පත්ව තිබේ. පෞද්ගලික වස්තු අතර අත්‍යවශ්‍යක භාණ්ඩයක් වශයෙන් සැලකෙන ගිරය, විවිධ මෝස්තරයෙන් හා හැඩයෙන් යුතුව නිමවනු ලැබීය. කිල්ලෝට ද නොයෙක් ලෝහ වර්ගවලින් තැනිණ. ලෝහමය බුලත් හෙප්පුවල කැටයම් වූ අලංකරණ අතිශයින් සිත්කලුය. ඇත්කඳලිහිණියාගේ නියපොතුවල හැඩයට තැනූ බව කියන යකඩ හෙණ්ඩු ද මනා හැඩයෙන් යුක්ත වෙයි. යකඩ හෝ වානේ යතුරු තහඩුවල විවිධත්වය හා සුන්දරත්වය උඩරට ශිල්පීන්ගේ නිර්මාණ ශක්තියට දෙස් කියන නිදර්ශන බඳුය. දනගිරිගල, මල්වත්ත, රිදී විහාරය ආදි තැන්වල අද දවසෙහි වුව ද දැකිය හැකි යකඩ මූණත් තහඩු අතිශය විසිතුරුබවෙන් යුතු වෙයි. දනගිරිගල විහාරයෙන් සොයාගත් තහඩුව භේරුණ්ඩ පක්ෂියාගේ හැඩය ගනී. පහන් සාදනු ලැබුවේ පිත්තලෙනි. මේවා එල්ලන පහන්, හිටි පහන් යයි ප්‍රධාන වර්ග දෙකකට බෙදෙයි. කුරුලු හැඩයට, නළ හැඩයට, ඇත් හැඩයට ආදි වශයෙන් මනහර ලෙසින් පිත්තල පහන් සෑදීමට උඩරට ශිල්පීහු පුරුදුව සිටියහ. විවිධ සැරසිලි මෝස්තරවලින් අලංකෘත බන්දේසි තැනීමෙහි ද දක්ෂ පිත්තල කාර්මිකයෝ කරඬු, සෙම්බු, කොතල, මල් බඳුන්, හෙප්පු, කෙණ්ඩි, පඩික්කම්, අල්ලු ආදිය තැනීමෙහි අද ද යෙදී සිටිති. තඹ භාවිතා කෙළේ වැඩියෙන් ම කිල්ලෝට තැනීමටය. එසේ වුව ද ඇතැම් විටක කෙණ්ඩි සෑදීමට ද තඹ යෙදූ බව රිදී විහාරයේ ඇති කෙණ්ඩියකින් පෙනේ.

රනින් හා රිදියෙන් වැඩි වශයෙන් සාදනු ලැබුවේ ආභරණයි. දැනට අවශිෂ්ටව ඇති රන් හා රිදී බඳුන් තැන්පත්ව තිබෙනුයේ විහාරවලය. රිදී පහන්, රන් වටාපත් මිටි, දලුමුර තටු හා කෙණ්ඩි මෙකල මහනුවර මහා දේවාලය සහ දළදා මාළිගාව සතුව ඇත්තේය. මෙහි කැටයම් කළ මෝස්තර අතිශයින් සිත් අදනාසුලුය. කුසලානක හැඩය ඇති ස්වර්ණ කර්මාන්තයෙන් විසිතුරු කළ සඳුන්සුනු බඳුන අල්ගම රන් සන්නස සමග රාජාධිරාජසිංහ රජු විසින් මහාදේවාලයට පූජා කරන ලද භාණ්ඩයකි.

අන්තිම උඩරට රජුගේ සිංහාසනය සහ ඔටුන්න මෙකල කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත්ව ඇත. ලියකම් සහිත රන්තහඩුවලින් වසා මැණික් ගල් ඇල්ලූ අත්පුටුවක් වශයෙන් එය නිමා විය. පුටුඅත් කෙළවර සිංහරූප යොදා ඇත. පුටු ඇන්දේ මැද හිරු මඬල ද ඒ වටා පද්මාසනවල වැඩ සිටින දෙවිවරු ද වෙති. අන්නාසිමල, සූර්යකාන්තමල, ලියවැල් මෝස්තර ආදිය රන්තහඩුවල කැටයම් වූ මෝස්තරයි. පුටු ඇන්දේ මුදුනේ පළිඟු බෝල තුනක් යෙදිණි. රතුවිල්ලූද විශේෂයකින් අවශේෂ කොටස් වසනු ලැබිණි. සිංහාසනය සමග ඇති පාපුවරුවෙහි ද කැටයම් කළ මෝස්තර දැක්වේ. රජුගේ කිරුළ ද මැණික් ඔබ්බා රන් තහඩු ආදියෙන් විසිතුරු කළ අතිවිශිෂ්ට නිර්මාණයකි. දෙවැනි රාජසිංහ රජු විසින් දොඩම්වල දේවාලයට පරිත්‍යාග කරන ලද රන් කිරුළ මෑතක් වන තුරු මහනුවර කෞතුකාගාරයේ තැන්පත්ව තිබිණ. එය ද සියුම් ලියවැල්, මල්කම් ආදි මෝස්තරවලින් ශෝභිත විය. පල්ලැක්කි උසුලාගෙන යාම සඳහා පාවිච්චි වූ උණ ලී කොන්වල ශෝභන සේ කැටයම් කළ රිදී විලි දමා තිබේ. හඟුරන්කෙත විෂ්ණු දේවාලයේ පල්ලැක්කියක එබූ පිත්තල තහඩුවල සුලභ මෝස්තර කැටයම් කර ඇත. රජතුමා සතුව තිබුණු තුවක්කුවල ද රන්, රිදී, ඇත්දත් ආදියෙන් මනහර ගිල්ලවිලි වැඩ යොදනු ලැබිණ. උඩරට සමයට අයත් තඹ සන්නස් නොයෙක් පුරාණ විහාරවල තැන්පත්ව ඇත. ඇතැම් සන්නස්වල කැටයම් කොට අලංකරණ යොදා ඇත. මහනුවර මහා දේවාලය සතු රන් සන්නස රිදී වැඩ යෙදූ ඇත්දත් පෙට්ටියක තැන්පත් කර තිබේ. ක්‍රි.ව. 1760 දාතම දරන ගැටබේරියේ සන්නස ද අලංකාර රිදී රාමුවකින් හෙබි තඹ පත්‍රයකි. එහි රාජකීය මුද්‍රාව වන ශ්‍රී අක්ෂරය සමඟ චන්ද්‍ර සූර්ය මණ්ඩල, තාරකා හා මල් මෝස්තර රනින් ඔබ්බා ඇත්තේය. පුස්කොළවල ලිවීමට භාවිතා කළ උපකරණය පන්හිඳයි. දෙහිගම නිලමේට නරේන්ද්‍රසිංහ රජු විසින් පරිත්‍යාග කරන ලද රන්පන්හිඳක් වෙයි. ශ්‍රී අක්ෂරය සහිත මේ පන්හිඳ ශෝභන ස්වර්ණමය කර්මාන්තයක් වශයෙන් සලකනු ලැබේ. රන් පන්හිඳ වූකලි ලේකම් කෙනකුගේ ලාංඡනයය.

රජ ද නිලමවරු ද පටබැඳි නමින් ගෞරව ලැබූ කාර්මිකයෝ ද නළල් පට භාවිතා කළෝය. රජු උදෙසා කළ නළල්පටය මැණික් ඔබ්බා කරවන ලදි. සෙස්සන්ගේ නළල්පට සාමාන්‍යයෙන් රන් තහඩුය. උඩරට රාජධානි සමයට අයත් යයි සැලකිය හැකි පලඳනා රාශියකි. මෙයින් වැඩි කොටසක් ප්‍රභූ කුලවලට අයත් කාන්තාවන් පැලඳි අබරණයි. මැණික් ගල් එබූ සෝලු ලීයක් ගෙන යාමට රජතුමා නිතර ම පුරුදුව සිටි බව කියති. මැණික් පැලඳීම රජ පවුලේ අයට සීමා විය. මැණික් කර්මාන්තය ද උඩරට ශිල්පීන් විසින් මනාව අභ්‍යාස කළ ශිල්පයකි. මුදු, පදක්කම් ආදි ආභරණවල වර්ණ සෞන්දර්යය දියුණු කිරීම පිණිස මැණික් ගල් ඔබ්බන ලදි. ආභරණ වශයෙන් පැලඳීමට පිහියා සහ කඩු වර්ග ද භාවිත විය. කඩු මිටිවල සහ පිහියා මිටිවල දැක්වෙන අලංකරණ ක්‍රම සහ සියුම් කර්මාන්ත විස්තර කිරීම උගහටය. පිහියා මිටිවල හැඩය විවිධය. සත්වහිසක ආකෘතියක් ඇතැම් විට යෙදී ඇත්තේය. මැණික්, පළිඟු, මුතු ආදිය ඔබ්බා කළ ආභරණවල හා පදක්කම්වල සූක්ෂ්ම කර්මාන්ත රාශියක් දක්නට ලැබේ. උඩරට රාජධානි සමයෙහි ජීවත් වූ ලෝකුරුවා සියුම් කර්මාන්තයන්හි දක්ෂ ශූර කලාකරුවකු බව මේ නිදර්ශන පිරික්සන කල පැහැදිලි වනු නොඅනුමානය. හවඩි, වළලු, කර්ණාභරණ ආදිය තැනීමේ දී ද ඉතා සියුම් කලාවක් උපයෝගී කර ගත් බව නොරහසකි. ස්වර්ණාභරණවලින් වැඩි හරියක දක්නට ලැබෙනුයේ දකුණු ඉන්දියානු ආභාසයයි. දේශීය ලක්ෂණ සහිත ආභරණ ද ඇත. පොල්මල්මාලය, අරළුමාලය, පෙති මාලය, ගෙඩි මාලය ආදි නම්වලින් හැඳින්වෙන මාල නොහොත් ග්‍රීවාභරණවලින් සමහරක් කෞතුකාගාරවල ද වැඩි කොටසක් පුද්ගලයන් සතුව ද පවතියි. ආභරණවල පක්ෂිරූප යෙදීම ද උඩරට ශිල්පීන්ගේ පුරුද්දකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ප්‍රතිරූපයක හැඩයට සකස් කළ කුරුලු පදක්කමක් දොඩන්තලේ විහාරයෙහි ඇත. දළදා වහන්සේට පූජා වශයෙන් ලැබුණු ආභරණ අතර ඇති කුරුලු පදක්කම ශෝභන කර්මාන්තයකි. මාලවලට සහ පදක්කම්වලට යොදන මෝස්තර අතර මකර හා භේරුණ්ඩ වැනි මනඃකල්පිත සත්වරූප ද වෙයි. මකර මාල හා භේරුණ්ඩ පදක්කම් ආදිය උඩරට සමයට අයත් අන්‍ය ආභරණ විශේෂයි.

දියතරිප්පු, චන්ද්‍රකාන්තපාෂාණ, පළිඟු යනාදියෙන් ඇස් කන්නාඩි කැපීම ද උඩරට සමයේ පැවති සුළු වුව ද වැදගත් වූ කර්මාන්තයකි. දියතරිප්පු කර්මාන්තය මැණික් කැපීමෙහි ම අංගයක් සේ සැලකිය හැකි වුව ද එහි යෙදුණවුන් මැණික් කැපීමෙහි නොයෙදෙන බව පෙනේ. එහෙත් දාගැබ්වල කොත්අග සිළුමිණි කැපීම ද දියතරිප්පු කර්මාන්තයෙහි යෙදුණු අය ම කළහ. මෙම ශිල්පයෙහි යෙදුණු ශිල්පාචාරි පරම්පරාවකින් පැවතෙන පවුලක් මහනුවර අසල කිරිවවුලේ අද ද වෙසේ. එම පවුලේ උදවිය මේ වැදගත් පැරණි කර්මාන්තයෙහි යෙදී දිවිපෙවෙත ගෙවන නමුත් එම කර්මාන්තය අභාවයට යමින් පවතින බව කණගාටුවෙන් පැවසිය යුත්තකි.

ඇත්දත් කැටයම්

අතිපුරාණ කලාවක් වශයෙන් සැලකෙන ඇත්දත් කැටයම් ශිල්පය උඩරට රාජධානි සමයෙහි දී ද එක්තරා ප්‍රමාණයකට දියුණුව පැවති බවට සාධක ලැබේ. ඇත්දතින් කළ කුඩා බුදුපිළිම කොළඹ සහ මහනුවර කෞතුකාගාර සතුව ඇත. රජුන්, සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන් නිරූපණය කරන කුඩා ඇත්දත් පිළිරූ ද බහුලය. විහාර දේවාලවල උළුවහු කණුවල පහත කොටසෙහි ඇත්දතින් කළ ද්වාරපාලක රූප දක්නට ඇත. මේවායේ හිස්වැසුම්, වස්ත්‍ර හා ආභරණ ගැන සලකන විට ඒවායින් දෙවිවරුන් හා රජුන් නිරූපිත යයි සිතේ. නළඟනන්, සත්වයන් හා අනිකුත් රූප ද ඇත්දතින් නිමවා දොර උළුවහු කණුවල යොදා ඇති බව රිදී විහාරයෙහි ඇති නිදර්ශනවලින් පෙනෙයි. එහි දේවාලයේ ගබඩා කාමරයේ ද්වාරය ඇත්දත් කැටයම් වැඩ අතින් මෙකල අවශිෂ්ටව ඇති විශිෂ්ටතම නිදර්ශනයයි.

සිංහල ඇත්දත් පණාවල සංඛ්‍යාව අතිමහත්ය. මේවා මනහර ලෙස කැටයම් කරනු ලැබීය. ඇතැම් විට පිහියා මිටි සහ කඩුමිටි තැනුණේ ද ඇත්දතිනි. සමහරවිට අංවලිනි. මීහරක් අංවලින් තැනූ පණා ද සුලභ ය. මේවායේ මැද කොටසේ කැටයම් හා සිදුරු යොදා ඇත්තේය. ශංඛ (හක්) භාවිතය සීමා සහිත විය. හක්ගෙඩිය පළමුව කැටයම් කොට ඉනික්බිති එහි සිදුරු රතු ලාකඩින් පුරවා නැවත පිත්තල වැඩ යොදා රිදී ඔබ්බනු ලැබීය. මෙබඳු භාණ්ඩ මෙකල දැකගැනීම සුකර නොවේ.

සිංහල කලාශිල්පීන් අතර ලාක්ෂා කාර්මිකයන්ට ද තැනක් හිමි වෙයි. ඔවුන්ගෙන් සාමාන්‍යයෙන් සිදු වූයේ දුනු, ඊ, කොන්ත, යෂ්ටි, ඇඳ කකුල් ආදිය සෑදීම සහ ඒවාට අවශ්‍ය සැරසිලි වැඩ යෙදීමයි. ලාකඩ තනාගත් පසු, විවිධ භාණ්ඩ සැරසීමට එය යොදනු ලැබීය. බීරලු, කොඩිමිටි, වටාපත් මිටි, මඟුල් කත්, හැරමිටි, උත්සව සඳහා ගනු ලබන හෙල්ලවල මිටි, හොරණෑ, පොත් කම්බ, කවුළු පොලු, ගරාදි ආදියෙහි සැරසිලි වැඩ මෙම මාධ්‍යයෙන් කරනු ලැබීය. ඇත්දත්, අං හා හක් වැඩවල ගිල්ලවිලි වැඩ සඳහා ද ලාකඩ යෙදූ බව පෙනේ. ඇත්දතින් කළ භාණ්ඩාදියෙහි රේඛා හා සිදුරු කපා, එම තැන් වර්ණවත් ලාකඩවලින් පුරවනු ලැබීය. රතු, කහ, පච්ච සහ කළු යන සායම් යෙදීමෙන් ලාකඩ වර්ණවත් කැරිණි. ලාකඩ වැඩ සඳහා යෙදූ මෝස්තරවලින් සමහරක් නම් වැල්පට, කොළවැල, පලාපෙති, ලණුගැට, බෝකොළ, සුළිවැල, කලස්දඟය යනාදියයි.

පුරාණ කාලවල සිට ම සිංහල කාර්මිකයන් අතර කුඹල් කර්මාන්තයෙහි යෙදුණු අය සිටියහ. සෑම ගෙදරකට ම අවශ්‍ය හැළි, කලස් සහ වළං සෑදීම ඒ ඒ ගම්වලට අයත් කුඹලුන්ගේ කාර්‍ය්‍යය විය. ගෙඩිය, මුට්ටිය, කොතලය, ඇතිලිය, නෑඹිලිය, කොරහ, තාළිය යනාදි වශයෙන් මේවා වර්ග කිරීමට පුළුවන. විහාර දේවාලවල භාවිතා කෙරෙන මැටි භාණ්ඩ නම් කොතලය, පාත්‍රය, හලඹ හැළිය, බුලත් හැළිය, පහන් තැටි, පහන් කඳු (තිර තුනක් පත්තු කළ හැකි ලොකු පහන්), පූනාව යනාදියයි. පූනාව යක් තොවිල් ආදියෙහි ද භාවිත වෙයි. කොතලයක හැඩය ඇති පූනාව කෙමි දොළසකින් යුක්තය. නාගරූප ආදියෙන් එය විසිතුරු ලෙස සිත්කම් කැරිණි. වහල සෙවිලි කිරීමට ගන්නා උළු (බ.) වර්ග ද කිහිපයකි. වහල මුදුනේ යොදන මැටිකොත් සාමාන්‍ය වශයෙන් නාගරූපවලින් යුක්තය. ආගමික ගොඩනැඟිලිවල වැඩියක් ම දැක්වෙනුයේ රන් ඔප ගෑ ලෝකඩින් තැනූ කොත්වර්ගයි. මැටි භාණ්ඩ අලංකාර කිරීම සඳහා ශිල්පීන් විසින් යම් යම් උපක්‍රම යොදන ලදි. කැටයම්, මුද්‍රා හා මැටි දියර චිත්‍ර යනුවෙන් ඒවා කොටස් තුනකට බෙදා වෙන් කර දැක්විය හැකිය. කැටයම් අලංකරණය සඳහා රතුපටි, ජ්‍යාමිතීය හා ලියවැල් මෝස්තර, මත්ස්‍ය හා ත්‍රිශූල රූප යොදාගනු ලැබීය. විවිධ හැඩයෙන් යුතු ලී මුද්‍රා (අච්චු) උපයෝගී කොටගෙන කෙරෙන සැරසිලි වැඩ ද මැටි බඳුන්වල එමට දැකගත හැකි වේ. මෙකල මහනුවර කෞතුකාගාරයෙහි ඇති, බලංගොඩ පළාතේ දී නිම වූ කළගෙඩියක මුද්‍රා සැරසිලි අතර බෝකොළ සහ මල් මෝස්තරයක් දැක්වේ. හැම වර්ගයකට ම අයත් උඩරට වැඩවල බෝකොළ අලංකරණය පෙනේ. මැටි භාණ්ඩය කුඹලා අතින් නිමැවුණු පසු එය සිත්තම් කිරීම සඳහා වෙන ම කර්මාන්තයක් ද විය. පොත් කම්බි ඇතුළු ලී වැඩවලටත් අන්‍ය භාණ්ඩවලටත් යොදන සිත්තම් මැටි භාණ්ඩවලට ද යෙදිණ. මේ සඳහා බොහෝවිට භාවිතා කෙළේ රතු, කහ, සුදු, කළු යන පාට වර්ගයි.

උඩරට පුරා පැවති තවත් කර්මාන්තයක් නම් කපු රෙදි විවීමයි. රෙදි කපා මැසීම විරල වූ හෙයින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුතු රෙදි විවීම අවශ්‍ය විය. තුප්පොට්ටි, ඔහොරි, දිය කච්චි, ලේන්සු, සාළු, ඇතිරිලි, බුමුතුරුණු, කොට්ට උර, සිවුරු, හැට්ට, තොප්පි, නොයෙකුත් කටයුතුවලට ගනු ලබන චාම් සුදු රෙදි ආදිය ගම්බද පෙහෙරන් අතින් නිපැයුණු දෑය. තුප්පොට්ටිය වූකලි උඩරට වංශවත් පිරිමින් හැඳි වස්ත්‍රයකි. කුලීන කාන්තාවන් භාවිතා කෙළේ ඔහොරිය, රෙද්ද හෝ චෝලියයි. කුලහීනයන්ට ඇඳුමට අවසර තිබුණේ පටු රෙදි පමණකි. රෙදිවල පැහැය සාමාන්‍ය වශයෙන් රතු, සුදු, නිල් යන පාටවලට සීමා විය. රෙදිවලට ද නොයෙක් විධියේ මෝස්තර යෙදූ බවක් සලකා ගැනීමට මෙකල අවශිෂ්ටව ඇති නිදර්ශන ප්‍රමාණවත්ය. පැරණි රෙදිවල දිස් වන බොහෝ මෝස්තරවල නම් මෙකල අමතක වී තිබේ. මෙයින් වැඩි කොටසක් මල්, ලියවැල් හා ලණුගැට මෝස්තරයි.

ලියවැල් මැහුම් (ඇම්බ්‍රෝඩි) වැඩ උඩරට රාජධානි සමයේ දී එක්තරා ප්‍රමාණයකට දියුණුව පැවති බව පෙනෙන නමුත් මෙකල එම කර්මාන්තය බොහෝ දුරට අභාවයට ගොස් තිබේ. ඇඳුම් අලංකාර කිරීම මෙහි පරමාර්ථය වූ බැවින් රජවාසල හා රදලවරුන් සඳහා විශේෂයෙන් සේවය කිරීමට වෙන් වූ කාර්මිකයෝ ගණනාවක් එකල සිටියහ. දේවාලවලට හා විහාරවලට අවශ්‍ය පොරෝනා, තිර, කොඩි ආදිය පිළියෙල කිරීම එක්තරා පිරිසකගේ කාර්‍ය්‍යය විය. නින්දගම් හිමියන්ගේ විසිතුරු පට රෙදි හැට්ටය හා රන් ලියවැල් වැඩ යෙදූ තොප්පිය තැනීමත් ප්‍රභු කාන්තාවන්ගේ හැට්ටවල ලියවැල් වැඩ යෙදීමත් ඔවුන්ට නියමව තිබිණි. මේ සඳහා අවශ්‍ය වූ විල්ලූද, සරුවපිත්තල, පටරෙදි, තොප්පි ආදිය ඉන්දියාවෙන් ගෙන්වා ගනු ලැබීය. මෙකල අවශිෂ්ටව ඇති ලියවැල් වැඩ පිළිබඳ නිදර්ශන නම් තොප්පි හා සේසත්ය. රතු විල්ලුද රෙද්දක රන්කම් කළ හතරමුලු තොප්පි පෞද්ගලික භාණ්ඩ වශයෙන් යම් යම් අය සතුව පවතී. මහනුවර මහා දේවාලයෙහි ඇති සේසතක පසුතලය රතු විල්ලූදවලින් ද අනික් පැත්ත නිල් විල්ලූදවලින් ද නිමවා තිබේ. ලෝහමය ඉර හඳ තාරකා ද ලණු මත රන් හා රිදී නූල් වැඩ ද යොදා ඇත. ලියවැල් වැඩ යෙදූ තවත් භාණ්ඩයක් නම් බුලත් පසුම්බියයි. එහි දෙපැත්තේ ම සම්මත මෝස්තරවලින් ලියවැල් වැඩ කෙරිණි. ප්‍රභූ කාන්තාවන් ඇඳි හැට්ට කීපයක් කෞතුකාගාරවල තැන්පත් කර තිබේ. මල්, ගිරා, බෝකොළ, කුරුලු ජෝඩු ආදි මෝස්තර මෙහි ඇම්බ්‍රෝඩි කර ඇත. ලේන්සු, ඉඳුල් කඩ, සාළු හෙවත් උරමාල ආදියෙහි ද මෙබඳු විසිතුරු වැඩ කරනු ලැබීය. මෙකල දළදා මාළිගය සතු ලිනන් සාළුවක වාටියේ ඇතුළු කොටසේ කුඩා ගස් පෙළක් රන් නූලෙන් නිමවා ඇත. සිංහල ලියවැල් වැඩ සඳහා යෙදූ මැහුම් අතර මූට්ටු මැහුම්, බොත්තම් කාස මැහුම්, පිහාටු මැහුම්, දම්වැල් මැහුම් ආදිය හඳුනාගැනීමට පුළුවන.

දුම්බර මිටියාවත පුරාණ කාලවල සිට ම කළාල හා පැදුරු විවීම ගැන ප්‍රසිද්ධය. නියඳ නමැති පැළ විශේෂයකින් ලබාගන්නා කෙඳිවලින් මේ පැදුරු වියනු ලැබේ. මේ සඳහා උපයෝගී කරගනු ලබන යන්ත්‍රය කපු රෙදි වියන උපකරණයට සමානය. නියඳ කෙඳිවලට රතු, කහ හෝ කළු සායම් යොදන හෙයින් වියනු ලබන පැදුරු විවිධාකාරයෙන් වර්ණවත් කරගත හැකිය. පන්නම් කළාල යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා චාම් කළාලයි. කුරුලු රූප යොදා කුරුලු කළාල ද විවිධ මෝස්තර යොදා වැඩ කළාල ද සාදති. තාරාවා, තනිවැල් ඉරුව, තොරන්පෙත්ත, දොපොට ලණුව, තාරකා පෙත්ත, පන්නම් පෙත්ත, තුන්පොට ලණුව, දැල්ගැට ලණුව, මල්ගහ, මුව, නයි, ඇත් ආදි සත්ත්ව රූප යනාදිය පැදුරු විවීමේ දී යොදන මෝස්තර කිහිපයකි. පැදුරු හැරෙන්නට අතුල්පත් හා පෙට්ටි විවීම ද කරනු ලැබීය. මේ සඳහා නොයෙක් පන් වර්ග සහ තාල වර්ගයේ ගස්වල කොළ ද භාවිත විය. පැදුරු, අතුල්පත්, පෙට්ටි ආදියේ යොදන රටාවල් ඒ ඒ ප්‍රදේශවලට අනුව වෙනස් විය. වංකගිරිය, තාරකා පියුම්, කතුරු මල්, ගල් පියුම්, දිය රල ආදි වශයෙන් නම් කෙරෙන මෙම රටා වූකලි දේශීය කාර්මිකයන් කාලාන්තරයක් තුළ ප්‍රගුණ කළ ද මෙකල ක්‍රමයෙන් අභාවයට යමින් පවත්නා ශිල්ප ශාස්ත්‍රයක නෂ්ටාවශේෂයෝයි.

(කර්තෘ: නන්දසේන මුදියන්සේ)

(සංස්කරණය: 1970)