උද්‍යාන කර්මය
“ගෙවතු වගාව” යන අර්ථය දෙන ලතින් ප්‍රභවයක් ඇති horticulture යන ඉංග්‍රීසි වචනය ආශ්‍රයෙන් සාදාගන්නා ලද පාරිභාෂික ශබ්දයකි. ඉන් මෙකල අදහස් කරනු ලබන්නේ පලතුරු වැවීම, එළවළු වැවීම, මල් වැවීම, අලංකාර ශාක වැවීම ආදි වශයෙන් කොටස් කරනු ලබන කෘෂිකර්ම අංශයකි. මේ වැවීම් බොහෝ සෙයින් ගෙවතුවල හෝ කුඩා වතුවල කරනු ලබන හෙයින් සුළු වැවිලි ගණයට වැටේ. එහෙත් ඇතැම් විට වෙළෙඳාම සඳහා විශාල වශයෙන් ද මේ වැවීම් කරනු ලැබේ. උද්‍යාන කර්මය කලාවක් ද විද්‍යාවක් ද වෙයි. පුරුදුපුහුණු කිරීමෙන් සාර්ථක වගාවට වුවමනා කරන ප්‍රචාරණය, කප්පාදු කිරීම, බෙහෙත් ඉසීම ආදි අවශ්‍ය කාර්යයන්හි ඇතැම් කුශලතාවන් වැඩි දියුණු වන හෙයින් එය කලාවකි. මේ පුරුදුපුහුණු කිරීම් කෙරෙහි ඒ කාර්යයන් පැහැදිලි කරන්නා වූත් මෙහෙයවන්නා වූත් විධිමත් මූලික කරුණු රැසක් ගැබ්ව ඇති හෙයින් එය විද්‍යාවක් ද වන්නේය. කිසියම් බෝගයක් හෝ කාර්‍ය්‍යයක් උද්‍යාන කර්මයට ඇතුළත් වේ දැයි නිගමනය කරන නියමිත ක්‍රමයක් නැත. එහි ලා වගා කරන ආකාරය, සාමාන්‍ය ව්‍යවහාරය, බෝගය වචනු ලබන පරමාර්ථය ආදිය සාධක වෙයි. භූමිප්‍රදේශයක සෞන්දර්යය හා අගය වැඩිදියුණු කිරීම සඳහා කරන රෝපණ කර්ම ආදිය ද භූමිදර්ශන අලංකරණය නමින් උද්‍යාන කර්මයෙහි ම ලා ගණිනු ලැබේ.
අද ලෝකයෙහි හැම රටක ම වාගේ පෞද්ගලික පරිහරණය, විනෝදය, වෙළෙඳාම ආදි කරුණු සඳහා උද්‍යාන කර්මය ප්‍රගුණ කරනු ලැබේ. යුද උවදුරු හේතුවෙන් විසිවන සියවසේ මුල් කොටසෙහි ඇති වූ ආර්ථික පීඩනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙකල ක්‍රීඩා උද්‍යාන වැවීමට වඩා ආහාර වගාවට මුල් තැන දුන් ගෙවතු හෝ කුඩා වතු වැවීම කෙරෙහි මහාජනයාගේ අවධානය යොමු වී ඇත. එහෙයින් පිටිසර වැසියා පමණක් නොව නගරවාසී මිනිසා ද තම ගෙවත්ත ආහාර වගාව සඳහා යොදාගැනීමට පෙලඹුණේය. එළවළු, පලතුරු, කුළුබඩු ආදි තම ආහාර ද්‍රව්‍යවලින් බොහෝ කොටසක් පිටරටින් ගෙන්වා පරිහරණයට පුරුදු වී සිටි මෙරට වැසි බොහෝ දෙනා ද මෙකල පෙරට වඩා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන බව පෙනේ.
වඩා හොඳින් වැවීමත් වඩා හොඳ පලතුරු, එළවළු, මල් ආදිය වැවීමත් වර්තමාන විද්‍යාත්මක උද්‍යාන කර්මයෙන් මිනිසාට උගන්වනු ලැබේ. ඒ ඒ ශාකයට කවර පසක් ඉතා සුදුසු දැයි උද්‍යාන කර්මයෙහි යෙදෙන්නා දත යුතුය. එක් එක් ශාකයට අවශ්‍ය විශේෂ වගාක්‍රමත් ශාකයට අනතුරු පමුණුවන කෘමීන් හා ලෙඩරෝගත් ඔහු දත මනායි. පස, පෝර, සූර්ය රශ්මියෙහි බලපෑම, උෂ්ණත්වය, තෙතමන ආදිය පිළිබඳ විද්‍යාත්මක නව දැනුම නිසා උද්‍යාන කර්මය හා සම්බන්ධ පැරණි නොයෙක් ව්‍යවහාර විධි මෙකල වෙනස් වී ඇත. උද්‍යාන කර්මය අද බොහෝ කෘෂිකර්මවිද්‍යාලයන්හි හා විශ්වවිද්‍යාලයන්හිත් කෘෂිකර්ම පර්යේෂණ ආයතනයන්හිත් උගන්වනු ලැබේ. රැස්වීම්, ප්‍රකාශන, අත්හදා බැලීම් ආදියෙහි මාර්ගයෙන් උද්‍යාන කර්මය පිළිබඳ දැනුම දියුණු කිරීම පරමාර්ථ කොටගෙන පිහිටුවා ගන්නා ලද උද්‍යාන කර්මය පිළිබඳ සංවිධාන ලොව පුරා ඇත. එංගලන්තයේ රාජකීය උද්‍යාන කර්මය පිළිබඳ සමිතිය 1804 දී පිහිටුවන ලදි. එබඳු ජාතික සංවිධාන යුරෝපයේ වෙනත් බොහෝ රටවල ද දක්නට ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ඒ ඒ වැවිලි පිළිබඳ වූ සමිති වෙන වෙන ම පිහිටුවා ඇත. නා නා රටවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් අන්තර්ජාතික කොමිටි විසින් සංවිධානය කරන ලද උද්‍යාන කර්මය පිළිබඳ අන්තර්ජාතික සම්මේලන කලින් කල පවත්වන ලදි.
ප්‍රදේශවලත් මිනිසුන්ගේත් වාසය, සමෘද්ධිය, ශිෂ්ටත්වය යන කරුණු කෙරෙහි බෙහෙවින් බලපෑම හේතුකොටගෙන උද්‍යාන කර්මයට සාමාජික වශයෙන් කවදත් ඉතා වැදගත් තැනක් ලැබිණි. එය මල්, පලතුරු, එළවළු, අලංකාර ශාක ආදිය ක්‍රමවත් අර්ථවත් සැලැස්මකට අනුව වවන ලද ගෙයක් දොරක් තනාගැනීම හා ළඟ සබඳතාවක් දක්වයි. මෙකල විශේෂයෙන් ම ගෙවතු වගාව යන්නෙන් එය අදහස් කරනු ලැබේ.
ඉතා පුරාණ කාලයන්හි පටන් මිනිසා උද්‍යාන කර්මයෙහි ප්‍රගුණව සිටි බව නිසැක වුව ද එහි ආරම්භය පිළිබඳ අප දන්නා කරුණු අල්පය. ක්‍රි.පූ. 1,500 තරම් ඈත කාලයෙහි දී පවා මිසරයෙහි එය දියුණු තත්වයක පැවති බවට සාධක තිබේ. පැරණි මිසර සොහොන් ගෙවල් කැණීමේ දී නොයෙක් පලතුරු, මල්, පඳුරු ආදියෙහි බීජ සොයා ගන්නා ලදි. බැබිලෝනියාවේත් පර්සියාවේ පසාර්ගදී නම් නගරයේත් තුබූ සුප්‍රකට එල්ලෙන හෙවත් මළු පිට නිමවන ලද උයන් පිළිබඳ වාර්තා දක්නට ලැබේ. බැබිලෝනියාවේ එල්ලෙන උයන පැරණි ලෝකයෙහි පුදුම හතින් එකක් ලෙස සැලකිණි. පැරණි ග්‍රීක හා රෝම ලේඛකයන්ගේ කෘතිවලින් ද ඔවුන් විසූ කාලයන්හි උද්‍යාන කර්මය පිළිබඳ ඇතැම් තොරතුරු හෙළි වෙයි. රෝමවරුන් උද්‍යාන කර්මයෙහි ප්‍රමාණවත් නෛපුණ්‍යයක් ලබා ගෙන සිටි බව පෙනේ. පැරණි භාරතීයයන් උද්‍යාන කර්මයෙහි විශාරද වූ බවට ඔවුන්ගේ සාහිත්‍යය හා බෞද්ධ ජාතක කථා දෙස් දෙයි. ඔවුන් විසින් ඒ පිළිබඳ වූ වෘක්ෂායුර්වේද, උපවන විනෝද වැනි ග්‍රන්ථ පවා කරන ලදි. චීන ජාතිකයෝ ද ඈත අතීතයෙහි පටන් උද්‍යාන කර්මයෙහි අතිශයින් නිපුණව සිටියහ.
බටහිර රටවල උද්‍යාන කර්මයට පැරණි ඉතිහාසයක් ඇත. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ රෝමවරුන් විසින් අලුතෙන් නොයෙක් ශාක වර්ග එරටට ගෙන එන ලදි. රෝමවරුන්ගෙන් පසු එරට උද්‍යාන කර්මය පරිහාණියට පත් වුව ද මධ්‍යතන අවධිවල දී යළිත් බෙහෙවින් දියුණු විය. 18 වන සියවසේ අග කොටසේ දී බ්‍රිතාන්‍යයේ සම්මත උද්‍යාන කර්ම සම්ප්‍රදාය බවට පත් භුමිදර්ශන අලංකරණය යුරෝපයේ අනෙක් රටවල ද පැතිරිණි. “ගිරි උයන්” (rock gardens) පිළියෙල කිරීම 19 වන සියවසේ මුල් කොටසේ දී එරට දියුණුවට පැමිණි උද්‍යාන කර්ම අංගයකි. ඉතාලිය, ප්‍රංසය, ජර්මනිය ආදි රටවල උද්‍යාන කර්මය කාලාන්තරයක් තිස්සේ දියුණු වෙමින් ආයේය. මහා පීටර් රජුගේ (1672-1725) අවධියෙන් රුසියාවේ උද්‍යාන කර්මයෙහි උන්නතිය ඇරඹෙයි. දකුණු ඇමෙරිකාවෙන් ගෙනෙන ලද බොහෝ ශාක වර්ග යුරෝපයට හඳුන්වා දෙන ලද්දේ ස්පාඤ්ඤ ජාතිකයන් විසිනි. විද්‍යාත්මක උද්‍යාන කර්ම විෂයෙහි විශේෂ දස්කම් පෑ ලන්දේසීහු 1577 දී ලයිඩන් නගරයෙහි උද්භිද උද්‍යානය පිහිටුවූහ. ඇමෙරිකාවේ ජනපද පිහිටුවූ යුරෝපීයයන් එහි ගෙන ආ නොයෙක් ශාක වර්ග එරට උද්‍යාන කර්මය විස්තෘත වීමට ඉවහල් වූ බව සඳහන් කළ මනායි.
ලෝකයෙහි උද්‍යාන කර්මය පිළිබඳ කෞතුක කරුණු අතුරෙහි “ඉල්පෙන උයන්” වැදගත් තැනක් ගනී. මෙක්සිකෝවේ එබඳු සුප්‍රකට උයනක් වූයේය. චීනයේ ද සමහර ගංගාවලත් ඇළවලත් ඉල්පෙන උයන් දක්නට ලැබිණි. ජපන් ජාතිකයන් නොයෙක් ගස් වර්ගත් පඳුරු වර්ගත් කුරු බවට පමුණුවා ඒ ඉවහල් කොටගෙන කරන අලංකරණ විශේෂය ද උද්‍යාන කර්මය පිළිබඳ කෞතුක කරුණකි.
ලංකාවෙහි ද මුල පටන් ම උද්‍යාන කර්මය සෑහෙන තරම් දියුණු තත්වයක පැවති බවට වංසකථාවලින් හා සාහිත්‍යයෙන් සාධක දැක්විය හැකිය. විජය රජු ලක්දිවට පැමිණෙන්නට පෙරාතුව ම මෙහි මහානාග වනෝද්‍යානය නමින් උයනක් වූ බව මහාවංසය (1.22) පවසයි. මුටසිව රජු (ක්‍රි.පූ. 3 වන සියවස) විසින් ඵලපුෂ්ප වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් මහාමේඝවනෝද්‍යානය කරවන ලද (11.2–3) බවත් දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) කල අනුරාධපුරයෙහි දකුණු දොරටුවෙන් පිටත නන්දන වන නම් රාජෝද්‍යානයක් වූ (15.1-2) බවත් මහාවංසයෙන් ම හෙළි වෙයි. මෙකී වනෝද්‍යානයන් මෙකල පේරාදෙණියේ දක්නට ලැබෙන රාජකීය උද්භිද උද්‍යානයට මඳක් සමාන වූහයි සිතිය හැකිය. පැරණි සිංහල රජදරුවන් විසින් නොයෙක් තන්හි උයන් වතු ද වවන ලදි. පළමුවන (මහා) පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් එබඳු උයන් විසි නවයක් කරවන ලද බව චූලවංසයෙහි (79.1-12) සඳහන් වෙයි. ඉන් නන්දනෝද්‍යානය, දීපෝද්‍යානය යන උයන්වතු දෙක වූයේ පොළොන්නරු පුරයෙහිය. නන්දනෝද්‍යානය ගෘහෝද්‍යානයකැයි චූලවංසය (73.95) පවසන හෙයින් එය මාළිගා වත්තෙහි (රාජාංගණයෙහි) ම වූ බව සිතීමට පිළිවන. එහෙත් එය මහජනයාගේ පරිභෝගය සඳහා විවෘතව පැවැත්තේය. චූලවංසයෙහි මේ උයන පිළිබඳ විධිමත් විස්තරයක් එයි. මේ දිවයිනෙහි වැඩුණු සියලු ම පලතුරු ගස් ද මල් ගස් ද වෙනත් පැළෑටි ද එහි වවා තුබූ බව එයින් හෙළි වේ. මේ උයන්වතුවල අඹ, දඹ, කොස්, දෙල්, දිවුල්, කෙසෙල් ආදි ඵල වෘක්ෂ ද අරළු, බුළු, නෙල්ලි ආදි ඖෂධ වෘක්ෂ ද සල්, සපු, නා, දොඹ, අශෝක, පළොල්, බක්මී, කොළොම්, කිණිහිරි, මූනමල් ආදි පුෂ්පවෘක්ෂ හා සමන්, ඉද්ද, බෝලිද්ද ආදි පුෂ්පලතා ද වූයේය. ගෙවතුවල කොස්, දෙල්, අඹ, දඹ ආදි ගස් ද ලබු, පුසුල්, කොමඩු ආදි වැල් ද සුදු ලුහුනු, මිරිස්, ගම්මිරිස්, ඉඟුරු ආදි පැළෑටි ද වචන ලදි. සාමාන්‍යයෙන් ගෙවත්තක වචන දෑ “ඉඟුරු දුරු ඈ යුතු - මල්ගොමු හා වවා වතු”යි කාව්‍යශේඛරයෙහි (10.23) දැක්වෙයි.
බොහෝ විට පැරණි සාහිත්‍යයෙහි හා වංස කථාවන්හි ‘උද්‍යාන’ යන වචනයෙන් අදහස් කරන ලද්දේ සුළු වැවිලි කොටසක් බවත් පොල්, පුවක් ආදි මහ වැවිලි ‘ආරාම’ යන වචනයෙන් හඳුන්වන ලද බවත් පෙනේ. ඇතැම් තන්හි මේ වචන දෙක පර්යාය වශයෙන් ද යෙදී ඇත. එතෙකුදු වුවත් ආරාම, උද්‍යාන යන වචන දෙකින් ම මල් පලතුරු වතු හා ක්‍රීඩෝද්‍යාන අදහස් කරන ලද බව කිව හැකිය. මේ හැර පැරණි රජ දරුවන් විසින් බෙහෙත් උයන් ද කරවන ලදි.
වර්තමානයෙහි මෙරට වවනු ලබන පලතුරු, එළවළු, මල් ආදි ශාකවර්ගවලින් වැඩි කොටසක් නුදුරු අතීතයෙහි දී විදේශීයයන් විසින් මෙහි ගෙනෙන ලදැයි සිතිය හැකිය. රඹුටන්, දූරියන්, මැංගුස්ටීන් ආදි පලතුරු මැලේ අර්ධද්වීපයෙන් හා නැගෙනහිර ඉන්දියානු කොදෙව්වලින් එසේ ගෙනවුත් මෙහි වචන ලද බව පෙනේ. ඇමෙරිකාව සොයාගැනීමෙන් පසු අලිගැට පේර, කජු, අන්නාසි, සපදිල්ලා ආදි පලතුරු ද තක්කාලි, බතල ආදි එළවළු ද අරලිය, රෑ රැජින (රෑ මණමාළි) ආදි මල් ද නිවර්තන කලාපීය ඇමෙරිකානු රටවලින් ගෙනවුත් මෙහි වචන ලද සේයි. මෙරට කඳුකර තෙත් කලාපයෙහි වවනු ලබන ඇපල්, මිදි, පෙයාර්, පීච් ආදි පලතුරු ද කානේෂන්, ස්වීට් විලියම් ආදි මල් ද ගෙනෙන ලද්දේ යුරෝපයෙනි. 1848-55 දක්වා කාලය ඇතුළත මෙරට නැවතී සිටි සැමුවල් බේකර් නම් ඉංග්‍රීසි ජාතිකයා 1848 දී නුවරඑළියේ ගොවිපළක් අරඹා අර්තාපල්, බෝංචි, කැරට්, ගෝවා ආදි මෙකල උඩරට ප්‍රදේශවල වවනු ලබන ප්‍රධාන එළවළු වර්ග මෙරටට හඳුන්වා දුන්නේය.
මහනුවර රාජධානි සමයෙහි රජුගේ ප්‍රයෝජනය සඳහා පේරාදෙණියේ තුබූ මල්වත්ත බ්‍රිතාන්‍ය යුගයෙහි මුල් අවධියෙහි දී උද්භිද උද්‍යානයක් බවට පෙරළා ඝර්ම කලාපීය රටවල වැවීමට සුදුසු සියලු ම ශාක වර්ග ලෝකයේ නොයෙක් රටවලින් ගෙන්වා එහි වචන ලදි. අනතුරුව හක්ගල, හෙනරත්ගොඩ, අනුරාධපුරය, බදුල්ල ආදි තවත් නගර කිහිපයක ද උද්භිද උද්‍යාන පිහිටුවන ලද නමුත් ඉන් මෙකල ඉතිරිව ඇත්තේ මුලින් සඳහන් කළ දෙතැන පමණි. පිටරටවලින් ගෙන්වා මේ උද්‍යානවල මුලින් ම සිටවන ලද බොහෝ ශාක අදත් දක්නට ලැබේ. පසු කාලයෙහි ගොවිකම් දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම හා සමඟ පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක් ද ඇති කරන ලදි.
ලංකාවෙහි ද මෑතක දී උද්‍යාන විද්‍යා සංගමය, උඩවැඩියා කවය, රෝස වවන්නන්ගේ සමාජය ආදි උද්‍යාන කර්මයට අදාළ වූ සමිති කිහිපයක් පිහිටුවා තිබේ.
(අලංකාර ශාක, උද්භිදෝද්‍යාන, එළවළු වැවීම, පලතුරු වැවීම, මල් වැවීම යන ලිපි ද බලන්න.)
(සංස්කරණය: 1970)