උත්තරරාමචරිතය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය භවභූති නම් සංස්කෘත නාට්‍ය කර්තෘවරයාගේ කෘතියකි. මහාවීරචරිතය හා මාලතීමාධවය ඔහුගේ අනික් නාට්‍ය රචනා දෙකය.

මහාවීරචරිතය මෙන් උත්තරරාමචරිතය ද රාමායණ වීරකාව්‍යයේ සඳහන් සිදුවීම් ඇසුරු කොට රචනා කරන ලද්දකි. එහි දී විශේෂයෙන් භවභූතීන්ගේ සිත යොමු වී ඇත්තේ රාමායණයේ අවසාන කාණ්ඩයේ එන සිදුවීම් කෙරෙහිය. එහෙයින් රාම කුමරුන්ගේ චරිත කථාවේ ‘උත්තර’ හෙවත් පසු අවස්ථාව ඉන් ගෙන හැර දැක්වේ.

උත්තරරාමචරිතය අංක හතකින් නිම වී ඇත. කරුණා රසය නිපදවීම උසස් ම පරමාර්ථය ලෙස සලකන භවභූතීහු එහි ලා තමාගේ විශේෂ දක්ෂතාව පළ කෙරෙති. නාටකයේ එන ප්‍රධාන සිදුවීම් විවේචනය කිරීමෙන් එය පැහැදිලි වේ.

ඔහු නාටකය සකස් කිරීමෙහි දී රාමායණයේ සඳහන් සිදුවීම් නාට්‍යයකට තුඩුදෙන අයුරු දක්ෂ ලෙස ඉදිරිපත් කරයි. පළමුවන අංකයෙහි ගැබ් වූ චිත්‍රශාලා දර්ශනය පසුබිම් කොටගත් සංවාදය සිතුවම් නරඹන රාම, ලක්ෂ්මණ කුමරුන් දෙදෙනාටත් සීතා කුමරියටත් තමන් අතීතයේ ගත කළ ප්‍රීතිමත් වූ ද දුක්මුසු වූ ද අවස්ථා සිහිපත් කරවන්නකි. රාවණා පරදවා සීතාව නැවත ලබාගත් නමුත් ජනාපවාදය නිසා ඇගේ පතිව්‍රතාව ගැන රාම කුමරුන්ගේ සිතෙහි සැකයක් ඇති විය. කෙසේ හෝ තම චරිත ශුද්ධිය රැකීමට ඉටාගත් රාම කුමරු ඉවසිය නොහැකි සිත් තැවුලෙන් යුතුව වුව ද සීතාව වනයෙහි අත් හැරියේය. ඉන් පසු සීතා කුශ, ලව යන පුතුන් දෙදෙනකු ලැබූ බව ද රාම කුමරුන් රාජ්‍යභාරය උසුලමින් අශ්වමේධ යාගය පවත්වා තම බලපරාක්‍රමය පෑ අයුරු ද දෙවන අංකයෙහි විස්තර වේ. තුන්වන අංකයෙහි නාටකය කුළුගැන්වෙන අවස්ථාව දැක්වේ. තමසා හා මුරලා යන ගංගාවන් අතර ඇතිවන දෙබසකින් රාම කුමරුන්ගේ ඛේදජනක තත්ත්වය හෙළිවීමෙන් පසු සීතාත් රාම කුමරුත් එකිනෙකාට තම සිත්තැවුල භාවික සංවාදයකින් අනාවරණය කරත්. කරුණා රසය දැනවීම නාට්‍යයේ උසස් ම පරමාර්ථය බව මේ අංකයෙන් භවභූතීහු පැහැදිලි කරත්. නාටකයේ සෙසු අංක සතරෙහි සඳහන් සිදුවීම් අතර කුශ සහ ලව කුමරුන්ගේ වැඩීම ද රාම කුමරුන් ඔවුන්ට හමුවීම ද සීතාගේ පතිව්‍රතාව නොකැළැල් බවට කරුණු පැහැදිලි වීමෙන් පසු සිදු වන රාම, සීතා දෙදෙනාගේ සංගමය ද නාට්‍ය වස්තුව විකාසනයට පමුණුවන ප්‍රධාන අවස්ථා ලෙස ගිණිය හැකිය.

රාම හා සීතා යන නායක නායිකා දෙදෙනාගේ චරිත ලක්ෂණ ප්‍රතිවිරුද්ධව දැක්වීමෙන් භවභූතීහු චරිත නිරූපණයෙහි විශේෂ දක්ෂකමක් හෙළි කරත්.

භවභූතීන්ගේ උසස් ම කෘතිය වශයෙන් සැලකිය හැකි උත්තරරාම චරිතය සංස්කෘත නාටකයේ පරිහානි යුගයෙහි නිපදවන ලද ශ්‍රෙෂ්ඨ සාහිත්‍ය රචනයක්ය යනු විවේචකයන්ගේ මතයයි.

(කර්තෘ: ජේ. තිලකසිරි)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තරරාමචරිතය&oldid=9088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි