උපයෝගිතා සිද්ධාන්තය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලුත් ම අදහසක් මෙන් ම වැදගත් විග්‍රහ විධියක් ද පළමු වරට ඉදිරිපත් කරනු ලැබීමෙන් 1870 ගණන්වල දී ආර්ථික විශ්ලේෂණ ක්‍රමය මුළුමනින් ම වෙනස් ගියේය. මෙකී අලුත් ම අදහස නම් ආර්ථික වටිනාකම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය උපයෝගිතාව බැවින් ආර්ථික කටයුතු සියල්ලක් ම මෙහෙයවන චේතනාව උපයෝගිතාවය යන්නයි. එමෙන් ම මෙකල බිහි වූ වැදගත් විග්‍රහ විධිය “ආන්තික මූලධර්මය” පදනම් කොට සකස් කරන ලද්දක් විය.

සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් පරිහරණ වටිනාකමත් (value in use) විනිමය වටිනාකමත් (value in exchange) අතර විශේෂ සම්බන්ධතාවක් පවතින බව නොඇදහුයෙන්, උපයෝගිතාව භාණ්ඩයක වටිනාකම නිශ්චය කරන සාධකයක් හැටියට ඔව්හු නොපිළිගත්හ. ඉතා අල්ප වූ පරිහරණ වටිනාකමකින් යුක්ත වූ මැණික්වලට එතරම් ම අධික වූ විනිමය වටිනාකමක් ද ජලය වැනි අත්‍යවශ්‍ය වස්තුවකට එතරම් සුළු විනිමය වටිනාකමක් ද තිබීම ප්‍රමුඛ සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයකු වූ ඇඩම් ස්මිත් (බ.) වටිනාකම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රහේලිකාව විය. මේ අයුරින් සිතීමට පුරුදුව සිටි බැවින් ඇඩම් ස්මිත් ඇතුළු සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ උපයෝගිතාව භාණ්ඩයක නෛසර්ගික ගුණයක් විනා, එය භාණ්ඩයක් කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කරන්නා වූ අතිවිශේෂ ලක්ෂණයක් හැටියට නොසැලකූහ.

භාණ්ඩයක වටිනාකම නිශ්චය කරන සාධක අතුරින් උපයෝගිතාවට මූලික ස්ථානය පවරා දෙමින් සකස් කරගන්නා ලද යටකී අලුත් මූලධර්මය සිද්ධාන්තයක් වශයෙන් මුලින් ම ඉදිරිපත් කරනු ලැබුවේ 1870 ගණන්වල දීය. එංගලන්තයේ පමණක් නොව ඕස්ට්‍රියාවේ සහ ලෝසාන්හි ද ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් කිහිප දෙනකු විසින් ම එකවිට ම වාගේ (එනම් වර්ෂ 1871 පමණේ සිට වර්ෂ 1874 පමණ දක්වා කාලය තුළ දී) මෙම සිද්ධාන්තය වෙන වෙන ම ඉදිරිපත් කරනු ලැබීම විස්මයට කරුණක් විය. 1870 සිට ප්‍රථම ලෝකසංග්‍රාමය දක්වා කාලය මෙකී අලුත් අර්ථ ශාස්ත්‍ර පරපුරෙන් ඇරඹුණු නව-සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍ර අවධිය වශයෙන් සැලකේ.

1871 දී එංගලන්තයේ විලියම් ස්ටැන්ලි ජෙවන්ස් (බ.) ඔහුගේ ‘Theory of Political Economy’ (අර්ථවිද්‍යා සිද්ධාන්තය) නමැති කෘතියෙහි ද එම වර්ෂයේ දී ම ඕස්ට්‍රියාවේ කාල් මෙංගර් (බ.) ‘Grundsätze der Volkswirtschaftslehre’ (අර්ථවිද්‍යා පද්ධතියෙහි මූලධර්ම) නමැති කෘතියෙහි ද 1874 දී ස්විට්සර්ලන්තයේ ලෝසාන්හි ලියෝන් වාල්රස් (බ.) ‘Elements of Pure Economics’ (ශුද්ධ ආර්ථික විද්‍යාවේ මූලධර්ම) නමැති ග්‍රන්ථයෙහි ද හීන වන උපයෝගිතා මූලධර්මය පදනම් කොට ගත් විනිමය වටිනාකම් සිද්ධාන්තයක් තනි තනිව ඉදිරිපත් කළහ. මේ නයින් මුළු අර්ථශාස්ත්‍ර සිද්ධාන්තාවලියෙහි ම ඇති වූ විපර්යාසාත්මක වෙනස් වීම පසුව පිළිගනු ලැබුවේ විප්ලවයක් වශයෙනි. එය ‘ආන්තික විප්ලවය’ නමින් හැඳින්විණ.

මෙකී විප්ලවය ඇති වූයේ වටිනාකම් සිද්ධාන්තයෙහිය. මෙම සිද්ධාන්තයට උපයෝගිතා මූලධර්මය ඇතුළු කරන ලද්දේ පහත දැක්වෙන තර්කානුසාරයෙනි. උපයෝගිතාව වනාහි භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුළ ඇති වන්නාවූ මානසික හැඟීමකි. තෘප්තිය හෙවත් උපයෝගිතාව යන මෙකී හැඟීම භාණ්ඩයක වටිනාකම කෙරෙහි තදින් ම බලපායි. යම්කිසි භාණ්ඩයක් පිට පිට ම පරිභෝජනය කිරීමේ දී ඒ සෑම භාණ්ඩ ඒකකයකින් ම යම්කිසි උපයෝගිතා ප්‍රමාණයක් පාරිභෝගිකයා භුක්ති විඳියි. දුම් බොන්නකු පළමු දුම්වැටියෙන් ලබන මුළු උපයෝගිතාව ඒකක 20 නම් දෙවැනි දුම් වැටියෙන් උපයෝගිතා ඒකක 17ක් ද 3 වැනි දුම්වැටියෙන් ඒකක 14ක් ද 4 වැන්නෙන් ඒකක 11ක් ද වශයෙන් හීන වන උපයෝගිතා ප්‍රමාණ ඔහු ලබතැයි සිතමු. එවිට ඔහුගේ මුළු උපයෝගිතාවට එකතු වන්නේ ක්‍රමයෙන් අල්ප වන නොහොත් හීන වන උපයෝගිතා ප්‍රමාණයකි. මෙම සිදුවීමෙන් හඟවනු ලබන්නේ හීන වන ආන්තික උපයෝගිතාවකි (diminishing marginal utility). මේ අනුව ඔහු පරිභෝජනය කරන භාණ්ඩයේ ආන්තික ඒකකයකින් පාරිභෝගිකයා ලබන තෘප්තිය එම භාණ්ඩයේ වටිනාකම නිශ්චය කරවයි. මෙසේ, උපයෝගිතාව භාණ්ඩයක නිසගයෙන් ම පවත්නා සාමාන්‍ය ගුණයක් නොවන බව පිළිගෙන එය නියමයෙන් ම පාරිභෝගික හැසිරීමට පදනම් වූ මූල ප්‍රතිෂ්ඨාව හැටියට සලකන ලදි.

උපයෝගිතා පදනම මත සංස්කරණය කරනු ලැබූ වටිනාකම් සිද්ධාන්තය මේ නයින් ආත්මානුගත (මානසික) සිද්ධාන්තයක් බවට පරිවර්තනය විය.

සම්භාව්‍ය වටිනාකම් සිද්ධාන්තය හා සැසඳුමක්

සම්භාව්‍ය වටිනාකම් සිද්ධාන්තය බෙහෙවින් ම විෂය බද්ධ සිද්ධාන්තයකි. භාණ්ඩයක වටිනාකම එම භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ දී උපයෝගී කොටගත් ද්‍රව්‍යයන්ගේ වටිනාකම මත රඳා පවතින බව මෙම සිද්ධාන්තයේ ගැබ් වූ උපකල්පිතයයි. මෙම සිද්ධාන්තයට අනුව, භාණ්ඩයක් සෑදීමේ දී යොදනු ලබන ද්‍රව්‍යයන් - එනම්, නිෂ්පාදන සාධකයන් - අතුරින් වැදගත් ම සාධකය ශ්‍රමයයි. එපමණක් නොව, මෙම සිද්ධාන්තයෙන් විශේෂ සමාජ පරිසරයක් විග්‍රහ කෙරේ. ආර්ථික ක්‍රමය පසුබිම් කොටගත් සමාජ රටාව ගණන් නොගෙන මුළු ආර්ථික ක්‍රමය ම එකිනෙකට සම්බන්ධ වූ වෙළඳපොළවල් රාශියකින් යුත් ඒකකයක් හැටි යට නව-සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ සැලකූහ. සමාජයක වෙසෙන්නවුන් අතර ඇති පන්ති භේද ආදි වෙනස්කම් ගණන් නොගන්නා මෙම සිද්ධාන්තයෙන් පිළිගැනෙනුයේ ආර්ථික කටයුතුවල නිරත වන විට ඔවුන් සියල්ලන් ම එක හා සමානය යනුයි. පාරිභෝගිකයන් සියල්ලන් ම පරිභෝජන කටයුතු උදෙසා සිය ආදායම් වැය කිරීමේ දී උපයෝගිතා උපරිම කර ගැනීමේ චේතනාවෙන් එක ලෙස පෙලඹෙනු ඇත.

සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ගේ ශ්‍රම සිද්ධාන්තය එක්තරා විශේෂ සමාජ ක්‍රමයකට සම්බන්ධ කොට සකස් කරන ලද්දක් වූයෙන් සමාජයේ වෙනස්වීම් ඇති වූ කල්හි එය තවදුරටත් එතරම් සතුටුදායක නොවීය. එහෙත් ශ්‍රම මූලධර්මය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමට මැළි වූ එකල විසූ අර්ථ ශාස්ත්‍රඥයෝ ශ්‍රම මූල ධර්මය එසේ ම තිබෙන්නට හැර එයට මානසික ස්වරූපයක් පමණක් එකතු කළෝය. මේ නයින් උපත ලැබූ මූර්ත වැය (real cost) සිද්ධාන්තය සම්භාව්‍ය ශ්‍රම වටිනාකම් සිද්ධාන්තයත් නව-සම්භාව්‍ය උපයෝගිතා සිද්ධාන්තයත් අතර වූ සම්බන්ධක පුරුක යයි කිව හැකිය.

මූර්ත වැය සිද්ධාන්තය

භාණ්ඩ නිෂ්පාදනයේ දී කුලීකරුවා තම ශ්‍රම ශක්තිය වැය කිරීමෙන් පරිත්‍යාගයක් කරන්නේ යම් සේ ද නිෂ්පාදන කටයුතුවලට මුදල් හිර කරන ධනවාදියා ද එහෙයින් ම පරිභෝජන කටයුතු අඩු කිරීමෙන් පරිත්‍යාගයක් (පරිවර්ජනයක්) කරයි. මෙම පරිවර්ජනය කුලීකරුවාගේ ශ්‍රම ශක්තිය වැය කිරීමෙන් ඔහු විඳින පීඩාවට සමාන යයි මූර්ත වැය සෛද්ධාන්තිකයෝ සැලකූහ. එහෙත් මෙම ක්‍රියාවන් දෙක ම එක විධියේ අනුපයෝගිතාවන් (disutilities) ඇති කරවන ක්‍රියා යැයි ඇදහීම එතරම් සතුටුදායක නොවීය. මෙසේ වටිනාකම් සිද්ධාන්තයට ඇතුළු කරන ලද මානසික සංකල්පය තවදුරටත් වර්ධනය කොට එය සම්පූර්ණයෙන් ම ආත්මානුගත සිද්ධාන්තයක් බවට පත් කිරීමට නම් ශ්‍රම මූලධර්මය වටිනාකම් සිද්ධාන්තයේ ප්‍රධාන හේතු සාධකය වශයෙන් ඉන් සම්පූර්ණයෙන් ම ඉවත් කරන දැමිය යුතු විය. මෙය සිදු වූයේ ‘ශ්‍රමය’ වෙනුවට ‘උපයෝගිතාව’ වටිනාකම් සිද්ධාන්තයෙහි මූල ප්‍රතිෂ්ඨාව ලෙස පිළිගත් කල්හිය.

භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් ජෙවන්ස්ගේ විශ්ලේෂණ විධි මුළුමනින් ම සම්භාව්‍ය න්‍යායයන් පදනම් කොට සකස් කරන ලද්දේ වුව ද ඔහුගේ වටිනාකම් සිද්ධාන්තය ගණිතමය නියමයන් අනුව සකස් කරන ලද ආත්මානුගත විවරණයක් විය. මේ අතින් එය සම්භාව්‍ය සම්ප්‍රදායෙන් අතිශයින් ම වෙනස් විය. මෙම කාලයේ දී එංගලන්තයේ සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රය අවිවාදයෙන් පිළිගැනී තිබුණු බැවින් තමාගේ අලුත් අදහස් කෙරෙහි අනුගාමිකයන් පොලඹවාගැනීම ඔහුට අපහසු විය.

මෙවැනි ගැටුමකට මුහුණ පාන්නට කාල් මෙංගර්ට සිදු නොවීය. එකල විසූ නම ගිය අර්ථශාස්ත්‍රඥයෝ බොහෝ දෙනෙක් ඔහුගේ අදහස් කෙරෙහි පැහැදුණාහ. ‘ඕස්ට්‍රියානු පිරිස’ වශයෙන් පසුව ලෝක ප්‍රසිද්ධිය දිනාගත් මොවුන් අතුරින් ෆෙඩ්රික් ෆොන් වීසර් සහ ඔයිගන් බෝම් බවර්ක් මුල් තැන් ගනිත්.

“මුළු ආර්ථික සිද්ධාන්තාවලිය රඳා පවත්නේ නිවැරදි පාරිභෝගික සිද්ධාන්තයක් තිබීම උඩය. භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයන්ගේ ආකල්පය විමසා බැලීම වටිනාකම් සිද්ධාන්තයක් මගින් ගත යුතු වූ මූලික පියවර වෙයි. එබැවින් මිනිසාගේ ඕනෑ එපාකම්වල ස්වභාවය සොයා බැලීම අවශ්‍යයෙන් ම අර්ථශාස්ත්‍රඥයන් කළ යුත්තකි.” මෙසේ පවසන්නේ ජෙවන්ස් නමැති ඉංග්‍රීසි ජාතික නව-සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයාය. උපයෝගිතාව ඇති වන අයුරු සහ එහි නියම ස්වභාවය දැන ගැනීම ආර්ථීක ගැටලු විසඳීමට මඟ පාදවන ප්‍රධාන පියවර වේ. ජෙවන්ස්ගේ අදහසට අනුව, උපයෝගිතාව වනාහි කිසියම් භාණ්ඩයක් පාරිභෝගිකයාට ප්‍රයෝජනවත් කරවන්නා වූ එම භාණ්ඩය තුළ පිහිටි අනිර්වචනීය ගුණයකි. උපයෝගිතාව නම් වූ ගුණයෙන් යුත් භාණ්ඩ පමණක් ‘ආර්ථික භාණ්ඩ’ යන වර්ගයට අයත් වනු ඇත.

කාල් මෙංගර්ගේ ‘Gu'terqualt’ නමැති කෘතිය වූකලි ආර්ථික භාණ්ඩ ගණයට පත් වීමට භාණ්ඩයන්ට තිබිය යුතු සුදුසුකම් කවරේ දැයි පිරික්සා කරන ලද විමර්ශනයකි. ඕනෑ ම ද්‍රව්‍යයකට මිනිසාගේ කිසියම් වුවමනාවක් පිරිමසාලීමට පුළුවන්කමක් තිබිය යුතුය. මෙම ද්‍රව්‍යය සතුව ඇති වුවමනා පිරිමසාලීමේ හැකියාව ගැන පාරිභෝගිකයන් දැනුවත්ව සිටිය යුතුයි. එපමණක් නොව එම ද්‍රව්‍යය මිල දී ගැනීමේ හැකියාවක් ද පාරිභෝගිකයන්ට තිබිය යුතුයි. Gu'terqualt යන පදයේ අර්ථය වනාහි “මිනිස් වුවමනාකම්වලින් හටගන්නා ද්‍රව්‍ය” යනුයි. මෙවැනි ද්‍රව්‍ය ඒ මගින් පිරිමසාගත හැකි වුවමනාවන්ට වඩා බෙහෙවින් ම දුර්ලභ වන බැවින් පුද්ගලයකු විසින් ගණනාතික්‍රාන්ත වූ ස්වකීය වුවමනාවන් එක්තරා පරිමාණයක් අනුව නිසි පරිද්දෙන් පිළියෙල කරගත යුතුයි. දුර්ලභ වූ ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන්, ස්වකීය වුවමනා ඒවායේ වැදගත්කම අනුව සකස් කරගන්නා ක්‍රමාංකිත වුවමනා පරිමාණය (graduated scale of wants) කාල් මෙංගර්ගේ මෙම කෘතියෙහි මුල් තැන ගනී. මෙම පරිමාණයෙහි, වුවමනා, තිරස් අතට රෝම ඉලක්කම්වලින් ද ඒ වුවමනා වෙනුවෙන් යොදන සෑම භාණ්ඩ ඒකකයකින් ම පෞද්ගලික පාරිභෝගිකයා ලබන තෘප්තිය හෙවත් ආන්තික උපයෝගිතාව සිරස් අතට අරාබි ඉලක්කම්වලින් ද දැක්වේ:

වුවමනා පරිමාණයෙහි එක් එක් වුවමනාව යටතේ ක්‍රමයෙන් අඩු වන අරාබි ඉලක්කම්වලින් දැක්වෙනුයේ යටකී අලුත් උපයෝගිතා මූලධර්මයයි. යම් වුවමනාවක් සංසිඳවීම පිණිස පරිභෝජනයට ගන්නා සෑම අතිරේක භාණ්ඩ ඒකකයකින් ම පාරිභෝගිකයාට ලැබෙන අතිරේක උපයෝගිතා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන සැටි මින් පෙනේ. එය හීන වන උපයෝගිතා මූලධර්මය වේ. අතිරේක භාණ්ඩ ඒකකයකින් තමා ලබන අතිරේක උපයෝගිතාව ශූන්‍යය (බිංදුව) වූ කල පාරිභෝගිකයා තවදුරටත් එය නොගනී.

පාරිභෝගිකයාගේ ආර්ථික සමතුලිතතාව උපයෝගිතා සිද්ධාන්තයේ ගැබ් වූ තවත් වැදගත් සංකල්පයකි. කිසියම් පුද්ගලයකු භාණ්ඩ පරිභෝජනය කිරීමේ දී අතිරේක භාණ්ඩ ඒකකයන් ගන්නේ ස්වකීය තෘප්තිය උපරිම කරගැනීමේ අවස්ථාව එළඹෙන තාක් කල්ය. කොටින් කියතොත්, මේ අවස්ථාවේ දී ඔහු සමතුලිතතාවකට පත් වෙයි. “ඉතා අඩු වෙහෙසකින් ද අපට අනවශ්‍ය ද්‍රව්‍යයන් ඉතා අල්ප වශයෙන් කැපකරමින් ද අපට සිතැඟි දේ ලැබීමට කටයුතු සැලසෙන අයුරින් අප වුවමනා සංසිඳවාගැනීමේ - එනම්, තෘප්තිය උපරිම කරගැනීමේ - ක්‍රමයක් සොයාගැනීම අර්ථ ශාස්ත්‍රයේ ප්‍රධාන ගැටලුවය”යි ජෙවන්ස් කියයි. භාණ්ඩ හුවමාරු ක්‍රමයක මෙම අදහස ඉතා පැහැදිලිව දක්නට ලැබේ. මෙම ආර්ථික ක්‍රමය යටතේ වෙසෙන පුද්ගලයාට තමාට අවශ්‍ය භාණ්ඩයක් ලබාගැනීමේ දී තමා ළඟ ඇති භාණ්ඩයක් ඒ වෙනුවට කැප කිරීමට සිදු වෙයි. අවශ්‍ය භාණ්ඩය ලබාගැනීමෙන් උපයෝගිතාවක් භුක්ති විඳින අතර ම තමා ළඟ ඇති භාණ්ඩය කැප කිරීමේ දී ඔහු අනුපයෝගිතාවක් ද විඳියි. මෙසේ ඔහු ලබන උපයෝගිතාව ඔහු විඳින අනුපයෝගිතාවට වඩා අධිකව පවත්නා තාක් කල් පමණක් ඔහු හුවමාරු, ගනුදෙනු කරගෙන යයි. විවිධ වුවමනා සංසිඳවාගැනීමට තමා ගන්නා භාණ්ඩ මුළුල්ලේ ම ආන්තික ඒකකයන්ගෙන් ලැබෙන උපයෝගිතාවන් සමානබවට පත් වන අයුරින් එක්තරා භාණ්ඩ සංයෝජනයක් (combination) සැලසෙන තාක් කල් ඔහු භාණ්ඩ හුවමාරු පවත්වාගෙන යයි. මෙතැන දී පාරිභෝගිකයා විසින් නොදැනුවත්ව ම අනුගමනය කෙරෙන්නේ උපයෝගිතා සිද්ධාන්තයේ තවත් වැදගත් න්‍යායයක් වන සමානුපාතික ආන්තික උපයෝගිතා න්‍යායයයි. පුද්ගලයකු ආර්ථික සමතුලිතතාවකට එළඹෙන්නේ ඔහු ගන්නා භාණ්ඩයන්ගේ ආන්තික උපයෝගිතාවන් එක සමාන වූ කල්හිය. මුළු උපයෝගිතාව උපරිම කර ගැනීමට පාරිභෝගිකයා දරන ප්‍රයත්නය එතරම් පැහැදිලිව නොපෙනුණ ද එය නිසැකයෙන් ම කෙරෙන්නකි. මෙහි දී පාරිභෝගිකයා වර්තමාන සහ අනාගත භාණ්ඩ පිළිබඳ වරණ සටහනක් තම සිත්හි ඇති කරගෙන විවිධ භාණ්ඩ ගැනීමේ දී තමාට ලබාගත හැකි උපයෝගිතා මුළුල්ල උපරිම කරගන්නා අයුරින් ස්වකීය මුදල් ආදායම වැය කරයි. භාණ්ඩ ඒකකයකින් ලැබීමට ඔහු අපේක්ෂා කරන ආන්තික උපයෝගිතාව පමණක් නොව එම භාණ්ඩය ගැනීමේ දී වැය කළ යුතු මුදලින් ඔහුට විඳින්නට සිදු වන අනුපයෝගිතාව ද ඔහු ගණන් ගනී. මුදල් වනාහි ඔහුට උපයෝගිතාව දරන භාණ්ඩයකි.

විවේචක පාරිභෝගික වරණය (rational consumer choice) වෙළඳ පොළක ඉල්ලුම සහ මිල සෑදීම කෙරෙහි බලපාන අයුරු විග්‍රහ කිරීමට කරුණු යෙදුණේ මේ අයුරිනි. භාණ්ඩ වටිනාකමේ මානසික ස්වරූපය පහදාදීමට කාල් මෙංගර් මහන්සි ගත් අතර ජෙවන්ස් සැලකිලිමත් වූයේ පුද්ගලයන් විනිමය කටයුතුවල යෙදෙන අයුරු පහදා දීම සම්බන්ධවය. ඔහු ප්‍රථමයෙන් ම ආර්ථික සමතුලිතතාව යන්නට අර්ථ දක්වා අනතුරුව විනිමය හුවමාරු සීමාව සොයාගත්තේය. භාණ්ඩ දෙකක් අතර විනිමය අනුපාතය භාණ්ඩ ප්‍රමාණවල උපයෝගිතාවන්ගේ පරස්පරය (reciprocal) වෙයි. ඒ ඒ පාරිභෝගිකයා මේ අවස්ථාවට එළඹෙන්නේ ආන්තික උපයෝගිතාව භාණ්ඩ මිලට සමාන වූ කල්හිය. එමෙන් ම ඔහු ආර්ථික සමතුලිතතා අවස්ථාවට පැමිණෙනුයේ ඔහු ගන්නා භාණ්ඩ සියල්ලේ ම ආන්තික උපයෝගිතාවන් ඒවායේ මිලට සමාන වූ කල්හිය.

I භාණ්ඩයේ ආ.උ. II භාණ්ඩයේ ආ.උ.

I භාණ්ඩයේ මිල II භාණ්ඩයේ මිල

III භා.ආ.උ. M භා. ආ.උ

III භා. මිල N භා. මිල

මේ අනුව භාණ්ඩයක මිල අඩු වූ කල්හි ඒ භාණ්ඩය සඳහා පුද්ගලයන්ගේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන වගත් මිල වැඩි වූ කල්හි ඉල්ලුම් ප්‍රමාණය අඩු වන වගත් මෙම සමීකරණයෙන් වටහාගත හැකිය. සමානුපාතික මූලධර්මය ගණිත බසින් සකස් කෙළේ වාල්රස්ය. භාණ්ඩ මිල හෙවත් ස්වායත්ත විචල්‍යය (independent variable) තිරස් ඛණ්ඩාංකයෙහි ද භාණ්ඩ ඉල්ලුම හෙවත් පරායත්ත විචල්‍යය (dependent variable) සිරස් ඛණ්ඩයෙහි (ordinate) ද ඔහු සටහන් කරයි. වාල්රස් A යන භාණ්ඩයක් සම්බන්ධයෙන් මූලික සමතුලිතතා අවස්ථාවක් ප්‍රථමයෙන් සටහන් කර ගනී. එම මූලික අවස්ථාවේ දී පවත්නා භාණ්ඩ මිල (මිල I) සහ එම මිලට අනුව ඉල්ලුම් කෙරෙන භාණ්ඩ ප්‍රමාණය (භා.ප්‍ර. I) අතර සමකක්ෂයෙන් (co-ordinate) එක්තරා ඉමක් සෑදෙයි. මිල වෙනස් වන කල්හි ඉල්ලුම් කෙරෙන භාණ්ඩ ප්‍රමාණ ද වෙනස්වීමෙන් ඇති වන ඉම් අනුව ඔහු ඉල්ලුම් රේඛාවක් ලකුණු කරයි. A භාණ්ඩයේ මිල (මිල II ට) වැඩි වූ කල, B භාණ්ඩය සඳහා වැය කිරීමට පාරිභෝගිකයා අතේ ඉතිරි වන මුදල ඉබේ ම අඩු වනු ඇත. A භාණ්ඩය උදෙසා වැය කිරීමට තිබෙන සෑම තඹයක ම උපයෝගිතාව දැන් අඩු වී ඇත. B භාණ්ඩයේ මිලත් ආන්තික උපයෝගිතාවත් සසඳා බලන පාරිභෝගිකයාට දැනෙන්නේ B භාණ්ඩය උදෙසා යොදන සෑම රුපියලක ම උපයෝගිතාව වැඩි වී ඇති ලෙසකි.

A භා. II ඉල්ලුම් ප්‍රමාණයේ ආ. උ.

A භා. II මිල

B භා. I ඉ.ප්‍ර.ආ.උ.

B භා I මිල

A භාණ්ඩයේ මිල මෙසේ (මිල II ට) වැඩි වූ කල්හි භාණ්ඩ දෙකේ උපයෝගිතාවන් අසමාන වන බව පැහැදිලිය. A භාණ්ඩය උදෙසා වැය කරන මුදලින් කොටසක් B භාණ්ඩය ගැනීම සඳහා යෙදීමට ඔහු පෙළඹෙයි. A සහ B යන භාණ්ඩ දෙක වෙනුවෙන් වැය කරන මුදලේ ආන්තික උපයෝගිතාවන් නැවත සමාන වන තෙක් ඔහු තම මුදල් වියදම වෙනස් කරයි.


A භා. II ඉල්ලුම් ප්‍රමාණයේ ආ.උ. B භා.ඉ.ප්‍ර. II

A භා. මිල II B භා. මිල.


මින් දැක්වෙනුයේ පාරිභෝගිකයාගේ අලුත් සමතුලිතතා තත්වයයි.

ඉල්ලුම් විග්‍රහය සම්බන්ධයෙන් සලකා බලන කල එක් භාණ්ඩයක මිල හැරුණු විට අන් භාණ්ඩ සියල්ලක ම මිල ස්ථාවරව පවතී යයි මෙකී අර්ථ ශාස්ත්‍රඥයෝ සිතාගනිත්. මේ අනුව ඉල්ලුම භාණ්ඩ මිලේ ශ්‍රිතයකි: ඉ = ƒ (භා.මි). යමකුගේ මුදල් ආදායම, රුචිය සහ ඉල්ලුම කෙරෙහි බලපාන වෙනත් සාධක ද නොවෙනස්ව පවතී යයි ද විග්‍රහ කාර්‍ය්‍යය සඳහා ඔව්හු සිතාගනිත්.

උපයෝගිතා සිද්ධාන්තය ඉදිරිපත් කළ අර්ථ ශාස්ත්‍රඥයන් වඩාත් සැලකිලිමත් වූයේ විනිමය සිද්ධාන්තය ගැන බැවින් මෙම මූලධර්මය නිෂ්පාදනය සහ බෙදාහැරීම යන අංශ දෙකට යොදනු ලැබුවේ කලකට පසුවය. නිෂ්පාදිත භාණ්ඩ මිනිස් වුවමනා කෙළින් ම පිරිමසාලන්නේ නැත. එහෙත් නිෂ්පාදන ක්‍රමයේ දී ඒවා වුවමනා පිරිමසාලන ද්‍රව්‍යයන් බවට හැරෙයි. එහෙයින් මෙකී නිෂ්පාදිත භාණ්ඩවල වටිනාකම රඳා පවත්නේ එම භාණ්ඩ යොදා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවල ආන්තික උපයෝගිතාවන් මතය. එංගලන්තයේ ඇල්ෆ්‍රඩ් මාෂල්, ෆිලිප් වික්ස්ටීඩ්, ෆ්රැන්සිස් එජ්ව’ත්, ඇමෙරිකාවේ ජෝන් බේට්ස් ක්ලාක් හා ස්වීඩනයේ ක්නූට් වික්සල් යන අර්ථ ශාස්ත්‍රඥයෝ නිෂ්පාදන සාධකයන්ගේ වටිනාකම ද විවිධ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඒවා බෙදී යන අයුරු ද විග්‍රහ කිරීම සඳහා උපයෝගිතා මූලධර්මය යෙදූහ. සෑම නිෂ්පාදන සාධකයක ම ශුභඵලය හෙවත් ප්‍රදානය (reward) එහි ආන්තික නිෂ්පාදිතයේ වටිනාකම මත රඳා පවතී (නිෂ්පාදන සිද්ධාන්තය බ.)

උපේක්ෂා වක්‍ර (Indifference curves)

නූතන උපයෝගිතා සිද්ධාන්තය සහ පුද්ගලික පාරිභෝගිකයාගේ සමතුලිතතා විග්‍රහය තවදුරටත් දියුණු කිරීම අරභයා උපේක්ෂා වක්‍ර ක්‍රමය ජේ.ආර්. හික්ස් සහ ආර්.ජී.ඩී. ඇලන් නමැති ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කළෝය. පාරිභෝගිකයාගේ හැසිරීම විග්‍රහ කිරීමේ දී ඔහු ලබන උපයෝගිතා ගණන් ප්‍රමාණ වශයෙන් තක්සේරු කිරීම අසතුටුදායක බැව් ඔවුන්ගේ තර්කය විය. වටිනාකම් සිද්ධාන්තය බලන්න.

(කර්තෘ: ඇල්.ඇස්. ගුණසේකර)

(සංස්කරණය: 1970)