උපනයනය
හින්දුවරුන්ගේ ධර්මශාස්ත්‍රයන්හි සඳහන් ප්‍රධාන සංස්කාරයන් අතුරෙන් එකකි. අධ්‍යයනය සඳහා මාණවකයකු ගුරුවරයා සමීපයට කැඳවායාම හා ඊට අයත් යඥසූත්රධාරණාදි කර්ම ද උපනයන සංස්කාරය වශයෙන් සලකනු ලැබේ. බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය ආදීනට කිනම් වයසෙහි දී උපනයනය කළ යුතු ද, ඒ ආශ්රිත චාරිත්‍ර කවරේ ද, විශේෂයෙන් ම බ්‍රාහ්මණයකුට බ්රහ්මජන්ම සංඛ්‍යාත වේදාධ්‍යයනය ඇරඹෙන උපනයනය කොතෙක් වැදගත් ද යනාදි තොරතුරු රැසක් මානවධර්ම ශාස්ත්‍රය වැනි ස්මෘති ග්රන්ථයන්හි දැක්වේ.
උපනයනයේ ප්‍රධාන අංග නම් ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ගායස්ත්රීය ඉගැන්වීම හා යඥෝපවීතය පැලඳවීමයි. උපනයනයෙන් පසු ශිෂ්‍යයා වේදය හදාරමින් ද ගුරුවරයාගේ වචනයට කීකරු වෙමින් ද භික්ෂාවෙන් ජීවත් වෙමින් ද ගින්න සදහා දර එකතු කරමින් ද ගුරුවරයාගේ නිවසෙහි රැඳී කල් යැවිය යුතුයි. මෙපරිද්දෙන් අන්තේවාසිකයකු වශයෙන් ගත කරන කාලය අවුරුදු දොළසක් හෝ වේදඥානය ලබාගන්නා තෙක් හෝ වේ. ඉන්පසු සමාවර්තන (ආපසුයෑම) නම් වූ සංස්කාරයකින් එය අවසන් වේ.
“නෞජෝත්” නමින් හැඳින්වෙන මීට සමාන ඉන්දු-ඉරාන චාරිත්‍රයක් ද පාර්සිවරුන් අතරේ මේ දක්වා ව්‍යවහාර වන බැවින් උපනයනය ඉතා පුරාණයේ දී පවා ආර්‍ය්‍යයන් අතර පැවැති චාරිත්‍ර විධියකැයි සැලකීමට ඉඩ තිබේ.
(සංස්කරණය: 1970)