උදක ශුද්ධිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාමාන්‍යයෙන් ජලය පිරිසිදු කිරීම යන අර්ථය මෙයින් ප්‍රකට කැරෙන නමුදු විශේෂයෙන් ආගමික පුද පූජා පැවැත්වීම සඳහා ජලය පිරිසිදු කිරීම ද අභිප්‍රේතය. ආගමික පුදපූජාදි චාරිත්‍ර පැවැත්වීම්, දෛනික ක්‍රියා හා සන්ධ්‍යා වන්දනාදි කර්මයන් සඳහා මනුෂ්‍යයා සුදුසු පවිත්‍ර තත්වයක ඇතැයි සාමාන්‍යයෙන් සැලකුවත් ඒ සඳහා ප්‍රාක්කර්මයක් හැටියට පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හා මන්ත්‍රෝච්චාරණ සහිතව ආචමනය කිරීම ද අවශ්‍ය යයි ස්මෘති ආදි ග්‍රන්ථවලින් පැවැසේ. ශරීර ශුද්ධි, භූත ශුද්ධි, ස්නාන ශුද්ධි, ආසන ශුද්ධි, ද්‍රව්‍ය ශුද්ධි, භූමි ශුද්ධි ආදි වශයෙන් තවත් ශුද්ධි කීපයක් ද ඇත.

ශුද්ධියක් නොකර සියලු කර්මයන්හි යෙදිය හැකි පිරිසිදු ජලය ලබාගත හැකි ස්ථාන කීපයකි. ගවදෙනකගේ පිපාසය සංසිඳුවා ගැනීමට පොහොනා ප්‍රමාණ ජලයක් ඇත්තාවූ ද අපිරිසිදු කිසිවකින් දූෂිත නුවූ ද ස්වාභාවික වර්ණ, ගන්ධ, රස යන මෙයින් යුක්ත වූ ද භූමිගත ජලය පිරිසිදු යයි මනුස්මෘතියෙහි සඳහන් වේ. එපරිද්දෙන් ම ශිලාතලයක් මත රැස් වූ ජලය අමේධ්‍ය කිසිවකින් දූෂිත නුවුවහොත් එය පිරිසිදු බවත් ගලාබස්නා නදියක ජලය නිතර ම පිරිසිදු බවත් ශඞ්ඛලිඛිත මතයයි. පිරිසිදු භාජනවලට පුරවා ගෙනෙන ලද ජලය පිවිතුරු වුව ද ඒවා රැස් කර තැබීමෙන් රාත්‍රියක් හෝ වැඩිකලක් ඉකුත් වූ කල අපවිත්‍ර වන බැවින් ඉවත ලිය යුතු බවත් නදී, තඩාග, වාපි, ජලාවතරණ මාර්ග යන මේවා මළකුණු ආදියෙන් දූෂිත වූ කල දුරු කට යුතු බවත් විගර්හිත ගන්ධ රහිත වූ ද ස්වාභාවික රසයෙන් යුක්ත වූ ද නිර්මල වූ ද ගවයකුගේ පිපාසය සංසිඳුවා ගැනීමෙන් ක්ෂීණභාවයට නොයන්නා වූ ද පෘථිවිගත ජලය ශුද්ධතර බවත් දේවලාචාර්‍ය්‍යවරයා සඳහන් කරයි. කෙස්, සත්ව ඇට, මළකුණු, මලමූත්‍ර යන මින් කිසිවක් සමග සංයෝග නුවූ ප්‍රසන්න ගන්ධ, වර්ණ, රස යන මෙයින් යුත් විශුද්ධ භූමිගත ජලය පිරිසිදු යයි බ්‍රහ්මපුරාණයෙහි දැක්වේ. ළිං පඩියෙහි හෝ කුඹුරේ නියරක අල්ප වූ දෝෂයක් ඇතිවීමෙන් ජලය දූෂ්‍ය නොවන බැවින් ඒ ජලය ප්‍රතිග්‍රහණයටත් පානය කිරීමටත් යෝග්‍ය යයි කියන ලදි. වාපි, කූප, තඩාග යන මේවායේ ජලය හැම කල්හි ම පිරිසිදු ලෙස සලකනු ලැබේ. ඉදින් යම් විටක අමේධ්‍යයක් දුටුවොත් එය පඤ්චගව්‍යයෙන් (පස්ගෝරසයෙන්) ශුද්ධ කිරීමට නියමිතය.

යම් ජලාශයක් සත්ව ඇට, සම් කැබලි, සුනඛ, බළල්, මූෂික යන මොවුන්ගෙන් දූෂිත වූ කල එහි පත්ලෙහි පටන් ශෝධනය කළ යුතුය. සත්ව ඇට, සම්, කොටළු, වඳුරු, හූරු යන මොවුන්ගේ පතනයෙන් දූෂිත වූ කල ජලය සහිත අපවිත්‍ර දේ සම්පූර්ණයෙන් ඉවත් කර ශෝධනය කිරීමෙන් පිරිසිදු වේ. වාපි, කූප හා තඩාග දූෂිත වූ කල දිය කළ සියයක් ඉවත් කර පඤ්චගව්‍යයෙන් ශුද්ධ කළ යුතු බවත් කිසියම් අමේධ්‍ය ද්‍රව්‍යයක් කූපයක පත්ලට වැටුණොත් එයින් දිය කළ හැටක් ඉවත් කර පඤ්චගව්‍යයෙන් ශුද්ධ කළ යුතු බවත් පරාශර කියයි. නිය පසක් ඇති ප්‍රාණියකුගේ මළකුණක් යම්කිසි කූපයක දක්නට ලැබුණු විට ද ජලය අත්‍යන්තයෙන් දූෂණය වූ විට ද එහි ජලය සම්පූර්ණයෙන් ඉවත් කර වස්ත්‍රයකින් ශෝධනය කළ යුතු බවත් එය ගඩොලින් බැඳ සුරක්ෂිත කළ කූපයක් නම් එහි තුළ හාත්පසින් කූපභිත්තිය ස්පර්ශ වන පරිදි ගිනිදල්වා උල්පතෙන් ජලය උනන විට පස්ගෝරස සේවනයෙන් පිරිසිදු කළ යුතු බවත් බෘහස්පති ස්මෘතියෙහි සඳහන් වේ.

වර්ෂා ජලය භූමියට පතිත වී දින දහයක් ඉකුත් වීමෙන් පිරිසිදු වේ. ඒ තාක් එය අපිරිසිදු ලෙස සැලකේ. ග්‍රීෂ්ම ඍතුවේ දී වියළී ගිය ගඟක වර්ෂා කාලයෙහි රැස් වන නවෝදකය ද සිව්පා සතුන්ගෙන් කැළඹීමට පත් වූ ජලය ද ගංගා ආදි ශුද්ධ ජලාශයකින් නිකුත් වන ඇළ දොළ ආදියෙහි ජලය ද අපිරිසිදු හැටියට සලකනු ලැබේ. මහීතලයෙහි ස්ථාවර වශයෙන් පිහිටි අල්ප වූ ජලාශයන් පිළිබඳ උදක ශුද්ධිය ද කූප ශුද්ධියට අනුව කළ යුතුය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදක_ශුද්ධිය&oldid=9104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි