උපාලි (2)
කීර්ති ශ්‍රී රාජසිංහ සමයෙහි ලක්දිවැ අභාවයට යමින් තුබූ උපසම්පදාව පිහිටුවා බුදු සසුන නඟාලීමට උපස්තම්භ වූ මහතෙරණුවෝයි. දෙවැනි විමලධර්මසූර්ය මහරජාණන් රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා සිදු කැරවූ උපසම්පදා කර්මයෙන් පසු මෙරට ඇති වූ සතුරු උවදුරු හේතුයෙන් රජදරුවන්ගේ නොපැළඹීම නිසා උපසම්පදාදි ශාසනික කර්මයන් අතපසු වී ගිය හෙයින් අනුක්‍රමයෙන් උපසපන් භික්ෂූහු අභාවයට යමින් සිටියහ. අස්ගිරි මල්වතු උභය විහාරයෙහි සාමණේරවරුන් කෙරෙහි ශාසනභාරය පැවැරිණ. මේ අතර ශ්‍රද්ධාසම්පන්න වැලිවිට අසරණසරණ සරණංකර සාමණේරයන්වහන්සේ උපසපන් භික්ෂූන්ගෙන් තොරවැ ශාසනය නොපවත්නා හෙයින් නැවත උපසම්පදාව පිහිටුවා සසුන වැඩීමට උත්සාහවත් වූහ. උන්වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජුට එපවත් දැන්වූහ. රජ මාහැඟි පඬුරු හා රාජ සන්දේශ සහිතව සියම් රට අයෝධ්‍යාපුරයෙහි ධාර්මික මහරජාණන් වෙත ඇමැති දූතයන් යැවීය. ලක්දිවැ සසුන් පවත් අසා කම්පාවට පැමිණි ධාර්මික මහරජ මහාසංඝයාවහන්සේට එපවත් දන්වා ලක්දිවැ උපසම්පදාව ඇති කොට බුදුසසුන නඟා සිටුවීමට නිසි භික්ෂූන් වහන්සේ නිල කරනු මැනැවැයි අයැද සිටියේය.
මෙසේ ලක්දිවට පැමිණීම සඳහා අයදුම් ලද අතිරේක දශවර්ග භික්ෂුසංඝයාවහන්සේට ප්‍රමුඛ වූවෝ උපාලි මහතෙරණුවෝය. ඔබ උපසම්පදාදි විනයකර්මයෙහි නිපුණ වූහ; ධර්මවිනයධර වූහ; අතිශයින් ශ්‍රද්ධාසම්පන්න වීර්‍ය්‍යසම්පන්න වූහ; මහාවිහාරවංශයෙහි ආචාරධර්මයන් මැනැවින් දත් කෙනෙක් ද වූහ. ලක්දිවින් ගිය දූත පිරිස හා ස්වකීය භික්ෂු පිරිස ද සමඟ බුදුන් පිරිනිවි දෙදහස් දෙසිය සානූවැන්නෙහි (ක්‍රි.ව. 1753) ත්‍රිකුණාමල වරායෙන් ලක්දිවට පැමිණි උපාලි මහතෙරණුවෝ රාජසම්මාන ඇතිව මහපෙරහරින් ශ්‍රී වර්ධන (සෙංකඩගල) පුරයට වැඩමවන ලදහ. පෝයමළු විහාරයෙහි විසුම් ගත් උන්වහන්සේ එම වර්ෂයෙහි ඇසළ මස පුනු පොහෝ දවස්හි වැලිවිට පිණ්ඩපාතික සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු සනමක් උපසම්පදා කිරීමෙන් මෙරට අභාවයට යමින් තුබූ උපසම්පදාව ඇති කොට ශාසනවර්ධනය ආරම්භ කළහ.
උපාලි මහතෙරුන් වහන්සේ ලක්දිව මහාවිහාරවංශයෙහි භික්ෂු පරම්පරායෙන් අසම්භින්නව ආ කෙනෙක් වූහ. උභයවාසයෙහි සාමණේරවරු ද මහාවිහාරවංශයෙහි අය වූහ. සියම් රටින් පැමිණි මේ උපාලි මහතෙරණුවන්ගේ ප්‍රමුඛත්වයෙන් පුනරුද්දීපනයට පැමිණි හෙයින් මිහිඳු මාහිමියන් ආරම්භ කළ මහාවිහාරවංශය ස්‍යාමෝපාලි (ස්‍යාම+උපාලි) වංශය නම් විය. මෙසේ අවුරුදු කිහිපයක් ඇතුළත දහස් ගණන් සිංහල කුල පුත්‍රයන් මහණ මහලු පැවිදි කොට ලක්දිවැ බුදුසසුන තහවුරු කළ උපාලි මහතෙරණුවෝ සෙසු සියම් රට භික්ෂූන් පෙරළා සිය රට යා දි, සසුන් වැඩ සඳහා මෙහි ම නතර වූහ. උන්වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ඇති කළ සීමාමාලකයෝ ද බොහෝ ගණනක් වෙති. රෑදෙවෙහි නොපසුබට වීර්‍ය්‍යයෙන් ක්‍රියා කිරීම හේතු කොටගෙන උන්වහන්සේ අස්ගිරි ආදාහනමළු විහාරයෙහි දී අපවත් වූහ. උන්වහන්සේගේ අළුකිස කළ තැන ලක්ෂිතව රක්ෂිතව ඇත. යම් තාක් කල් ලක්දිව බුදුසසුන පවතී ද ඒතාක් ම උපාලි මහතෙරුන් වහන්සේගේ නාමය ද නොනැසී පවත්නේයි.
(සංස්කරණය: 1970)