උත්තර ධ්‍රැවය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පෘථිවි අක්ෂයේ උතුරු කෙළවර නොහොත් උත්තර අක්ෂාංශ 90°න් ලකුණු වන පෘථිවියේ උතුරු පර්යන්තය පෘථිවියේ උත්තරධ්‍රැවයයි. උත්තරධ්‍රැවයෙහි දී නිරීක්ෂකයාගේ හිස මුදුනින් ම අහස් තලයෙහි ධ්‍රැව තාරකාව (බ.) පෙනේ. පෘථිවියේ උත්තරාර්ධ ගෝලයෙහි ධ්‍රැව තාරකාව දිස් වන කවර තැනක දී හෝ ඒ අනුව නියම උතුරු දිසාව නිගමනය කරගත හැකි වනුයේ මේ හෙයිනි. උත්තරධ්‍රැව ප්‍රදේශය ආක්ටික් සාගරයෙන් වැසී ඇත. අවුරුද්ද මුළුල්ලෙහි ඝන අයිස් තට්ටුවකින් වැසී පවත්නා මෙය දහනවවැනි ශතවර්ෂයේ මුල් කාලයේ පටන් ම එඩිතර දේශගවේෂකයන්ගේ සැලකිල්ලට ලක් විය. සර් ජෝන් ෆ්රැංක්ලින්, ෆ්‍රිට්සෝෆ් නාන්සන් (නැන්සන්), උම්බෙර්ටෝ කාඤ්ඤි ආදි කිහිප දෙනකු ම උත්තරධ්‍රැවය කරා යෑමට යත්න දැරූ නමුත් ප්‍රථම වරට එහි සැපත්වීමේ ගෞරවය හිමි කර ගත්තේ 1909 අප්‍රේල් 6 වැනි දින එහි වාඩි ලූ රොබට් ඊ. පියරි (බ.) නමැති ඇමෙරිකානු නාවික නිලධාරියෙකි. (ආක්ටික් ප්‍රදේශ, චුම්බක ධ්‍රැව යන ලිපි ද බලන්න.)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තර_ධ්‍රැවය&oldid=9072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි