උඳු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ෆසෙයෝලුය් රාඩියාටුස් - Phaseolus radiatus L.). අඩි දෙකක් පමණ උසට වැවෙන මේ වාර්ෂික පැළෑටියේ දිගටි කඳ සේද වැනි දුඹුරුපාට බූවකින් වැසී ඇත. කොළ ත්‍රිපත්‍රීය (trifoliate). පත්‍රිකාවක් අඟල් දෙකක් පමණ දිගය. උපපත්‍ර (stipules) අප්‍රපතනශීලය. කක්ෂීය (axillary) ඒකාක්ෂවල (racemes) කහපාට මල් තිබේ. කරල අඟල් දෙකක් පමණ දිගය; සිලින්ඩරාකාරය; බූ සහිතය.

ලෙගුමිනෝසේ (බ.) කුලයෙහි පපිලියොනාටේ උප-කුලයට අයත් මේ ශාකය පුරාණ ලෝකයේ නිවර්තන ප්‍රදේශවල වැවේ. ඉන්දියාවේ ද බහුල වශයෙන් වවනු ලැබේ.

උඳු ඉන්දියාවේ ජනයා ඉතා ප්‍රිය කරන ආහාරයකි. අපරට ද පෙර සිට ම උඳු රස කැවිලි තැනීමට ගනු ලැබේ. අමු කරල්වලින් ඇතැම් විට ව්‍යඤ්ජන සාදාගනු ලැබේ. පැසුණු උඳු ඇටවලින් ලබා ගන්නා පරිප්පු ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. එහි ප්‍රෝටීන් 22.7%; පිෂ්ටය 55.8%; මේද 2.2%; කෙඳි 4.8%; අළු 4.4%. අළුවල පොස්පොරික් අම්ලය තිබේ.

ආයුර්වේද මතය හීන් උඳු, මහ උඳු වශයෙන් ප්‍රභේද දෙකකි. ඒවා පිළිවෙළින් ධාන්‍යමාෂ, රාජමාෂ යන නම්වලින් සංස්කෘත නිඝණ්ඩුවල හඳුන්වා ඇත.

ධාන්‍යමාෂ හෙවත් හීන් උඳු සිනිඳුය; උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; ගුරුය; මධුරය; රුචිකරය; වීර්‍ය්‍ය, බල, මේදස්, මාංස වඩයි; වාතය නසයි; වියළවයි; විඩාව පහකරයි; සෙම් උපදවයි; රත්පිත් ප්‍රකෝප කෙරෙයි.

රාජමාෂ හෙවත් මහ උඳු ශීතලය; රූක්ෂය; කසටය; ගුරුය; රුචිකරය; විරෙචකය. වාතබල, වීර්‍ය්‍ය වඩයි. සෙම්, පිත්, ලේ, ශුක්‍ර නැති කරයි; විඩාව පහ කරයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඳු&oldid=9786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි